මනෝප්‍රිය  ගුණසේකර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම් නියම වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව ඉදිරි සතිය ඇතුළත දී අභියාචනා ඉදිරිපත් කරන බව වාර්තා වේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නඩු තීන්දුවේ පිටපත ඇතුළු නෛතික ලේඛන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි සතිය ඇතුළත දී අභියාචනා ඉදිරිපත් කරන බව සඳහන් ය.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරුහෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයන් 261 දෙනකුගේ මරණ සිදුකිරීම සහ තවත් පුද්ගලයන් 526 දෙනකුට බරපතළ තුවාල සිදු කර ඔවුන්ගේ මරණ සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් වරදකරුවන් කෙරුණු අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කළේ ය.