IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඹරුන් අනිද්දීත් ස්වාමියාගේ මළ සිරුරට තනි රැක්ක සුනඛයෙක්

 

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ ලංකා සංචාරයේදී ඔහු උඩරට වතු ප්‍රදේශවලට යාමට අමතක නොකළේය.


අගමැතිවරයා සමඟ මෙරට පළමු පෙළේ ප්‍රභූන් ගමන්ගත් මෙම ගමන සඳහා ඉහළම ආරක්ෂාවක් යොදවා තිබුණි.


ඉන්දීය හා මෙරට ආරක්‍ෂකයන්ගේ රැකවරණයට අමතරව වතුකරයේ සිටින විශාල ප්‍රහාරකයන් පිරිසකගෙන් ද මෙම පිරිස ආරක්‍ෂා කිරීමට පියවර ගෙන තිබීම මෙරට ප්‍රභූ ආරක්ෂක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් විය.


මේ සුවිශේෂී පියවර වූයේ වතුකරයේ ව්‍යාප්තව ඇති ලක්ෂ ගණනක් වූ බඹරුන්ගෙන් මේ පිරිස බේරා ගැනීමය.


මේ සඳහා සිදුකර තිබූ පියවර වී තිබුණේ මෝදි ඇතුළු පිරිස ගමන් කරන ප්‍රදේශයේ බඹරුන් ඉවත් කිරීමය.


එසේ ප්‍රභූ පන්තියට බඹර ප්‍රහාරයන්ගෙන් රැකවරණ සැලසුව ද බොහෝ කාලයක සිට වතුකරයේ ජනතාව අනන්තවත් බඹරුන්ගෙන් පීඩා විඳිමින් සිටිති.


වත්තේ පිටියේ වැඩකරන හා පාසල් යන ළමුන්ට එල්ල වන බඹර ප්‍රහාර නිසා දිනපතාම මොවුන් රෝහල්ගත කිරීමට සිදුවන අතර මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව ද ඉතා ඉහළ අගයක් ගනී. වගකිවයුතු මිනිසුන් මෙසේ තම වගකීම පැහැර හැරීම නිසා මිනිසුන් පීඩාවට පත් වුවත් එවැනි පීඩාවනට පත් මිනිසුන්ට සුනඛයකු පිහිට වීමේ අපූරු පුවතක් ගම්පොළ පුපුරැස්ස ලෙවලන්ඞ් වත්ත මනිකට්ටුව පෙදෙසින් වාර්තා වේ.


එම වත්තේ පදිංචි 79 හැවිරිදි මාරිමුත්තු මහතා දෙදරු පියකු වන අතර පසුගියදා ඔහු අභාවප්‍රාප්ත විය.


නිවැසියන්ගේ සෝසුසුම් මැද දේහය රැගත් පිරිස මළ හිරු බැස යන සැන්දෑවේ සොහොන කරා රැගෙන යමින් සිටියේය.


වතුවල ඇති රූස්ස ගස් මුදුන්වල හා තේ පඳුරුවල බහුල ලෙස බඹරුන් වද බැඳ ඇති අතර සුළු කම්පනයකට හෝ සුළඟකට මේ බඹරුන් ඇවිස්සීම සාමාන්‍ය සිද්ධියක් වී තිබේ. බොහෝ විට ඉහළින් ගමන් ගන්නා උකුස්සන් මෙම බඹර වදවලට සිදු කරන පහරදීම්වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ටය.


ඒ ආකාරයට මාරිමුත්තු මහතාගේ දේහය රැගෙන යන අතරතුර දැමූ රතික්‍ඳ්ඤා හඬට මෙම බඹරුන් ඇවිස්සී ඇත්තේ සොහොන කරා යාමට මත්තෙන්ය.


දහස් ගණනක් වූ බඹරුන් පැමිණ අවමංගල්‍ය පෙරහරේ ගමන්ගත් පිරිසට පහර දෙන්නට වූ අතර බැරිම තැන මේ පිරිස දේහය සහිත පෙට්ටිය දමා හිස් ලූ ලූ අත දිව ගියේය.


මෙසේ බඹර ප්‍රහාරයෙන් බේරීමට දිව ගිය පිරිසෙන් සිව් දෙනකු සොහොන් වළට ද පැන බේරීමට උත්සාහ කළත් වළ තුළ කොටු වූ මොවුන්ට දැඩි බඹර ප්‍රහාරයනට ලක්වන්නට සිදුවිය.


මේ අතර අවුරුදු 10ක කුඩා දරුවකු ද සිටි අතර අවසානයේ දැඩි බඹර ප්‍රහාරයට ලක් වූ අට දෙනකු ගලහ රෝහලට හා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.


බඹරුන් ඇවිස්සී නැවත යථා තත්ත්වයට පත්වීමට පැය දෙක තුනක්වත් ගත වන අතර ඇඳිරි වැටීගෙන එන්නේ නම් එය වඩාත් ඉක්මන් වේ.


ඒ අනුව පැය දෙකක් පමණ ගොස් ඇඳිරි වැටීගෙන එන විට ගමේ තරුණ පිරිස ඇතුළු කිහිප දෙනකු පන්දම් පත්තුකර නැවත සොහොන දෙසට පැමිණියේ මිනියට කුමක් වී ඇති දැයි කතා බහ කරමිනි.


ඌරන් හා දිවියන් ගැවසෙන මෙම ප්‍රදේශයේ පැමිණි පිරිසට සැක මතුවී ඇත්තේ මිනියට කිසියම් හානියක් සිදු වී ඇත්දැයි යන සැකය නිසාය.


ඈත සිට අඩ අඳුරේ මොවුන් දැක ඇත්තේ පෙට්ටිය අසල සතකු ගැවසෙන අයුරුය. ඌරකු පැමිණ දේහයට හානි කර ඇතැයි කතා වූ මොවුන් ඊට සූදානම්ව පෙට්ටිය වෙත ළං විය.


නමුත් දුටු දෙයින් කවුරුත් විමතියට පත්විය. තම පේලි නිවාසයේ සිටින ජිම්මි නම් බල්ලා මාරිමුත්තුට තනි රකින හැටි දුටු සියල්ල “අපි දිව්වත් බල්ලා මාරිමුත්තු ළඟ නැවතිලා. බල්ලාටත් බඹරු ගහන්න ඇති. ඒත් ඌ මාරිමුත්තු අතෑරලා නෑ” යි කතාවිය.


මේ සුනඛයා මාරිමුත්තු සමඟ බොහෝ හිතවත්ව සිටි බව ප්‍රදේශවාසීහු පවසති. මිනිසුන් වයසට යනවිට තනිවන අවස්ථාවල සතුන්ගෙන් බොහෝ ආදරය ලැබේ. 


මේ සුනඛයා ද අබල දුබල වුවත් අබල දුබල මාරිමුත්තුට ළං වී සිට ඇත.


මාරිමුත්තු මියගිය පසු සුනඛයා ඔහු අසල සිටිමින් දේහය සොහොන කරා රැගෙන යන අවස්ථාවේදී ඒ පසුපසින් ගිය ද කාගේවත් අවධානයට ලක්ව නැත.


ඒත් බඹර ප්‍රහාරයෙන් සියල්ල දිව ගියත් බල්ලා මාරිමුත්තු අතහැර නොගියායින් පසු ඌ කාගේත් අවධානයට ලක්ව ඇත.


මාරිමුත්තුගේ නිවසේ සිට සොහොනට කිලෝමීටරයකට වඩා දුර ඇත. ඒත් අදටත් මෙම සුනඛයා මාරිමුත්තුගේ සොහොන අසල සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

ගම්පොළ සුරංග රාජනායක



අදහස් (0)

බඹරුන් අනිද්දීත් ස්වාමියාගේ මළ සිරුරට තනි රැක්ක සුනඛයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site