දැඩිලෙස අපවිත්‍ර වී ඇති මීගමුව වෙරළ

 

ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණය පිළිබඳ මූලික කටයුතු ආරම්භ වූයේ වෙරළබඩ ගැටලු පිළිබඳව රජයේ මූලික අවධානය යොමුවූ 1963 වසරේදීය. ඒ අනුව කොළඹ වරාය කොමිසම යටතේ වෙරළ ආරක්ෂණ ඒකකයක් 1963 දී ආරම්භ වූ අතර, 1978 දී ධීවර කටයුතු අමාත්‍යාංශය යටතේ වෙරළ සංරක්ෂණය පිළිබඳව වෙනම අංශයක් ස්ථාපිත කරන ලදී. 
 
පසුව 1981 අංක 57 දරන පනත යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත විය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙවර ලෙස ඔවුන්ගේම ප්‍රකාශනවල සඳහන් වන්නේ, ‘වෙරළබඩ සම්පත් තිරසාර ලෙස සංවර්ධනය කිරීම හා වෙරළබඩ ක්‍රියාවලිය කළමනාකරණය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් ප්‍රශස්ත මට්ටමක් කරා යොමු කිරීම’ බවයි.  


1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළ කලාපය යනු මධ්‍යනය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර් තුන්සියයක (මීටර් 300) සහ මධ්‍යනය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර් දෙකක (කි.මී. 02) සීමාවක් ඇතුළත පිහිටි ප්‍රදේශයයි.  


වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රාදේශීය කාර්යාල ගණන හතරක් වන අතර ඒවා ගාල්ල, මොරටුව, මීගමුව හා මාතර ප්‍රදේශවල පිහිටුවා තිබේ. එම දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කරන පරිදි වෙරළ කලාපය තුළ සිදුකරන අනවසර ක්‍රියාවන් පාලනය කිරීම සඳහා වෙරළ ආරක්ෂක බළකාය පිහිටුවා ඔවුන් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් අනුයුක්ත කර ඇත.  


දූපතක් වූ අපේ රටේ වෙරළ රැකගැනීම සඳහා පිහිටුවා ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම හා ඊට අයත් කාර්ය භාරයන් එසේ වුවද මීගමුව වැනි ප්‍රදේශයක වෙරළ තීරයකට ගිය පසුව සිතෙන්නේ අ​පේ රටේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබේද? හා වෙරළ රැකගැනීමට රජය සතුව වැඩපිළිවෙළක් තිබේද යන්නයි.  

 

වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම්

 


අතීතයේදී ශ්‍රී ලංකාවේ සුන්දරතම වෙරළ තීරය පිහිටා තිබුණේ මීගමුවේය. එසේම විදෙස් සංචාරකයින් වැඩිම පිරිසක් තම නිවාඩුව ගතකිරීම සඳහා තෝරා ගත්තේද මීගමුවයි. ඒ මීගමුව වෙරළ තීරයේ ඇති ආකර්ෂණීය බව නිසාය.  


අපේ රටේ දේශපාලකයන්ට පින්සිදු වන්නට අද වන විට මේ රටේ අපිරිසිදුම වෙරළ තීරය බවට පත්ව ඇත්තේ මීගමුවය. ඒ බව එහි යන කාටත් පසක් වනු ඇත. පනහ දශකයේදී එංගලන්ත මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණි විට නවාතැන් ගත්තේද මීගමුව තානායමේය. ඒ තානායමට ඉදිරිපිටින් පිහිටි සුන්දර වෙරළට තිබූ දැඩි කැමැත්ත නිසාය. එහෙත් අද වන විට නාසයක් ඇති මිනිසකුට වෙරළට තබා අසළ පිහිටි තානායමට හෝ යාමට නොහැක්කේ වෙරළ තුළ පවතින දැඩි දුර්ගන්ධය නිසාය.  


සංචාරක ආකර්ෂණය තව තවත් වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධනය කළ යුතුව තිබුණු මීගමුව වෙරළ තීරය අද භාවිත වන්නේ කරවල වේළීම සඳහාය. මාළු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහාය. බල්ලන් හා කපුටන් බහුලව භාවිත කරන මේ වෙරළ තීරයේ අද වන විට දේශපාලකයන්ගේ හෙංචයියන් විසින් නිවාස ඉදිකර පදිංචි වී සිටීම බරපතළ ගැටලුවකි. වෙරළ සංරක්ෂණ නීතියට අනුව වඩදිය ඉම සිට ගොඩබිම දෙසට වන්නට මීටර් 300ක් වෙරළ කලාපය වුවත් අඩි 50-60 සීමාව තුළ මෙම අනවසර ස්ථිර නිවාස සාද‌ා ඒවාට ස්ථිර විදුලි සැපයුම්ද රජය විසින්ම ලබාදී තිබීමම මෙම ඛේදවාචකයේ බරපතළකම කියාපායි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් මීගමුවේ පිහිටා තිබියදීම මීගමුව වෙරළට සිදුවන මෙම අවනඩුව කාට කියම්ද?  


මාළුන්ගේ අපද්‍රව්‍ය කොටස් හා විවිධ අපද්‍රව්‍ය බැහැර කරනු ලබන්නේද මෙම මුහුදු වෙරළටය. ඒවා මුහුදට එකතුවීමෙන් දැඩි පාරිසරික හානියක් සිදුවේ. කිසිදු සංචාරකයකුට අසලින්වත් යාමට නොහැකි වී ඇති මෙම වෙරළ තීරය අතීතයේදී දෙස් විදෙස් සංචාරකයින්ගේ පහස ලද වෙරළ තීරයකි. එහෙත් අද වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් කර මුදල් ගෙවා යා යුතු වෙරළ තීරයක් දේශපාලකයන් විසින්ම නිර්මාණය කර ඔවුන්ගේ ඥ‌ාතීන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පවරාදී තිබේ.  


එපමණක්ද නොවේ, වෙරළ තීරය අසල පිහිටි ලෝ ප්‍රකට තානායම ද අද මැස්සන් ඇසිරෙන ස්ථානයක් බවට පත්ව තිබේ. ඒ අසල පිහිටි නිව්ස්ටඩ් බාලිකා විදුහලේ දරුවන් ඉගෙනීම් කටයුතු කරන්නේද වෙරළෙන් නිකුත්වන අධික දුර්ගන්ධය මැදය. මීගමුව තානායම සතුව අැති සමරු සටහන් පොතක සඳහන්ව ඇති අන්දමට මෙරට හා විදේශීය රාජ්‍ය නායකයින්, විදේශ තානාපතිවරුන්, මෙරට ප්‍රකට දේශපාලකයන් සමරු සටහන් තබා ඇත්තේ මීගමුව වෙරළ තමන් දුටු ලෝකයේ සුන්දරම වෙරළ තීරයක් බවය. එහෙත් අද වන විට බොහෝදෙනා එය හඳුන්වන්නේ එය ලොව පිහිටි අපිරිසිදුම වෙරළ බවයි.  


මීට වසර කීපයකට පෙර ඉරිද‌ා ලංකාදීපය මගින් මෙම වෙරළ තීරයට සිදුකර ඇති හානිය පිළිබඳව තොරතුරු හෙළි කළ විගස ක්‍රියාත්මක වූ කටුනායක යුද හමුද‌ා කඳවුරේ නිලධාරීන් පැමිණ හමුද‌ාව යොදවා සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කර වෙරළ සම්පූර්ණයෙන්ම පවිත්‍ර කළහ. එහෙත් ඒ තත්ත්වය තිබුණේ ඉතා කෙටි කාලයක් පමණි. අද වන විට ඊට වැඩි වේගයෙන් වෙරළ තුළ අනවසර නිවාස ඉදිකර තිබේ. ඊටත් වඩා වෙරළ අපවිත්‍ර වී තිබේ.  

 

වෙරළේ ඉදිකර ඇති නිවාසවලට විදුලි සැපයුම් ලබාදී ඇති අයුරු

 


මීගමුව වෙරළ තීරය මේ රටට මත්කුඩු හා කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙසද සැලකේ. මේ ජාවාරම් සඳහා ද ද‌ායක වී සිටින්නෝද මීගමුවේ සිටින දේශපාලකයින්ය. වෙරළ කලාප සංවර්ධනය නොකර ඒවා ජනශූන්‍ය ප්‍රදේශ බවට පත් කර ඔවුන් මෙම වෙරළ තීරයද තම ජාවාරම් සඳහා යොද‌ා ගන්නවාද යන ගැටලුවද මෙහිදී පැනනගී.  


කෙසේ වෙතත් මෙම සුන්දර වෙරළ තීරය රටේ අපිරිසිදුම වෙරළ බවට පත්කිරීම සඳහා සියලු දේශපාලකයින් පක්ෂ පාට භේදයකින් තොරව සම්බන්ධ බව පැහැදිලිය. මීගමුව නගර පාලනය සඳහා බලය ස්ථාපිත කර ගැනීම සඳහා විවිධ දේශපාලකයන් හරහා රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු සිදුවන බවත්, එසේ බලයට පත්වූ දේශපාලකයින්ගේ කිසිදු ක්‍රියාකලාපයකට එරෙහිවීමට කිසිවකුට හෝ ශක්තියක් නොමැත්තේද ඒ මිල මුදල් හුවමාරු නිසා බවද ජනතාවගේ අදහසයි.  


අපේ දේශපාලකයන් යනු ජනතාවගේ සුබසිද්ධිය පිණිස තීන්දු තීරණ ගන්නන්ට වඩා තමාගේ තම වරිගයාගේ බඩගෝස්තරය වෙනුවෙන් කටයුතු කරන්නන් බව මුළු ඉතිහාසය පුරාවටම ඔප්පු කර තිබේ. නමුත් ගැටලුව ඇත්තේ වෙරළ රැකීමට යැයි කියමින් සිටින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මර නින්දක පසුවීමයි.  


ජනතා මුදලින් නඩත්තු වන මෙම ආයතන හා එහි නිලධාරීන් මීගමුව වෙරළ තීරයේ පිහිටුවා ඇති ස්ථිර අනවසර නිවාස පිළිබඳව කීමට ඇත්තේ කුමක්ද?  


වෙරළ තීරයේ කරවල වේළීමට ඇති අයිතිය පිළිබඳව කීමට ඇත්තේ කුමක්ද? මීගමුවේම අැති ධීවර අපද්‍රව්‍ය වෙරළට දමා මීගමුවම ගඳ ගස්සන ක්‍රියාවට ඔවුන්ට කීමට ඇත්තේ කුමක්ද? ඔවුන්ට කීමට කිසිදු දෙයක් නොමැති බව අපි සිතන්නෙමු. එහෙත් අපට කියන්නට දෙයක් ඇත. ඒ හදිසි පනතක් සම්මත කර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඈවර කර දැමීම වඩා යහපත් බවය.  

 

 

 

 


දොම්පේ අජිත් මදුරප්පෙරුම