අනාගත ලංකාවේ ජල හිඟයක්

 

 

ජලය නැතිව මිහිපිට සිටින කිසිම සතකුට හෝ මිනිසකුට ජීවත්විය නොහැක. මිනිසා ගතහොත් ඔහුගේ සෑම කටයුත්තකටම ජලය අවශ්‍ය ය. බීමට මෙන්ම සනීපාරක්ෂක කටයුතු, ආහාර නිෂ්පාදනය, කෘෂිකාර්මික හා කාර්මික කටයුතු ඇතුළු සියලුම කාර්යයන් සඳහා ජලය නැතිවම බැරිය. කෙටියෙන් කිවහොත් ජලය නැතිවුවහොත් ජීවත් විය නොහැක. එසේම ජලය හිඟවුවහොත් ජීවන කටයුතු කරගෙන යාම ඉතා අසීරු වේ. එබැවින් ජීවත්වීමට වාතයේ ඔක්සිජන් වායුව තිබීම අවශ්‍ය ලෙසටම පොළොවේ ජලය තිබීම ද අපට ජීවත්වීමට වැදගත් වේ. 

 
ජලය හා අප එය භාවිත කිරීම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට පෙර ලෝකය පුරා කොතරම් ජල ප්‍රමාණයක් අප සතුව ඇත්දැයි බලමු. ලෝකය පුරා ඇති මුළු ජලය ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1300 කි. එයින් 96% ක්ම මුහුදු ජලය වන අතර බීමට ගත නොහැක. ඉතිරියෙන් 2.1% ක් අයිස් කඳු හා ග්ලැසියර් ලෙස පවතී. එහෙයින් ඒවාද පානීය ජලය ලෙස ගත නොහැකි තත්ත්වයේ ඇත. තවත් 1% ප්‍රමාණයක් එනම් ඝන කිලෝමීටර මිලියන 12.5 ක් වායුගෝලයේ ජල වාෂ්ප ලෙස ඇත. එනම් අපට ඉතිරිව ඇත්තේ පෘථිවිය සතුව ඇති මුළු ජලයෙන් 0.9% වන කුඩා ප්‍රමාණයක් වේ. එයින් ද මිනිසාට හෝ සතුන්ට පරිභෝජනය සඳහා සුදුසු නොවන තත්ත්වයෙන් ගංගා, විල් හා භූගත ජලය ඝන කිලෝමීටර මිලියන 8 පමණ ඇත.   


මේ අනුව මිනිසාට හා සතුන්ට බීමට ඇත්තේ ලෝකයේ ඇති මුළු ජලය ප්‍රමාණයෙන් 0.3% ක් වූ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. එහෙයින් මෙම ජලය ප්‍රමාණය අපවිත්‍ර නොකොට ආරක්ෂා කරගත යුතු බව පැහැදිලි වනු ඇත. එය ලෝකයේ අන් රටවලට මෙන්ම අප රටට ද එක සේ බලපාන කරුණකි. මක්නිසාද යත් ඉදිරි කාලයේදී ජල හිඟයක් පැවතීමේ අවදානම අප රටට ද බලපා ඇති හෙයිනි.   


ශ්‍රී ලංකාවේ අද තත්ත්වය ගතහොත් ජනගහනයෙන් 86% කට පිරිසිදු පානීය ජලය ඇති බවට වාර්තා වී ඇත. එහෙත් වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වෙන ජනයා ගතහොත් බීමට සුදුසු ජලය ලැබෙනුයේ ඉන් 50.6% කට පමණි. එනම් වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වෙන අයගෙන් අඩකටම බීමට සුදුසු ජලය නොලැබේ. ඉදිරියේදී මෙම තත්ත්වයට මුහුණ දීමට ග්‍රාමීය ජනතාවට මෙන්ම නාගරික ජනයාට ද සිදුවෙන බවට අවද‌ානම් ලකුණු තදින්ම පහළව ඇත.   


අනුරාධපුරය, පොළොන්නරුව, ඌව පළාත යන ප්‍රදේශවල ජල අවශ්‍යතාව 40% කින් ද කොළඹ නගරයේ ජල ඉල්ලුම 50% ඉදිරි වසර පහ තුළ ඉහළ යන බව තහවුරුව ඇත. දැනට දිනකට කොළඹ නගරය සඳහා ජලය ඝන මීටර 300,000 ක් අවශ්‍ය වෙන අතර ලබන වසර වෙන විට එය ඝන මීටර 330,000 දක්වා ඉහළ යනු ඇත. කොළඹ නගරයේ ජලය බෙද‌ාහැරීමේ ජල නළ පද්ධතිය වසර සියයක් පමණ පැරණි වන අතර නළවලින් ජලය කාන්දුවීම නිසා ඉන් 49% ප්‍රමාණයක් අපතේ යන බව වාර්තාවලින් පෙන්වා දී ඇත. එහෙයින් මෙය විශේෂ අවධානයට යොමු කළ යුතුව ඇති කරුණකි. මෙසේ අපතේ යන ජලය නිසා පාඩුව මෙන්ම ජල නළ පද්ධතියේ කාන්දුවීම නිසා ජලය පොම්පාගාරවලින් පිරිසුදු​ කොට ඇතත් අතරමඟදී ජලය අපවිත්‍රවීමට ඇති ඉඩකඩද මහත්ය. මෙම තත්ත්වය මහජන සෞඛ්‍යය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පැන නැගීමට හේතු වනු ඇත. 

 
කොළඹ නගරයට ජලය සැපයීම පිළිබඳ සැලකූ විට දැනට දිනකට ජලය ඝන මීටර් 200,000 - 300,000 අතර ප්‍රමාණයක් සපයයි. එහෙත් ඉදිරි වසර කිහිපය තුළ ඇතිවෙන විශාල ඉල්ලුම නිසා එය ඉටුකිරීම දුෂ්කර කරුණක් වනු ඇත. විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමත් අලුතෙන් ඇතිවෙන වරාය නගරය වැනි යෝජනා ක්‍රමයන්ට වඩ වඩාත් ජලය අවශ්‍යවීමත් මෙම තත්ත්වයට බෙහෙවින්ම බලපාන කරුණු වේ. එමෙන්ම අලුතෙන් ඉදිවන මහල් නිවාස සංකීර්ණ හා හෝටල් පද්ධතීන්ට ජලය සැපයීම දුෂ්කර කරුණක් වනු ඇත. අප රට කෘෂිකාර්මික රටක් වුවද වැඩිපුරම ජලය භාවිත වෙන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා නොව ගොඩනැගිලි ඉදිකිරීමට බව වාර්තාවීමෙන් ඉහත තත්ත්වයේ බැරෑරුම් බව මනාව පැහැදිලි වේ. එහෙයින් මෙම තත්ත්වයන්ට විසඳුම් සෙවීමට ප්‍රමාද වීමේ ප්‍රතිඵලය විය හැක්කේ 2025 වසර වෙන විට කොළඹ නගරය පිපාසයේ නගරය බවට පත්වීමය.   


ග්‍රාමීය ප්‍රදේශවල තත්ත්වය සැලකූ විට ද එම ප්‍රදේශවල අවද‌ානම ද බොහෝය. විශේෂයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් මෙම තත්ත්වයට බෙහෙවින්ම බලපා ඇත. ගස් කැපීම නිසා කැලෑ විනාශ වීමෙන් පරිසරයට හානි වී වායුගෝලයට ජලවාෂ්ප ලැබීම බොහෝ ලෙස අඩු වේ. මෙයින් වැසි ඇතිවීමට විශාල ලෙසින් බාධා ඇති වේ. එසේම ගස් කැපීම නිසා වෙන සෝද‌ාපාළුව හේතුවෙන් පොළොවේ එනම් පසෙහි ඇති ජල ප්‍රමාණය අඩු වේ. එසේම මෙම තත්ත්වය නිසා ජලය ලබාදෙන ජල මූලාශ්‍ර සිඳී යයි. මෙම මිනිස් ක්‍රියාකාරකම්වල එක් ප්‍රතිඵලයක් වෙන්නේ නායයෑම් වැනි භයානක ප්‍රතිඵල ඇතිවීමය. එසේම තවත් කරුණක් වෙන්නේ අසාමාන්‍ය නියං තත්ත්වයන් ඇතිවීම වේ. මෙසේ පොළොවෙහි ජලය අඩුවීම පානීය ජලය සඳහා පමණක් නොව ආහාර බෝග වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට ද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.   


එමෙන්ම කර්මාන්තශාලාවලින් ඉවත ලන අපද්‍රව්‍ය, පළිබෝධ නාශක භාවිතය හා අක්‍රමවත් රසායනික පොහොර භාවිතය නිසා ග්‍රාමීය ප්‍රදේශවල පොළොවේ ජලය මෙන්ම ගංගා, ඇළදොළ ආදියේ ද ජලය අපවිත්‍රවීමට හේතු වේ. මෙම තත්ත්වය තවදුරටත් පැවතීම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට ද පානීය ජලය පිළිබඳ ප්‍රබල ගැටලුකාරී තත්ත්වයකට ඉදිරියේදී මුහුණපෑමට සිදුවිය හැක. එසේම දිගුකාලීන ප්‍රතිඵල ගැන නොසිතා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසා ග්‍රාමීය ප්‍රදේශවල පොළොවේ ඇති ජලය අඩුවීම මෙන්ම නයිට්‍රිජන් අඩංගු පොහොර අධිකව භාවිත කිරීම ඉහත තත්ත්වය උග්‍ර කිරීමට හේතු වේ. විශේෂයෙන්ම නයිට්‍රිජන් අඩංගු පොහොර වැඩියෙන් භාවිත කිරීම නිසා වැඩිපුර ලැබෙන නයිට්‍රජන්, නයිට්‍රිස් ඔක්සයිඩ් ලෙස වායුගෝලයට ඇතුළුවීම සිදුවේ.   


නයිට්‍රස් ඔක්සයිඩ් වායුව හරිතාගාර වායුවකි. හරිතාගාර වායුවක ක්‍රියාකාරිත්වය මෙසේ දැක්විය හැක. හිරු රශ්මිය පොළොවට පතිත වූ විට පොළොව හා සාගර ජලය ඉන්​ කොටසක් උරාගෙන කොටසක් වායුගෝලයට මුද‌ා හරී. එහෙත් හරිතාගාර වායුන් වායු ගෝලයේ ඇතිවිට ඒවා කරනුයේ වායුගෝලයට මුද‌ාහරින ලද එම තාපය උරා ගැනීම වේ. ඒ නිසා වායුගෝලය උණුසුම් වන අතර පොළෝ තලයේ රත්වීම ද වැඩි වේ. මෙය ගෝලීය උණුසුම වැඩිවීම ලෙස හඳුන්වන අතර මෙහි ප්‍රතිඵලයක් වන්නේ පොළොවේ ඇති ජලය ප්‍රමාණය එනම් භූගත ජලය ප්‍රමාණය අඩුවීමය. මෙය පානීය ජලය පිළිබඳව පමණක් නොව කෘෂිකාර්මික කටයුතු සඳහා ද බලපායි.   


ගෝලීය උණුසුම එක් සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ඉහළ ගිය විට ආහාර නිෂ්පාදනය 10% පහළ යන බව පෙන්වා දී ඇත. සහල් නිෂ්පාදනය ගතහොත් එය 6% කින් අඩු වේ. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුත්තේ නයිට්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිත කිරීමේදී වායුගෝලයට නිකුත් වෙන නයිට්‍රස් ඔක්සයිඩ් හි අහිතකර ප්‍රතිඵලයයි. කර්මාන්තශාලාවලින් බහුලව නිකුත්වෙන හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ්වලට වඩා නයිට්‍රස් ඔක්සයිඩ් වායුව 265 ගුණයකින් වායුගෝලය උණුසුම් කිරීම ඉතා බරපතළ තත්ත්වයකි. එසේම නයිට්‍රස් ඔක්සයිඩ් වායුවට වසර 120 පමණ කාලයක් වායුගෝලයේ රැඳී සිටීමට හැකිවීම මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කරයි. එනම් නයිට්‍රජන් අඩංගු පොහොර අධිකව භාවිත කිරීම අඩුනොකළහොත් ඉදිරියේදී ඇතිවීමට තුඩු දී ඇති ජලය හිඟතාවට එය බෙහෙවින්ම බලපානු ඇත.   


ඉහත දැක්වූ කරුණු හා නොයෙකුත් ස්වභාවික හේතුන් ද නිසා ජලය හිඟතාවකට අපට මුහුණ පෑමට සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳ තොරතුරු දැනටමත් ලැබී ඇත. එනම් අප රටෙහි 2007 වසරේ ඒක පුද්ගල ජල භාවිතය වසරකට ඝන මීටර 2300 හැකියාවක් තිබූ අතර 2017 වසර වෙන විට එය 1900 දක්වා පහළ බැස ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම අගය 1750 ට වඩා පහළ වේ නම් ජල හිඟතාවක් පවතින අතර ශ්‍රී ලංකාවේ ද මෙම අගය ක්‍රමයෙන් පහළ බසින බව සංඛ්‍යාලේඛන දක්වයි.   


එහෙත් ලෝකයේ දියුණුයයි සම්මත සමහර රටවල ඉහත අගය පහළ මට්ටමක ඇතත් ජල හිඟතාවයක් නොපවතී. ඊට හේතුව වන්නේ එම රටවල පවතින නිවැරදි ජල කළමනාකරණයයි. සංවර්ධිත රටවල් බොහෝමයක ඉතා හොඳ ජලකළමනාකරණයක් පවතී. නිදසුනක් වශයෙන් එංගලන්තය ගතහොත් එම රටෙහි නළ ජලය ලෙස භාවිත වන්නේ ද ප්‍රතිචක්‍රීකරණය (RECYCLE) කරන ලද ජලයයි. එනම් පාවිච්චියට ගත් ජලය නැවත පිරිසිදු ජලය බවට පත්කොට භාවිතයට ගැනීමය.   


එහෙත් සංවර්ධනය වෙමින් පවතින එනම් දුප්පත් යැයි සම්මත රටවලට එවැනි ක්‍රම භාවිතයට ඇති හැකියාව ඉතා අඩු වේ. මක්නිසාද යත් මෙම ක්‍රියාවලියට අධික මුදලක් වැයවෙන හෙයිනි. එසේම වැසි නොපවතින නියං කාලයේදී එම රටෙහි වාහන නිවසේ ජලයෙන් සේදීමට ඉඩ නොදේ. රථවාහන සෝ‌දා ගැනීමට ඇති සේවා ස්ථානවලින් එම කටයුතු කරගත හැකි අතර ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් නිසා එය ඔවුන්ට ගැටලුවක් ද නොවේ. එසේම බොහෝ සංවර්ධිත රටවල ද ජල කළමනාකරණය සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් යොද‌ාගෙන ඇති අතර ජලය අනවශ්‍ය ලෙස භාවිතය ඉතා පහළ තත්ත්වයක පවතී. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරේ සිටින අප රටට ජල කළමනාකරණය සඳහා නවීන ක්‍රම භාවිත කිරීම අයහපත් ආර්ථික තත්ත්වය නිසා අපහසු වේ.   


මෙයට ප්‍රතිකර්ම සෙවීමේදී අප රටට ගැළපෙන විසඳුම් අතර කුඩා වැව් ඇතිකිරීම, ජල ටැංකි සැදීම, වැසි කාලවලදී ලැබෙන ජලය ඉදිරියේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රැස්කර ගැනීමේ ක්‍රම භාවිතය, ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් කිරීම හා වඩාත් දියුණු කිරීම යන කරුණු ඇති අතර එවැනි කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ. එසේම ජලය අරපරිස්සම් ඇතිව නිවැරදිව භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇතිකිරීම ද ඉතා වැදගත්වෙනු ඇත.   
ඉහත සඳහන් කරුණු එනම් ජල හිඟතාවකට තුඩුදෙන කරුණු හා විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන් ක්‍රියාකළ යුතු පාර්ශ්වයන් දෙකක් ඇත. ජල විද්‍යාඥයන්, විශේෂඥයන් ඇතුළු පර්‌යේෂකයන් එක් කොටසක් වෙන අතර ප්‍රතිපත්ති තීරණය කරන්නන් හා ක්‍රියාත්මක කරන්නන් අනෙක් කොටස වේ. මෙහිදී පළමු පාර්ශ්වයට අවශ්‍ය සියලුම දත්ත නිවැරදිව නිරන්තරයෙන්ම පහසුවෙන්ම ලබාගැනීමට කටයුතු සැලසීම රජයේ වගකීමකි. එසේම පර්‌යේෂකයන්ගේ ප්‍රතිඵල හා නිර්​ෙද්ශ ප්‍රතිපත්ති තීරණය කරන්නන් වෙත වහාම ලබාදීම ඔවුන් සතු වැදගත් කාර්යයකි. තව ද ගන්නා වූ තීරණයන් නොපමාව ක්‍රියාත්මක කිරීම අද‌ාළ නිලධාරින්ගේ මෙන්ම රජයේ වගකීමක් වේ.  
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මෙහිදී මුලින් සඳහන් කළ අහිතකර ප්‍රතිඵල ලබාදෙන මිනිස් ක්‍රියාකාරකම් නතර නොවන්නේ නම් අප බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි. එසේ වුවහොත් එය අනාගතයේ උග්‍ර ජල හිඟතාවකට පමණක් නොව සමස්ත රටෙහි අනාගතයට ඉතා අහිතකර ලෙස බලපාන බරපතළ කරුණක් වනු ඇත. එහෙයින් ඊට එරෙහිවීම රජයක මෙන්ම ජනතාවගේ ද සාමුහික වගකීමක් බව හොඳින් අවබෝධ කරගත යුතුය.  


ආචාර්ය කේ.ජී.අයි. අමරසිංහ කෘෂිකාර්මික පර්‌යේෂණ ප්‍රතිපත්ති සභාවේ වර්තමාන විධායක අධ්‍යක්ෂවරයා වේ. එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පශ්චාත් උපාධි ආයතනයේ පාලනාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු ද වේ. ආචාර්ය අමරසිංහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව Ph.D උපාධිය ද ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ M.Sc උපාධිය ද ලබා ඇත.