රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දිනෙන් දින විවිධ විග්‍රහ ඉදිරිපත් වේ. රජයට අනුව ආර්ථිකය තිබෙන්නේ ශීඝ්‍ර සංවර්ධනයක් කරා ඇදෙන දිගු ගමන් මගක ආරම්භක අදියරේය. විපක්‍ෂය කියන්නේ ආර්ථිකය හොඳටම ආතුර වී ඇති බවය. ආර්ථිකය පිළිබඳ මේ පක්‍ෂ - විපක්‍ෂ කියවීම්වලින් එහාට ගිය ශාස්ත්‍රීය කියවීමක් සඳහා මෙවර විද්වත් හමුවෙන් සිය අදහස් දක්වන්නේ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාය.

 

ප්‍රශ්නය:- වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ විවිධ මාදිලියේ අර්ථ විග්‍රහ ඉදිරිපත් වෙනවා. ඒ ගැන ඔබේ විග්‍රහය කුමක්ද?
පිළිතුර:- රටේ ආර්ථිකය ගැන කතා කරද්දී බහුතරයක් අහන ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුව පහුගිය අවුරුදු දෙකේ මොනවද කළේ කියලා. ඔය ප්‍රශ්නයට ප්‍රති උත්තරයක් හැටියට ආණ්ඩුව පෙරළා අහයි කියලා අපි බලාපොරොත්තු වුණේ අපි මොනවද නොකළේ කියල අහයි කියලා. නමුත් අවාසනාවකට වගේ මේ ආණ්ඩුවේ ඉන්න මැතිඇමැතිවරුන්වත් තවම දන්නේ නෑ රජය මොනවද කළේ කියලා. මේ නිසා ආණ්ඩුව පසුගිය වසර දෙකේ මොනවත් කළේ නෑ කියන ගොබෙල්ස් න්‍යාය ජනතාවගේ හිත්වලට කාවැදිලා තියෙනවා. ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු ගැන ජනතාව දැනුම්වත් නොකිරීම මේ තත්ත්වයට එක හේතුවක්. 2015 ජනවාරි දේශපාලන පරිවර්තනයේ දී අපි ඇත්තටම බලාපොරොත්තු වුණේ සංවර්ධනය කඩිනම් කිරීම නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙ කාලේ විශාල සංවර්ධනයක් තිබුණා. ඒ නිසා පහුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රටේ ජනතාව පෙළගැසුණෙ සංවර්ධනය මදිකම නිසාවත් සංවර්ධන වේගය වැඩිකරන්නවත් නෙවෙයි. ජනතාව එදා පෙළගැහුණෙ මේ රටේ නිදහසේ ජීවත්වීම සඳහා නිදහස් ආර්ථික, දේශපාලන වාතාවරණයක් ගොඩනගා ගැනීම සඳහා.


දැන් අපි බලන්න ඕනෑ ඒ ඉල්ලපු දේ අපිට ලැබිලා තියෙනවද කියලා. මම හිතන දේ තමයි 2015 දී ජනතාව ඉල්ලපු දේ මේ රජය සෑහෙන දුරට ලබාදීලා තියෙනවා. ඒ එක්කම අපි බලාපොරොත්තු වුණා ගිය ආණ්ඩුව කාලේ කරන් ආපු සංවර්ධනය ඊට වඩා හොඳ විදියට ඒ කියන්නෙ ඒ සංවර්ධනය ඇතුළෙ තිබිච්ච දූෂණ, වංචා ඉවත් කරලා ඉදිරියට පවත්වාගෙන යයි කියලා. දැන් අපි බලන්න ඕනැ මේ කියන කාරණය ඉටුවුණාද කියලා.


මේ ගැන ආණ්ඩුව පැත්තෙන් ගේන තර්කයක් තමයි අපි ආණ්ඩුව බාරගන්න කොට විශාල ණය බරක් උරුම වෙලා තිබුණ නිසා සංවර්ධනය ඇනහිටලා තියෙනවා කියන එක. ලංකාවේ ණය බර එදා ඉඳලම තිබුණා. ඒක ක්‍රමයෙන් වර්ධනය වුණා. රටක් සංවර්ධනය කරන්න  බදු ආදායම් ප්‍රමාණවත් වෙන්නෙ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ණය ගන්න ඕනෑ.    

ලංකාවේ ණයවල සැබෑ ස්වරූපය බැලුවොත් අපේ රටේ දැනට තියෙන තත්ත්වය ඉතාම නරකයි. ඒක අපි පිළිගන්න ඕනෑ. සරලව කිව්වොත් අද වෙනකොට අපි රුපියල්  100ක් හම්බකළොත් ඒකෙන් රුපියල් 95ක් ණය ගෙවන්න යොදවන්න වෙලා තියනවා. 2017 අවුරුද්දෙ අපේ රට විදේශ ණය වාරික හැටියට ඩොලර් කෝටි 409ක් ගෙවන්න ඕන. අද ඉඳලා 2026 වෙනකොට අපි දළ වශයෙන් රුපියල් කෝටි හා ලක්‍ෂ අසූදෙදාස් නවසිය හතළිහක් අපිට ණය ගෙවන්න සිද්ධ වෙනව. රුපියල් කෝටි දෙලක්‍ෂ විසි අටදාහක විතර ණය මුදලක් අපි 2020 වෙනකොට ගෙවන්න ඕනෑ.


මේ අනුව අධික ණය බරක අපි ඉන්නවා. ඒ ණය බරෙන් ගොඩ යන්න මේ ආණ්ඩුවත් විශාල වශයෙන් ණය අරගෙන තියෙනවා. 2015 දෙසැම්බර් ශේෂයට සාපේක්‍ෂව 2016 අග වෙනකොට දළ වශයෙන් සියයට එකොළහකින් විතර අපි ණය වැඩි කරගෙන තියෙනවා. 2016 මුල වෙද්දී අපි රුපියල් බිලියන 9402ක ණයක් ගෙවන්න තිබුණා.


ප්‍රශ්නය:- මේ ණය පියවීම සම්බන්ධ කාරණයේදී ආණ්ඩුව අවධාරණය කළේ අපනයන ආදායම හා සෘජු විදේශ ආයෝජන වර්ධනය කරගත යුතුයි කියල. නමුත් මේ දෙඅංශයෙන්ම අපේක්‍ෂා කළ ආකාරයේ සාර්ථකත්වයක් අත්පත්කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට මත පළ වෙනවා. ඔබ මේ කාරණය දකින්නෙ මොන විදියටද? 

පිළිතුර:- 2016 දී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4.4යි. 2016 හතර වෙනි කාර්තුවෙදි ඒ අගය සියයට 5.3 දක්වා වැඩිවෙලා තියෙනවා. මේ ආර්ථික වර්ධන වේගය ගැන අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරගත යුතුයි. මොකද ඒකාබද්ධ විපක්‍ෂය කියනවා අපේ කාලයේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3ක් තිබුණා දැන් ඒක 4.4කට බැහැලා කියලා. නමුත් අපි ආර්ථික සංවර්ධනය මනින පදනම වෙනස් කළා. ඒක කවුරුත් කතා කරන්නෙ නෑ. පදනම වෙනස් කරපු නිසා තමයි ආර්ථික වර්ධන වේගය සියයට 4.4ට බැස්සෙ. ඒකාබද්ධ විපක්‍ෂයෙ අය කියන 7.3 ආර්ථික වර්ධන වේගය අලුත් ක්‍රමයට බැලුවොත් හැබෑ අගය සීයට 4.9යි.


අද වෙනකොට තියෙන සංවර්ධන වේගය දිහා බලද්දී පහුගිය කාලේ රටට බලපෑ මහා නියඟය නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ හානිය අමතක කළ නොහැකියි. වී නිෂ්පාදනය ඉතා ඉහළ අගයකින් පහත වැටුණා. පහුගිය වසරේ ලංකාවේ කෘෂිකාර්මික අංශයේ වර්ධනය ඍණ 4.2ක් වෙලා තියෙනවා. ඊට සාපේක්‍ෂව කර්මාන්ත අංශයේ සීයට 6.7ක වර්ධනයක් තියෙනවා. සේවා අංශයේ වර්ධනය 4.2ක්.


නියඟය, වර්ෂාව වැනි අපිට පාලනය කළ නොහැකි සාධක නිසා කෘෂිකාර්මික අංශයේ කඩාවැටීමක් තිබුණා. කාර්මික හා සේවා අංශවල පැහැදිලි වර්ධනයක් ඇතිවෙලා තියෙනවා. අපනයන පැත්ත ගත්තොත් 2015ට සාපේක්‍ෂව 2016 දී අපේ අපනයන සීයට 2.8කින් පහළ ගිහින් තියෙනවා. අපේ අපනයන පහළ යන්න ප්‍රධාන හේතුවක් තමයි කෘෂිකර්මයෙ ඇති වුණු කඩාවැටීම. මොකද අපි ඒ අංශයෙන් වැඩිපුරම අපනයනය කරන්නෙ තේ, රබර් වගේ ඒවා නිසා. පහුගිය කාලේ රටට බලපෑ අයහපත් කාලගුණය නිසා අපේ තේ කර්මාන්තය සීයට 11.2ක් කඩා වැටුණා. රබර් සීයට 10.7ක් වැටිලා තියෙනවා. ධාන්‍ය වර්ග 10.5ක් වැටිලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක අපේ අපනයන සීයට 2.8න් පහළ වැටුණට ඊට සාපේක්‍ෂව අපේ ආනයන වැඩි වෙලා තියෙන්නේ සීයට 1.7න්. මේ අනුව අපිට යම් විදියකට ආනයන වියදම් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් වෙළෙඳ ශේෂය (ආනයන - අපනයන පරතරය) ගත්තොත් ඒක සීයට 7.5ක විතර වර්ධනයක් තියෙනවා.


රටේ තවත් ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. 2016 ජනවාරි මාසෙට සාපේක්‍ෂව 2017 ජනවාරි මාසයේදී අපේ සංචාරක ආදායම සීයට 12න් වැඩිවෙලා තියෙනවා. සංචාරක ආදායම් වැඩිවෙලා තියෙනවා සීයට 17.7න්. 2015 වසරේ පළමු මාස නවයට සාපේක්‍ෂව 2016 අවුරුද්දෙ අපේ සමස්ත ආදායම ගත්තොත් සීයට 23ක් වාර්තාගත විදියට වැඩිවෙලා තියෙනවා. අවශ්‍ය වියදම් කපාහරිමින් රජය කියන විදියට වංචා දූෂණ නැති කර තිබීම ඒකට ප්‍රධාන හේතුවක්. අපේ වියදම් වැඩි වෙලා තියෙන්නේ සීයට 7.9න් විතරයි. ඊට අමතරව අපේ ප්‍රාග්ධන වියදම් ඒ කියන්නේ සංවර්ධනය වෙනුවෙන් කරන වියදම් සියයට 18.2න් වැඩි කරගෙන තියෙනවා.


මේ සංඛ්‍යා ලේඛන දිහා බලපුවහම අපිට එන ප්‍රශ්නය තමයි ඇත්තටම රටේ සංවර්ධනයක් වෙලා නැද්ද කියන එක. සියයට 18.2ක් ප්‍රාග්ධන වියදම් වැඩි වෙලා තියෙනවා නම් සංවර්ධනයක් වෙලා නෑ කියන්නෙ කොහොමද?. පහුගිය කාලේ සිදු කරපු සංවර්ධන වැඩවලට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා. නමුත් මේ රජය යටතේ සිදුවෙන සංවර්ධන වැඩ කටයුතු ගැන ජනතාව දැනුම්වත් කරන ප්‍රචාරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවක් පේන්න නෑ. ඒ නිසා අද රටේ සංවර්ධනයක් වෙනවද කියලා ජනතාව දන්නෙ නෑ. මේ සංඛ්‍යා ලේඛන දිහා බලපුවහම රටේ ගොඩක් අංශවලින් සංවර්ධනයක් වෙලා තියෙන නිසා ගිය අවුරුදු දෙකේ මොනවද කළේ කියලා අහන ප්‍රශ්නයට ආණ්ඩුවට උත්තරයක් දෙන්න පුළුවන් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. සංඛ්‍යාත්මකව ගත්තාම රටේ ආර්ථික සංවර්ධනය හොඳ තැනක තියෙනවා.


සෘජු විදේශ ආයෝජන ගත්තොත් අපිට ඒක බලාපොරොත්තු වුණු විදියට වැඩි කරගන්න බැරි වුණා. ඒකට ආණ්ඩුව සෘජුවම වගකියන්න ඕන. පොදු විපක්‍ෂයත් ඒකට වගකියන්න ඕනෑ. මේ රටට සෘජු විදේශ ආයෝජන ගේන්න නම් රට ඇතුළෙ සාමකාමී ආර්ථික පදනමක් තිබිය යුතුයි. එක පැත්තකින් පොදු විපක්‍ෂය ඇතුළු ජවිපෙ හා තවත් වාමාංශික පක්‍ෂ මේ රට අස්ථාවරයි කියලා ජාත්‍යන්තර භීතිකාවක් නිර්මාණය කරනවා. ඒ නිසා විදේශ ආයෝජකයො රටට ඒම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. අනිත් එක තමයි මේ සම්බන්ධව ආණ්ඩුවට තවම ස්ථිර ප්‍රතිපත්ති රාමුවක් හදන්න බැරි වෙලා තියෙනවා. පහුගිය අයවැයේ තිබුණ සමහර යෝජනා ගැන ආණ්ඩුවට දැන් මතක නෑ.


ප්‍රශ්නය:- ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණ වෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. මේ නිසා රටේ ජාතික ණය බර තව තවත් ඉහළ යන බවටත් සමහරු මත පළ කරනවා. ඔබ මේ තත්ත්වය දකින්නෙ මොන විදියටද?
පිළිතුර:- ඩොලරයේ අගය වැඩිවීම ලංකාවට විතරක් අනන්‍ය වෙච්ච දෙයක් නෙවෙයි. ඒක සිද්ධ වුණේ ඇමෙරිකාවේ දේශපාලන පරිවර්තනයත් එක්ක. අනික තමයි ඔබාමාගෙ කාලයේදී පොලී අනුපාත ඉහළ නංවපු නිසා විදේශ ආයෝජකයො වෙන රටවල තැන්පත් කරලා තිබුණු තමන්ගෙ සල්ලි අරන් ඇමෙරිකාවට ගියා. ඒකෙන් ඩොලරයෙ ඉල්ලුම වැඩිවෙලා ඩොලරයෙ අගය හැම රටකම වගේ ඉහළ යෑමක් සිද්ධවුණා. ලංකාවට මේක වැඩිපුර දැනෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ ආනයනවලට සාපේක්‍ෂ අපනයන අඩු අගයක් පැවතීම. මේ නිසා අපිට ඩොලර්වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. 


ඩොලරයේ අගය ඉහළ යෑම නිසා අපේ ණය බර විශාල වැඩිවීමක් තියෙනවා. අපි ණය අරන් තියෙන්නෙ ඩොලර් එක රුපියල් 130ට වගේ තියෙද්දි. දැන් අපි ඩොලර් එකට රුපියල් 150ක් 155ක් වගේ ගෙවනවා. මේක පාලනය කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රබලම වගකීම වෙලා තියෙන්නෙ.


ප්‍රශ්නය:- විදේශ සංචිත පහළ යෑමත් මේ ආර්ථික අර්බුදයට එක හේතුවක් නොවෙයිද?
පිළිතුර:- අපේ ආනයන වැඩිවීම හේතුවෙන් විදේශ සංචිතවල පහළ යෑමක් තියෙනවා. ඩොලරය ශක්තිමත් කර ගන්න ඕනැ නිසා සංචිත වෙළෙඳපොළට මුදාහැරි නිසා මේ තත්ත්වය ඇති වූ බවට වෙන චෝදනාව මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි පහුගිය ආණ්ඩුවටත් එල්ල වුණා. මේ නිසා අපේ විදේශ සංචිතවල යම් අඩුවීමක් තියෙනවා කියලා කියනවා. නමුත් තවම මහබැංකුව ඒ ගැන නිශ්චිත ප්‍රකාශයක් කරලා නෑ. 


ප්‍රශ්නය:- තද පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන්සේවය, හම්බන්තොට වරාය වගේ රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යවසායන් හැටියට වර්ධනය කිරීමේ රජයේ ආර්ථික ප්‍රවේශය ඇතැම් පාර්ශ්ව විවේචනයට ලක්කරන ආකාරයක් දකින්න ලැබෙනවා. ආර්ථික දෘෂ්ටිකෝණයෙන් බලද්දි රජයේ මේ පියවර නිවැරදියි කියා ඔබ කල්පනා කරනවද?
පිළිතුර:- අපිට හදවතින් තීරණ ගන්නත් පුළුවන්. ඔළුවෙන් තීරණ ගන්නත් පුළුවන්. හදවතින් තීරණ ගන්නකොට හම්බන්තොට වරාය විතරක් නෙවෙයි මේ රටේ එක බිම් අඟලවක්වත් විදේශිකයන්ට දෙනවට අපි කැමැති නෑ. මොකද ඒවා රටේ දේපළ. නමුත් අපි ආර්ථික දෘෂ්ටියෙන් බැලුවොත් මේ රටේ විශාල ණය බරක් තියෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරමින් ණය පොලී ගෙවනවද එහෙම නැත්නම් ණය ඉවත් කර ගැනීම සඳහා යම්කිසි ගිවිසුමකට යනවද කියන කාරණය ගැන මෙතනදී බලන්න වෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම ගත්තොත් ඒ ගිවිසුමෙන් අපිට ඩොලර් බිලියන 110ක් ලැබෙනවා. මේ නිසා ආර්ථික වාසි පැත්තෙන් ගත්තොත් අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙවැනි තීන්දු ගන්න වෙනවා.


එතනදී රජය මුලින්ම කළ යුත්තෙ පාඩු ලබන රාජ්‍ය ආයතන කාර්යක්‍ෂම කරලා ලාභ ලබන තත්ත්වයට ගේන්න උත්සාහ කරන එක. ඒකට හොඳම උදාහරණය තමයි එයාර් ලංකා ආයතනය එමිරේට්ස් ආයතනය යටතේ 2008 දී ඩොලර් බිලියන 4.3ක ලාභයක් ලැබුවා. නමුත් ඒ ආයතනය 2009 දී රජයට පවරා ගත්තට පස්සෙ අවුරුද්දක කාලය තුළදී ඒ ලාභය බිලියන 9.2ක පාඩුවක් බවට පරිවර්තනය කරගත්ත. එම්රේට්ස් ආයතනයට පුළුවන් වුණා නම් එයාර් ලංකා ආයතනයෙන් බිලියන 4.3ක ලාභයක් උපයන්න ඊට පස්සෙ ඇයි මේ ආයතනය රජයට පවර ගත්තට පස්සෙ පාඩු ලැබුවෙ. ඒ කියන්නෙ තනිකරම අකාර්යක්‍ෂ්මතාව නිසයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ නිසා රජය ඉස්සෙල්ලම බලන්න ඕන. පාඩු ලබන ආයතනවල අකාර්යක්‍ෂ්මතාව ඉවත් කරලා ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කරන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් විතරයි අපි දෙවෙනි විකල්පය හැටියට රජයේ අයිතිය තියාගෙන පෞද්ගලික අංශයත් එක්ක එකතුවෙලා ආයතන සංවර්ධනය කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. ඒකෙන් අදහස් වෙන්නෙ රාජ්‍ය ආයතන විකිණීමක් නෙවෙයි.


ප්‍රශ්නය:- රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා ඉදිරියේදී චීනය, ඉන්දියාව, සිංගප්පූරුව වගේ රටවල් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙන බව රජය පැත්තෙන් ප්‍රකාශ වෙනවා. යෝජනා කරලා තියෙන මෙවැනි වෙළෙඳ ගිවිසුම් මගින් රටට ආර්ථික අවාසි සිදුවෙන බවට විපක්‍ෂය චෝදනා කරනවා. මේ ගැන ඔබට කුමක්ද කිව හැක්කෙ?
පිළිතුර:- ඉන්දියාවත් එක්ක අපි මීට කලින් අස්සන් කරපු ගිවිසුම් බොහෝමයක් අසාර්ථකයි. ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමත් එහෙම එකක්. මේ නිසා තමයි අපි කියන්නෙ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීම පරිස්සමෙන් කළ යුතුයි කියලා. අද වෙන කොට නිර්මාණය වෙලා තියෙන වෙළෙඳපොළ තරගයත් එක්ක ස්වාධීන ආර්ථිකයක් හැටියට ගොඩනැගීම අමාරුයි. රටවල් රැසක් සමඟ එකතුවීමක් සමඟ තමයි රටක සංවර්ධනය සිද්ධ වෙන්නෙ. උදාහරණයක් විදියට සාර්ක් සංවිධානය, යුරෝපා සංගමය වගේ ඒවා දක්වන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර ගිවිසුම්වලට යන එක හොඳයි. නමුත් ඒවා කළ යුත්තෙ නිවැරදි විශ්ලේෂණයක් සමග පරිස්සමින්. ගිවිසුම්ගත වෙන ඕනෑම රටවල් දෙකක් බලන්නෙ තම තමන්ගෙ රටවලට වැඩි වාසි ලබාගන්න. දෙගොල්ලොම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙළෙඳපොළ ගිවිසුමකට යන ඒක තමයි වඩාත් හොඳ.

සාකච්ඡා කළේ
උපුල් වික්‍රමසිංහ