උපුල් වික්‍රමසිංහ
යල කන්නය ද ඇතුළුව මෙම වසරේ පළමු මාස හයක කාලය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු, පලතුරු, තේ සහ පොල් යන භෝගවලට නිර්දේශිත පොහොර යෙදීම වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහසය දහස් තුන්සියයක් 216,300 පමණ අවශ්‍ය වුවත් මේ වසරේ මාර්තු පළමු දා වෙනවිට රටේ තිබූ යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දෙදහසක් බැවින් යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ හිඟයක් ඇති විය හැකි බව කෘෂි විද්‍යාඥ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.
මේ අනුව ශාකවලට අවශ්‍ය නයිට්‍රජන් පෝෂකය ලබා දීමට සුදුසු තත්ත්වයක මෙරට කෘෂිකර්මාන්තය නැති බව ද හෙතෙම ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ ය.
යූරියා මෙට්‍රික් ටොන් 77,000 ක් ගෙන්වීමට ඉල්ලීම් කර තිබුණ ද පවතින යුද තත්ත්වය හේතුවෙන් ඒවායෙන් සියයට 50 ක් පමණ ප්‍රතික්ෂේප වී ඇතැයි කී මහාචාර්යවරයා ඉතුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 16,000-20,000 ත් අතර ප්‍රමාණයක් අප්‍රේල් වෙද්දි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීවේය.
යලකන්නයේ හෙක්ටයාර් 450,000 ක වී වගා කරන අතර ඒ සඳහා යූරියා මෙට්‍රික් ටොන් 98,800 ක් අවශ්‍ය බව ද යල කන්නයේ බඩඉරිඟු වගාවට යූරියා මෙට්‍රික් ටොන් 13,000ක් ද යල කන්නය ද ඇතුළුව වසරේ මුල් මාස 6 සඳහා එළවළු, පලතුරු ඇතුළු වගාවලට යූරියා මෙට්‍රික් ටොන් 42,000 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළ හෙතෙම ඊට අමතරව තේ පොල් ඇතුළු වගාවලට යූරියා මෙට්‍රික් ටොන් 62,000 - 63,000 අතර ප්‍රමාණයක් අවශ්‍ය බව ද ප්‍රකාශ කළේ ය.
ඒ අනුව 2026 වසරේ මුල් මාස හයක කාලය සඳහා එම සියලු භෝගවලට අවශ්‍ය වන යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 216,300 ක් පමණ වේ.
මේ යූරියා හිඟයට මුහුණ දීම සඳහා මේ අවස්ථාවේ භෝග ප්‍රමුඛතා ගත කිරීමක් කළ යුතු බවත් ප්‍රධාන ආහාර භෝගය වී නිසාත් ප්‍රධාන සත්ව ආහාර භෝගය බඩඉරිඟු නිසාත් ප්‍රධාන අපනයන භෝගය තේ නිසාත් මේ භෝග තුනට විශේෂ අවධානයක් යොමු කරමින් පොහොර අවශ්‍යතාව හා බෙදාහැරීම කළමනාකරණය කළ යුතුය යන්න සිය යෝජනාව බවත් ඔහු කීවේ ය.
යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට අසමත් වීම මගින් සෑම භෝගයකම අස්වැන්න අඩුවිය හැකි බවට ද මහාචාර්යවරයා පුරෝකථනය කළේ ය. ඉදිරි මාස දෙක හෝ තුනක කාලය සඳහා අවශ්‍ය පොහොර තොග කලින් රැස්කිරීම අනිවාර්ය කරමින් එය පොහොර ගෙන්වන සමාගම්වලට දැන්විය යුතු බව ද කෘෂි විද්‍යාඥයා පැවසීය.
ශ්‍රී ලංකාවේ යූරියා අවශ්‍යතාවෙන් සියයට 53 ක් පමණ සපයන්නේ චීනය වුවත් පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම මස පළමු වැනිදා සිට යූරියා ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් අපනයනය කිරීම තහනම් කිරීමට එරට පියවර ගෙන ඇති බව කී හෙතෙම යුද තත්ත්වය තීව්‍ර වුවහොත් පොහොර ගැටලුව තවත් උග්‍ර විය හැකි බව ද සඳහන් කළේ ය.
මෙම යුද්ධය ඇති වූයේ මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයේ බැවින් එහි අස්වනු ඉදිරි මාස හත අටක කාලය සඳහා ප්‍රමාණවත් බව ද ඔහු කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd