විරාගයේ අරවින්දගේ දේහය චිතකයට ඇතුල් කෙරිණි.  


පසුබිමින් ඇසුණේ ​ෙශා්කී සංගීත රාවයකි.  


චිතකයට ඇවිලුණු ගින්න කෙමෙන් අහසට නැගිණි.  


පැතුම් පතන්නේ නෑ  
පෙරුම් පුරන්නේ නෑ  
ඇලුම් කරන්නේ නෑ  
යළි කිසිදා  
නිසසල සුව සද‌ා  


අර සංගීත රාවයට මේ ගී හඬ මුසුවෙන්නට විය.  


හිත්වල ඉපදෙන සහසක් ප්‍රාර්ථනාවල හරසුන් බව, නිස්සාර බව වටහාගන්නට මීට වඩා අවස්ථාවක් කොයින්ද?  


ආචාර්ය නන්දා මාලිනිය ගැයූ ඒ අරුත්බර ගීතයට පද ඇමිනුවේ මහාචාර්ය කාලෝ  ෆොන්සේකාය.  


ඉකුත් සඳුදා කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙද්දී සුළඟට මුසු වූයේ ද කාලෝගේම ගීතයකි.  


ධනයට ඇයි දැඩි ආශා  
මිතුරේ ධනයට ඇයි දැඩි ආශා  
කන්න අඳින්නට  
ඉන්න හිටින්නට  
ඇති නම් මිතුරේ  
ඇයි වෙහෙසෙන්නේ  
ධනයෙහි සැනසුම  
නැත ගැබ් වන්නේ  
ධනයට ඇයි දැඩි ආශා  


අාචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ භාව පූර්ණ හඬින් ගැයුණු ඒ ගීතය තම දිවිමග කෙළවර වන මොහොතේදී වාදනය කරන්නැයි ඉල්ලා සිටියේ ද කාලෝමය.  


“කාලෝ සර් ඒ ගීතයට පුදුම විදිහට ආදරය කළා. ඔහු සමාජවාදියෙක්. ඔහුගේ හදවතේ රුධිරයේ විතරක් නෙමේ ඇඟේ හැම සෛලයකම වගේ තිබුණේ මේ සමාජවාදී අදහස්. ඒ නිසාම වෙන්න ඇති මළමිනියට සුදු කලිසමකුයි රතු කමිසෙකුයි අන්දවන්න කියලත් එතුමා ඉල්ලා සිටියේ.” 

 
කාලෝ ෆොන්සේකා​ෙග් ලිපි ලේඛන සිංහල බසින් පිළියෙළ කරමින් ද ඔහුගේ පොත් සංස්කරණය කරමින් ද අනගි මෙහෙයක් කළ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන එම්.ඒ.එම්. දමයන්ති මහත්මිය පවසයි.  


අසූ හය වෙනි වියේ පසුවූ කාලෝ මීට දෙසතියකට පමණ පෙර රෝහල්ගතව සිටියේය. ප්‍රතිකාර ලබා මඳ සුව ඇතිව නිවෙසට පැමිණි ඔහුට අාහාර කවද්දී එය ගිල දැමීම තරමක් අපහසු විය. එහෙත් පව​ුලේ අය බිත්තරයක් තම්බා එය ටික ටික කාලෝට කවන්නට උත්සුක වූහ.  


කටට ගත්තේ බත් චුට්ටක් වූ බැවින් බිත්තරය කවාගැනීමට තරමක වේලාවක් ගතවිය.  


“ඔය කිකිලි ද‌ාලා තියෙන්නෙ පැස්බර බිත්තරයක් ද?”  
කාලෝ ඔහුට හුරු පුරුදු හාස්‍යය මතුකරමින් ඇසුවේය. 

 
අසනීපයෙන් අමාරුවෙන් සිටියත් මරණ බියක් හෝ රෝ බියක් ඔහුට නොදැනිණි. ඒ ඔහු රෝග ගැනත් මනුෂ්‍ය ශරීරය ගැනත් හොඳින් දන්නා වෙදැදුරෙක් වූ නිසා විය යුතුය.  
ඒ නිසාමදෝ කාලෝ කවදාවත් බේත් බොන්නට එච්චර ප්‍රිය කළ මිනිසකු ද නොවීය. ඔහු පමණක් නොව ඔහුගෙන් බේත් ගන්නට ආ බොහෝ දෙනෙකුට ද ඔහු කියන්නේ බෙහෙත් අවශ්‍ය නෑ, නිකම්ම හොඳ වෙයි කියාය. මිනිස් ශරීරය සෑදී ඇත්තේ වැළඳෙන රෝගවලින් බහුතරයක් ඉබේම සුවවන පරිද්දෙනි. ඒ සඳහා අමතර කාලයක් ගත වුවද, ඉබේ හැදෙන ලෙඩ ඉබේම සුව වෙන්නේය.  


කාලෝ උපන්නේ දිවුලපිටියේ බල්ලපාන ගමේය. එගමේ වැඩි දෙනා බෞද්ධයන් වුවද ෆොන්සේකලා කතෝලික ආගම ඇදහූහ. ඉඩම් හිමියකු වූ විත්තලගේ ජෝර්ජ් ඇල්බට් රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. කාලෝ ඔහුගේ පළමුවැනි පුත්‍රරත්නය වූයේය.  


මීගමුවේ මාරිස්ටෙලා විදුහලින් ඉංග්‍රීසි සිංහල දෙබසින්ම ඉගෙන ගත් කාලෝ සිංහල භාෂා තරගවලින් නිතරම ජයග්‍රහණය ද කළේය. එහෙත් ඉංග්‍රීසි ද අතැඹුලක් සේම උගත්තේය. මාරිස්ටෙලාවෙන් මරදානේ ශාන්ත ජෝසප් විදුහලට ගිය ඔහු එහිදී සංගීත ලෝලියකු බවට ද පත් වූවේය.  


“මගේ ප්‍රියතම ගායකයා වුණේ සුනිල් ශාන්ත. ගුරුවරයෙක් නැති කාල පරිච්ඡේදවලදී අපි යාලුවො එකතු වෙලා සුනිල් ශාන්තගෙ ගීත ගායනා කරනවා. මම නැවතිලා හිටිය මහම්මාගෙ ගෙදරදීත් නිතරම වගේ සුනිල් ශාන්තගෙ ගීත ගායනා කරනවා.”  


කාලෝ සිය සොඳුරු ළමාවියේ රහස් හෙළිදරව් කළේ එසේය.  


මේ ඇල්ම නිසාම ඔහු සිය පංති මිතුරනුත් සමග සුනිල් ශාන්තගෙන් සංගීතය ඉගෙන ගන්නටද යොමුවූහ. එහෙත් ඒ සංගීත පාඩම වැඩිකල් හද‌ාරන්නට දෛවය ඉඩ නොදුන්නේය.   


කෙසේ වුවත් එච්.එස්.සී. පංතිය සමත්වූයේ කාලෝට වෛද්‍ය විද්‍යාලයේ දොරටුව විවර කරමිනි. 1955 ජුනි මාසයේ දවසක කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලු වූ ඔහුට මහාචාර්ය සේනක බිබිලේ හමුවිය. ඔහු සමසමාජ පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු විය. ඉතින් කාලෝ ද ගුරුවරයාගේ අඩිපාරේ ගමන්කර සමාජවාදී අදහස්වලින් ඔළුව පුරෝගත්තේය. ඒ අදහස් විටෙක විප්ලවකාරී විය. උපතින්ම හිමිව තිබූ ආගම වෙනුවට බුද්ධාගමට ඇලුම් කරමින් බෞද්ධ දර්ශනය පිළිබඳව එම්.ඒ. උපාධිය ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ පවුලක උපන්නත් සමසමාජ පක්ෂයට සම්බන්ධ විය. පවුලේ විරෝධය නොතකා සිය පෙම්වතිය සමගම විවාහ වූයේය. අසරණ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරන්නට ද පටන් ගත්තේය. ඒ වෙනුවෙන් කාලෝට කැපකරන්නට සිදුවූයේ ඔහුගේ විවේක කාලයයි. වෛද්‍ය විද්‍යාලයේ දේශන පවත්වන අතරතුරත් පැමිණෙන හැම රෝගියාටම නොමිලේ ප්‍රතිකාර කළ කාලෝ අසරණ රෝගියෙක් නම් බෙහෙත් ගන්නට ද සල්ලි දුන්නේය. ඒ කාලෝගේ ‘සමාජවාදය’ නමට පමණක් සමාජවාදයක් නොවූ නිසාය.  


කාලෝ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටියදී තමන්ට ලැබෙන වැටුප වැඩි බවට රජයට චෝදනා කළ බව ද ප්‍රකට කතාවකි.  


කාලෝ, ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූයේ මිත්‍යාවට එරෙහි වූ නිසාය. සරල සිංහලෙන් කිවහොත් ගිනි පාගන්නට ගිය නිසාය. එහෙත් සිදුවූයේ ඒ ගිනි පෑගීම් ගිනි ඇවිලීම් බවට පත්වීමය.  


දේවාල කපුවන් හැමවිටම කියා සිටියේ ගිනි පෑගීම අසීමිත දේව භක්තියේ ප්‍රතිඵලයක් බවය. මේ දේව භක්තිය පෙන්වීම සඳහා පිළියෙළ කළ ගිනි අඟුරු ගොඩවල් මතින් ඇවිද යන සමහරුන්ගේ දෙපා පිළිස්සුනු අවස්ථා ද තිබිණි. 

කෙසේ වෙතත් කාලෝ ෆොන්සේකා කියා සිටියේ ගිනි පෑගීමේදී කිසිම දේව භක්තියක් බලනොපාන බවය.  
 
මේ වෙනුවෙන් දෙහිවල අත්තිඩියේ දී ගිනි පෑගී​ෙම් උළෙලක් සංවිධානය වූ අතර එක් පිලක් දේව භක්තිය පෙරදැරිව ගිනි පාගන්නටත් අනෙක් පිල අරක්කු බී ඌරුමස් කා කිසිම පිළිවෙත් පිරීමක් නැතුව ගිනි පාගන්නටත් සූද‌ානම් වූහ. අන්තිමේදී කාලෝගේ පිලේ අය ගිනි පාගා නොපිළිස්සී ජයග්‍රහණය කළේය. කපෝති වූ කපුවෝ කෝප වී කාලෝලාට ගහන්නට සූදානම් වූහ.  
 
මේ සිද්ධියත් සමග 1970 වසරේ අගභාගයේ පත්තරවල ප්‍රධාන සිරස්තල වූ​ෙය්ත් ගිනි පෑගිල්ලය.  
 
කාලෝ ගිනි පාගන්නට මෙන්ම ගිනි අවුලන්නට ද දක්ෂයෙක් විය. හැබැයි ඔහු ගිනි තිබ්බේ වේදිකාය. ඒ ඔහුගේ චතුර කථිකත්වයෙනි. නිර්දය උපහාසවලින් පිරුණු ඔහුගේ කතා අසන්නටම රසිකයෝ රොද බැඳ ගත්හ.  
 
තම අදහස්වලට ප්‍රතිවාදී අදහස් දරන කෙනෙක් සභාවේ සිටියහොත් කාලෝ කතාව පටන් ගන්නේම අදාළ පුද්ගලයා ‘කොනිත්තමිනි’. ඉන් මතුවන හාස්‍යය, සභාතොමෝ ප්‍රීතියෙන් සිනාගන්වන්නට සමත් වේ.   
 
කලෙක ඔහු දේශපාලන වේදිකාවේ ද කැපී පෙනෙන චරිතයක් විය. සමසමාජ පක්ෂය වෙනුවෙන් සහ සමසමාජ පක්ෂයේ අපේක්ෂකයන් දිනවීම වෙනුවෙන් ඔහුගේ රසබර කතාවෙන් දේශපාලන වේදිකා පිරවීමට ඔහු නොපසුබට විය. කළු කලිසම සහ රතුපාට කමිසය ඇඳ වේදිකාවට නගින ඔහු ඉතා නිරවුල්වත් සංසුන්වත් කතා කළේ ඔහු මහාචාර්යවරයකු බව ද වෛද්‍යවරයකු බව ද තේරුම් ගනිමිනි.   
 
1977 මහ ඡන්දයට රට සූදානම් වෙද්දී, කාලෝ ජේ.ආර්ට එරෙහිව රටපුරා වේදිකාවල කතා පැවැත්වීය. චන්ද්‍රිකා-රනිල් අතර ජනපතිවරණ සටනේදී, චන්ද්‍රිකාගේ ජයග්‍රහණය පතා වෙහෙසුනේය. කොටින්ම කිවහොත් ඔහු සමාජවාදී අදහස් වැඩිපුරම තිබූ පක්ෂයට සහ අපේක්ෂකයාට උදව් කළේය. කාලෝගේ කතා ශෛලිය තේරුම් ගැනීමට නම් ඔහුගේ දිගු කතාවකින් කොටසක්වත් සඳහන් කළ යුතුමය.   
 
“සහෝදරවරුනි, පසුගිය මහ මැතිවරණයේදී අපි ලංකාවෙ සෑම දිග්භාගයකම ජනතාව අමතා යූ.එන්.පියට බලය දෙන්න එපා කියමින් උගුරේ ලේ රහවනතුරු පවසා සිටියා. නමුත් මේ රටේ ජනතාව පිළිගත්තෙ නෑ. ජේ.ආර් ජයවර්ධන​ෙග් ඇට අටයි ධර්මිෂ්ඨ සමාජයටයි රැවටිලා දැන් ඇට අට නැති කරගත්තා. දුප්පත් මිනිහාට තිබූ හාල් පොතටත් කෙලියා. මට මේ අවස්ථාවේ මතක් වෙනවා පී. මලල්ගොඩ කවියා එදා එක්සත් ජාතික පක්ෂය බලයට පත්වී මේ රටේ ජනතාවට සැලකූ ආකාරය ගැන ලියූ කවියක්.  
 
අසරණව හෙම්බත්ව මූල ජාතියක් මරු කටේ දන්නා  
අන් කිසිත් කළ නොහැකි වූ තැන ඊනියා ජනවරම දුන්නා  
දැහැමි විජ්ජා පෙට්ටියක් රට හමුවේ පෙන්නා  
අන්ත අසරණ දිළින්දන්ගේ මුළු සේසතට ඇන්නා  
 
මිත්‍රවරුණි, මේ මැතිවරණයේදී නැවත එක්සත් ජාතික පක්ෂයේ බොරු බේගල්වලට රැවටෙන්න එපා.  
 
අද මා ඉල්ලා සිටින්නේ අපගේ ඉල්ලීමට කන් දෙන ලෙසයි. මගේ ඉල්ලීම පිළිනොගන්නේ නම් මගේ සිහියට නැගෙන්නේ මගේ ප්‍රියතම ගායක එච්.ආර්. ජෝතිපාල මහතාගේ මෙම ගීතයයි.  
 
කීවෙමි ඔබ හට සිය දහස්වර  
ඔබ නෑ පිළිගත්තේ  
මා අත හැරලා වෙන අත් පතලා  
ඔබ අද අසරණ වී ඉන්නේ”  
 
කාලෝ තම කතා කවියෙන් ගීතයෙන් රස ගන්වන්නේ ඔහු තුළ සිටින කවියා සහ ගීත රචකයා නිසා විය යුතුය. කෙසේ හෝ වේවා ඔහුගේ කතා කාලෝචිත කතාය.  
 
ඔහුගේ ගීත ද කලෝචිතය.   
 
කාලෝ ලියූ කාලෝචිත ගී අතර වඩාත් ජනප්‍රියව පවතින්නේ ද රසික සිත් අමන්දානන්දයට පත් කළේ ද ‘රත්තරං දුවේ’ ගීතයයි.  
 
රත්තරං දුවේ ​අපේ රත්තරං දුවේ  
ඔබයි දිවිය අර්ථවත් කළේ  
ගියදා පටන් ඉඟිල කුරුලු කූඩුවෙන්  
සන්තෝෂයක් නෑ සිතේ  
 
ආචාර්ය රෝහණ වීරසිංහ සහ ආචාර්ය නන්දා මාලිනී එක්ව ගයන මේ ගීතයේ නිධාන කතාව දැන ගන්නට මම නන්දා මාලිනිය ඇමතුවෙමි.   
 
“හැත්තෑඑකේ ජේ.වී.පී. කලබල කාලේ කාලෝ මහත්තයට මරණ තර්ජන ආවෙන. ඒ නිසා ගෙවල් මාරු කළා. ඒත් අර තර්ජනවල ඉවරයක් නැහැ. පස්සෙ එතුමා බිරිඳත් එක්ක පින්ලන්තයට ගියා. එරට දරුවොත් ළඟ නැතුව පාලුවෙන් සංකාවෙන් ඉන්දැද්දි තමයි ඔය ගීතය ලියල තියෙන්නෙ.”  
 
කාලෝ, තම දරු පවුල තම නිවෙසේම රඳවාගත් තාත්තෙකි. දරුවන්ටත් බිරිඳටත් අසීමිතව ආදරය කිරීම ඊට හේතුවය.  
 
එහෙත් සියලු බැදීම් තාවකාලිකය. ජීවිතය නවාතැන් පොළක් පමණි. දිගු සසර ගමනේදී නවාතැන් ගන්නා ගිමන් හල් අතැර යායුතුය. කාලෝ මේ ආත්මයේ බිරිඳ පර්ලි ද දරුවන් වූ ඉඳුනිල් සහ සුරංග ද හිතවන්තයන් ද අතැර යළිත් සංසාර චාරිකාවට එක්වූයේය.  
 
එහෙත් කාලෝ කාලෝචිත නොවී අනාගතයේදීත් රටට දැයට උචිත වනු නියතය. හෙටත් ඔහු ගැන කතාවනු නියතය.  
 
ඒ වෙනුවෙන් මතු පරපුර වෙත කාලෝගේ ජීවිත කතාව ද‌ායාද කළ යුතුය.  
 
“කාලෝ සර් ගැන පොත් ලියන්න හුඟාක් අය සූදානම් වුණා. ඒත් සර් කිව්වේ, මළාට පස්සෙ ලියන්න කියලා. මොකද එතකොට හොඳ නරක ඔක්කොම ලියන්න පුළුවන්නෙ කියලා.”
දමයන්ති මහත්මිය කීවාය.  
 
එහෙත් 2017 අවුරුද්දේදී ගාමිණී පෙරේරා මහතා විසින් ‘කාලෝ - සම්මතයට එරෙහි වූ මිනිසා’ නමින් පොතක් ලියා මරද‌ානේ සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ලවා පළකරවීය.  
 
එය කෙතරම් කාලෝචිත වීද යත් නැතිනම් මේ හදිස්සියේ මෙවැනි ලිපියකට කරුණු එක්රැස් කිරීම මට ද අපහසු වන්නේය. ඉතින් ගාමිණීගේත් අතුලගේත් නම් කෘතඥතා පූර්වකව සටහන් කරමින් ලිපියට තිත තබමි.  
 
කාලෝ ෆොන්සේකා - සම්මතයට එරෙහි වූ මිනිසාට, සම්මතයට අනුව මොක් සුව හෝ නිවන් සුව පතමි.  
 
 
 
ශාන්ත කුමාර විතාන