ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


මාවරල ආදළුව අභයාරාමයේ පල්ලදෙණියේ පියතිස්ස හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.   

ජල සම්පත උදුරා ගත් පාපය පඩිසන් දෙයි.   


දකුණු පළාතේ ඉඩමකි. එම ඉඩම මීට වසර 20 කට පමණ පෙර මිලට ගත් පියසේන නිවසක් සෑදීය. එම ඉඩමෙහි කෙලවරක ගලක් අස්සෙන් ජල පහරක් ගලා බසින අතර වසර 60 ක පමණ කාලයක සිට පා​ෙර් ගමන් කරන ජනතාව හා වාහන නැවතී ජලය රැගෙන යන කිසිඳු නියඟයකට නොසිඳෙන ජල උල්පත් දෙනෝ දහසකගේ පිපාසය සංසිඳු වනු ලබන්නකි. පියසේන නමැති එම ඉඩම ගත් පුද්ගලයා ප්‍රධාන මාර්ගයේ සකස් කිරීමේදී මාගා ආයතනය මගින් එම ජල පහරින් ජල ටැංකියක් ඉදිකර දීමට උත්සාහ ගත් අතර ඔහු එයට විරුද්ධ විය.   


එම ඉඩමෙන් නිවසකට යන පාරක් තිබූ අතර ඔහු එම පාර ද වැසීමට නඩුවක් පැවරීය.   


එම පාර හා ජල ටැංකිය ඔහුගේ ඉඩමට අයිතිවන සේ වැටකණු ඉන්දනු ලැබු අතර එම පාර අත්පත් කර දීමට උසාවියෙන් පිස්කල්වරු එදින ඒමට නියම වී තිබුණි. එදින උදේ ඔහු තමාගේ වාහනය පණ ගන්වාගෙන ඔවුන් රැගෙන යාමට සූදානම් විය. වාහනය පණ ගන්වා ගත නොහැකි විය. විගසින් ඔහු යතුරුපැදියෙන් උදේ පාන්දර අසල නගරයට ගියේ වාහනයක් කුලියට රැගෙන එන අදහසිනි. ඔහු එසේ යන විට වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් පෙරළීගෙන ඇවිදින් ඔහු සමග මහා පාතාලයකටම ඇද වැටුණි. ඔහුට දින 03 ක් යනතෙක් සිහිය නොලැබුණු අතර ලෙඩ ඇ​ෙඳ්ය. මේ සිද්ධියේදී ඔහු කරන්නට සූදානම් වු ජල ටැංකිය හා පාර අත්පත් කර ගැනීම ගැන සියලු දෙනාම අනේ අපොයි යනුවෙන් දෙස් දෙවොල් තිබූ අතර මෙම සිද්ධියට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය පළ දුන්නා කියාය. මොහුගේ බිරිඳද මොහුගේ මෙම ක්‍රියාවලට අනු බල දෙන්නේ නොමැරෙන මිනිසුන් මෙනි.

 



   
අම්පාර මිහිඳුපුර ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි..  

අප්පුහාමි ගොයිහාමි නයිහාමි කා මිය ගිය හැටි  


මීට වසර තිහකට පමණ පෙර පිටිසර ගම්මානයක හේන් කුඹුරු ගොවිතැන් කොට ජීවත් වු අප්පුහාමි නම් ගැමියෙකු සිටියේය. ලේ මස් රහට දිව කට හුරුව සිටි අප්පුහාමි තලගොයි මස් කෑමට දැක්වූයේ මහත් කෑදර කමකි. හේනට කුඹුරට යන එන විටදී ඔහු ආවේ ගියේ අවට පරිසරය ගැන මහත් විමසිල්ලෙන් යුතුවයි. බැරිවෙලාවත් තලගොයෙකු සිටිනු දුටුවොත් ඌට අප්පුහාමි ගෙන් ගැලවී යාමට නම් නොලැබෙන බව ගමේම නොරහසකි.   


ඔහු ගොවිපොළකට හෝ වෙනත් උවමනාවකට ඇවිදීමට යන හැම මොහොතකම නොවරදවාම ගෙන යන උපකරණ දෙකකි. ඒ ගිනි පෙට්ටිය හා පුවක්කොළ පතක් නමා සාදාගෙන සිටින කොපුවක ගසා ඇති අඟල් හයක් පමණ දිග උල්පිහියෙකි. ඒ ඔහු තලගොයි දඩයම සඳහා භාවිත කරන ප්‍රධාන උපකරණ දෙකය.   


අප්පුහාමිට තලගොයෙකු දකින්නට ලැබුණොත් ඔහු මුලින්ම කරන්නේ හෙමින් හෙමින් උගේ කිට්ටුවට යාමය. හදිසියේ ඔහු දකින තලගොයා බය වී පැන දුවන්නේය. දුවන තලගොයා තව තවත් බය කිරීමට අප්පුහාමි ඔහු පසුපස පන්නා යයි.   


මහත් සේ බයට පත් තලගොයා දිවි බේරා ගැනීමට ගස් බෙනයක්, ගල් බෙනයක්, හුඹස් බෙනයක් වැනි ගුලකට රිංගා ගනී. නැතහොත් ගසක් මුදුනට නැගීම උගේ පුරුද්දය.   
පොල්ගසකට නැග ගත හොත් අප්පුහාමි ද පොල් ගසට නගී. එවිට බිය පත් තළ ගොයා පොල් පිති අතරින් රිංගා හනසු අතරේ සැඟ වේ.   


අප්පුහාමි ද ගස මුදුනට නැග සැඟවී සිටින තලගොයාට පිහියෙන් ඇන ඔහු මරා ගනී. ගස් බෙනයකට, ගල් බෙනයකට හෝ හුඹස් බෙනයකට තලගොයා රිංගා ගත හොත් ඒ තුළ ඔහු පේන්නට සිටින විටක නම් අත දමා එළියට ඇද පිහියෙන් ඇන මරා ගනී. තලගොයා නොපෙනේ නම් බෙනයේ කට ළඟින් ගිනි මැලයක් ගසා බෙනය තුළට දුම් ගසන්නට පටන් ගනී. බෙනය තුළට දුම් පිරෙන විට ඒතුළ සිටීමට නොහැකි වන තලගොයා පැන දිවීම සඳහා පිටතට පැමිණේ. ඒ මොහොතේ පිහියෙන් ඇන හෝ සකස් කරගෙන සිටින පොල්ලකින් ගසා ඔහු මරා ගනී. මේ ආකාරයට මසකට තලගොයින් තුන් හතර දෙනෙකු හෝ මරා ගැනීමට අප්පුහාමිට පුළුවන්කම තිබිණි.

   
තලගොයි දඩයමෙන් පසු අප්පුහාමි තලගොයාගේ හනු දෙක කපා කට පළල් කොට වලිගයෙන් කොටසක් කට තුළට ඔබා තලගොයාගේ දෙතල්ල තද කොට ගැට ගසා රෝදයක් මෙන් රවුමක් තලගොයා ගෙන් සාදාගෙන තලගොයි රවුම අතින් එල්ලාගෙන හෝ උරහිසෙහි දමාගෙන ගම මැදින් නිවසට යාම ඔහුගේ විනෝදාංශයකි.   


මෙසේ කාලයක් ගත වන විට ගමේ වැඩිහිටියන් පමණක් නොව කොල්ලෝ කුරුට්ටන් පවා අප්පුහාමිට අප්පුහාමි නොකියා ගොයිහාමි යි නමක් පටබැඳ ගත්හ. හරක් බලන කොල්ලෝ පවා අප්පුහාමි හමු වු විට හා ගොයිහාමි මාමේ කියා විහිළු කොට දුව ගිය අවස්ථා විය. එහෙත් ඒ කිසිවකින් තලගොයි දඩයම නතර නොවිණ.   


දිනක් අප්පුහාමි හේනට යන විට ලඳු කැලෑවක තලගොයෙකු සිටිනු දුටුවේය. අප්පුහාමි පුරුදු පරිදි තලගොයා පසු පස පන්නා ගෙන ගියේය. වේගයෙන් දුව ගිය තලගොයා අසල තිබුණ හුඹස් බෙනයකට රිංගා ගත්තේය. තුඹස වෙත ගිය අප්පුහාමි බෙනයට එබි කම් කර බැළුවේය. තලගොයාගේ පසුපස කොටස බෙනය තුළ පෙනෙන්නට තිබෙන බව ඔහු දුටුවේය. ඉනේ ගසාගෙන සිටි උල් පිහිය අතට ගත් අප්පුහාමි හුඹස් බෙනයට අත දමා තලගොයාගේ වලිගය වැරෙන් අල්ලා එළියට අදින විටම යමක් අතේ ඇනුණ බව දැනු​ෙණ්ය. ඒත් තලගොයා අත නොහැර වෙර දරා ඔහු හුඹස් බෙනයේ කට ළඟටම ඇද්දා පමණි. අප්පුහාමිට දෙවියන් සිහි වී කෑ ගැසුණේය. තම වෙර දරා හුඹස් බෙනයෙන් එළියට ඇද ඇත්තේ තලගොයා නොව නාගයෙකු බව ඔහුට පෙනුණේ සිහිනයකින් මෙනි. කෝපාවිශ්ටව සිටි නයා කෑ ගසමින් දුවන අප්පුහාමි පසුපස පන්නමින් දෙතුන් පලකටම දෂ්ට ක​ෙළ්ය. සිහිවිකලයෙන් දුව ගිය අප්පුහාමි නිවෙස පෙනී පෙනීම මඟ ඇද වැටුණේය.   


එය දුටු අසල්වැසියෙකු වහාම පැමිණ ඔහු නිවසට ඔසවා ගෙන ගියේය. හරි හැටි සිහියක් නොතිබුණ අප්පුහාමිගෙන් බිරිඳත් අසල් වැසියාත් මොකද වුණේ මොකද වුණේ කියා කිහිපවරක්ම විමසන විට ඔහු ගොතගසමින් න න න යෙක් ගැහුවා යි කීවේය.   


වහාම ගමේ සර්ප වෙද මහතා එක්කවිත් ප්‍රතිකාර ලබා දුන්නත් පැය දෙකක් පමණ ගත වන්නටත් පෙර අප්පුහාමි මෙලොව හැර ගි​ෙය්ය.   


මේ පළ දුන්නේ අප්පුහාමි අහිංසක තලගොයින් මරා කෑ​ෙම් පළ විපාක විය නොහැකිද?  

 



 
බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දසනායක මහතා ලියා එවු කතාවකි.   

පාපතරයා තම ගිනි අවියෙන්ම නැසුණු හැටි  


මෙය දැනට වර්ෂ කිහිපයකට පෙර වයඹ පළාතට ආසන්න එක්තරා පිටිසර බද ගමක සිදු වු ශෝචනීය පුවතකි. ඔහු අපි සියදෝරිස් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු.   
ඔහු ප්‍රසිද්ධ දක්ෂ වෙඩික්කාරයෙකු වු අතර ඔහුගේ එකම කාර්යය වූයේ දිවා රෑ නොබලා දඩමස් සොයා යාමය. මත් පැනට හා දඩමසට දැඩි ලෙස ගිජු වු ඔහු දිනක් සවස් යාමයක තම ගම ආසන්නයේ පිහිටි කැලෑ රොදකට රිංගුවේ අධික ලෙස බීමත්වය. ඒ කවර හෝ සතෙකු දඩයම් කිරීමේ මහත් වූ අභිලාෂයෙනි.   


එකල එතරම්ම තහනමක් නොතිබු තම ගිනි අවිය කරපින්නාගෙන කැලෑ වැදුණු සියදෝරිස්ට කැලෑව පීරාගෙන යද්දී එකවරම නෙත ගැටුණේ තණ බුඳින මුව නාම්බෙකි. මුව නාම්බා දුටු ඔහු වහා තම ගිනි අවිය අතට ගෙන කුරුමානම් අල්ලා මුව නාම්බාට ගිනි පිම්බේ ක්ෂණිකව වැදුණු වෙඩි පහරින් මුව නාම්බා ඇද වැටුණු අතර ගිනි අවියට තවත් පත​රොමක් දමා ගත් සියදෝරිස් ක්ෂණිකව මුව පොව්වා ළඟට දිව ගියේ මුව පොව්වා නොමැරී සිටිය හොත් තව සැරයක් ගිනි පිඹීමේ අදහසිනි.   


මුව පොව්වා කුදලා ගෙන ඒමේ අදහසින් සියදෝරිස් මුව නාම්බා ඉස්සුවද තවමත් නොමැරී සිටි මුව පොව්වා ඔහුගේ අත් වලින් මිදී දිව යෑමට තැත්කරත්ම තම ගිනි අවියට නැවත පත​රොමක් දැමූ බැව් අමතක වූ සියදෝරිස් තම ගිනි අවිය අතට ගෙන ගිනි අවි බටය තමා දෙසට හරවා ගෙන මුව පොව්වාගේ හිසට වැරෙන් ගිනි අවියේ බඳෙන් පහරවල් කිහිපයක් ගසත්ම ගිනි අවිය පත්තු වී සියදෝරිස්ගේ පපු පෙදෙස පලා ගෙන ගියේ මේ ජීවිතයේදීම කළ කම් පළ දෙමිනි. තම ගිනි අවියෙන්ම තම ජීවිතය අහිමි කර ගත් සියදෝරිස්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ ඔහුගේ පෙණහැල්ල පසාරු කරගෙන වෙඩි පහර පිටවී ඇති බවය. 

 

 


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්