ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් 9 දින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ එම තීරණය හේතුවෙන් පොදු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශ කරමින් පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර එම පෙත්සම් විභාග කොට තීන්දුවක් ලබන තෙක් එම ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේය. ඒ අතර අගමැතිවරයාට හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයද රිට් ආඥාවක් පැනවීය. මෙම ආන්දෝලනාත්මක සිදුවීම් සමඟ ගැසට් පත්‍රය, අතුරු තහනම් නියෝග, රිට් ආඥා වැනි විෂයන් පිළිබඳව ජනතාව අතර කතාබහක් මතු විය. මෙම ලිපිය ඒ පිළිබඳව සොයා බැලීමකි. 

 

ගැසට් පත්‍රය 


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය ලෙස හැඳින්වෙන මෙම විශේෂ ලේඛනය රජයේ ව්‍යවස්ථානුකූල නිවේදන සහ පොදු කටයුතු හා නීතිමය තොරතුරු ඇතුළත් ප්‍රකාශනයකි. වත්මන් ගැසට් පත්‍රය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ගැසට් පත්‍රයට සමාන අයුරින් නිර්මාණය වූවකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම පුවත්පත වන්නේද ගැසට් පත්‍රයයි. එය 1802 සිට ප්‍රකාශයට පත් කෙරේ. 


1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් ඉංග්‍රීසීහු තම පාලනය යටතේ පැවැති ප්‍රදේශවල බ්‍රිතාන්‍ය රජයේ තොරතුරු ප්‍රචාරය කිරීමේ අරමුණින් ‘ද සිලෝන් ගවර්න්මන්ට් ගැසට්’ නමින් ප්‍රකාශනයක් එළි දැක්වූහ. බ්‍රිතාන්‍යයෝ තම යටත් විජිත සියල්ලේම මෙම ක්‍රමය අනුගමනය කළහ. 1784 දී කල්කටා ගැසට්ටුව, 1980 සාන්ත ලුසියා ගැසට්ටුව, 1800 කේප්ටවුන් ගැසට්ටුව හා ඇෆ්රිකන් ඇඩ්වර්ටයිසර් වැනි ගැසට් පත්‍ර බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල එකල ප්‍රකාශයට පත් කෙරිණි. 


ශ්‍රී ලංකාවේ පළමු ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වූයේ 1802 මාර්තු 15දාය. එය මුද්‍රණය කෙරුණේ ඕලන්දයන් විසින් 1737 දී පිහිටුවන ලද ‘ෆ්‍රාන්ස් ඩි බෲයින්’ නමැති මුද්‍රණාලයේය. දෙමළ ගැසට්ටුව 1806දී ද සිංහල ගැසට්ටුව 1814දී ද ප්‍රකාශයට පත් කෙරිණි. 


1972දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය නව ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කළේය. එතෙක් ගැසට් පත්‍ර කලාප 15,011ක් මුද්‍රණය වී තිබූ අතර 1972 වසරේ එය ප්‍රකාශ කිරීම අත්හිටවිණි. 1978දී ජේ.ආර්. ජයවර්ධන රජයේ නව ව්‍යවස්ථාවෙන් පසු යළි ගැසට් පත්‍රය ආරම්භ විය. 


වර්තමානයේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ. එහි රජය මගින් පනවන ලද පනත් කෙටුම්පත්, ජනාධිපති ආඥා පනත්, රාජ්‍ය ආඥා පනත්, ප්‍රධාන නීතිමය කටයුතු මෙන්ම රැකියා ඇබෑර්තු, රජයේ විභාග, මහ බැංකුවේ දැන්වීම්, මිල පාලන දැන්වීම්, ටෙන්ඩර් කැඳවීම්, නම් වෙනස් කිරීම්, සමාගම් ලියාපදිංචිය, ඉඩම් නිරවුල් කිරීම්, බූදල් නඩු පිළිබඳ දැන්වීම්, මත්පැන් බලපත්‍ර ඉල්ලුම්පත්, ප්‍රවාහන බලපත්‍ර හා රජයේ විවිධ දෙපාර්තමේන්තු මගින් පවත්වන වෙන්දේසි ආදිය එමගින් ප්‍රකාශයට පත් කෙරේ. 


රිට් ආඥාව 


රාජ්‍යය යන්න නිර්මාණය වී ඇත්තේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලිකාංග ත්‍රිත්වය මත පදනම්වය. එහි රාජ්‍ය අංශය විධායකය යටතට ගැනෙන අතර රාජ්‍ය සේවකයන් සතු බලතල කිසියම් නීතිමය රාමුවක් යටතේ ක්‍රියාත්මක වේ. කිසියම් රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියකු තමනට ලැබී ඇති බලතල ඉක්මවා කටයුතු කරන අවස්ථාවක එය වැළැක්වීම සඳහා සිවිල් පුරවැසියන්හට ඇති නීතිමය රැකවරණයේ එක් අංගයක් වනුයේ අධිකරණ රිට් ආඥාවය. 


රිට් ආඥාව අපගේ නීති පද්ධතියට එක්වූයේ බ්‍රිතාන්‍යයන්ගෙනි. රිට් ආඥා වර්ග 6ක් ඇත. සර්ටියෝරාරි, ප්‍රොහිබිෂන්, මැන්ඩාමුස්, ප්‍රොසිඩෙන්ටෝ, ක්වෝ වොරන්ටෝ සහ හබයාස් කෝපුස් වශයෙන් හැඳින්වෙයි. රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 සහ 141 වගන්තිවලින් ද පළාත්වලට 
පමණක් අදාළව 154 (කියු) 4 වගන්තියේද ඇතුළත් වී තිබේ. ප්‍රධාන වශයෙන් රිට් ආඥා ලබාදිය හැක්කේ අභියාචනාධිකරණයෙන් වන අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පළාත් මහාධිකරණවලටද එම බලතල හිමි විය. 


අතුරු තහනම් නියෝගය 


අතුරු තහනම් නියෝගයක් යනු යම් පාර්ශ්වයක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අභියාචනාධිකරණය එම නඩුව විභාග කර අවසන් තීන්දුව ලබාදෙන තෙක් ගතවන කාලය අතරතුර පැමිණිල්ලට අදාළ දෙයට අගතියක් වේයැයි හැඟෙන මොහොතක නිකුත් කරනු ලබන තාවකාලික ආඥාවකි. අතුරු තහනම් නියෝගයක් මගින් අපේක්ෂා කරනුයේ කිසියම් කටයුත්තක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමේ සහනයයි. යුක්තිය කඩකෙරෙතැයි හැඟෙන අවස්ථාවක අයැදුම් කර එය වළක්වා ගැනීම එහි අරමුණ වේ. 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා