“මම හිතන්නේ මේක මම කරපු පෙර කරුමයක්. ඒ කරපු පව්වලට වන්දි අද මම ගෙවන්නේ මේ හිරගෙදර කටුක ජීවිතයෙන්. එදා මම ටිකක් සිහි බුද්ධියෙන් කටයුතු කළා නම් අද මට මෙහෙම නොවෙන්න තිබුණා.” 


ඔහු, නමින් පියසිරි ලෙසින් හඳුන්වමු. පනස් දෙවැනි වියේ පසුවන ඔහු, මට හමුවූයේ ‘පසුතැවිල්ල’ විශේෂාංගය වෙනුවෙන් කතාංගයක් සකස් කිරීමට ඉකුත් දිනෙක වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් සිටියදීය. ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ ඔහු වසර 30ක සිර දඬුවමක් විඳිමින් සිටියේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේය. සිරකරුවන් සම්බන්ධ විශේෂ වැඩසටහනක් වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන අවුත් සිටි ඔහු, මා හා දොඩමලුවෙමින් සිය ජීවිත කතාව කියන්නට පටන් ගත්තේ දැඩි උනන්දුවකිනි. 


මාතර ප්‍රදේශයේ ඉපිද කුරුඳු තැළීමෙන් ජීවිකාව සරිකරගත් පියසිරි වයස අවුරුදු 32ක් වන විටදී හිරගෙදරට එන පාර ඔහු විසින්ම කපාගෙන තිබිණි. 


“එතකොට මම කරන්දෙණියේ කුරුඳුවත්තක වැඩට යනවා. ඒ 1995 වර්ෂය. මම වත්තේ වැඩට යද්දි ඒ කිට්ටුවම ගෙදරක වයින් විකුණුවා. ඒ කියන්නෙ රට අරක්කු. වැඩ කරලා හවස මම ඒ ගෙදරට යන්න පුරුදු වෙලා හිටියා පොඩි අඩියක් ගහන්න. ඒ ගෙදර අරක්කු විකුණුවේ මාලනී. ඒ කියන්නේ ගෙදර දෝණි. අම්මයි තාත්තයි බිස්නස් එක ජයට කරද්දි ගෙදර තියාගෙන විකුණුවේ දුව.” 


දවසේ වෙහෙස මහන්සිය නිවා ගැනීමට මත්වතුර ඩිංගක් කටේ හලා ගැනීමට පුරුදුව සිටි පියසිරිගේ ජීවිතයට මාලනී ළංවන්නේ මේ අතරවාරයේදීය. එහෙත්, සැබෑව නම් මේ මාලනිය යනු ඒ වනවිට දැරියකි. 


“මාලනී මට කිව්වේ එයාට වයස අවුරුදු දහ හතයි කියලා. එයා එයාගේ දුක කිය කිය ඇඬුවා. මට එයා ගැන ආදරයක් ඇති වුණා. මම හිතුවේ නැහැ ඒ අනුකම්පාව මගේ ජීවිතයේ අවසානය වෙයි කියලා.” 


තම මාපියන්ගේ වරදින් තමන් මේ නරකාදියට වැටුණු බවත්, මත්වතුර බීමට පැමිණි හමුදා සාමාජිකයකුගේ අතින් තමන් අනාථ වූ බවත් කියමින් මාලනී නිතර නිතර පියසිරිගේ හදවතට අනුකම්පාව උපද්දවමින් සිටියාය. අවසානයේ දී ඇය ජය ගත්තීය. 


“එක දවසක් මම මාලනීව අරගෙන අපේ ගෙදර ආවා. අපේ අම්මා මාලනීව දැකලා කිව්වා අනේ අහිංසක කෙලි පොඩ්ඩ. ඒත් වයස මදි නිසා වයස හරියනකල් මෙහේ හිටපුවාවේ. වයස හරි ගියාම පුතාට කසාද බන්දලා දෙන්නම් කියලා. මාලනී අපේ ගෙදර හිටියේ දවස් 14යි. එක දවසක් මම ගෙදර හිටිය දවසක පොලීසියෙන් ආවා.” 


මාලනීගේ මාපියන් පියසිරි සම්බන්ධයෙන් මාතර පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ දහතුන් හැවිරිදි තම දියණිය පැහැරගෙන ගොස් දූෂණය කළ බව සඳහන් කරමිනි. 
“මම දන්නේ නැහැ මාලනීගේ වයස අවුරුදු 13යි කියලා. එයා කිව්වේ අවුරුදු 17යි කියලා. අවුරුදු 18ට අඩු නිසයි එයාව බැන්දේ නැත්තේ. මාව පොලීසියෙන් අල්ලගෙන යද්දි එයා කෑ ගහලා ඇඬුවා. මාව අරන් යන්න එපා කියලා මාව බදාගත්තා. එයා කිව්වා මම ආවේ මගේ කැමැත්තෙන් කියලා. එතකොට පොලීසියෙන් කිව්වා ඒක උසාවියට ගිහින් බලාගමු එන්න යන්න කියලා. ඒත් මම කරලා තියෙන්නේ බරපතළ වරදක්නේ.” 


තමන් සිදුකර තිබූ වරදේ බරපතළකම පියසිරිට වැටහෙන විට ඔහුගේ ජීවිතයේ ඉරණම දෛවය විසින් විසඳමින් සිටියේය. බාලවයස්කාර දැරියක අපයෝජනය කර දූෂණය කළැයි කියන සිද්ධියට අදාළව මාතර පොලීසිය මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත් කරනු ලැබ තිබිණි. ඇප නොමැතිව දින 50කට අධික කාලයක් පියසිරි හිරගෙදර සැකකරුවෙකු ලෙස දුක් වින්දේය. පසුව මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා බලපිටිය මහාධිකරණය හමුවේ පියසිරිට විරුද්ධව අධිචෝදනා ගොනු කරනු ලැබුවේය. 


“නඩුව ඉවර වෙන්න අවුරුදු නවයක් ගත වුණා. ඒ කාලේදි මම දුරින් මගේ ඥාති වෙන නංගි කෙනෙක් කසාද බැන්දා. අපිට දුවෙකු ලැබුණා. අපි ගොඩාක් සතුටින් හිටියා. මාලනී වෙන කෙනෙක් කසාද බැන්දා. එයා සාක්ෂි දෙන්න උසාවියට ආවේ දරු ගැබත් එක්ක. වෛර කරලා වැඩක් නැහැනේ. මම ඉවසාගෙන හිටියා. මම කරන්දෙණිය වත්තේ වැඩට යන එක නැවැත්තුවා. මම මාතර පැත්තේ වත්තකට වැඩට ගියා. ඒත්, අපි කරපු පව් අපිට මිහිපිට පඩිසන් දෙනවා.” 


පියසිරිගේ බිරිඳ දරුණු පිළිකා රෝගයකින් දුක්විඳීමෙන් පසු ජීවිතයෙන් සමු දෙන්නේ මේ අතරවාරයේදීය. විවාහ ජීවිතයට වසර පහක් ඉක්ම යාමටත් පෙර තම බිරිඳ, සිඟිති දියණියක ද තමන් වෙත දායාද කරමින් ජීවිතයෙන් නික්ම යාම ඔහුට දරා ගැනීමට නොහැකි කරුණක් වූයේය. 


“මට හිතුණා මේ ජීවිතේ මොකටද කියලා. මම ඇඬුවා. කෑ ගහලා ඇඬුවා. මැරෙන්න හිතුවා. අන්තිමට දරුවා වෙනුවෙන් කල්පනා කළා. ඒත් තීන්දුව දෙද්දි මම උසාවියට ගියේ නැහැ. මට තේරුණා මම වරදකාරයා වෙනවා කියලා. මම ඒකට බයවුණා. අන්තිමට අධිකරණය මගහැරියා කියලා තුන් හතර පාරක් වරෙන්තු වුණා. ඒ නිසා මට ලැබුණ දඬුවම වැඩි වුණා. දැන් අවුරදු නවයක් වෙනවා මම අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉන්නේ.” 


“මොනවාද තමන්ගේ පහුගිය ජීවිතේ ගැන හිතෙන්නේ?” මම ඔහුගෙන් ඇසීමි. 


“දැන් හිතෙනවා මම එදා දෙපාරක් කල්පනා කරලා හැඟීම්වලට වහල් නොවී හිටියා නම් කියලා. ඒත්, අපිට යහපත් දේ අයහපත් දේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. එදා කරපු වැරැද්ද අද තේරෙද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. 


මම අද හොඳ බෞද්ධයෙක්. එදා පන්සලක් පැත්තට නොගිය මම අද හතර පෝයටම සිල් ගන්නවා. මම බෞද්ධ වැඩසටහන් ඔක්කෝටම සහභාගී වෙනවා. ඒත් මම ඉන්න බන්ධනාගාරේ මේ වගේ නෙවෙයි. මෙහෙ නම් ඒ වගේ වැඩසටහන් නිතරම තියෙනවා. ඒත් ඒ බන්ධනාගාරේ ඒ වගේ දේවල් නෑ. ඒක ගැන දුකයි. මම මේ හිරගෙදරින් එළියට යන එකක් නැහැ කියලා දන්නවා. මොකද මට නිදහස ලැබෙන්න තවත් අවුරුදු විසි එකක් තියෙනවා. එතකොට මට වයස හැත්තෑව පැනලා. ඔන්න ජීවිතේ හැටි.” 


පියසිරි සිනාසෙන්නට විය. පුංචි කතාන්දරයක් වුවද ඒ ජීවිත කතාවෙන් ඔබට ගන්නට ඇති ආදර්ශ නම් බොහෝමැයි මම සිතමි. වැරැද්දක් කරන්නට ප්‍රථම තමන් සිදුකරන්නේ කුමක්දැයි වරක් නොව දහස් වාරයක් සිතීම තමන් අතින්ම තම ගෙල සිර කර ගැනීමට වඩා යහපත් නොවන්නේද? එය පියසිරිගේ කතාවෙන් ඉතාමත් පැහැදිලි වන්නකි. 
“මිස් ලියන්න, කිසිම දවසක හිතලා හරි නොහිතලා හරි ජීවිතේ වැරැදදක් කරන්න එපා කියලා. මම ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි. ඒත්, ජීවිතය වැරදෙන්න ගත වෙන්නේ බොහෝම කෙටි කාලයයි කියලා මම දන්නවා. ඒ, මට ඒක වෙච්චි නිසා.” 


සිය ජීවිතයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව ජීවත් වන පියසිරි අවසන් වරට එසේ කීවේය. 

 

 


මෙහි එන නම් ගම් මනඃකල්පිතයි. 

 

 

 

නිමන්ති රණසිංහ