සුජිත් හේවාජුලිගේ

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක්, මේ වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව, රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියේ තවත් විමර්ශන අංශ කීපයක් අරඹා ඇති විමර්ශන වේගවත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

ඉහත සඳහන් කළ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් කරන ලදැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රටට අහිමිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 5,000කට වැඩි බව අල්ලස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ විමර්ශනවල දී පෙනී ගොස් ඇත.

පසුගිය කාලයේ සිදු වූ විවිධ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ  විස්සකට ආසන්න පිරිසක් විවිධ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටිති.

මේ අතර විවිධ චෝදනාවලට ලක්වන දේශපාලනඥයන් සහ රජයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිස් විදේශයන්ට පලායෑම වැළැක්වීම සඳහා  අදාළ විමර්ශන අංශ දැනටමත් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අනුව එම පිරිස් ගැන සෙවිල්ලෙන් සිටීමට විශේෂ ඔත්තුකරුවෝ ද යොදවනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ, රටේ මහජන දේපොළ නාස්ති කළ දේශපාලනඥයන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම විමර්ශන පවත්වන බවයි.

එම දූෂණ පිළිබඳව කරුණු සොයා බලා රටට නැති කළ මුදල් සොයා ගැනීම රජයේ අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විවිධ තාක්ෂණික ගැටලු‍ පෙන්වා දී යම් යම් නඩු කටයුතුවලින් ගැලවුණු දේශපාලනඥයන් කිහිපදෙනකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම තාක්ෂණික ගැටලු නිවැරදි කර නැවත නඩු පැවරීම් කිරීමට සැලසුම් කර ඇති බවත්, ආරංචි මාර්ග සඳහන් කරයි.