ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි 

කළ පාපකර්ම වලින් මුළු පවුලම වැනසෙයි

බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා  ලියා එවූ කතාවකි.


දකුණු පළාතේ විසූ බෙලේනිස් පාපකාරී ලෙස ජීවත් වූ තැනැත්තෙකු විය. දවස පුරාම තම ගිනි අවිය අත නොහැරී ඔහු මස් මාංශ කෑමට තද ගිජු කමක් දැක්වූ පුද්ගලයෙකු විය. උදේ රැයින්ම ගිනි අවිය කරපින්නා ගෙන දැඳුරුඔය අසබඩ ඝන කැලෑවල සැරි සැරුවේ මී මින්නෙකු, තලගොයකු හාවෙකු හෝ රිළවෙකු තම දඩ මසට ගොදුරු කර ගන්නා අටියෙනි.   


ගස් වල අතු පතර දුව පැන ඇවිදින රිළා රංචුවකට තම ගිනි අවිය ඉලක්ක කොට පත්තු කරන හැම අවස්ථාවකම තම අත පපුවට ගසා ගනිමින් බිම ඇද වැටෙන රිළවුන් කරපින්නා ගන්නා ඔහු තම නිවෙස වෙත පිය මැන්නේ අසීමිත ප්‍රීතියකිනි.   


මෙම සතුන් මස් කර වෑංජන සකස් කරන්නේ ඔහුගේ බිරිඳය. ඔහුගේ මෙම දඩයම් මස් තම පවුලේ දරුවන් සමගින් ඉමහත් සතුටකින් භුක්ති වින්දඳ බිරිඳ මෙම මස් අනුභවයෙන් වැළැකී සිටියාය. ඒ පස් පව් කෙරෙහි තම සිත තුළ ඇති බිය නිසාය.   


දිනපතා දඩයමේ යන මොහුගේ දුම්මැස්සේ වේලෙන ලද මස් වලින් කිසිම අඩුවක් ද නොවීය. බත් හා වෙනත් වෑංජනවලට වඩා දඩ මස් පමණක් බුදින මොහු දිනත් කුඩා ඉබි පැටියෙකු අල්ලාගෙන තම නිවස ඉදිරිපිට පොළොවේ සකස් කරන ලද වතුර පිරි පොකුණට දැම්මේය.   


ඉබි පැටියා ලොකු මහත් වී වැඩුණු පසු පොකුණෙන් ගොඩ ගෙන මරා තම පරිභෝජනය සඳහා ගත්තේ සිත් පිත් නැති අයෙකු විලසිනි.   


මෙම පාප කර්ම හා දුර්ජන ගති හේතුවෙන්ම තම බිරිඳ ද අන්‍යයෙකු සමගින් පළා ගිය අතර ඔහු දරුවන් සමගින් තනි විය. ඔහු කළ මහා පාප කර්ම තම දරුවන් වෙතින් පටිසන් දීම මේ වන විට ආරම්භ විය. තම එකම පුතු දිනක් තද බල ලෙස රෝගාතුරව ඔත්පළ වූ අතර කෙතරම් වෛද්‍ය ප්‍රතිකාර කළ ද ඉන් සුවයක් නොලද හේ අවසානයේ ඇවිද ගැනීමටවත් සිට ගෙන සිටීමටවත් නොහැකිව අත් පා කොර වී ඇඳෙහි වැතිරිණි. පුතාගේ බිරිඳ ද දූවරු දෙදෙනා ද එලෙසම අත් පා කොර වී ගිලන් ඇඳට පතිත වූ අතර මේ වන විට පවුලේ සියලු දෙනාම එසේ ආබාධිත වූහ. මේ අතර බෙලේනිස් ද හදිසියේ දරුණු ලෙස ඔත්පළ වී දින ගණනක් පණ ඇද ඇද සිටිමින් මිය පරලොව ගිය අතර පවුලේ අනිකුත් සාමාජිකයින් කිසිත් කර කියා ගත නොහැකිව අද දරුණු ලෙස ඔත්පළ වී සිටින්නේ කිසිඳු වෛද්‍ය ප්‍රතිකාරයකින් සුව කළ නොහැකි අයුරිනි.   

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   

කුරිරු ලේලියකට  මේ ආත්මයේදීම පාඩමක්  


අනුන්ට දුක් ගිනි දී සතුට ලබන බොහෝ දෙනෙකුට එම පව මේ ජීවිතයේදීම විඳවන්නට සිදු වීම විමසිලිමත්ව සමාජය දකින්නන් හට සුලබ දසුනෙකි.   


දිගු කලක් ගත වී පඩිසන් දෙන විට බොහෝ දෙනෙකුට යට ගියාව අමතක නිසා මේවා මතු කර ගැනීම අපහසු වී ඇත.   


රජරට එක්තරා ගමක විමලා නම් කාන්තාවක් වූවාය. ඇය විවාහ වී දුවක හා පුතෙකු ලැබූ අතර එම යුවළට නිසි ආදායම් මාර්ගයක් නොවීය. ඉන්න හිටින්නට පවා තමන්ගේම යැයි තැනක් නොවීය. දරුවන් පාසල් යන කාලය වන විට වැඩිපුර මුදල් අවශ්‍යතාව දැනෙන්නට වූ හෙයින් විමලා මැද පෙර දිග රැකියාවකට ගියාය.   


ගෘහ සේවිකාවක් ලෙස අනන්ත දුක් විඳ ඇය උපයා ගත් මුදල් සැමියාට එව්වේ දරුවන්ටත් උගන්වා ගෙයක් දොරක් තනා ගැනීමේ අටියෙනි.   


විමලාගේ සැමියා ද එතරම් උගතෙකු නොවීම දරුවන්ට ද හරි අධ්‍යාපනයක් නොලැබීමට හේතු විය.   


එකල ගම්බද තරුණයන්ට පහසුවෙන් ලැබීය හැකි වූ හමුදා සේවයට විමලාගේ පුතා ඇතුළත් විය. ඔහු ගාමිණී නමින් හඳුන්වමි. ගාමිණී හමුදාවට බැඳී වැඩි කලක් යාමට පෙර රමණී නම් තරුණියක් සමග විවාහ විය. විමලා එවන මුදලින් කුඩා ගෙයක් සහිත ඉඩමක් මිලදී ගෙන සැමියාත් පුතා හා ඔහුගේ බිරියත් පාසල් වයසේ විමලාගේ දියණියක් ජීවත් වූහ.   


විමලා අවුරුදු නවයක්ම දහ දුක් විඳිමින් කළ රට රැකියාව නිම කොට යලි නිවසේ පදිංචියට එද්දී නිවසේ ආධිපත්‍යය රමණී බාරගෙන තිබුණි. ඇයට ජීවත් වීමට සිදු වූයේ රමණීගේ නීති රීතිවලට යටත්වය. ගාමිණී විවාහ වුවද ගෙදරට මුදල් දීම නොකෙරුණේ අනියම් බිරියත් නඩත්තු කිරීමට සිදු වූ හෙයිනි. ගාමිණීට ද දරුවන් දෙදෙනෙකු ලැබුණත් රමණී රැකියාවක් නොකළ නිසා එම පවුලේ බරත් දැරීමට සිදු වූයේ විමලාටය. විමලාගේ සැමියා ද මේ අතරේ මිය ගිය හෙයින් විමලා නිවසේ තනි වූ අතර ගෙදර වියදම සිදු වූයේ විමලාගෙනි. 

 
මුලින්ම වචන හරඹයෙන් ඇරඹුණා නැන්දා ලේලි හබය. පසුව කාය කර්මයට ද පෙරළුණි. වැඩිපුර පහර කෑවේ විමලාය. වයස්ගත වීමත් මැද පෙර දිග දී අනන්ත දුක් විඳ කය දුබල වීමත් නිසා විමලා නිතරම පහර කමින් දුක් වින්ඳාය. ගාමිණී ඉඳ හිට පැමිණි අවස්ථා වල ඇය මේ ගැන කියුවද ඔහු කිසිවත් ගණන් ගත්තේ නැත.   


ගාමිණී මුලදී තම දරු දෙදෙනා බැලීමට පැමිණිය ද ටිකෙන් ටික එය අඩු වන්නට විය. රමණී ද දවස මුළුල්ලේ වෙහෙසී ගෙවත්ත සරු කළාය. පොල්, කොස් කෙසෙල් ආදිය සරුවට වැඩුණි. කෙසෙල් වලින් ලැබෙන ආදායමක් අනියම් සැමියන්ගෙන් ලැබෙන ආදායමත් නිසා රමණී විමලාගේ නිවසින් විමලා එළවා ගත්තාය. විමලා හැඬූ කඳුළෙන් නිවසෙන් පිට වූයේ නිවසේ අයිතිය පුතාගේ නමට ලියා තිබූ හෙයිනි. මේ වන විට ගාමිණීගේ නැගණිය ද අධ්‍යාපන කටයුතු හමාර කොට විවාහ වී වෙනම පදිංචියට ගොස් තිබුණි.   


විමලා හැඬූ කඳුළෙන් නෑදෑ ගෙදරකට වී උදේ සවස රමණීට ශාප කරන්නට වූවාය. රජරට දෙවියන්ගේ අඩවියක් බව පසක් කරමින් රමණීට දෙවියන් දඬුවම් කරන්නට විය. මුලින්ම ගාමිණී ඇයව දික්කසාද කළේ දරුවන්ට පමණක් නඩත්තු මුදලක් ගෙවමිනි. පසුව ඔහු දරුවන් දෙදෙනා ද සමග රමණී ද නිවසෙන් එළවා දැමුවේය. දරුවන් දෙදෙනා ද සමග ඇය හඬමින් නිවසෙන් පිටත් වූයේ විමලා හඬමින් නිවසින් පිටත් වූ ආකාරය අසල් වැසියන්ට සිහි ගන්වමිනි.   


ඇය විසින්ම අත් උදව් දෙමින් නවීකරණය කළ නිවසද ඇයගේ මහන්සියෙන් සරු වූ ගෙවත්ත ද දැන් ඇයට අහිමිය. ගාමිණී එය විකුණා දමා තිබුණි. කලින් සිටි නිවස ආසන්නයේම නිවසක් කුලියට ගෙන පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් රමණී අද දුක සේ ජීවත් වන්නේ දරු දෙදෙනාගේ දියුණුවක් දැකීමේ අපේක්ෂාවෙනි.   


දෛවයේ සරදම වන්නේ රමණීට උදේ සවස ගමන් කරන්නට සිදුව ඇත්තේ තමාගේ මහන්සියෙන් ඉදි වූ නිවසත් සරු වූ ගෙවත්ත දෙසත් බලමින් වීමයි. මෙයනම් කළ පව තමාටම පළ දීමක් බව ගම්මු පවසති.   

 



බෙලිඅත්ත දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.   

බලයෙන් අන්ධ වූ සේනපාල තනි වූ හැටි   


1970 දශකයේ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වූ සේනපාලට මන්ත්‍රීවරයෙකු වීමේ පින ද පෑදුණි. වැදගත් පරපුරකට උරුමකම් නොකී අඩුයයි සම්මත කුලයක ජනිත වූ ඔහු ජනතාව අතර ජනප්‍රිය විය. මන්ත්‍රී ධුරයෙක් ඔහු ලැබුවද දේවාලයක නිළමේ ධුරයක්වත් අද පවා සාමාන්‍ය පවුලක අයෙකුට ලබා ගැනීම දුෂ්කරය. 

 
මඟුල්, අවමඟුල්, පිංකම් තොවිල් ගෙවල් වලට ආරම්භයේ සිටම අවසානය දක්වා ඔහු දායක විය. බොහෝ ගෙවල් වල තල් අතු ඉලුක් සෙවිලි වූයේ ද මොහුගේ දෑතිනි. සමාජ සේවයට කැප වූ සේනපාලට පතල් හවුල් වලින් ණය නොවී ජීවත් වීමට හැකි විය. උදව් උපකාර කළ ගොවීන්ගෙන් ලද ධාන්‍ය බෝග වලින් අටුවද පිරුණි. තුන් වේලටම දඩ මස් නොමිලේ ලැබුණද සත්ව ඝාතන වලට කිසිඳු රුකුලක් නම් මොහුගෙන් නොලැබුණි.   


මොහුගේ ජනප්‍රියත්වය හේතුවෙන් ආසන සංවිධායක ධුරය ද ලැබුණි. වෙනත් පක්ෂ උදෙසා පැමිණි කුල කෝට් ධනවතුන් පරදා පහසු ජයක් ද ඔහු ලබා ගත්තේ පා පැදියේ පිහිටෙනි. මන්ත්‍රී ධුරය ලැබීමෙන් පසු ධනවතුන් බලවතුන් මොහු වටා රොක් වූහ. එනම් ඔවුන්ගේ අවශ්‍යතාවන් රජය මගින් ඉටු කරවා ගැනීමට පහසු මඟක් ලෙසය.   


මැණික් ව්‍යාපාරිකයින් සමග සල්ලාල ජීවිතයකට යොමු වූයේ අඹු දරුවන් ද අමතක කරමිනි. දුප්පත් ඥාතී මිත්‍රාදීන්ගේ සම්මාදම් මුදලින් ලබා දුන් මෝටර් රථය ඔහු යොදා ගත්තේ රැකියා පතා එන යුවතියන් රෙස්ට් හවුස් වලට කැඳවාගෙන යාමටය. ධනවතුන්ගේ අතින් අත දෝලනය වූ සමහර යුවතියන්ට රැකියාව ලැබෙන විට අවජාතක දරුවන් ද ජනිත වී හමාරය.   


මොහුගේ පාලන සමයේ ද වතු ද ජනසතු විය. වතු පාලනයට සේනපාලගේ හෙංචයියන් ද පත් කරගෙන අාදායම් ඔහුගේ සාක්කුවට ඇද ගත්තේය. පොල් වතු වලින් ලද ගෙඩි මව බාරයේ ගෙදරට ඇද ගැනිණි. ඉන් දරුවන් ද හොරකමට යොමු විය. දුප්පත් ජනතාව ධනවත් කිරීමට නොසිතූ ඔහු පතල් හවුල් වලින් ද මහා ධනවතෙකු විය. කොළඹින් ගෙයක් මිලදී ගත් අතර විදේශ සංචාර වල නිරත වූයේ මහජන මුදලිනි. ඊට හේතු ලෙස දැක්වූයේ දිළිඳු බව දුරු කිරීමට පාඩම් ඉගෙනීමට යන බවකි. දැන් ඔහුට මුලදී අත දුන් දුප්පතුන් පැමිණීම හිස රුදාවක්ම විය. සුදු බැනියමටත් සුදු සරමටත් බැස ගත් මොහු ගැමියන් හමුවට එන්නේ හදිසි ගමනක් යන අයුරිනි. මුහුණවත් හරිහැටි නොබලා ඩයරිය පෙරළමින් වචනෙන් දෙකක් ගැමියන් මඟ හැර යන්නේ යුද්ධයක් දිනූ විරුවකු ලෙසය. 


විරුද්ධවාදීන්ට තල් අතු කැපීම තහනම් කිරීම පිණිස පරිසරවේදියෙකු සේ රඟ පෑමට ද මොහු පටන් ගත්තේය. බීඩි සුරුට්ටු පානය එපා කරවන ලෙස ව්‍යාජ පෙළ පාලිද ගියේය. මිනිස් අවශ්‍යතා හඳුනානොගෙන කරන සෙල්ලම් නිසා සෙල්ලං සේන යන නම ද පට බැඳුණි. විරුද්ධවාදීන්ගේ පොල් කිතුල් රා වලට වැට බැන්ඳ බැවින් ජනතාව විෂ කසිප්පු වලට ගොදුරු විය. මෙවන් අමනෝඥ දේශපාලන ක්‍රියා හේතුවෙන් අද සමස්ථ සමාජයටම කුඩුවලින් බැට කැමට සිදු විය. පාතාල කල්ලි ද බිහි වී එකිනෙකා ගහ මරා ගන්නේ කුඩු ලාභය අසීමිත නිසාය. මන්ත්‍රීවරයෙකු වීමට පෙර අවට ගම් වල සූදු පොළවල් ද අත් නොහැරියේය. නමුත් මොහු විරුද්ධවාදීන්ගේ මළ ගෙවල් වලට ද පොලිසිය පන්නවා සංස්කෘතික අංග වලට ද පහර ගැසීය.   


මොහුගේ මුත්තාණුවන් මී හරක් පටිටියක් වංචාවෙන් ගෙන ගම්බාරයෙක් විය. නමුත් මියැදෙන තුරුම උළු ගඩොල් ගේකට හිමිකම් නොකී අතර සොහාන් කොතක් ද ඉදි නොවුණි. සේන පාලගේ පියාටත් එම ඉරණමම අත් විය. නමුත් සේනපාල ධනවත් පරපුරකින් පැවත එන බව විදහා පෑමට ප්‍රභූවරුනගේ සොහොන් කොත් අනුගමනය කළේය. සංස්කෘතියට පටහැනිව යමින් ටයිල් කරන ලද දැවැන්ත සොහොන් මාළිගාවක් පියා මුත්තනුවන් වෙනුවෙන් ඉදි කළේය. අප සංස්කාතියට අනුව ගෙවල් කඩා වෙනස් කරන්නා සේ සොහොන් වෙනස් කරන්නේ නැත. ගෙවල් මාරු කරන්නා සේ සොහොන් බිම් මාරු කරන්නේ ද නැත. පවුලේ කිසිවෙකු බුද්ධිමත් නොවු බැවින් ඊට විරුද්ධ වීමට කිසිවෙකු නොමැති විය. මෙම ක්‍රියාවෙන් මොවුන්ට අත් වූයේ පරිහානිය පමණි.   


සේනපාලගේ පෙර පිනකට වසර දෙකකින් මැතිවරණය ද කල් ගියේය. මිතුරන් අමතක කර කලින් සිටි ප්‍රබල සතුරන් ලංකර ගෙන ලේකම් පදවිද පිදීය. විදේශීය ගණිකා පහස ලද මොහුට සමාජ රෝග ද වැළඳී ප්‍රතිකාර ගැනීමට ද සිදු විය. මහජන මුදලින් ප්‍රතිකාර ගෙන ලෙඩ රෝග යටපත් කළ ද පළක් නොවීය. නොසිතූ මොහොතක පැමිණි මැතිවරණයෙන් අන්ත පරාජයක් ද මොහුට උරුම විය. එබැවින් විශ්‍රාම වැටුපේ හිමි කම ද ඔහුගෙන් ගිලිහුණි. ගහෙන් ගෙඩි එන්නා සේ මැතිවරණ පරාජයත් සමග ආදායම් මාර්ග ද ඇහිරුණි. බලයත් සමග එකතු වූ මිතුරන් ද ඔහු හැර ගියේ සුළඟට ගසා ගෙන යන පුළුන් රොදක් සේය.   


සමාජ රෝගය ද උත්සන්න වී දුගඳ හමන තත්ත්වයකට ද පත් විය. දිනකට හත් අට වරක් රෙදි මාරු කිරීමට සිදු විය. කොළඹ විකුණා දැමීමට සිදු වූයේ ණය තුරස් පියවා දැමීමටය. මවගේ මරණය ද මේ අතරතුර සිදු වීමෙන් ඔහු තව තවත් කම්පාවටම පත් විය. අගමුල නිතරම සිහිපත් කර තැවීම හේතුවෙන් ගත සිත ද දුබල විය. සෙල්ලං සේන ගම කෑවා, සේනපාල ගම කැවා යන පෝස්ටර් ගස් ගල් වල අලවා ලියා තිබෙන අයුරු දැකීමෙන් ද සිත කඩා වැටුණි. ජීවිතයෙන් හරි අඩක් වත් ගෙවා දැමීමට ඔහුට නොහැකි විය. මවගේ අවමඟුලට දිවා රෑ අව්ව වැස්ස නොතකා සෙනඟ පැමිණිය ද මොහුගේ අවමඟුලට පනහක්වත් සහභාගී නොවීය. බූරුව ගැසීම ද නොකළ බැවින් රෑ නිදි මැරීමට කිසිවකු ද නොමැති වීම දෛවයේ සරදමක් වැනිය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්