දශක තුනක යුද්ධයෙහි දෝංකාරයන් සියල්ලන්ට අමතක නොවෙන්නේ යුද්ධයෙහි ඇති බිහිසුණුකම නිසාය. එය අදටත් බොහෝ සිත්වල පැලපදියම් වී ඇත්තේ නැවත යුද්ධයක් නොදකීවා යන සිතුවිල්ලද සමඟය. 
යුද්ධය අවසන් වීද ගෙවී ගියේ වසර 09 කි. නමුත් ගෙවී ගිය වසර 09 තුළද කොටි පුල්ලි වරින් වර හොල්මන් කරනුයේ අළු යට ඇති ගිනි පුපුරු සේ ය. ත්‍රස්තවාදය යන වචනය යළි අප රට තුළ නෑසේවා යන ප්‍රාර්ථනයන් බහුතර මතය වීමෙන්ම මේ ගිනි පුපුරුවලට පිපිරීමට නොහැකිව අළු යටම සැඟවෙන්නට සිදු විය. එය මෙතෙක් නම් සිදු වූවේ එලෙසය. නමුත් දැන් දැන් සැඟවුණු ගිනි පුපුරු පුපුරා යන්නට මාන බලනවාදෝ යන සැකය උපදින සිදුවීම් වටින් ගොඩින් ඇසෙන්නට පටන්ගෙන ඇත. 


කොටි සංවිධානයේ යුද්ධයට ඍජුවම සම්බන්ධ වී පසුව යුද හමුදාව වෙතට භාර වී පුනරුත්ථාපනය ලැබූ සාමාජිකයින් 12,000 කට අධිකය. නමුත් මේ අතරේ හොර රහසේ පුනරුත්ථාපනය නොවූ සාමාජිකයින්ද සිටින බව නොරහසකි. එදා ප්‍රභාකරන්ගේ ඊනියා සිහිනය හිටපු කොටි සාමාජිකයින්ගේ සිත්වලට කොයි තරම් කා වැදුනේද කියනවා නම් මරාගෙන මැරෙන තත්ත්වයට පත්වූවන්ද සිටියහ. එසේ නම් එවැනි අය අද සමාජයේ ජීවත් වෙන්නේ කුමන සිතුවිල්ලක් බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනද යන්න සිතීමද බලධාරීන්ගේ වගකීමක් වන්නේය. 


ඊට අමතරව යුද්ධයේදී කොටි සංවිධානයේ නිල තල දැරූ කොටි පුල්ලිද මේ අතර වෙයි. ඔවුන්ගේ සමහරක් අද විදෙස්ගත වී හමාරය. එම පිරිස් විසින්ද කුමක් හෝ සිදුවීමක් අප රට තුළ සිදුවීමෙන් සතුටක් ලබන්නේ ත්‍රස්තවාදයත් සමඟ ජීවත්වෙන නිසාවෙනි. උතුරේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය එහි ප්‍රතිඵලයක් වී ඇත. 

 

 

අළු යට වැළලුණු ගිනි පුපුරු දැන් දැන් පුපුරන්නට මාන බලනවාදෝ යන සැකය උපදින්නේ ගෙවී ගිය කාලයේ උතුරෙන් අසන්නට දකින්නට ලැබුණු දේ සමඟය. ආසන්නතම සිදුවීම වූයේද මුලතිව් ඔඩ්ඩුසුඩාන්හි හමු වූ කොටි පුල්ලි ඇඳුම් හා කොඩි සමඟ තිබූ බෝම්බ ඇතුළු යුද උපකරණ ය. 


මේ යුද උපකරණ ගැන කියන්නට පෙර ගෙවී ගිය කාලයේ උතුරෙන් අළු යට සැඟවුණු කොටි පුල්ලි පෙනෙන්ට ගත්තේ කොටි නායකයාගේ උපන්දිනය, මහවිරු දිනය, මුල්ලි වයික්කාල් යුද සැමරුම් වැනි සිදුවීම් සමඟ කොටි පුල්ලිත් සමඟ ඈඳුනු දේශපාලනය ගැනය. 


ගෙවී ගිය අවසන් දින කිහිපය තුළදී ද යාපනයෙන් ඇසුණේ මියගිය කොටි නායකයින්ට පණ දෙන්නට දරන වෑයමකි. එනම් වැල්වැටිතුරෙයි නගරසභාවේ යෝජනාවක් වී තිබුණේ කොටි නායක ප්‍රභාකරන්ගේ ගම වැල්වැටිතුරෙයි ගමේ කොටි කොඩියක් එසවූ තැන ස්මාරකයක් සෑදීමටය. යාපනය නගර සභාවේ යෝජනාවක් වුණේ මියගිය කොටි නායකයෙකු වූ දිලීපන්ගේ කඩා දැමුණු යාපනයේ ස්මාරකය වෙනුවට ස්මාරකයක් සෑදීමටත් මියගිය කොටි නායකයෙකු වූ කිට්ටු නමැත්තා වෙනුවට ස්මාරකයක් සෑදිය යුතු යන යෝජනාවන් වැනි දේ ය. 


මෙවැනි යෝජනාවන් මගින් සිදුවෙන්නට යන දේ ගැන දෙවරක් සිතිය යුතුය. නියපොත්තෙන් කළ යුතු දේ පොරවට භාර නොකළ යුතුය. මුලතිව්හි වැරදුණු කුරුමානම එවැනි යෝජනාවන්හි ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳවද දෙවරක් සිතිය යුතුය. 

 

 

අප සියල්ලන්ටම නොපෙනෙන බලවේගයක් ඇත්දැයි යන්න සිතන්නට කාලය එළඹ ඇත. අප දන්න දේශපාලනයට වඩා නොදන්න දේශපාලන බලයක් ගැනද සිතන්නට කාලය එළඹ ඇත. මේ සියලු දේට වඩා අපි දන්න යුද්ධයට වඩා නොදන්න යුද්ධයක පෙර නිමිති ඇත්දැයි සිතිය යුතුය. දිනය වුණේ පසුගිය ජුනි 21 වැනිදාය. එදින රාත්‍රියේ මාන්කුලම් පොලිස් රථවාහන නිලධාරීන් පිරිසක් සුපුරුදු පරිදි ඔඩ්ඩුසුඩාන් මන්සන්ධියේදී රාජකාර කටයුතුවල නිරත වෙමින් සිටියහ. රාත්‍රි 11 ට පමණ ත්‍රී රෝද රථයක් පමණට වඩා වේගයෙන් එනු දැක්ක පොලිස් නිලධාරියෙකු එම ත්‍රී රෝද රථය නවත්වන ලෙසට අණ කෙරිණි. ත්‍රී රෝද රථය පොලිස් නිලධාරීන් ඉදිරියේදී නවත්වන්නට මෙන් පැමිණ එක්වරම අධික වේගයෙන් ගමන් කරන්නට විය. පොලිස් නිලධාරීන් සිතුවේ බොහෝ විට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ඇති බවටය. එසේ සිතා අදාළ ත්‍රී රෝද රථය පසුපස ලුහුබඳින්නට විය. ත්‍රී රෝද රථය මදක් දුර ධාවනය වෙනවිට එක් අයෙකු ත්‍රී රෝද රථයෙන් පැන පලා යන්නට විය. නමුත් ත්‍රී රෝද රථය තවමත් ධාවන වන නිසාවෙන් ත්‍රී රෝද රථය පසුපස හඹා ගොස් නැවැත්වීය. එහි සිටි දෙදෙනෙකු එළියට පැන දිවීමට සැරසෙන විට පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා අල්ලගත්හ. පසුව පොලිස් නිලධාරීන් විසින් අදාළ ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී දුටු දෙයින් පොලිස් නිලධාරීන්ද බිය නොවන්නට හේතුවක් නොමැත. එහි බිය යුතු වෙන්නේ තිබුණේ ආයුද හා කොටි නිලඇඳුම් මෙන්ම කොටි කොඩි වුවත් ඒ සියල්ලක්ම අලුත් ඒවා වීම ය. 


සැණෙකින් පොලිස් නිලධාරීන් විසින් තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හා යුද හමුදාවට දන්වා සිටීමෙන් ප්‍රදේශයේම ආරක්ෂාව දැඩි කිරීමට ගියේ හෝරා කිහිපයක් පමණි. 


මේ සිදුවීමත් සමඟ ආරක්ෂක අංශවලට සිහියට නැගුණේ යුද්ධය අවසන් වූ පසු නැවත හිස එසවූ ගෝපී නමැති කොටි සාමාජිකයාගේ සටන් ජවනිකාව විය හැකිය. ගෝපි මෙහෙයුමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමෙන් පසුව මුලතිව් සහ වව්නියාව කැලෑ පීරා ගෝපීව මරා දැමීමට යුද හමුදාව සමත් වීමෙන් අප නැවත යුද මානසිකත්වයකට ඇදගෙන යාමේ අවදානමක් ඇත්තේ ඔහු කුමන කුරුමානමක සිටියේද යන්න නොදන්නා හෙයිනි. 


එමෙන්ම ඔඩ්ඩුසුඩාන් ත්‍රී රෝද රථයේ තිබූ යුද උපකරණ දුටු ආරක්ෂක අංශවලටද සිතීමට බොහෝ දෑ තිබුණි. එක් අතකින් ප්‍රධාන සැකකරු ඒ වෙන විටත් පැන ගොස් හමාරය. කෙසේ වෙතත් පැනගිය සාමාජිකයා කව්රුන්ද යන්න නොදන්නවා වුවද ඔහු ප්‍රබලයෙක් බවට වැටහුණේ ත්‍රී රෝද රථයේ තිබූ දෑත් සමඟය. ඒත් සමඟම යුද හමුදාව හා පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුම් දියත් කරන ලදී. එහිදී ඔඩ්ඩුසුඩාන්වලින් පැන ගිය සැකකරු මල්ලාවි මාර්ගයේ වන්නි විලායන්කුලම් ප්‍රදේශයේදී මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

 

 

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් ගණන තිදෙනෙකි. ඉන් අවසානයේදී අත්අඩංගුවට ගත් සැකකරු හිටපු කොටි සාමාජිකයෙකි. ඔහුගේ වම් අත ද අහිමිව ඇත්තේ සෘජුවම කොටි සංවිධානයේ ක්‍රියාකාරකම්වලට දායක වූ නිසාවෙන් බවට පෙනී ගිය කරුණක් විය. 


ත්‍රී රෝද රථයේ තිබූ යුද උපකරණ පිළිබඳවද මෙහිදී දෙවරක් සිතිය යුතුය. අලුතෙන් සකසන ලද කොටි කොඩි හා කොටි නිල ඇඳුම් කිහිපයක් විය. එමෙන්ම වෝකි ටෝකි නොහොත් අධිතාක්ෂණික සන්නිවේදන උපකරණ හා දුරස්ථ පාලක එමෙන්ම විශාල විනාශයක් සිදු කළ හැකි කිලෝ 15ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, එය පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් කිහිපයක් මේ අතර විය. යුද සමයේදී හමු වූ අයුරින් වසර 09 ක් ගිය පසුද මෙම යුද උපකරණ ඔවුන්ට ඇයි? 


සිතීමට බොහෝ දෑ ඇත. ඔවුන්ගේ වැරදුණු කුරුමාණම කුමක්ද? අවදානම කුමක්ද? කුමක් සඳහාද යන කරුණු කාරණා නිසා දැන් ආරක්ෂක අංශ ඇතුළු සියලු බුද්ධි අංශවලටද දෙවරක් නොව ඊට වැඩි ප්‍රමාණයක් සිතන්නට සිදුව ඇත. කොටියා හසු වූ විට ඔවුන්ට කුමක් වුවද කිව හැකිය. නමුත් එහි ඇතුළාන්තය හා මූලය සෙවිය යුතුය. මෙම ආයුද හා මේ සාමාජිකයින් හසුවීම ගැන දැන් උතුරේ කතා කිහිපයක් අසන්නට ඇත. ඉන් විශේෂ කතා වුණේ, 


‘යුද්දෙන් පසුව දෙමළ ජනතාව වෙනුවෙන් යැයි පවසමින් දෙමළ දේශපාලනඥයින් තමන්ගේ බලය වෙනුවෙන් පමණක් ජීවත්වෙමින් ජනතාව නොසලකා හරිමින් සිටින හෙයින් දෙමළ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ උත්සාහයක් වැළකුණු බවටත්ය, අනෙක වූයේ මුලතිව් සිට දකුණට මෙම යුද උපකරණ රැගෙන ගොස් කුමක් හෝ විශාල පිපිරවීමක් සිදුකිරීමේ උත්සාහයක් අඩාළ වූ බවය. 


කරුණු කාරණා කෙසේ වෙතත් පළමු කාරණාව නම් දෙමළ නායකයින් ඝාතනය කිරීමට අවශ්‍ය නම් එයට බෝම්බ අවශ්‍ය නැති තරමට අවස්ථාවන් උදා වෙනු ඇති නමුත් දෙවැනි කරුණ පිළිබඳවනම් යමක් සිතීමට ඇත. 
අත්අඩංගුවට පත් පිරිස ගැනද මේ වෙන තුරු හාන්කවිසියක් නැත. සිදු වූයේ කුමක්ද? යන්න කිසිවෙකුත් නොදනී. ජාතික ආරක්ෂාව සඳහා ඕනෑ යමක් වී නම් එය එසේ වූවාට කම් නැත. නමුත් සියල්ලන්ගේම අවදානම ගැන අවධානය අවශ්‍ය වී ඇත.

 

 

 

 

සටහන හා ඡායාරූප
වන්නි රොමේෂ් මධුෂංඛ