උපුල් වික්‍රමසිංහ

ගෙවුණු වසර 176 ක කාලයේ දී ගොඩබිම සහ සාගර උෂ්ණත්වයට අදාළ නිරීක්ෂණ දත්ත අනුව වසර 2023 සිට 2025 දක්වා ගත වූ අවුරුදු තුනක කාලය උණුසුම්ම කාලය බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිකුත් කළ 2025 ලෝක දේශගුණ තත්ත්ව වාර්තාවේ (State of the Global Climate 2025) දැක්වේ.

අදාළ කාලයේ දත්තවලට අනුව, 2025 වසර දෙවැනි හෝ තෙවැනි උණුසුම්ම අවුරුද්ද බව ද 2024 තවමත් උණුසුම්ම වසර වශයෙන් වාර්තා වන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම 2015 සිට 2025 දක්වා වූ අවුරුදු 11 ක කාලය මෙතෙක් වාර්තා වී ඇති උෂ්ණාධික වසර එකොළහ බව ද එම වාර්තාව කියයි.

සාගර මතුපිට උෂ්ණත්වය ද ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත මගින් පැහැදිලි කරන එම වාර්තාව, සාගර උෂ්ණාධික වීම සහ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීම අඛණ්ඩව සිදුව ඇති බව ද ගත වූ දසක දෙකක කාලයේ දී මනුෂ්‍ය වර්ගයා විසින් භාවිත කරනු ලැබ ඇති බලශක්තිය මෙන් එකොළොස් ගුණයක කාබන්ඩයොක්සයිඩ් සාගර විසින් අවශෝෂණය කරගනු ලැබ ඇති බව ද කියයි.

පෘථිවියේ බලශක්ති අසමතුලිතතාව ද අන්කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බව හෙළි කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව, 1960 සිට මනිනු ලබන නිරීක්ෂණ දත්ත අනුව ගත වූ වසර 20 ක කාලයේ දී එම අසමතුලිතතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් 2025 වසර එහි උච්චතම අවස්ථාව බවත් සඳහන් කරයි.