දිනෙන් දින සිදුවෙන අපරාධ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ අපරාධ නිවාරණයට අදාළ කතාබහ වේගවත් වී ඇති ආකාරයක් දක්නට ලැබේ. අපරාධ මර්දනය සඳහා ක්‍රියාකරන ආයතනවල කාර්්‍යක්‍ෂමතාව ගැනත් පසුබිමේ අදහස් විවේචන මතුවෙමින් තිබෙන ආකාරයක් හඳුනාගත හැකිය. මෙවර විද්වත් හමුවෙන් සාකච්ඡා කෙරෙන්නේ මෙම කරුණු කාරණා පිළිබඳවය. අදහස් දක්වන්නට එක් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධිකා බුද්ධදාස මහත්මියයි. 


ප්‍රශ්නය :- රටේ දිනෙන් දින වැඩිවෙන අපරාධ පිළිබඳ විවිධ අර්ථ විග්‍රහ ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ මොන විදියටද?
පිළිතුර :-
අපරාධ කියන ඒවා ඕනෑම සමාජයක තියෙනවා. ඈත අතීතයේ ඉඳළම අපරාධ තිබුණා. අදත් තියෙනවා. ඒ නිසා අපරාධ හෙට නැතිවෙයි කියලා කියන්න බැහැ. අපරාධවල තියෙන ලක්‍ෂණයක් තමයි ඒවා කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට වෙනස්වීම. විද්වතුන් අපරාධ දිහා අංශ දෙකකින් අවධානය යොමු කරලා තියෙනවා. එකක් තමයි සමාජමය දෘෂ්ටිකෝණය. දෙක නෛතික ද්‍රෘෂ්ටිකෝණය. සාමාජීය ද්‍රෘෂ්ටිකෝණයෙන් ගත්තම සමාජයේ තියෙන සිරිත් - විරිත්, ආකල්ප වගේ දේවලට පටහැණි ක්‍රියාවන් සලකා බැලෙනවා. ඒවට අපි ‘අපගාමී චර්යාවන්’ කියලා කියනවා. එවැනි චර්යාවන් නෛතික (නීතිමය) ද්‍රෘෂ්ටිකෝණයෙන් බලද්දී අපි ඒවාට අපරාධ කියලා කියනවා. එතකොට අපරාධ කියන එක බොහෝ වෙලාවට නීතියත් එක්ක බද්ධවෙලා යන එකක්. 
අපරාධවල තියෙන තව ලක්‍ෂණයක් තමයි ඒවට අනිවාර්යයෙන්ම දඬුවමක් හිමිවීම. අපරාධයක් කියන්නෙ පවතින නීති උල්ලංඝනය කිරීමක්. ඒ වගේම අපි සමහර දේවල් කරන්න නීතියෙන් බැඳිලා තිබෙනවා. ඒවා නොකර සිටියොත් ඒකත් අපරාධයක් වෙනවා. ඒ කියන්නෙ යම් කිසි දෙයක් ‘කිරීමත්’, ‘පැහැර හැරීමත්’ කියන මේ දෙකම අපරාධයක් වන අවස්ථා තියෙනවා.


කාලීන අවශ්‍යතාත් එක්ක අපරාධ කියන සංකල්පයත් නවීකරණය වෙලා තියෙනවා. අපි වර්තමානයේදී පරිසරය ගැන හැම ක්ෂේත්‍රයකදීම කතා කරනවනෙ. ඒ අනුව පරිසරය සමඟ බද්ධ වුණු අපරාධ විද්‍යාවකුත් අද වෙනකොට බිහිවෙලා තියෙනවා. ඒකට අපි හරිත අපරාධ :ඨරුැබ ක්‍රසපසබ්ක* කියලා කියනවා. මේකෙදී අපි හුඟක් වෙලාවට සලකා බලන්නෙ අපරාධයක් සිද්ධ වීමට බලපාන පාරිසරික සාධක මොනවද කියලා.


මේ න්‍යාය යටතේ පරිසරය කොටස් දෙකක් යටතේ හඳුනාගෙන තියෙනවා. එකක් තමයි ස්වාභාවික පරිසරය. අනික් නිර්මිත පරිසරය. ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන වගේ අපරාධ ගත්තොත් ඒවා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ලඳු කැලෑ පාළු ස්ථාන වගේ තැන්වල. ඒවා තමයි ඒ අපරාධ සිද්ධිවලට දායකවෙන ස්වාභාවික පරිසර සාධක.


සමහර ගෙවල් හදලා තියෙන විදියත් අපරාධයක් කරන්න යම් කිසි විදියකින් දායකත්වයක් සපයන්න පුළුවන්.
 උදාහරණයකට පාළුවට අතඇරලා දාලා තියෙන ගෙයක් නම්. ඒ වගේ ගෙයක් සොරාකෑමට තියෙන ඉඩ වැඩියි. ඊළඟට අඳුරු, කළුවර තැන්වලත් වැඩිපුර  අපරාධ සිදු වෙන්න පුළුවන්. මේ වගේ පාරිසරික සාධකත් අපරාධවලට අදාළව හදුනා ගන්න පුළුවන්. අපරාධ විද්‍යාවේ මූලික අරමුණ තමයි අපරාධ පාලනය සහ නිවාරණය. පුද්ගල, මනෝ විද්‍යාත්මක සමාජීය වගේම මේ පාරිසරික සාධකත් හඳුනාගෙන අපිට පුළුවන් අපරාධ පාලනය කරන්න. 


ප්‍රශ්නය :- සමාජයක අපරාධ වැඩිවීම නිසා ඒ සමාජයට විය හැකි බලපෑම අපරාධ විද්‍යාවේදී මොන විදියටද හඳුනාගෙන තිබෙන්නේ?
පිළිතුර :-
අපරාධ නිසා අපේ ජීවිතවල ගුණාත්මකභාවයට හානි සිදු විය හැකියි. ඒ හානිය අපරාධ විද්‍යාවේදී අපි අංශ කීපයක් යටතේ හඳුනාගෙන තියෙනවා. එකක් තමයි තනි පුද්ගල වශයෙන් ගත්තම අපරාධ නිසා පුද්ගලයාට යම් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. උදාහරණයකට සමාජයේ අපරාධ වැඩි වෙනකොට පුද්ගලයා තමන්ගෙ ගෙදර සී.සී.ටී.වී. කැමරා සවිකරන්න හිතනවා. නැත්නම් ආරක්‍ෂක නිලධාරියෙක් පත්කර ගන්නවා. එතකොට පුද්ගලයගෙ පිරිවැය වැඩි වෙනවා. ඊළඟට අපරාධ වැඩිවීම නිසා සමාජීය වශයෙන් විය හැකි බලපෑමක් තියෙනවා. මිනිස්සුන්ගෙ නිදහසට විශාල වශයෙන් හානි පැමිණෙනවා.


ප්‍රශ්නය :- සමාජ ක්‍රමයේ වරදින් අපරාධකරුවො බිහිවෙනවාය කියන අදහස ඉතා ජනප්‍රිය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. නූතන අපරාධ විද්‍යාවට අනුව ඊට එහා ගිය හේතු සාධකත් මේ සඳහා බලපාන බවට හඳුනගෙන තිබෙනවද?
පිළිතුර :-
අපරාධවලට සිද්ධි ගණනාවක් බලපානවනෙ. පුද්ගල සාධක, මනෝ විද්‍යාත්මක සාධක ආදී නොයෙකුත් දේවල්. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ ඉලක්කයක් කරා ළඟා වෙන්න බැරිවුණහම ඇතිවෙන ඉච්ඡාභංගත්වය නිසාත් අපරාධවලට යොමු වෙන්න පුළුවන්. ලෝකය විශ්ව ගම්මානයක් කියන සංකල්පයත් එක්ක අද වෙන විට පුද්ගලයො ගොඩක් සමීපවෙලා තියෙනවා. දුරකථනය අන්තර්ජාලය වගේ තාක්‍ෂණය සමඟ බද්ධ වෙච්ච දේවල් අපිට මිනිසුන් සමඟ සමීප වීමට උදව් කරනවා වගේම අපිව යම් යම් දේවල්වලට ගොදුරු කර ගන්නත් ඉවහල් වෙනවා. මේ එක්කම අපරාධවල ස්වරූපයත් වෙනස් වෙනවා. ඒ නිසානෙ ‘සයිබර් අපරාධ’, ‘පරිගණක අපරාධ’ වගේ සංකල්ප බිහිවෙලත් තියෙන්නෙ. මේකෙන් පැහැදිලි වන්නේ අපරාධ කියන සංකල්පය කාලීන වශයෙන් වෙනස් වෙලා තියෙනවා කියන එක. එතකොට අපි ඒ අපරාධ නිවාරණය කිරීම සඳහා අලුතින් නීති හඳුන්වලා දෙන්න වෙනවා. 

 


ප්‍රශ්නය :- අපරාධ නිවාරණය සම්බන්ධ කාරණයේදී රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක භාවය පිළිබඳ සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
පිළිතුර :-
ඒක නිරන්තරයෙන් විවේචනයට ලක්වෙන බවක් දකින්න පුළුවන්. එක එක පැතිවලට අපි ඇඟිල්ල දික්කරනවා. ඇයි මෙහෙම වෙන්නෙ කියන එකයි අපි බලන්න ඕනෑ. යම කිසි වරදක් කරපු පුද්ගලයෙක්ව අපි සිරගත කරන්නෙ ඔහුට දඬුවමක් දෙන්නනෙ. ඒ පුද්ගලයා හිරේදී සැප සම්පත් වරප්‍රසාද භුක්ති විඳිනවා නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එවැනි දේවල් සිදුවෙන්න බලපාන හේතු මොනවද කියලා අපි බලන්න ඕනෑ. අපරාධ නිවාරණය හා සම්බන්ධ රාජ්‍ය ආයතනවල තියෙන ප්‍රශ්න, ඒවායේ ඉන්න සමහර නිලධාරීන් අපරාධකරුවන්ට උදව් කරනවා නම් ඇයි එහෙම කරන්නෙ? නීතියේ තියෙන හිඩැස් නිසාද එහෙම වෙන්නෙ? ආදී කාරණා ගැන සොයා බැලීම අවශ්‍යයි. මේවා ගැන කිසිම පාර්ශ්වයකට ඇඟිල්ල දික්කිරීමට ඉස්සෙල්ලා ගැඹුරින් අපක්‍ෂපාතීව සොයා බලන එකයි කළ යුත්තෙ. ඊට පස්සෙ අවශ්‍ය පියවර ගන්න එක තමයි වඩාත් හොඳ.

 


ප්‍රශ්නය :- ඔබ මේ සාකච්ඡාව ආරම්භයේදී කිව්වා පවතින නීතියක් උල්ලංඝනය කිරීමක් අපරාධයක් ලෙස සැලකෙනවා කියලා. නීතියේ තිබෙන හිඩැස්, අසාධාරණ නඩු තීන්දු මේ වගේ නීතිමය කාරණා නිසාත් අපරාධකරුවො බිහිවෙන බවට මතයක් තිබෙනවා. ඔබ ඒ කාරණය විග්‍රහ කරන්නෙ කොහොමද?
පිළිතුර :-
ඒවගේ දේවල් තියෙනවා. නඩු තීන්දු පිළිබඳ කාරණය ගත්තොත් නීතිඥයන්ගෙ තර්ක - විතර්ක මැදනෙ තීන්දුව තීරණය වෙන්නෙ. සමහර වෙලාවට වරදක් වෙන්නත් බැරි නෑ. ඒ කොහොම වුණත් කිවයුතු වැදගත්ම දේ තමයි මේ වගේ දේවල් දිහා එක්කො බාහිරින් බලලා නැතිනම් මාධ්‍ය වාර්තා පමණක් කියවලා නිගමනවලට ඒම නොකළ යුතුයි. අපක්‍ෂපාතීව අධ්‍යයනය කරලා විවිධ පැතිකඩවලින් බලලා තමයි අපි මේවා ගැන තීරණ ගත යුත්තෙ. මොකද එසේ නොකර ඒ දේවල් ගැන කතා කිරීම අපි අධිකරණයට කරන අපහාසයක් වෙන්නත් පුළුවන්.

 


ප්‍රශ්නය :- අපරාධ මැඩලීම සම්බන්ධ කාරණයට අදාළව ශාස්ත්‍රාලීය මට්ටමින් සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමාණය සහ ඒවායෙන් මතුකර ගන්නා තොරතුරු භාවිතයට ගැනීම යන කාරණා දෙක ගැන ලංකාවේ තිබෙන සාකච්ඡාව පිළිබඳ ඔබේ මතය කුමක්ද?
පිළිතුර :-
වර්තමානයේදී අපේ විශ්වවිද්‍යාලය තුළ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ විෂයට අදාළව නිරන්තරයෙන් පර්යේෂණ සිදු කරනවා. මෙතනදී මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන්ගේ නම සඳහන් කළ යුතුයි. මොකද එතුමගේ සිහිනයක් සැබෑ වීමක් හැටියට තමයි මේ අපරාධ විද්‍යා දෙපාර්තමේන්තුව බිහි වුණේ. ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාවේ පියා හැටියට මම හඳුන්වන්නෙ එතුමව. අනික් කාරණය තමයි අපි මේ විෂයට අදාළව පර්යේෂණ කරලා විතරක් මදි. ඒ කරපු පර්යේෂණවලින් අනාවරණය කරගත්න දේවල් ගැන බලධාරීන් දැනුම්වත් කිරීමත් අපේ වගකීමක්. අපි ගොඩක් වෙලාවට පොලිසිය, බන්ධනාගාරය, පරිවාස කාර්යාලය වගේ ආයතනවලින් තොරතුරු ගත්තට ඒ වෙනුවෙන් යම් කිසි ප්‍රතිඋපකාරයක් අපෙන් සිදු වෙන්නෙ නැද්ද කියන සැකය මට ඇති වෙනවා. ඒ නිසා අපි පර්යේෂණයක් කළහම ඒ පර්යේෂණයේ තොරතුරු ඇතුළත් සාරාංශ වාර්තාවක් තොරතුරු ලබාගත් ආයතනවලට ලබාදීම කෘතගුණ සැලකීමක් හැටියට මම දකිනවා.

 


ප්‍රශ්නය :- අපරාධ පිළිබඳ කරන කතාබහකදී අපේ අවධානය යොමුවෙන තව කාරණයක් තමයි අපරාධකරුවන් සහ ඇතැම් දේශපාලනඥයන් අතර තිබෙන සම්බන්ධය. අපරාධ මැඩලීමට අදාළව මෙමගින් සිදුවෙන බලපෑම ඔබ විග්‍රහ කරන්නෙ කෙසේද?
පිළිතුර :-
ඒක ගැන නොයෙකුත් කතා තියෙනවා. මමත් ඔය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තමයි තොරතුරු ලබා ගන්නෙ. අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් කරන විද්‍යාත්මක පරීක්‍ෂණයකින් තමයි අපිට ඔය කාරණා ගැන හරි නිගමනයකට එන්න පුළුවන් වෙන්නෙ.

 


ප්‍රශ්නය :- අපරාධ නිවාරණයේදී නීතිය, ක්‍රියාත්මක කරන ආයතන පර්යේෂණවලින් මතුකර ගන්නා තොරතුරු ආදිය නිරතුරුව යොදා ගන්නා නමුත් සමාජය ප්‍රබල ලෙස ඊට සම්බන්ධ කර නොගන්නා බවට අදහසක් තිබෙනවා. අපරාධ පාලනය කිරීමේදී සමාජය සමඟ පවත්වාගත යුතු සබඳතාවේ ස්වරූපය ඔබ හඳුනා ගන්නේ කෙසේද?
පිළිතුර :-
පොලීසිය තමයි මහජනයට කිට්ටුවෙන්ම ඉන්න ආයතනය. එහෙම නම් අපි මෙතනදී කළ යුත්තෙ පොලීසියයි මහජනතාවයි අතර තියෙන සම්බන්ධය වැඩිදියුණු කරන එක. පොලිසිය ගැන මහජනතාවට තියෙන විශ්වාසය ඉහළ නංවන්න ඕනෑ. ඊළඟට බලන්න ඕනෑ කොහොමද මේක කළ යුත්තෙ කියලා. ඒ සම්බන්ධ වගකීම පොලිසියට වගේම මහජනතාව වන අපිටත් තියෙනවා. මම දැන් දකින දෙයක් තමයි ඉස්සර තිබුණට වඩා පොලිස් නිලධාරීන්ගෙ කර්කශ බව අඩුවෙලා තියෙනවා කියන එක. යහපත් පොලිස් මහජන සම්බන්ධයකට ඒ තත්ත්වය පදනමක් කරගත යුතුයි කියන එක තමයි මගේ අදහස. මෙතැනදී අපි පොලිසිය පැත්තෙනුත් බලන්න ඕනෑ.


පොලිසියෙ අයගෙ රාජකාරිය පොතක ලියලා කරන්න බෑ. අවස්ථානුකූලව ඒ අයට කටයුතු කරන්න වෙන අවස්ථාත් තියෙනවා. පොලිසිවල ඉන්නෙත් මිනිස්සුනෙ. ඒ අයත් ගොඩක් වෙලාවට ආතතියෙන් ඉන්නෙ. එහෙම තත්ත්වයක ඉන්න ඕනෑ කෙනෙක් කිසියම් දෙයකට ප්‍රතිචාර දක්වන්නෙ ටිකක් සැර විදියට. ඒ නිසා අපි මේ තත්ත්වයත් හොඳට තේරුම්ගත යුතුයි. අපි කරපු පැවැරුම්වලින් හෙළිවුණු තව කාරණයක් තමයි පොලිසියට පැවරිලා තියෙන වැඩ කොටස කරන්න ප්‍රමාණවත් නිලධාරීන් නැතිකම. තව භෞතික සම්පත්වල හිඟයකුත් තියෙනවා. අනිත් එක තමයි දැන් සැලකියයුතු ප්‍රමාණයකින් පොලිස් කාන්තාවොත් ඉන්න නිසා ඒ අයගෙ විශේෂ අවශ්‍යතාවන්ට සරිලන විදයට පහසුකම් ඇති කළ යුතුයි. පොලිස් සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නම් මේ ගැටලු හඳුනාගෙන ඒවට පිළියම් යෙදීම අවශ්‍ය වෙනවා. ඒ වගේම රාජකාරිය නිසිලෙස සිදුකරන නිලධාරීන් ඇගයීමක් කළ යුතුයි.

සාකච්ඡා කළේ : උපුල් වික්‍රමසිංහ