රංජන් කස්තුරි

බස්නාහිර පළාතේ පිහිටි රෝහල්වල ගොඩගැසෙන සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගමක් අතර දැනට පවතින ගිවිසුම හේතුවෙන් රජයට වසරකදී රුපියල් කෝටි ගණනක විශාල පාඩුවක් සිදුවන හෙයින් එම ගිවිසුම අහෝසි කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එම ගිවිසුම වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇතැයි කියන පාඩුව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

එම නිසා මෙම ගිවිසුම අහෝසි කර විනිවිද භාවයෙන් යුත් නව ගිවිසුමක් අලු‍තින් අත්සන් කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙමින් තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මහජන යහපත පදනම් කරගෙන එය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට බලය තිබෙන බවද ඔහු කීවේය.

නව කැබිනට් පත්‍රිකාවක් මගින් විනිවිදභාවයෙන් යුත් ටෙන්ඩර් පරිපාටියක් මගින් නව සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීමටත් රජය සතු ආදාහන පද්ධති යළි සක්‍රීය කිරීමටත් කැබිනට් අනුමැතියක් ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.

ඒ සදහා ගතවනුයේ මාස තුන හතරක කාලයක් බවද ඔහු කීවේය.

කෙසේ වෙතත් රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට මේ වන විට එම සමාගමට මේ වන විට ගෙවන මුදල වෙ‍ළෙඳපොළේ අගයට වඩා බෙහෙවින් වැඩි බවද එම නිසා රජයට දිනක දී ලක්ෂ ගණනක පාඩුවක් සිදුවන බවද සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

මෙම ගිවිසුම සකස් කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් රජයට අවාසිදායක අයුරින් එම ගිවිසුමට කොන්දේසි ඇතුළත් කර ඇති බවද ඒ පිටුපස හදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක සහිත බව ද ඔහු සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මහජන මුදල් මෙලෙස විනිවිදභාවයෙන් තොර ගිවිසුම් මගින් පෞද්ගලික අංශයට ගලායෑම බරපතල ප්‍රශ්නයක් බවද හෙතෙම සදහන් කළේය.