සුජිත් හේවාජුලිගේ

පොලිසියේ විවිධ වර්ගයේ ගිනි අවි විස්සක්, පතරොම් සහ අත්විලංගු තොගයක් පසුගිය කාලයේ දී අතුරුදන්ව ඇතැයි, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වෙයි.

මෙම භාණ්ඩ අතුරුදන්වීම මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් බව  ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

පිස්තෝල ගිනි අවි පහක්, ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි අටක් සහ එස්.එල්.ආර්. ගිනිඅවි හතක්, මෙසේ අතුරුදන්ව ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

මෙයට අමතරව ගිනිඅවි උණ්ඩ හා උපාංග අස්ථානගතවීමේ සිද්ධි විසිපහක් වාර්තා වී ඇතැයි පවසන විගණන වාර්තාව, අත්විලංගු අස්ථානගතවීම් දෙකකට අදාළ අලාභය රුපියල් තුන් ලක්ෂ විසි එක් දහස් පන්සිය විසි එකක් බවද සඳහන් කරයි.

විගණන වාර්තාවේ කළමනාකරණ දුර්වලතා යටතේ මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.

මේ අතර බීමත් රියැදුරන් සොයා ගැනීමට පාවිච්චි කරන ශ්වසන නාළ (BREATHALYZER)  එකක් හෝ නොතිබූ පොලිස් ස්ථාන 498ක් (පසුගිය වසරේ නොවැම්බර් වනවිට) හඳුනාගෙන තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

රට පුරා ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව 632කි.

පොලිස් ස්ථාන 132ක භාවිතයට ගත නොහැකි ශ්වසන නාල 974ක් පැවතුණ බව ද එම වාර්තාව සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ අනුමත සංඛ්‍යාව හැට දාහක් වුව ද, පුරප්පාඩු 32,477ක් පැවතුණ බව පවසන විගණන වාර්තාව ශ්‍රී ලංකා පොලිසියේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් ඉටුකිරීමේ දී මෙම තත්ත්වය බාධාවක් බව පෙන්වා දෙයි.

එසේම කාන්තා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර හා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දහතුනෙන් හතක් පුරප්පාඩු වී පවතින බව ද ප්‍රකාශිතය .

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.