දිනෙන් දින ධාවනයට එක් වෙන රථවාහන සංඛ්‍යාවත් සමග රථවාහන අනතුරුවලින් සිදුවන මිනිස් ජීවිත විනාශවී යාමද මෑතක සිට ඉහළ යමින් පවතී. රථවාහන අනතුරු බහුල වුවද ඒවා පාලනය සඳහා තවමත් ක්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබීම කනගාටුවට කරුණකි. වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා ධාවනයට එක් වුවද ඒ සඳහා ක්‍රමවත් මාර්ග පද්ධතියක් සකස් නොවීමද මෙම රථවාහන අනතුරු ඉහළ යාමට හේතුවක් වී තිබේ. මෙයට වසර ගණනාවකට පෙර මෙතරම් ජනගහනයක් නොපැවතුණද මෙතරම් වාහන තොගයක්ද දක්නට නොලැබිණි.


යටත් විජිත සමයේ මෙරට මහා මාර්ග ඉදිකෙරුණේ එදිනෙදා ගමන් බිමන් යාමටත් භාණ්ඩ ප්‍රවාහනයත් මූලික කර ගෙනයි. එහෙත් ක්‍රමයෙන් මිනිස් අවශ්‍යතාත් සමග ගමනාගමන කටයුතු ද පුළුල් විය. වසර ගණනාවකදී එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා භාවිත කළේ අත් කරත්තය, බර කරත්තය හා බක්කි කරත්තයි. අද ඒවා සියල්ල පෞරාණික කෞතුක භාණ්ඩ වී තිබේ. අද වන විට අති සුඛෝපභෝගී නවීන පන්නයේ වාහන රැසක් ධාවනයට එක් වී තිබේ. එම වාහනවලට සරිලන මාර්ග පද්ධතියක් තවමත් නොතිබීම නිසා අනතුරු බහුලවීමටද හේතුවක් වී ඇත. අධිවේගී මාර්ග ඉදිකළද ඒවා භාවිත කරන්නේ අත්‍යවශ්‍යතා ඇති සීමිත පිරිසකි.


දිනපතාම රිය අනතුරු ඉහළ ගියද මෙම අනතුරු වළක්වා ගැනීමට හෝ එම අනතුරු අවම කිරීමට හෝ ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාව දැනට ඉස්මතු වී තිබේ. නවීන ලෝකයත් සමග තරඟ කිරීමට තාක්ෂණය දියුණු වූ රටවල මාර්ග පද්ධති දෙස බැලීමේදී ශ්‍රී ලංකාව බොහෝ පහත් මට්ටමක පවතී. මාර්ග සකස් කළද ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීම, පුළුල් කිරීමට පවතින ප්‍රායෝගික ගැටලු නිසා තවමත් යටත් විජිත යුගයේ නිර්මාණය වූ මංමාවත් බොහොමයක් එලෙසම පවතී. ඒවා සුළු වශයෙන් නඩත්තු කළද දැනට පවතින වාහන තදබදයට එම මාර්ග ප්‍රමාණවත් නැත.


21 වැනි සියවස ගත කරන අපට තවමත් ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් සකස් කරගැනීමට නොහැකි වී තිබේ. අපේ  මුතුමිත්තන්ගේ කාලයේ සුදු පාලකයන් එදා නිර්මාණය කළ මාර්ග පද්ධතියම තවමත් පවතියි. ඒවා විටින් විට නඩත්තු කළද පුළුල් කිරීම මන්දගාමීව සිදුකෙරෙන අතර එම මාර්ගවල ධාවනය වන රථ වාහන සංඛ්‍යාවද වෙනදාට වඩා ඉහළ ගොස් තිබේ.


ධාවනයට එක්වන වාහන තරමට මාර්ග පුළුල් නොකිරීමත්, ප්‍රමිතියකින් තොර මාර්ග ඉදිකිරීමත්, මාර්ගවලට ඔරොත්තු නොදෙන වාහන ධාවනයට එක් කිරීමත් බොහෝ අනතුරුවලට හේතුවී ඇතැයි දැනට අනාවරණය කර ගෙන තිබේ. එහෙත් ඒ සඳහා තවමත් පිළියම් නොයෙදීම නිසා රථවාහන අනතුරු ඉහළ ගොස් වටිනා ජීවිත විනාශ වී යාම වළක්වා ගත යුතුව ඇත.


මෙම අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් රජයට විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට ඇතැයි අප කළ විමසීමකදී මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ආර්. පසිඳු මහතා ප්‍රකාශ කළේය. 2014 වසරේදී මේ පිළිබඳව කරුණු අධ්‍යයන කොට විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා කළද තවමත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවයි ඔහු සඳහන් කළේ.


මෙම අනතුරු හා ඒවා සිදුවන ආකාරය පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ විනයක් නොමැතිකම හා රියදුරන්ගේ නොසැලකිල්ල නිසා බොහෝ අනතුරු සිදුවන බවයි. මර්ගවල පවතින අඩුපාඩු රැසක් ද මෙම අනතුරු ඇතිවීමට බලපාන අතර අප දැනට අනුගමනය කරන නීති රීති ද බලපාන බව ඔහු සඳහන් කළේය.


මේ පිළිබඳ අදහස් පළ කළ ආචාර්ය එච්.ආර්. පසිඳු මහතා,
අපේ රටේ අනතුරු බහුල වෙන්න බලපාන ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. මම කලින් සඳහන් කළ ආකාරයට රියදුරන් අතිනුත් මාර්ග නඩත්තු නොකිරීමද නිසාද සිදුවන අනතුරු බහුලයි.


අපේ තිබෙන නීති පද්ධතියේ දුර්වලතාවන්ද මෙම අනතුරුවලට බලපානවා. දඩ ගැසීමේ කටයුතුත් බලපානවා. ඒක නිසා එක් කාරණයක් කියලා වෙන් කරන්න බැහැ. අපි හැමෝම හිතන්නේ රියදුරන්ගේ වරදින් අනතුරු සිදුවනවා කියලනේ. 


අපි 2014 වසරේ එවකට ආමත්‍ය පී. දයාරත්න මහතාගේ කාලයේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් දාලා හොඳ අධ්‍යයනයක් කළා. එහිදී අපි යෝජනා හා විසඳුම් කිහිපයක් ඉදිරිපත් කළා. එහිදී අපි ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් තමයි මාර්ග ආරක්ෂාව කියන එක. අපි මාර්ග පිළිබඳ අධ්‍යනයක් කළ යුතු වෙනවා. අපි කියන්නේ අනතුරු සිදුවෙනවා කියලා. නමුත් ඒ අනතුරු සිදුවන්නේ කොහොමද?, මොකක්ද මේකට හේතුව කියලා අපි දන්නේ නැහැ. නමුත් ජාතික මට්ටමින් අපි මාර්ග පිළිබඳ අධ්‍යයනයක් කරලා නැහැ. දැන් ලෝකයේ අනිකුත් රටවල ඇමෙරිකාව, සිංගප්පූරුව වගේ දියුණු රටවල නිතරම වාගේ අධ්‍යනයක් සිදුවෙනවා. ඒ යටතේ මාර්ග නඩත්තුව, මාර්ගය කොපමණ දුරට ආරක්ෂාවක් පවතින්නේද යන්න පිළිබඳව නිතිපතා අධ්‍යයනයක් සිදුකරනවා. මාර්ග හදන අවස්ථාවල ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යයි.


දැන් අපේ රටේ මාර්ග නිර්මාණ කිරීමේදී මාර්ග අරාක්ෂාව පිළිබඳ අධ්‍යයයනයක් කරන්න අවශ්‍යයි. උදාහණයක් වශයෙන් මාර්ග පිළිබඳ දැනුම ඇති ඉංජිනේරුවන් දැනුවත් කළ යුතුයි. ඒ ආශ්‍රිතව ඇති ආයතන දැනුවත් කළ යුතුයි. දැන් තිබෙන තත්ත්වයට වඩා ඔවුන් දැනුවත් කළ යුතුයි. දැනට තිබෙනවා මාර්ග ආරක්ෂාව පිළිබඳ ආයතනයක්. අන්න ඒ ආයතනයට මීට වඩා බලතල ලබාදිය යුතුයි. දැනට තිබෙන නීති රීති ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ආයතනයක් බලාත්මක කළ හොත් විශාල වැඩ පිළිවෙළක් කරගැනීමට හැකි වනවා. දැනට එම ආයතනට තිබෙන බලතල ප්‍රමාණවත් නැහැ.


මාර්ගවල තිබෙන සැලසුම්, මාර්ග නඩත්තු කිරීමේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ මෙයට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපි ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ආධාර ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට ඒ ගොල්ලෝ මාර්ග අරක්ෂාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කරනවා. ඒකෙදී විශේෂ විගණන අධ්‍යයනයක් කරනවා. එහිදී මතුවන ගැටලු හා ප්‍රශ්න හඳුනාගැනීම තුළින් නව මාර්ග සකස් කිරීමේදී ඊට විසඳුම් හැටියට.


නමුත් ලංකාවේ හැදෙන නව මාර්ගයකටම එම විසඳුම් ලබාදෙනවාද? එහෙම අධ්‍යයනයක් සිදුකරනවාද කියන එක ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන් නගර සභාවක් යටතේ ඉදිවෙන මාර්ගයකට වුවත් එහෙම අධ්‍යයනයක් අවශ්‍යයි. මොකද මාර්ගවල බොහොමයක් දුර්වලතා තිබෙනවා. මාර්ග අනතුරු සිදුවන්ගේ අපි හිතන්නේ රියදුන්ගේ වරදකින් තමයි මේ මාර්ග අනතුරු සිදුවන්නේ කියලා. නමුත් මාර්ගවල තිබෙන ගැටලුත් බොහෝ බලපනාවා අනතුරු සිදුවෙන්න.


අපි පෙන්වලා දුන්න තවත් කාරණයක් තමයි රියදුරු බලපත් නිකුත් කිරීමේදී ලබාදෙන පරීක්‍ෂාව පිළිබඳව. මොකද දැන් රියදුරු බලපත්‍ර ලබාදීමේදී කරන පරීක්‍ෂාව අපේ රටේ බොහොම දුර්වලයි. අපේ රටේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට ඉතාමත් පහසුයි. අපේ රටේ රියදුරු බලපත්‍ර ලබාදීමේදී බොහෝ අඩු පාඩු තිබෙනවා. නිසි පරීක්‍ෂාවකට ලක් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට රියදුරු බලපත්‍රයක් ලබාගත හැකියි. සෑම වසරකම පාහේ රියදුරු බලපත්‍ර ලබාදුන්නද ඔවුන්ට මාර්ග ආරක්‍ෂාව පිළිබඳව හෝ වාහනයක් හැසිරවීම පිළිබඳව හොඳ අවබෝධයක් වගේම, පුහුණුවක් නැහැ. ඒක විශාල අඩුපාඩුවක්, ඒකෙන් තමයි නොසැලකිලිමත් රිය ධාවනයක් වන්නේත් අනතුරු සිදුවන්නේත් එවැනි පුහුණුවක් නැති කම නිසාය. මාර්ග භාවිතයේදී රියදුරන්ගේ හැසිරීම මීට වඩා දියුණු කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි.


ඒ වගේම රියදුරන්ගේ සෞඛ්‍යය තත්ත්වය විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය කරන අය වගේම අනිකුත් පෞද්ගලික අංශයේ වගේම සියලුම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර යාවත්කාලීන විය යුතුයි. අපේ රටේ රියදුරු බලපත්‍රයක් නිකුත් කළාම ඒ පිළිබඳ පසු අධ්‍යයනයක් නැහැ. අදාළ රියදුරාගේ සෞඛ්‍යය තත්ත්වය යහපත්ද කියලා සොයාබැලීමක් නැහැ.


තවත් ක්‍රමයක් තමයි මේ රියදුරන්ට දඩ නිකුත් කිරීම. අදාළ විනය ලැබෙනවාද කියන එකත් සොයා බැලිය යුතුයි. මොකද දඩයක් නිකුත් කරලා දඬුවමක් නියම කළ රියදුරන් නැවත වතාවක් ඒ වැරැද්දම කරනවා. ඒක නිසා දඩයට වඩා රියදුරන්ගේ විනය, මාර්ග නීති රීති පිළිපැදීම යන දේට යොමු වන වැඩපිළිවෙළක් අවශ්‍යයි.


විශේෂයෙන් රියදුරන්ගේ රියදුරු බලපත්‍රයේ සඳහන් කළ යුතුයි  මාර්ග නීති කඩ වූ රියදුරන්ට දඩ නිකුත් කළ පසු එම රියදුරු බලපත්‍රයේ යම් ලකුණු මට්ටමකින් එය සනාථ කළ යුතුයි. එවැනි ලකුණු ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා නම් එම රියදුරු බලපත්‍රය හිමි රියදුරාගේ බලපත්‍රය අහෝසි කළ යුතුයි. පිටරටවල මේවා ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා දඩයක් නියම කළා කියලා ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කමක් දක්නට නැහැ. හැමදාම ඒ වැරැද්ද කරනවා. සමහරුන් දඩ කොළය අතේ තබාගෙනම එම වැරැද්දම නැවත කරනවා. 


ඒ නිසා එම ක්‍රමය සාර්ථකද? දඩ ගැසීමෙන් ආදායම් ඉහළ යන එක තමයි සිද්ධවෙන්නේ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වන දේ අපට ලැබිලා නැහැ. ඒ නිසා ඔවුන්ගේ විනය දියුණුවන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. විශේෂයෙන් වැදගත් දැනට ඒ සම්බන්ධයෙන් පවතින ක්‍රමය වෙනස් කළ යුතුයි. වෙනත් රටවල මෙය ක්‍රියාත්මකයි. වැරැදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රයේ ලකුණු සටහන් කිරීම හෝ ලකුණු කපාහැරීම, එහෙම ලකුණු අඩුවෙලා එක සීමාවකට ආපුවහම රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුයි. එවැනි වැඩපිළිවෙළක් අවශ්‍යයි අපේ රටට.


තවත් කාරණයක් තමයි අපේ රටේ රක්‍ෂණ ක්‍රමය. අපේ රටේ ක්‍රියාත්මක වෙන 3 වැනි පාර්ශ්වයේ රක්‍ෂණ ක්‍රමය තුළින් ප්‍රමාණවත් රක්‍ෂණයක් අනතුරට පත් වූ පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. ඉතාම කලාතුරකින් තමයි 3 වැනි පාර්ශ්වයේ රක්‍ෂණයකදී, ඒකෙන් බලපෑමකට ලක් වූ පාර්ශ්වයට සහනයක් ලැබෙන්නේ. අධිකරණ ක්‍රියාමාර්ගවලදී දර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරට පත්වූවන්ට සහන ලැබෙන්නේ සෑහෙන කාලයකට පසුවයි. ඒ නිසා 3වැනි පාර්ශව රක්‍ෂණයක් මගින් මාර්ග අනතුරුවලට ලක්වන අයට ලබා දෙන වරප්‍රසාද ඉතාමත් අඩුයි. ඒ නිසා ඒ ගැනත් රජයේ අවධානය යොමුකළ යුතුයි.


රිය අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයි. මේ පිළිබඳ මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. ඒ නිසා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, ඉන් ආරක්‍ෂා විය යුතු ආකාරය පිළිබඳවද අවබෝධයක් ඔවුනට ලබා දියයුතුයි. මේක සෑම මාධ්‍යය ආයතනයකම වගකීමක් ලෙසයි අපි දකින්නේ. මාර්ග අනතුරු ගැන එය වළක්වා ගැනීම පිළිබඳ දිගින් දිගටම කථා බහට ලක් කළ යුතුයි. එය එක් මාධ්‍යය ආයතනයකට පමණක් සීමා නොවිය යුතුයි. රජයේ වගකීම තමයි මේ සඳහා සෑම මාධ්‍යය ආයතනයකටම දන්වා සහයෝගය ලබාගැනීම. විශේෂයෙන් පාසල් සිසුන් ඉලක්ක කරගෙන විශේෂ දැනුම්වත් කිරීම් සිදුකළ යුතුයි. මොකද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ පාසල් කාලය තුළදියි ඔවුනට හොඳ අවබෝධයක් වගේම දැනුමක් ලැබෙන්නේ. එතකොට අපට විනයගරුක පුද්ගලයන් පාසලෙන්ම බිහිවීම නිසා හොඳ අවබෝධයක් තිබෙනවා මාර්ග අනතුරු පිළිබඳව.


මෙන්න මේ කාරණා තමයි අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් අපි රජයට යෝජනා කළේ. අපි 2014 වසරේදී තමයි මේ යෝජනා ඉදිරිපත් කළේ. අපි එතනදී පැහැදිලිවම ප්‍රකාශ කළා, අපි එතනදී හඳුනා ගත්තා මේ සම්බන්ධයෙන් වගකිවයුතු හා සම්බන්ධ කරගත යුතු ආයතන. දැන් අපි බලමු මාර්ග සංවර්ධන අධිකාරිය කියලා. පාරවල් හදන විට මාර්ග පිළිබඳ ආරක්‍ෂක අධ්‍යයනයක් කරලා පාර හදන්න ඕනැ. එතකොට එහි ප්‍රධාන වගකීම තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට හා අදාළ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට. අපි එම ආයතන වලින් විමසන්න අවශ්‍යයි. මේ දේවල් කරනවද? මේවා කරන්නෙ නැතිනම් ඒවාට හේතු මොනවාද? එක්කෝ මූල්‍ය ප්‍රතිපාදන නැතිද? එහෙනම් මිනිස් ශ්‍රමය නොමැතිකමද? අදාළ සම්පත් නොමැතිකමද? එසේ නොමැතිනම් නීතිමය ගැටලු ඇත්ද යන්න වැනි ප්‍රශ්න විසඳනකම් ඒ ආයතන වලට චෝදනා කිරීමට බැහැ. මොකද මේ ගැන පරීක්‍ෂාවක් නැහැ.


අපි මේ ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සෑම යෝජනාවකටම ුඒවා ක්‍රියාත්මක කළ යුතු ආයතන සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. ඉතින් ඒ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් එක් එක්කෙනාට චෝදනා කරන එක වැරැදියි. ඉතින් සැලසුම්සහගත වැඩපිළිවෙළක් නැහැ මේ සම්බන්ධව. මේ පිළිබඳ කථා කරනවා. සම්මන්ත්‍රණ පවත්වනවා. අමාත්‍යාංශවලට බාරදෙනවා. ඒත් ක්‍රියාමාර්ගයක් ගැනෙන්නෙ  නෑ. ඉතින් 2014 වසරේ යෝජනා කළ දේ තවමත් ක්‍රියාත්මකවෙලා නැහැ. අලුතින් මේ ගැන සාකච්ඡා කරලා නෑ. ගැටලු හඳුනගෙන, ඊට විසඳුම් යෝජනා කරලත් තිබියදී ඒවා ක්‍රියාත්මක නොවෙන ගැටලුව තමයි දැන් තිබෙන්නේ. අපි තව අවුරුදු ගණනාවක් තිස්සේ මේකද වෙන්න ඕනැ? කිය කිය ඉඳලා වැඩක් නැහැ. සොයගත්ත කරුණු ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්.


කෙසේ වෙතත් අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමකි. එම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කොට අනතුරු අවම කර ගැනීමට එක්වීම වැදගත් නොවන්නේද?

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර