අපේ රටේ සිදුවන අනතුරු අතුරින් අකුණු සැර නිසා ඇතිවන ජීවිත අනතුරු බහුල වශයෙන් අපට වාර්තා වෙනවා. එහෙත් පරිසර තත්ත්වයට අනුගත වීම් පිළිබඳව ඍජු අවධානයක් සහ අවබෝධයක් පොදු ජනතාව අතර නොමැතිවීම අනතුරු බහුල වීමට හේතු වී තිබෙනවා.


එසේම, පසුගිය නව වැනිදා කොස්ගම, සාලාව ධර්මග්‍රාමය ප්‍රදේශයේ තරුණයකු අකුණු සැර වැදීමෙන් මරණයට ගොදුරු වූයේ ඛේදනීය ලෙසය. මියගිය තරුණයා තම නිවෙස ආසන්නයේ පිහිටි මිතුරකුගේ නිවෙසකට ගොස් සිටින අතරතුර දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට පැමිණ අඹ ගසක් යටට ගිය අවස්ථාවේ දී එක් වරම අකුණු සැරයක් වැදී සාලාව රජයේ රෝහලටත් එතැනින් අවිස්සාවේල්ල මූලික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇත.


ජංගම දුරකථන භාවිතයේ දී අකුණු සැර වැදී මරණයට පත්වූයේ යැයි වාර්තාවූ පළමු අවස්ථාව ද මෙය නොවන අතර පසුගිය වසර තුළ ද මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇත.


කෙසේ නමුත් අකුණු ගැසීම හෙවත් හෙණ ගැසීම් පෘථිවිය මතුපිට සිදුවන්නා වූ ස්වභාවික ක්‍රියාවලියක් බව ඔබ හොඳින් දන්නා කරුණකි. එමෙන්ම මිනිසාට සහ අනෙක් ජීවීන්ට මෙන්ම ස්වභාවික පරිසරයට ද අකුණු විශාල ලෙස හානි ගෙන දෙන අතර මිනිසාගේ නොසැලකිලිමත්කම නිසා වසරකට මිනිස් ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බිලිගන්නා බව ද අප කළ විමසීමක දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.


අකුණ සැර වැදී මියගිය සිදුවීම් බොහෝ වාර්තා වුව ද විශේෂයෙන් ජංගම දුරකථන භාවිතයේ දී අකුණු සැර වැදී සිදු වූ මරණ සම්බන්ධයෙන් ද විටින් විට වාර්තා වී ඇත. එහෙත් ජංගම දුරකථන භාවිතයේ දී අකුණු සැර වැදී මරණයට පත්වීම පිළිබඳව සමාජය දරනුයේ එය එසේ විය හැකිද? නොහැකිද? යන කාරණා දෙක පිළිබඳ අපැහැදිලි මතයකි. ජංගම දුරකථනවලට අකුණු සැර වදිනවාද? එය ජනයාගේ මතයක් පමණක්ද? සහ එහි සත්‍යතාවක් තිබේද? යන්න පිළිබඳව අප හිටපු විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල් රෝහණ සමරජීව මහතාගෙන් විමසීමක් කළා.


“මුලින්ම කිය යුතුයි පෘථිවියේ උපත සිදු වූයේ කවදාද? එදා පටන්ම පෘථිවියේ අකුණු ගැසීම සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියක් ලෙස සඳහන් කරන්න පුළුවන්. අකුණු ගැසීමෙන් ස්වභාවික විපත් සිදුවුවත් පෘථිවි ජීවයේ උපතට අකුණු ගැසීම හේතුවක් වූවා සේම උපන් ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අකුණු ආධාර වෙනවා. පෘථිවිය මත අකුණුවල ක්‍රියාකාරිත්වයක් නොතිබුණා නම් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙසට පෘථිවිය සැකසෙන්නේ ද නැහැ. ඉතින් මේ කරුණු කාරණා ගත්තම අකුණු කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය ගැන දැනුම්වත් වෙලා අකුණු අනතුරුවලින් වැළකී සිටීම පහසු මාර්ගයක්. එහෙත් මාධ්‍ය තුළින් සහ විවිධ අවස්ථාවලින් ජනතාව දැනුවත් කළත් එය පිළිනොපැදීම හේතුවෙන් අකුණු වලින් වගේම ස්වභාවික විපත් වලිනුත් සිදුවන අනතුරු දිනෙන් දින ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබෙනවා.


ඒ අතර ජංගම දුරකථන භාවිතයේ දී අකුණු සැර වැදී මිය ගිය සිදුවීමක් මීට දින කිහිපයකට ඉහතදිත් වාර්තා වුණා. මේ පිළිබඳව කතා කිරීමේ දී මෙයට දිය හැකි සරල පිළිතුර නම් ජංගම දුරකථනවලට අකුණු සැර වදින්නේ නැත. යන පිළිතුරයි.


උදාහරණයක් කිවහොත් : ජංගම දුරකථනයක් කනේ තියාගෙන පුද්ගලයකු පාර පනින අවස්ථාවක පුද්ගලයා වාහනේ හැපුණොත් පුද්ගලයාගේ ශරීරය වාහනයේ ගැටුණේ ජංගම දුරකථනයේ වරදින් නෙවෙයි. හේතුව නොසැලකිලිමත් භාවය. මේ සිදුවීම ගත්තම මූලික වශයෙන්ම අපේ විද්‍යාත්මක අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.


යම් දේකට හේතුව මොකක්ද සහ යම් කිසි සංසිද්ධියක් සිදුවන යාන්ත්‍රණයක් තියෙනවා. ඕනෑම කෙනෙක් දන්නවා උස ස්ථානවලට තමයි අකුණු ගහන්නේ කියලා. කුඹුරක යන අවස්ථාවක දී අකුණක් වැදුණොත් අකුණු අප වෙත එන්නේ කුඹූරේ උසම පුද්ගලයා අපි නිසා. ඒ පරිසරයේ වටපිටාවේ තියෙන සියල්ලම අපට වඩා පහත් මට්ටමේ තමයි තියෙන්නේ. එතන තමයි අපට අනතුර තියෙන්නේ. ඒත් අපි වනාන්තරයක් ඇතුළේ සිටින අවස්ථාවක අකුණක් වැදුණහොත් අපිව සොයාගෙන ඇවිල්ලා අකුණු ගහන්නේ නැහැ. ගහන්නේ වඩාත්ම උසට තියෙන ගහකට. මේ දේවල් තමයි මේ ක්‍රියාවලියේ සිදුවන විද්‍යාත්මක සිද්ධාන්තය.


එතකොට තව කරුණක් තමයි අපි අකුණු ගහන වහින වෙලාවක උඩු මහලක ඉඳගෙන ජංගම දුරකථනයෙන් කතා කර කර සිටියහොත් අකුණූ වදින්න පුළුවන්. හැබැයි අකුණු වදින්නේ ජංගම දුරකථනයට නෙමෙයි. මූලික සිද්ධාන්තය තමයි උස ස්ථානවලට තමයි අකුණු වදින්නේ.


අපිට අත්දැකීම් තියෙනවා අකුණු සැර වැදිලා නිවෙස්වල විදුලි භාණ්ඩ විනාශ වුණ අවස්ථා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒවා තියෙන්නේ උස් ස්ථානවල නොවන නිසා කොහොමද අකුණු වදින්නේ කියලා. මෙතනත් තියෙන යාන්ත්‍රණය තමයි නිවෙස්වලට වයර් වලින් එන විදුලිය සහ මේ විදුලි සන්නායකය හරියට භූගත කරලා නැත්නම් කොතැනකින් හරි අකුණේ තියෙන ඇම්පියර් 25,000 පමණ විදුලි බල ශක්තිය මේ විදුලි පද්ධතිය ඇතුළට ඇවිල්ලා සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය ඉලෙක්ට්‍රෝන ධාරිතාවක් මේක දිගේ ගලාගෙන එනවා. ඒ විශාල ධාරාව අපේ විදුලි උපකරණවලට දරාගන්න බැරුව සියල්ල විනාශ වෙලා යනවා.


ඒකට ආරක්ෂාවක් හැටියට අකුණු ගහනකොට වර්ෂාපතනය වැඩිවන කොට විදුලි උපකරණ විසන්ධි කරලා තැබීම කාගෙත් යහපතට ගුණදායක වෙනවා. මේ දේවල් වළක්වා ගන්න අපි විවිධ ක්‍රම සොයනවා. මේක අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක විදුලිබල මණ්ඩලයට පාලනය කරන්න පුළුවන් දෙයක්.


එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් විදුලි රැහැන් වලින් භාවිත කරන උපකරණවලට අකුණූ ගහනව නම් විදුලි රැහැන් සමග සවි කළ දුරකථනවලට මේ අකුණු සැර වදින්නේ නැද්ද කියලා.


සවිකළ විදුලි රැහැන් සහිත දුරකථන ගත්තම ඒක ගෙදර විදුලි පද්ධතියට සම්බන්ධ නොවුනට ඒ දුරකථනයකට ආවේණික ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ විදුලි බලය ඒ රැහැන් දිගේ එනවා. අපේ නිවසේ විදුලිය විසන්ධි වුණත් දුරකථනය ක්‍රියාත්මක වන්නේ ඒ නිසා. අකුණු ගහන අවස්ථාවල දී මේ ටෙලිකොම් කණුව වඩා උස් ස්ථානයක තිබුණොත් අකුණු නිසා ඇතිවන විදුලි සංසිද්ධිය මේ විදුලි රැහැන දිගේ අධි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් යම් දුරකට ඇවිත් දුරකථනයට හානි වෙන්න පුළුවන්. මේ අකුණු හරහා එන ප්‍රභවය තුලනය කරන්න එකම විසඳුම තමයි අකුණු පොළවට යැවීම. පොළවයි අහසයි අතර උසම දේ අපි නම් එයා අපේ ඇඟ හරහා තමයි පොළොවට යන්න උත්සාහ කරන්නේ.

එතකොට විදුලි රැහැන් නැතුව අකුණුවලට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවාද කියන ප්‍රශ්නය ගතහොත්, කොහෙත්ම නැහැ. ජංගම දුරකථන  සම්බන්ධ වෙන්නේ විදුලි රැහැන් වලින් නෙවෙයි. ජංගම දුරකථනය විදුලි බල ප්‍රවාහය වෙන්නේ නැහැ. ජංගම දුරකථනයේ විදුලි බලය පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙන්නේ ජංගම දුරකථනයේ තියෙන බැටරියෙන් පමණයි. ඒත් අපි අකුණු ගහන අවස්ථාවක අපේ ජංගම දුරකථනයෙන් උස ස්ථානයක ඉඳලා කථා කළොත් අකුණු සැර වදින්න ඉඩ තියෙනවා. එහෙත් ඍජුවම ජංගම දුරකථනවලට අකුණු සොයාගෙන එන්නේ නැහැ. ඉන් වැළකී කටයුතු කිරීම ජනතාවගේ වගකීමක්.


මෙතන තියෙන්නේ ජනයා විශ්වාස කළ ජනයා මුළා කළ විශ්වාස හෝ මතයන් පමණයි. තාක්ෂණ පිළිබඳ දැනුම තියෙන අය ජංගම දුරකථනවලට අකුණු සැර වැදීම පිළිබඳ විශ්වාස රඳවන්නේ නැහැ.


සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වහලයක් උඩ නැගලා අඩක් වැඩ නිම කළ නිවෙසක ඉහළ මහලේ ඉඳලා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගන්න අවස්ථාවේදී අකුණක් වැදිලා මැරුණා. මැරුණේ ජංගම දුරකථනයට අකුණක් ගහලා නෙවෙයි. ඒ උඩ මහලට සමීපව විදුලි රැහැනක් තිබුණා. ඒක අධිබලැති විදුලි රැහැනක්. අකුණු වැදුණේ විදුලි රැහැනට. ඒක මිනිස් ශරීරයට ඇදිලා ආවා. ඒ පුද්ගලයා මැරුණා. මේකට ජංගම දුරකථනය කිසිම සම්බන්ධයක් නැහැ. දුරකථනයක් නොමැති වුණත් ඒ අවස්ථාවේ ඔහුට ඒ අකුණු සැර වදිනවා.


අපේ රටේ බොහෝ තැන්වල විදුලි රැහැන් පද්ධතිය නියම ආකාරයට භූගත කරලා නැහැ. ඒ නිසා තමයි අකුණු සැර වැදිලා ජීවිත අනතුරු ගොඩක් අපේ රටේ සිදුවන්නේ. පිටරටවල්වල විදුලිය රැහැන් භූගත කිරීම් සම්බන්ධව ඔවුන් ඉතා නිවැරදිව ක්‍රියා කරනවා. ඒක අපේ විදුලිබල මණ්ඩලයේ දුර්වලතාවක්. විශේෂයෙන් මහල් නිවාසවල ජනතාව මතක තබා ගත යුතු කාරණය තමයි අකුණු ගහන කොයිම මොහොතකවත් උඩුමහලට ගොස් දුරකථන පාවිච්චිය සුදුසු නැති බව. ගෙදරක උඩම තැන කොතැනද කියලා අපට තීරණය කරන්න අමාරුයි. කොහොම වුණත් වහින අවස්ථාවල උඩු මහලේ දුරකථන සවි කිරීම ජංගම දුරකථන පාවිච්චි කිරීම අවදානම්. අකුණු ගහන අවස්ථාවල කුඹුරක වුණත් ඇවිදින්න ඕනෑ ඉතාම පරිස්සමින්.


ජංගම දුරකථන ඇතුළේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන උපාංගයක්. මේ උපාංගයට විදුලි අකුණු ඇද නොගන්න හේතුව තමයි ඉතාම අඩු බලයකින් තමයි ජංගම දුරකථනය ක්‍රියා කරන්න හදලා තියෙන්නේ. කොයි තරම් පහසුකම් තියෙන මිල අධික ජංගම දුරකථනයක් වුණත් මෙහි විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණය සිදුවන්නේ අඩු බලයකින්. මේ සියලු ක්‍රියාවන් වෙන්නේ ඉතාම අඩු බලයකින්. ජංගම දුරකථනයේ තියෙන තරංග දිගේ අකුණු එන්නේ නැහැ. අකුණු එන්නේ විදුලි රැගැන් දිගේ විතරයි. වර්තමාන තරුණ පිරිසට ජීවිතේ ගැන වගකීමක් නැහැ. අද තරුණ ජීවිත නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි අවධානයක් නැතිකම.


අද තමන්ගේ ප්‍රේමවන්තියට හරි ප්‍රේමවන්තයාට හරි කතා කරන්න ගියවිට තරුණ පිරිසට වහිනව ද? අකුණු ගහනවද? ඉන්නේ කොතැනද? කියලා අවධානයක් නැහැ. 


අවධානයක් නොමැති කම නිසා මෙවැනි සිදුවීම් වලින් අනතුරු විශාල සංඛ්‍යාවක් අපේ රටේ සිදු වෙලා තියෙනවා. අම්මට ඇහෙන්නේ නැති වෙන්න පේ්්‍රමවන්තිය එක්ක කතා කරන්න කොල්ල පනිනවා කැලේ. කොහේ හරි තියෙන අකුණක් ඇවිල්ලා වදිනවා ඇඟේ. ඕව තමයි තරුණ ජීවිත අකාලයේ මිය යන අනතුරු. අකුණු වැදිලා මැරුණම ජංගම දුරකථනය වැරදිකාරයා කරලා වැඩක් නැහැ.


තව කාරණාවක් තමයි ජංගම දුරකථනය චාර්ජ් කරන අවස්ථාවක සමහර අය චාර්ජ් කරන අතර තුර දුරකථනයෙන් කතා කරනවා. මෙවැනි අවස්ථාවක අකුණක සම්පූර්ණ බලය එන්නේ නැහැ. ඒ එන බලය මනුස්සයකු ජීවිතක්ෂයට පත් කිරීම තරම් විශාල බලයක් එන්නේ නැහැ. හැබැයි දුරකථනය අක්‍රිය කරන්නට තරම් නම් විදුලි ධාරිතාවක් එන්න පුළුවන්. නමුත් මිනිස් ජීවිතයක් නැති කරන්න තරමේ ධාරිතාවක් එන්නේ නැහැ. නමුත් එය එසේ වෙනවා කියලා කොතැනකවත් පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා කොහොම වුණත් ජංගම දුරකථන චාර්ජ් එකට දාලා ඇමතුම් ගැනීම අනතුරට අත වැනීමක්. අනතුර කොයිතරම් දුරට බරපතළ වේද කියලා නිශ්චිතවම කියන්න බැහැ.


ඒනිසා මේ වාර්තා වෙන ජංගම දුරකථන නිසා අකුණු සැර වැදිලා මරණයට පත්වුණ සිදුවීම්වල වැරදිකරුවන් වන්නේ ජංගම දුරකථනය නෙවෙයි මරණකරුමයි. මරණකරු වැරදි ස්ථානවල සිට ඇමතුම් ගැනීම තමයි මේ සිදුවීම්වල ප්‍රධාන හේතුව. ඉන් වැළකී සිටීම ඔබගේ වගකීමක්. ඉදිරියට පවතින්නේ තද වැසි අකුණු සැර කාලගුණයක්. පරිස්සමෙන් අවධානයෙන් කටයුතු කරන්න කියලාත් මතක් කරනවා.”


ඉදිරියට පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සහ පසුගිය වසරේ අකුණු වලින් සිදු වූ අනතුරු පිළිබඳව අප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසීමක් කළා.


“පසුගිය වසරේ අකුණු සැර වැදී මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගියා. මේ වසරේ ගත වූ මාස කිහිපය තුළත් මරණ තුනක් වාර්තා වෙලා තියෙනවා. ඉදිරියේදී අකුණු සහිත කාලගුණ තත්ත්වයක් තමයි බලපාන්නේ. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් යටතේ මාර්තු අප්‍රේල් මාසවල දී වැඩි වශයෙන් අකුණු ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. ජනතාව සිහි තබා ගත යුතුයි වැසි ආරම්භ වෙන අවස්ථාවේ සිටම අකුණු අවදානම පවතින නිසා උස් ගොඩනැගිලිවල ගස් යට සිටීම, කුඹුරු වැඩ වල නිරතවීම, ගංගා ඇළ දොළ වලින් දිය නෑම, ක්‍රීඩාංගණවල සිටීම, අනතුරු සිදුවිය හැකියි. ඒ නිසා නිතරම අකුණු අවදානම් පවතින අවස්ථාවල මේ ස්ථාන වලින් මිදි කටයුතු කරන්න කියලා මතක් කරනවා.”

සටහන : නදීශා අතුකෝරළ