පසුතැවිල්ල

(වැරදි කළ අයගේ පශ්චාත්තාපය)

 

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් අතුරින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සහ මරණීය දණ්ඩනය නියම වී සිටින රැඳවියන්ගේ ජීවිත කතාන්දර ඔබ වෙත සතිපතා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිත අන්දර තුළින් සමාජය වෙත මොන යම් හෝ ආදර්ශයක් ලබාදීමේ අරමුණ ඇතිවයි.   


දීර්ඝ කාලයක් වෙහෙස වීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත පිවිසෙමින් ඔවුන් හා දොඩමළු වීමට මම මහත් උත්සාහයක් ගතිමි. ඇතැම්හු තම ජීවිතාන්දරය ලොවට කීමට අකැමැති වූහ.   


තවත් සමහරෙක් එය ඉතා ඕනෑකමින් කළේ තමන් අතින් සිදු වූ සිදුවීමට පසුතැවිලි වෙමිනි. ඉතින්, පසුතැවිල්ල නමින් ඔබ වෙත මේ ගෙන එන විශේෂාංගය ජීවිතය හදා ගන්නට නොඑසේ නම් වරද්දා ගන්නට පෙර සිතන්නට යමක් එක් කිරීමකි. විශේෂයෙන්ම මෙහි එන නම් ගම් මනඃකල්පිත වුවත් සිද්ධි දාමය සත්‍ය වූ එකකි.     


මම ඔහු කුමාර නමින් හඳුන්වමි. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට වරදකරු වූ ඔහු වැලිකඩ බන්ධනාගාරයට පිවිසෙන්නේ ඉකුත් 2015 වර්ෂයේ දිනකය. ඒ වනවිට අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ ඔහු ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය. දැන් කුමාරගේ වයස අවුරුදු 38 කි. එසේම වයස අවුරුදු 12ක පිරිමි පුතකුගේ පියෙකි. 

 
“කුමාර, මොකෝ වුණේ?”   


ප්‍රසන්න වූ පෙනුමකින් යුතු ඔහුගෙන් මම විමසුවෙමි. 

 
“මාර කතාවක්නේ ඒක?”   


“ඔව්. මම අවුරුදු 10ක් පොලිසියේ වැඩ කළ කොල්ලෙක්. මේ සිද්ධිය වුණේ හරියටම 2009 සැප්තැම්බර් මස 15 වැනිදා. එදායින් පස්සේ අවුරුදු 10ක පොලිස් ජීවිතය ඉවර වුණා.”   


“එයාගේ නම මාලතී. අපි දෙන්නා එක ඉස්කෝලේ එක පන්තියේ. දහය වසරෙදි තමයි අපි දෙන්නගේ ආදරේ පටන් ගත්තේ. අපි දෙන්නගේ සම්බන්ධෙට ගෙවල් දෙකෙන්ම විරුද්ධ වුණා. අහල පහළ නිසා මේ ප්‍රශ්නෙ ගොඩාක් වැඩි වුණා. කොහොම වෙතත් අවුරුදු නවයක් විතර අපේ ආශ්‍රය තිබුණා. ගෙවල්වල ප්‍රශ්න නිසා මම පොලිසියට බැඳුණා.   


ඒ 2000 වර්ෂයේ. පවුලේ බාල සහෝදරයෝ දෙන්නෙක් මට හිටියා. පොලිසියේ ට්‍රේනින් කාලෙදි කසාද බඳින්​න බෑ. ඒත් එයාට ගෙවල්වලින් ගෙනාපු කරදර නිසා මම පොලිස්පතිතුමාට ලියුමක් ලියලා අවසර අරගෙන අපි කසාද බැන්දා.”   


කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටත් ආදරය දිනා ගැනීමටත් අදිටන් කරගත් කුමාර, මාලතී ​රැගෙන යන්නේ කුරුණෑගල ප්‍රදේශයේ තම මිතුරකුගේ නිවෙසක් වෙතය.   


දින සති ගෙවෙමින් තිබියදී මාලතී ගැබිනියක් වන්නේ කුමාරගේ ජීවිත ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් වෙනුවෙනි. දරුවකු වැදූ තම දියණිය අනුන්ගේ අගු පිලක කාලය ගත කරන බව මාලතීගේ දෙමාපියන් දැන ගන්නේ මේ අතරය. දරුවකුගේ වරදක් වෙනුවෙන් සමාව නොදීමට තරම් අකාරුණික හිතක් මාලතීගේ දෙමාපියන් සතු නොවිණි.   


“අම්මා කිව්වා ගෙදර එන්න කියලා.”  


එක්තරා දිනෙක කුමාර ඇමතූ ඇය කීවාය. නැවතත් දෙමාපියන් වෙත යන මොවුන් දෙදෙනාට නිවෙසක් සාදා ගැනීමට දෙපාර්ශ්වයේම උදවිය උදව් උපකාර කරන්​නේ පුංචි දරු පැටියාගේ කිරි සිනා දැකීමෙනි.   
ජීවිතය කෙතරම් සුන්දර දැයි කුමාරට සිතුණේ නව නිවෙසක පදිංචියට ගිය දිනයේදීය. තම සිඟිති පුතුගේ වැඩ කටයුතු මෙන්ම තමාගේ කටයුතු ද නිසි පරිදි වෙහෙස මහන්සි නොබලා ඉටු කර දෙන තම ආදරණීය බිරිඳ කෙරෙහි ඔහු බොහෝ අාදරයෙන් හුන්නේය. ඒ වනවිට නිවෙස ආසන්නයේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ ඔහු ආහාර ගැනීම සඳහා නිවෙසට එන්නේය.   


එපරිද්දෙන් කාලය ඉගිළ ගියේ කුමාරට වව්නියාව ​පොලිසියට ස්ථාන මාරුවක් ලබා දෙමිනි. තම ස්වාමියා නිවෙසින් ඉගිළ යන දින ඕ, ඉකි ගසා හැඬුවාය.   


“මං නිවාඩු ගත්ත ගමන් එනවා. නාඩා ඉන්න වස්තුවේ.”  


ඔහු ද වව්නියාව බලා ගියේ තම සිඟිති පුතුත් ආදරණීය බිරිඳත් සිප වැළඳගෙන කඳුළු පිරි දෙනෙතිනි.   


“ඒ 2007 වසරේ අන්තිම කාලේ. මං මුල්ම නිවාඩුව අරගෙන ගෙදර එන්න බස් එකට නැග්ගා. ඒ දවස්වල යුද්දේ ඉවර වෙච්ච කාලේ. ඒ වෙනකොටත් යුද හමුදාවෙන් දැඩි ආරක්ෂාව දාලා තිබුණේ ඒ ප්‍රදේශවලට. බස් එක මැදවච්චිය ආමි පොයින්ට් එක ළඟදී නැවැත්තුවා චෙක් කරන්න. මම බස් එකෙන් බහින්න ඉස්සරහට එද්දී එතන හිටගෙන හිටිය ගෑනු ළමයෙක් ​ෆෝන් එකෙන් කාටදෝ කතා කර කර අඬ අඬ හිටියා.”  
බසයෙන් බැසගත් කුමාර මගීන් පරීක්ෂාව සිදු කරන ස්ථානයේ පෝලිමට එකතු වූයේය. තමා පිටුපසින් ඉහත කී කාන්තාව ද පෝලිමට එකතු වූ බව කුමාරට හැඟුණේ පිටුපසින් ඇසුණු දුරකථන සංවාදය නිසාවෙනි.   
“මං මැරිලා යනවා. මීට වඩා ඒක හොඳයි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න අම්මා.” නාඳුනන්නී එසේ කියමින් හඬන්නීය. අැගේ වදන්වලට දුරකථනයේ එහා කෙළවරින් පිළිතුරු ලැබී ඇත. ඇය නැවතත් හඬයි. නොයෙක් නොයෙක් පිළිතුරු ලබා දෙයි. කුමාරට ඇත්තේ ගැටලුවකි.   


“ඇයි නංගී, මොකක් හරි ප්‍රශ්නයක් ද?” කුමාර නාඳුනන්නියගෙන් ඇසුවේය.   


“නෑ අයියා පුංචි ප්‍රශ්නයක්.” ඕ සිනා සෙන්නට උත්සාහ දරමින් කීවාය.   


හමුදා නිලදරුවෝ පෝලිමේ ආ අයවලුන්ගේ ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරන්නට වූහ. ඊළඟ අවස්ථාව එළැඹියේ කුමාර වෙතය. තමන් වව්නියාව පොලිසියේ සේවය කරන නිලදරුවකු බව කියූ කුමාර පොලිස් හැඳුනුම්පත ඔවුන් වෙත ඉදිරිපත් කළේය. හමුදා නිලදාධාරීන් කුමාරට සහ ඔහුගේ පිටුපසින් පැමිණි නාඳුනන්නීට ද පිටත්ව යාමට අවසර දුන්නේ ඇය කුමාරගේ කවුරුන්​ හෝ වෙතැයි සිතාය.   


“අනේ අයියා ඔයාට ස්තූතියි. මම අයිඩෙන්ටි එක අමතක වෙලා ඇවිල්ලා. තව ඩිංගෙන් ඉවරයි.”  


“මේ දවස්වල එහෙම එළියට බහිනව ද? ඔයා වෙන මොනවා හරි ගැටලුවක නේද ඉන්නේ?”  


කුමාරත්, අමන්තිත් මිතුදම ආරම්භ කළේ එලෙසිනි. ඒ වනවිට කුමාර 29 වියේත් අමන්ති 27 වියේත් පසු වූ අතර තමන් විවාහකයකු හෝ පියකු හෝ වන බව අමන්තිගෙන් වසන් කිරීමට කුමාර සිතුවේ අමන්ති විවාහක කතක් නොවූ නිසාය.

   
“එදා මම එයාගෙන් ඇහුවා අනුරාධපුරේට යන බස් ​හෝල්ට් එක කොහේද කියලා. එයා මට ඒ බස් හෝල්ට් එක පෙන්නුවා. ඊට පස්සේ එයා ගියේ කුරුණෑගල බස් හෝල්ට් එකට. මගේ දෛවය මාවත් ඒ බස් එකටම අරගෙන ගියා. මම බස් එකෙන් බැහැලා එයා ඉන්න බස් එකට නැගලා එයා ළඟින් වාඩි වුණා. කුරුණෑගලට ටිකට් ගත්තා. එයා හෙදියක්. කුරුණෑගල රෝහලක සේවය කළේ. මම එදා පැය ගණනක් එයා එක්ක බස් එකේ ගිහිල්ලා එයාගේ ටෙලි​ෆෝන් නම්බර් එකත් අරගෙන ආපහු බස් එකෙන් බැහැලා ගෙදර ආවා.”  


එදිනෙන් ඇරැඹි මේ ඇසුර වසර දෙක තුනක් පුරා දිවයන්නේ තහනම් ගහේ ගෙඩිවල රසය කුමාරට දනවමිනි.   “එයා කිව්වා එයා ආමි එකේ එක්කෙනකුගෙන් විනාශ වුණා කියලා. මං එයාට ඇත්තටම ආදරය කළා. මම නිවාඩු එන හැම දවසකම කුරුණෑගලට ඇවිල්ලා එහේ හෝටලයක නවාතැන් අරගන්නවා අමන්තිත් එක්ක. දවසක් එයා එක්ක ඉඳලයි මම අනුරාධපුරේ යන්නේ. ආපහු නිවාඩු ඉවර වෙලා එන දවසේ වැඩට යන්න කලින් දවසක් එයා එක්ක ඉඳලයි මම වැඩට යන්නේ.”  


මේ ආදරය හමුවේ සැකය යනු සුව නොවන රෝගයකි. සැකයේ විෂබීජය මේ හිත්වලට එකතු වූයේ කුමාරත්, අමන්තීත් කුරුණෑගල ගත කළ එක්තරා රාත්‍රියකදීය. නොනවත්වාම නාදවන අමන්තිගේ ජංගම දුරකතනයට ඇය පිළිතුරු නොදී සිටීම පිළිබඳ කුමාරට ඇති වූයේ සැකයකි.   


“කවුද ඒ? ඇයි උත්තර දෙන්නෙ නැත්තේ?”   


“කරදරයක් අප්පා. ඔය අනුර අයියා.”

   
රෑ මැදියමේ තම හිතවතියගේ ජංගම දුරකතනයට ඇමතුම් දෙන මොහු ඇගේ සහෝදරියගේ පුරුෂයා බවට කුමාර හඳුනා ගනියි.   


“එදා මම සද්ද නොකර හිටියා. ඊට පස්සේ මම මේක හෙව්වා. මට දැන ගන්න ලැබුණා. අමන්තිව එයාගේ මස්සිනා තියාගෙන ඉන්නවා කියලා. පස්සේ මම නිවාඩුවක් දාලා ඇවිත් එයාට එන්න කියලා මේක හාර අවුස්සලා ඇහුවා. එතකොට එයා දිවුරලා කිව්වා එහෙම දෙයක් තිබුණා, ඔයාව හම්බ වෙච්චි දවසේ ඉඳලා ඒක නතර කළා කියලා. ඒ කියන්නේ එයා මාව තෝරා ගත්තේ එයාගේ මස්සිනාගෙන් ගැලවෙන්න කියලත් එයා මට කිව්වා. ඒ වෙද්දි මට අමන්තිව අත හරින්න බැරි මට්ටමක හිත හැදිලා තිබුණේ. ඒ නිසා මං එයාට සමාව දුන්නා.”  


නැවතත් මොවුන් දෙදෙනා සිය ජීවිත ගෙවා දැමුවේ කිසිත් නොවූ ආකාරයටය. මේ අතර අමන්තිගේ මිත්තනියක මිය යන්නීය. ඒ අවමංගල උත්සවය වෙනුවෙන් කුමාර නිවාඩු අනුමත කර ඇගේ නිවසට යන්නේ අමන්තිගේ පෙම්වතා නොඑසේ නම් අමන්ති ආවාහ කර ගැනීමට සිටි අය ලෙසිනි.   


“එහෙදී පවුලේ ඔක්කෝම මට ආදරෙන් සැලකුවා. එදා මස්සිනාගේ ප්‍රශ්නය ඇදිලා ඇවිල්ලා නෑදෑයෝ එයාට ගහලා ගෙදරින් එළෙව්වා. ඒ මනුස්සයා මළගෙදරට ඇවිත් තියෙන්නේ මාව හම්බවෙන්න. එයා මාව වෙන පොලිසියකට මාරු කරලා දාන්නත් ලොකු උත්සාහයක් අරගෙන තිබුණා.   


එදා තමයි මං අන්තිමට කිව්වේ මම බැඳලා ඉන්නේ, මට පුතෙක් ඉන්නවා කියලා. එදා එයා හොඳටම ඇඬුවා. ඊට පස්සේ කිව්වා වයිෆ්ව ඩිවෝස් කරලා එයාව බඳින්න කියලා. හම්බ වෙන හම්බ වෙන හැම සැරේම එයා කිව්වේ එයාව බඳින්න කියලා. කාලයත් එක්ක මට ඒක වදයක් වුණා. මොකද වගේ වයිෆ් හරිම හොඳ කෙනෙක්. එයා මේ මොනවත් දන්නේ නෑ. එයාට කවුරු හරි කිව්වත් මම වෙන සම්බන්ධයක් පවත්වනවා කියලා එයා ඒක පිළිගන්නේවත් නෑ. ඒ තරමටම එයා මට ආදරෙයි. මේ ආදර කතාන්දර දෙක ඇතුළේම මම හිර වුණා.”  


කුමාරගේ දෙනෙත් කඳුළින් බර වනු පෙනිණි. කියා ගන්නට නොහැකි බොහෝ දේ ඒ දෙනෙතින් කඳුළු කැට බවට පරිවර්තනය වී ඇතැයි මට සිතිණි.   


“ඉතිං මේ ආදරයට මොකද වුණේ?”   


“මං මේ දෙන්නා අතර දෝලනය වෙද්දි මාලතී​ෙග් ආදරය මොන වගේ ද? අමන්තිගේ අාදරය මොන වගේ ද? කියලා තේරුම් ගන්න උත්සාහ කළා. මාලතී කිසිම දවසක මට උඹ නොදකිං කියලා කතා කරලා නෑ ඒත් අමන්ති ඊට ගොඩක් වෙනස්.   එයා පොඩ්ඩ ඇත්නම් මට සැර දානවා. කැත වචනයෙන් බණිනවා. සමහර වෙලාවට කුණුහරුපයෙන් තමයි මට බණින්නේ. මම ටෙලි​ෆෝන් දෙකක් පාවිච්චි කළා. මොකද මම ගෙදරට කතා කරන ලයින් එක බිසී වුණොත් ඉවරයි. අමන්ති බණිනවා. මට වැඩක් කර ගන්නත් නෑ. එදා හිටිය අමන්ති නෙවෙයි මා ළඟ ඒ වෙනකොට හිටියේ.


‘ඔයා ඒ ගෑනිව දාලා එන්න. නැත්නම් මම උඹලා දෙන්නවම මරනවා.’ අමන්තිගේ කටේ තිබ්බෙම ඒ වචන. මට මේ දේවල් කියන්න හිටියේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් විතරයි. මං මේවා ඒ දෙන්නට කිව්වා.   
‘මචං උඹට කවදා හරි වෙන්නේ මොකක් ද කියලා හිතා ගන්න බැරි වෙයි. ඔය සම්බන්ධ නතර කරපං. දරුවා ගැන හිතපං. අනික ඔය ගෑනි උඹට ගැළපෙන්නේ නෑ. උඹේ වයිෆ් කොච්චර හොඳ ද බං.’ ”
ඒ වනවිට කුමාරගේ මිතුරෝ කුමාරගේ මේ අනිසි සබඳතාව බිඳ දැමීමට නොයෙක් යෝජනා ඔහුට ඉදිරිපත් කළහ. ඒ වනවිටත් අමන්ති සහ ඔහුගේ මස්සිනා අතර ඇති සබඳතාව මිතුරන් විසින් නැවතත් කුමාරගේ දැන ගැනීමට සැලැස්වූහ.   


‘මචං ඔන්න උඹට කියලා තියෙන්නේ බොරු. ඒ සම්බන්ධෙ තාම තියෙනවාලු. උඹ හොඳට හොයපං.’   


“යාළුවන්ගේ කීම නිසාත් අමන්තිගේ හැසිරීම නිසාත් මං අමන්ති එක්ක මාස තුනක් විතර ආශ්‍රය අත් හැරියා. එතකොට එයා වව්නියාව පොලිසියට ආවා මාව බලන්න. මම කිව්වා අපි මේක නතර කරමු, ඒක දෙන්නටම හොඳයි කියලා. ඒත් එයා ඇඬුවා. ‘මට ඔයාව ඕනෑ. නැත්නම් මං මැරෙනවා’ කිය කියා කෑ ගහලා ඇඬුවා. මේ ජීවිතය කෙතරම් පීඩාකාරී එකක් දැයි කුමාරට වැටහෙන විට සියල්ල විසඳෙමින් තිබුණේ කුමාරට ද නොදැනෙමිනි.  “එදා මම එයාට හොරෙන් ගෙදර ආවා නිවාඩුවක් දාලා. මම එයාට කිව්වා ‘මම ස්පෙෂල් ඩියුටි එකකට යාපනේ යනවා, ඇවිත් ​කෝල් එකක් දෙන්නම්’ කියලා. මම එයාට කතා කරන ෆෝන් එක ඕෆ් කරලා මගේ ලොකර් එකට දාලා වහලා මම නිවාඩු ආවා. ඒක තමයි එයාව හම්බ වුණාට පස්සේ එයා එක්ක එකට ඉන්නේ නැතුව ගෙදර ගිය පළමු දවස. මම ගෙදර ආවා.”


එදින රාත්‍රියේ කුමාරත් මාලතීත් දෙදෙනා එක්ව රාත්‍රී ආහාරය පිසිනු ලැබූහ. ආදරය පිරුණු තම බිරිඳගේ අතින් කුමාරත් පුංචි පුතුත් කෑම කවා ගත්තේ සතුටිනි. දින ගණනාවකට පසු නිවෙසට පැමිණි තම සැමියා වෙනදාට නැති ආදරයකින් තමන්ට සහ පුතුට සලකන අයුරක් මාලතීට දැනෙන්නට ඇත. මාලතීගේ ආදරණීය බව හමුවේ කුමාර අතරමං වූයේ අමන්තිගේ සැඩ පරුෂ වචන සිහි වීමෙනි. ‘මෙච්චර ආදරේ කරන ගෑනියකුට මං කොච්චර ද්‍රෝහි වෙනවා ද? මං මේ කරුම සම්බන්ධෙ නවත්වනවා.’ කුමාරට දහස් වාරයක් සිතිණි.   


“එදා රෑ අපි දෙන්නා ආදරෙන් තුරුළු වෙලා හිටිය ගොඩාක් වෙලා. පුංචි පුතා නිදිකරවලා එයාව ඇඳේ තියලා මෙට්ටයක් බිමට දාගෙන අපි දෙන්න නිදාගත්තා. ඒත් එක්කම වගේ අපිට දැණුනා කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා වගේ. වයිෆ් නැගිටලා බාත්රූම් එකට යන්න හැදුවා. මම එයාට කලින් කාමරෙන් එළියට ආවා. එතකොටම කළු රෙද්දක් ඔළුවේ ඔතාගෙන හැංගිලා හිටපු කෙනෙක් මගේ බෙල්ලෙන් අල්ල ගත්තා. මම මොකද වුණේ කියලා බලන්න හදනකොටම වගේ වයි​ෆ් දුවගෙන ආවා ‘අනේ අප්පච්චි මේ කවුද? ඇයි මේ’ කියාගෙන.   එතකොටම මම අඳුන ගත්තා ඒ ඉන්නේ අමන්ති කියලා. එයා මගේ බෙල්ලෙන් අල්ලගෙන කිව්වා ‘උඹ මටත් හොරෙන් මේකි එක්ක බුදියගන්න ආවා නේද?’ කියලා. මේ මොනවත්ම දන්නේ නැති මගේ වයිෆ් බය වෙලා මාව බදාගත්තා. අනේ එතකොටම අමන්ති හංගගෙන හිටපු පිහියක් ඇදලා අරගෙන මාලතීගේ පපුවට දෙපාරක්ම පිහියෙන් ඇන්නා. මාලතී බදාගෙන කෑ ගැහුවා. අමන්ති ඉස්සරහ දොරෙන් පැනලා දිව්වා.”   


අසමම්ත ආදරයක කෙළවර එලෙස සනිටුහන් වෙද්දි මාලතී සිය සිඟිති දරුවා ද මෙලොව තනි කර දමා නික්ම ගියාය.   


“එයා කොහොම ද එතැනට ආවේ?”   


“මම ආවට පස්සේ එයා පොලිසියට කෝල් කරලා මගේ වයිෆ් විදිහට කතා කළාම පොලිසියෙන් කියලා එයා නිවාඩු ගියා කියලා. මෙයා ඊට පස්සේ ඉන්සියුලින් පුරවපු සිලින්ජර් තුනකුයි පිහියකුයි අරගෙන රෑ අන්තිම බස් එකේ අපේ ගෙදරට ඇවිල්ලා කළුවර වැටෙද්දී ගෙට රිංගගෙන හැංගිලා ඉඳලා. පැය 7ක් විතර හැංගිලා ඉඳලා. අපි නිදාගන්නකොට තමයි නැගිටලා ඇවිල්ලා බලාගෙන ඉඳලා තියෙන්නේ. අපි දෙන්නගේ හැසිරීම බලාගෙන ඉන්න බැරිවෙලා තමයි එයා මාලතීට පිහියෙන් ඇනලා තියෙන්නේ. අනේ මගේ වයිෆ් මේ මොනවත්ම දන්නේ නෑ. එයා මැරුණේ ඇයි කියලවත් එයා දන්නේ නෑ.”   


ආදරයයි වෛරයයි අතරේ වෙනස කුමක්දැයි අද වනවිට කුමාර හොඳින්ම තේරුම් ගෙන ඇත. එහෙත් ඒ දහම තේරුම් යන විට සියල්ල සිදු වී හමාරය. සියල්ල බුද්ධියෙන් විමසාලූයේ නම්, ඔහු තවමත් ඔහුගේ ආදරණීය බිරිඳගේ සැමියාය. ලෝකයේ හයක් හතරක් නොදන්නා දරුවා ද අතරමං නොවන්නේය. අප ආදරය කළ යුතුය. එහෙත් එහි සීමාව කොතැනදැයි අප දැනගත යුතුය.   


(මෙහි එන නම් ගම් මනඃකල්පිතය)


විශේෂ ස්තූතිය: බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්‍ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, විනය අංශ බාර ජේලර් ගයාන් තිලකරත්න, පුනරුත්ථාපන නිලධාරී පියසිරි වටගොඩ සහ ඩී.එන්.ඩී. කොස්තා යන මහත්වරුන්ට. 

 

 

නිමන්ති රණසිංහ