IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාතාල වාහනය ආවේ කවුරු මරන්නද ?

 

‘ගම්පහ ඔසුසල ගාව වාහනේක තුවක්කුවක් තියෙනවා.’ පසුගිය සඳුදා (02) සවස පැතිර ගිය ආරංචියත් සමඟ ගම්පහ රෝහලට මදක් ඔබ්බෙන් විශාල පිරිසක් රැස්වී එබිකම් කරන්නට වූහ.   


කතාව පටන් ගන්නේ ඊට දින කිහිපයකට පෙර සිටය. මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන බවට සැක කරන වාහනයක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබිණි. වාහනයේ අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවා විස්තර එකතු කර ගත් පොලිසිය දවස් කිහිපයක සිට එම වාහනය ගැන විමසිල්ලෙන් සිටියේය. වාහනය ඇතැයි කියන ස්ථානයක් වැටලීමට ද පොලීසිය සූදානමින් සිටියේය.   


ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එලෙස වෙහෙසෙද්දී ගම්පහ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු ද සුපුරුදු පරිදි රාජකාරියේ ​ෙයදෙමින් සිටියහ. ගම්පහ මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 3314 චන්දන සහ පොලිස් කොස්තාපල් 88430 නුවන් එදා රිය අනතුරු සම්බන්ධයෙන් රාජකාරි කරමින් සිටියහ. අනතුරක් ගැන විමර්ශන පවත්වා ගම්පහ නගරයේ සිට ගම්පහ මූලස්ථාන පොලිසියට යෑමට ඔවුන් පිටත්වූයේ පස්වරු 4.30ට පමණය.   


ගම්පහ මූලස්ථාන පොලිසිය ඇත්තේ ගම්පහ-කොළඹ පාරේ ගම්පහ කච්චේරිය පිටුපස ශ‍්‍රීබෝධි පාරේය. පොලිසියේ දෙදෙනා කොළඹ පාර ඔස්සේ ගොස් කච්චේරිය අසලින් ශ‍්‍රීබෝධි පාරට හරවද්දීම පිටුපස සිටි පොලිස් කොස්තාපල් නුවන්ගෙන් පොලිස් සැරයන් චන්දනට සංඥාවක් ලැබිණි. ඒ යතුරුපැදිය ආපසු හරවා ගන්නා ලෙසයි. මිරිස්වත්ත දෙස සිට ගම්පහ පැත්තට යන කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර රථයක් දුටු නුවන්ට එහි අංක තහඩුවේ අමුත්තක් දැනී හොඳින් නිරීක්ෂණය කළේය.   


කාලයක් රථවාහන රාජකාරි කිරීමෙන් ලත් ඇත්දැකීම් නිසා ඇති වු එම සැකය තහවුරු කර ගැනීම කොස්තාපල් නුවන්ගේ අරමුණ විය. නුවන්ගේ කීම ගැන අවධානය යොමු කළ සැරයන් චන්දන යතුරුපැදිය හරවාගෙන යළි ගම්පහ දෙසට යන ගමන් ඉදිරියෙන් යන හයිබි‍්‍රඩ් මෝටර් රථයේ පිටුපස අංක තහඩුව නිරීක්ෂණය කළේය. නුවන් කී පරිදිම පිටුපස අංක තහඩුව ද මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නියම අංක තහඩුව නොවන බව ඔවුහු තහවුරු කර ගත්හ.   


ඒ අනුව සැකය තවත් වැඩි විය. ඔවුන් මෝටර් රථය ඉස්සර කර නතර කිරීමට උත්සාහ කළ ද මෝටර් රථය පොලිස් යතුරුපැදියට ද වෙට්ටුවක් දමා ඉදිරියටම ගියේය. සවස් වරුව නිසා ගම්පහ රෝහල අසල වාහන තදබදයක් තිබිණි. එනිසා හයිබි‍්‍රඩ් රියට ඉදිරියට යෑමට නොහැකිවූයෙන් පොලිස් යතුරුපැදිය වාහනය ඉදිරියට ගෙන නවත්වා පොලිසියේ දෙදෙනා බහිනවාත් සමඟම මෝටර් රථයේ සිටි හතර දෙනා පැන දිවූහ.   


දෙදෙනෙක් රෝහල දෙසට දිව ගිය අතර ඉන් එක් අයෙක් රෝහල ඇතුළට පැනගත්තේය. අනිත් දෙදෙනා වෙනත් පැත්තකට දිව ගොස් පැන ගත්හ. ක්ෂණයකින් වූ මේ සිදුවීම නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ දෙදෙනාට නොහැකි වූ අතර දෙදෙනා වාහනයට එබිකම් කරද්දී ඉදිරිපස වම් පැත්තේ අසුන අයිනේ ටී-56 ගිනි අවියක් තිබෙනු දුටහ. සිද්ධිය බරපතළ බව දැනගත් මේ දෙදෙනා තම ඉහළ නිලධාරීන්ට කතා කර සිද්ධිය සැල කළහ.   


ඒ සමඟ උසස් පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණ විමර්ශන ඇරැඹූහ. වාහනය පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳැවිණි.   


වාහනය පරීක්ෂා කරද්දී පිටුපස ආසනය අසල බිම තිබී තවත් ටී 56 ගිනි අවි දෙකක් සොයා ගනු ලැබීය. ටී 56 ගිනි අවි තුනම වෙඩි තැබීම සඳහා සූදානම් කර (ලෝඩ් කර) තිබිණි. පිටුපස අසුනේ ගිනි අවි දෙකේ පතුරම් ගැබ් දෙක බැගින් සවි කර තිබිණි. සැකකරුවන් අපරාධයකට සූදානමින් සිටි බව ඒ අනුව පොලිසියට පැහැදිලි විය.   


බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල සහ සහකාර පොලිස් අධිකාරී සේනාපති ඇතුළු උසස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයත්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසූරියගේ ප‍්‍රධානත්වයෙන් පොලිසියේ විමර්ශන ආරම්භ කෙරිණි. 

 
විමර්ශන ආරම්භ කර දින දෙකක් ඇතුළත කරුණු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.   


එම මෝටර් රථයේ හිමිකරු යක්කලට නුදුරු ප‍්‍රදේශයක පුද්ගලයෙකි. ඔහු රුපියල් ලක්ෂ නවයකට ඇටෝනි බලපත‍්‍රයක් මගින් එම මෝටර් රථය මහරගම ප‍්‍රදේශයේ මෝටර් රථ කුලියට දෙන ආයතනයකට ලබා දී තිබේ. සැප්තැම්බර් මස 29 වැනි දා පැමිණ ඇති දෙදෙනකු එම මෝටර් රථය රැගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දිනකට රුපියල් 3500ක කුලියකට එම මෝටර් රිය රැගෙන ගොස් ඇත්තේ දින 15ක් සඳහාය.   


ඉන් අනතුරුව මෝටර් රථය තිස්වැනි දා, ඔක්තෝබර් පළමුවැනි දා සහ දෙවැනි දා ගණේමුල්ල, ගම්පහ ආශ‍්‍රිත ප‍්‍රදේශවල නිතර ගැවසී ඇතැයි පොලිසිය පවසයි. ඒ බව අනාවරණය වී ඇත්තේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ කළ විමර්ශනවලදීය.   


සීසීටීවී දර්ශන ඇසුරෙන් විමර්ශන කිරීමෙන් පසු එහි සිටි සැකකරුවන් සිව් දෙනාම හඳුනා ගැනීමට පොලිසිය සමත් විය. ඔවුන් දැනට බන්ධනාගාර ගතව සිටින පාතාල සැකකරුවකු සමග හිතවත්කම් ඇති පුද්ගලයන් බව පොලිසිය කියයි. හඳුනාගෙන ඇති එක් සැකකරුවකු මත්ද්‍රව්‍ය සිද්ධියකට මීට පෙර ගණේමුල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිට මීට මාස දෙකකට පෙර ඇප ලැබූවෙකි. තවත් සැකකරුවකු පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයෙකි.   


ඒ පසුගිය අප්‍රේල් අටවැනි දා සිදුවූ අපරාධයකි. සිද්ධිය සිදු වූයේ ගම්පහ - අස්ගිරිය ප‍්‍රදේශයේදීය. ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර ගමන් ගත් වාහනයට වෙඩි වරුසාවක් එල්ල වූයේ එදාය. නමුත් එදින දිවි ගලවා ගැනීමට ඔස්මන් ගුණසේකර මහතා සමත්විය. එම සිද්ධියට පැමිණි වාහනය සහ සැකකරුවන් පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගත්තත් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියේය.   


මෙවර පැමිණි පිරිස අතර ඒ සැකකරු සිටීමෙන් ඔවුන් යළි පැමිණ ඇත්තේ එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට දැයි පොලිසියට සැකයක් මතුවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම සැකය තවත් තහවුරු වී ඇත්තේ එම වාහනය ගම්පහ අවට පෙදෙස්වල සැරි සැරූ බවට මේ වන විට තහවුරු වී ඇති නිසාය.   


කෙසේ වෙතත් වෙන්නට ගිය තවත් අපරාධයක් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ විමසිලිමත්භාවය නිසා වැළකී ගියේය. පැමිණි සැකකරුවන් සියලු දෙනා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය බලාපොරොත්තු වේ.  

තරිඳු ජයවර්ධන සහ
අජිත් මදුරප්පෙරුම
ඡායාරූප : අජිත් මදුරප්පෙරුම

 



අදහස් (0)

පාතාල වාහනය ආවේ කවුරු මරන්නද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31134 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13264 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site