විශ්වාස භංගයෙන් පසු ජනාධිපතිවරයාගේ සහ රටේ ඉරණම පිළිබඳ මේ විග්‍රහය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගෙනි. 


මේ විශ්වාසභංග යෝජනාව රටේ තියෙන අවුල් සහගත තත්ත්වය තවත් උග්‍ර කරපු සිදුවීමක්. විශ්වාසභංගය ගෙනාපු අය අපේක්ෂා කරපු විදියට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කරන්න බැරිවුණා. එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වුණා පක්ෂයේ ඒකමිතිකභාවය ආරක්ෂා කර ගන්න. මතභේද මැද වුණත් එක කණ්ඩායමක් විදියට ඔවුන් ක්‍රියා කළා. 


මේ විශ්වාසභංගය ගැන කතා කරද්දි අපි අවධානය යොමු කරන්න ඕනෑ පොහොට්ටුව  ආශ්‍රීත කණ්ඩායම මේකට දීපු දායකත්වය. අනිත් එක තමයි රටේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු දායකත්වය. මේ හරහා අපි දැකපු විශේෂ දේ තමයි පළමු වතාවට ජනාධිපතිවරයා අසමත් වෙනවා තමන් වටා එකතු කරගෙන හිටි පිරිස් එක මතයක පිහිටුවාගෙන කටයුතු කරන්න. 


එක පිරිසක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙද්දි තවත් පිරිසක් ඒකට විරුද්ධ වෙනවා. ඔවුන් ඒක පෙන්නුම් කරන්නේ ඒ අවස්ථාවට සහභාගි නොවී සිටීමෙන්. පැහැදිලිවම දැන් ජනාධිපතිවරයා මේ විශ්වාසභංග ආරවුලෙන් පරාජයට පත්වෙලා තියෙනවා. 


ඒත් ජනාධිපතිවරයා සතුව පුළුල් නෛතික බලයක් තාමත් තියෙනවා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ තටු කැපුවත් තාමත් රටේ ප්‍රධාන විධායකයා ආණ්ඩුවේ නායකයා, රාජ්‍යයේ නායකයා හා සේනාධි නායකයා වෙන්නේ ජනාධිපතිවරයා. 


ජනාධිපතිවරයාත් එක්ක තමයි ආණ්ඩුවක් කරන්න වෙන්නේ. එතකොට ජනාධිපතිවරයාට පුළුවන් අගමැතිවරයා අලුත් ආණ්ඩුවක් හැදුවත් ඒකත් එක්ක ඉදිරියට යන්න. ඒ වගේම මේ දෙන්න අතරෙ යම් යම් ගැටුම් ඉදිරියේදි දිග හැරෙන්නෙ නෑ කියල අපිට විශ්වාස කරන්නත් බෑ. 


අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමෙන් ජනපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් වගේ දෙයක් කරළියට ඒමක් සිද්ධ වෙන්න හැකියාවක් නැත්තෙ නෑ. ඒකටත් ලොකු පසුබිමක් සැකසෙන්න ඕනෑ. මේ මොන තත්ත්වය වුණත් රටට නම් මේවයින් කිසිම ජයග්‍රහණයක් නෑ කියන එක තමයි අපිට පේන්නේ. 


අද රට ඉතාම දරුණු විදියට අගාධයට යමින් තියෙන්නේ. රාජ්‍ය අංශය විශාල වශයෙන් පිරිහීමකට ලක්වෙලා. මේවයින් ගොඩ ඒමක් නෑ. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු ගැනීමේදී රට ගැන නෙවෙයි වැඩිපුර කල්පනා කරන්නේ. රට ඉතාම දරුණු ආර්ථික අර්බුදයකට ලක්වෙලා තියෙනවා. රට ණයවෙලා තියෙන ප්‍රමාණය ගැන සලකා බලද්දි මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තත්ත්වයක ඉන්නේ. 
මහජනයා ඉතාමත් දුෂ්කරතාවලින් බැට කමින් පීඩාවකට ලක්වෙච්ච යුගයක් මේක. එක පැත්තකින් රට දේශපාලනිකව අරාජික වෙලා. අනිත් පැත්තෙන් ආර්ථික අර්බුදයකට මුහුණදීලා තියෙනවා. අනෙකුත් හැම අංශයකමත් අඩු වැඩි වශයෙන් තත්ත්වය ඕක තමයි. 


පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ කණ්ඩායම යම් ප්‍රගතියක් අත්පත් කර ගන්න සමත් වුණා. ඒත් මේ විශ්වාසභංගය හරහා ඒ ප්‍රගතිය රැකගන්න ඔවුන් අපොහොසත් වුණා. ඔවුන්ගේ පැත්තෙන් මේක පරාජයක්. ඒ අතින් විශ්වාසභංගය ගැන දැඩි විදියට විශ්වාස කරපු අයත් මේ හරහා ආරවුලකට ගියා. 


අපේ රටේ මේ වෙනකොට අපි දන්නවා විශාල බුද්ධිමය බංකොළොත් භාවයක්. පළාත් පාලන මැතිවරණයේදි අපි ඒක දැක්කා. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ගිය වෙලාවෙ අපි ඒක දැක්කා. හැම අංශයකටම මේ තත්ත්වය පොදුයි. දැනුමේ පූර්ණ බංකොළොත් භාවයක් තුළ රටකට සිද්ධ වෙන්න පුළුවන් අනතුර විශාලයි. 


මේ ආරවුලේ ප්‍රකාශනය තමයි දේශපාලන කරළිය තුළින් ප්‍රකාශයට පත් වෙන්නේ. මේ වගේ අවුලක් එක්ක රටකට ඉදිරියට යන්න බෑ. මේ යම් යම් ක්ෂේත්‍රවල කඩා වැටීම් හරහා දීර්ඝකාලීනව රටට ගොඩ එන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. 


මේ ඇතිවෙලා තියෙන දේශපාලන අරාජිකත්වය මේ තත්ත්වය තව තවත් උග්‍ර කරන්න සමත් වෙනවා. ලෝකයේ වෙනත් රටවලුත් මේ වගේ අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීලා තියෙනවා. දැන් අපිත් ඉන්නේ ඒ කාලකණ්ණි භාවයේ මුවවිට. එහෙමත් නැත්නම් මහා ප්‍රපාතයකට අැද වැටෙන්න ඔන්න මෙන්න. 


ඒත් රටේ දේශපාලන නායකයින්ටවත් බුද්ධිමය පාර්ශ්වවලටවත් මේ අනතුර පිළිබඳ සැබෑ හැඟීමක් තියෙන බවක් පේන්න නෑ. මේ වගේ තත්ත්වයකින් රට ගොඩ ගන්න නම් මට පේන හැටියට තියෙන එකම විසඳුම කොන්දේසි විරහිතව රටේ සියලු නායකයින් එකට සිට ගත යුතුයි. මෛත්‍රී වේවා, රනිල් වේවා, මහින්ද, වේවා සම්බන්දන් වේවා හැම දෙනාම පටු දේශපාලන අරමුණු ඉලක්කවලින් ඈත් මෑත් වෙලා එකට එක්විය යුතුයි. මේ දේශපාලන අරාජිකත්වයට යම් විසඳුමක් ඒ හරහා පාදා ගන්න පුළුවන්. 


දැන් ලංකාව තියෙන්නෙ විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය තත්ත්වයක. මේ ගැන අවධානය යොමු කරන්න තවදුරටත් මේ දේශපාලන නායකයින් අපොහොසත් වෙනවා නම් රටේ ඉරණම තීන්දු වෙන්නේ හරිම දරුණු ආකාරයට වෙන්න පුළුවන්. 


මේ විශ්වාසභංගය හරහා පුද්ගලිකව එක එක්කෙනාට මොකද වෙන්නේ කියලා හොයනවට වඩා වැදගත් වෙන්නේ පොදුවේ රටේ ඉරණම තීන්දු වෙන්නේ කොහොමද කියලා හොයලා බලන එක. හැම දේශපාලන නායකයටම මේ හරහා අඩු වැඩි වශයෙන් දේශපාලන සසලවීමක් වුණා වෙන්න පුළුවන්. ඒත් ඒක නෙවෙයි වැදගත්. ඒ හරහා රටට මොකද වෙන්නේ කියන එකයි වැදගත්. 


ජනාධිපතිවරයා ඉන්නෙත් ඉතාම ශෝක ජනක තත්ත්වයක. අනිත් අයත් එහෙමයි. ජනාධිපතිවරයා එදා ඉඳලා කරපු නොවැදගත්ම දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරගහගත්තු එක. දැන් ඒකෙ බරපතළකම ඔහුට තේරෙනවා ඇති. ඔහු ක​ෙළ් ඔහුට අයිති නැති දෙයක්. අද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඔහුව දෙපැත්තට අදිනවා. ඒ තරම් පටු විදියට හිතන්න ගිය එකෙන්ම තමයි ඔහු මේ තත්ත්වයට වැටුණේ. අපිට ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගත ඉරණම ගැන දැන්ම අනාවැකි කියන්න බෑ. ඒත් ඔහුගේ අනාගත ඉරණම විතරක් නොවෙයි අනතුරක තියෙන්නේ. රටේම අනාගතය බරපතළ අනතුරක තමයි තියෙන්නේ. මේ අනතුරින් බේරෙන ක්‍රමෝපාය හොයාගන්න එක තමයි දැන් තියෙන ලොකුම අභියෝගය.

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි