දඹදිව වන්දනාවක නියැලෙමින් සිටින අතරතුර නඩයේ තිදෙනෙක් හදිසියේ මියයෑමේ පුවතක් සැලවීම නිසා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමතියට පත්වූහ. බුද්ධ ශාසන අමාත්‍යාංශය සපයන වාර්තාවන්ට අනුව මෙයට පෙරද වන්දනාකරුවන් හය දෙනෙක් මෙසේ චාරිකා කරන අතරතුර මියගොස් ඇත.


අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව ඉකුත් වසරේදී (2016) දී දඹදිව චාරිකා සඳහා මෙරටින් ගිය සංඛ්‍යාව හතළිස් හය දහසකට අධිකය. මෙම වසරේ ගෙවීගිය මාස තුනක කාල සීමාව තුළද දහසය දහසකට අධික සංඛ්‍යාවක් චාරිකා සඳහා සහභාගි වී ඇත.


දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන ආයතන දෙසිය හතළිස් හයක් අමාත්‍යාංශ මට්ටමින් ලියාපදිංචියට ඇති අතර තිදෙනෙක් මියයෑමේ සිදුවීමට සම්බන්ධ වන්දනා චාරිකා නියෝජිත ආයතනයේ බලපත්‍රය මේ වනවිට අහෝසි කොට ඇත. බුද්ධශාසන අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන ආයතන සඳහා නව නීති පැනවීමටද නියමිතය. 


ඒ කෙසේ වෙතත් චාරිකාවේ යෑමට පෙර කිනම් පිළිවෙළකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳව වන්දනාකරුවෝ පළමුව සිතා බැලිය යුතුය. හිත්පුරා උතුරන ශ්‍රද්ධාව භක්තිය ආදීය වෙනත් අවස්ථාව අනුව හොඳින් සිතබලා කටයුතු  කළ යුතුය. පනින්ට පෙර සිතා බැලිය යුතු යැයි පැරැන්නන් ප්‍රකාශ කොට ඇත්තේ එබැවිනි.


එකක් නම් වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් ආදිය හොඳින් පිළිපැදීමය. අනෙක චාරිකාව සඳහා නියමිත නිශ්චිත කාලසීමාවන්වලදී පමණක් එහි යෑමය. රෝග පිළිබඳ සැක බිය ඇත්නම් ඒවා මගහැරෙනතුරු සිටිය යුතුය. ශරිරගත රෝග මෙන්ම වසංගත රෝගද බොහෝ සෙයින් බලපාන අවස්ථා දඹදිව චාරිකා අතරතුර ඇතිවේ. ජීවිත අවදානමක් රැගෙන වන්දනා චාරිකා නොයෑම ඒ නිසා වඩා වැදගත් වන්නේය.


දින ගණන් එක දිගට බස් රථ හෝ දුම්රිය මගින් චාරිකා කිරීමට සිදුවන නිසා ආහාරපාන අවශ්‍යතා මෙන්ම ශරීර කෘත්‍යයන්ද මගහරවා ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම්ද ඇතැම් වන්දනාකරුවන් සිදුකරන බවට අපට තොරතුරු වාර්තාවේ. ශරීරය වඩාත් ශක්තිමත් නැති වියපත් අවධියේ පසුවන වන්දනාකරුවන්ට මෙවැනි ශරීර සෞඛ්‍ය තත්ත්වයන් එකවර දරා ගැනීමට අපහසු අවස්ථාද උද්ගතවේ. අනෙක් අතට නුහුරු නුපුරුදු දේශගුණික තත්ත්වයන්ට එකවර ඔරොත්තු දීමට තරම් හැකියාවක් නොමැතිවීමද ගැටලුකාරී තත්ත්වයක් විය හැකිය. ශ්‍රී ලංකාවෙන් දඹදිව යන ඇතැම් වන්දනා නඩ සමඟ වෛද්‍යවරයෙක්ද සහභාගි වුවද එවැනි පහසුකම් සැපයීම් සෑම වන්දනා ගමන් සංවිධායක ආයතනයකින්ම සිදුනොවේ.


රටින් බැහැර හෝ වෙනත් යම්දුර ඈත ප්‍රදේශයක චාරිකාවේ යෑමට පෙර විශේෂයෙන්ම වයෝවෘද වියේ පසුවන පිරිස් තම සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව කායික මානසික පැවැත්ම ආදිය පිළිබඳවද කෙසේ සැලකිලිමත් විය යුතුද? ඒ පිළිබඳව වෛද්‍ය මතය කුමක්ද? ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා දැක්වු අදහස් මෙසේය.


“වියපත් අවදිය කියන්නේ ජීවිතයෙන් සමුගන්නා කාල සීමාවට පිවිසෙන අවදියයි. උපදින සෑම දෙනාම මියයනවා. අපි ඒ ධර්මයට එකඟ විය යුතුයි. වයෝවෘදභාවය සමග බොහෝ දෙනෙක්ට ඇතිවෙන්නේ බෝනොවන රෝග. ඊට හේතුව කායික වශයෙන් වැඩිහිටියන් දුර්වලවීමයි. හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආතරයිට්ස් ඒ අතරින් බහුලයි. සාමාන්‍ය ජීවිතයේදී ඔවුන් මෙම රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම නොපිරිහෙලා ඉටුකරනවා. විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඔවුන්ට ලැබෙන පහසුකම් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මගින් ආදියෙන් ඔවුන් තමන්ගේ ශරීරගත රෝග පාලනය කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගන්නවා. ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව හා සම්බන්ධ නිසා මටත් ඒ සම්බන්ධව බොහෝ අත්දැකීම් තිබෙනවා. දඹදිව චාරිකාවේ යෑමට පෙර සාමාන්‍යයෙන් තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවෙන වෛද්‍යවරයා මගින් හෝ පවුලේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. බොහෝ අය අවශ්‍ය ඖෂධ පවා රැගෙන යනවා. තමුන් වන්දනා ගමන යෑමට පෙර වීසා බලපත්‍ර ලබාදීමේදී වෙනත් අවස්ථාවකදී වැඩහිටියන්ගේ ශරීර සෞඛ්‍ය මට්ටම පිළිබඳව සහතික ඉල්ලා සිටින්නේ නැහැ. මේ හේතුව නිසා ඔවුන් නොදැනුවත්වම වන්දනා ගමන ගිහින් තිබෙන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව අවදානමද රැගෙනමයි.


දඹදිව වන්දනා ගමන් යන ප්‍රදේශ කිහිපය ආශ්‍රිතව සලකා බැලුවත් එම ප්‍රදේශ බොහෝ කටුක පරිසර තත්ත්වයන් සහිත ප්‍රදේශ ලෙස හඳුන්වන්න පුළුවන්. අප්‍රේල් කාල සීමාවේ කල්කටාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් දෙක පමණ වූ අවස්ථාත් උද්ගත වෙලා තිබෙනවා. එවැනි ප්‍රදේශවල මහ මග වැටී මිනිසුන් මියයෑමත් සාමාන්‍ය තත්ත්වයක්. කුල භේද ආදිය මත තවමත් ජීවත්වන එවැනි කලාපවල මිනිසුන් නිකරුණේ මියයෑම එතරම් සැලකීමට ලක් කරන්නෙත් නැහැ. උෂ්ණත්වය වැඩි අවස්ථාවල සිරුරෙන් විශාල ලෙස දහදිය පිටවීමෙන් පසුව විජලනය වැනි තත්ත්වයන් පවා උද්ගත විය හැකියි. එවැනි අවස්ථාවල වැඩි වශයෙන් ජලය පානය කළ යුතුයි. නමුත් වන්දනා ගමන් යන පිරිස් එහිදී පිරිසිදු වැසිකිළි පහසුකම් සපයා ගැනීමට අපහසු නිසා ජලය පානය නොකර සිටිනවා. ඇතැම් අවස්ථාවල වැඩි මුදලකට ජලය මිලදී ගන්න සිදුවන නිසා ජලය පානය නොකර සිටිනවා. එවැනි තත්ත්වයන් ශරීරයට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම සමහර ප්‍රදේශවල ජලය අපවිත්‍රයි. එවැනි ජලය පානය කිරීමත් රෝග ඇතිවීමට හේතුවක්.


විවිධ පරිසර තත්ත්වයන්ට එකවර අනුගතවීමට වයෝවෘද පුද්ගලයන්ට නොහැකිවීම අනෙක් අතට මෙවැනි අවස්ථාවල බලපාන බරපතළ ගැටලුවක්. වඩාත් ශීත කාලගුණික තත්ත්වයක් සහිත කාල සීමාවල චාරිකාවේ නියැලීම සිදුනොකළ යුතුයි. ඒවගේම වැඩි උෂ්ණත්වයකින්ද තොරවූ පරිසර තත්ත්වයන් සමනය වූ කාලසීමාවක් වන්දනා ගමන් සඳහා තෝරාගත යුතුයි. විශේෂයෙන්ම ඉන්දියාවේ බටහිර බෙංගල ප්‍රදේශ කල්කටාව වැනි නගර පිහිටි බිහාර් ප්‍රාන්තය සමාජ ආර්ථික පරිසර තත්ත්වයන් අතින් පිරිහුණු ප්‍රදේශ ලෙස හඳුනාගන්න පුළුවන්. එහි යන සංචාරකයන් කෙසේ වෙතත් එහි උපදින්නන් පවා ජීවිත අවදානම් රැසකට මුහුණ දෙනවා. සාමාන්‍ය ජලය ටිකක් ගෙන බැලුවත් ඒ ජලයත් ඉතාම උණුසුමක් සහිතයි. අපේ රටේ එවැනි පරිසර තත්ත්වයක් නැති නිසා සංචාරකයන් ලෙස එහි යන අපේ වන්දනාකරුවන්ට එහි රැඳී සිටීමට අපහසු තත්ත්වයක් උදා වෙන්න පුළුවන්.


වන්දනාකරුවන් තිදෙනෙක් මියයෑමේ සිදුවීමට සම්බන්ධ චාරිකාව සංවිධානය කළ සාම චාරිකා දඹදිව වන්දනා ආයතනයෙන් අප මේ ගැටලුව පිළිබඳව විමසුවෙමු. අදාළ ආයතනයේ දුරකතනයට ඇමතූ අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදුන් නිලධාරිනියක් අප සමග මෙසේ සඳහන් කළාය.


“අපගේ ආයතනය වසර විසිහයක පමණ කාලසීමාවක් තිස්සේ දඹදිව වන්දනා කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපි ලක්ෂයක පමණ පිරිසක් මේ ආකාරයට චාරිකාවේ රැගෙන යන්න ඇතැයි කියලා විශ්වාස කරනවා. ආයතනයේ සභාපති අනුර සේනාධීර මහතා සහ ඔහුගේ බිරිඳත් මෙම චාරිකාවට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් තවම චාරිකාව අවසන් කරලා මෙරටට පැමිණ නැහැ. එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් පැමිණි පසු නිශ්චිත පිළිතුරක් ලබාදේවි” යැයි අප සමඟ පැවසුවාය.


චාරිකාවේ නියැලෙමින් සිටින අතරතුර මියගිය තිදෙනාගේ ඥාතීන් ඉරිදා ලංකාදීපය සමඟ දැක්වූ අදහස් මෙසේය.


කුරුණෑගල, මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හැට දෙහැවිරිදි ඩබ්ලිව්.පී. ප්‍රේමාවතී මහත්මිය දඹදිව වන්දනා චාරිකාව අරඹා ඇත්තේ ඉකුත් දහතුන් වැනිදාය. සිව්දරු මවක වන ඇයගේ එක් පුතෙක් වන ප්‍රියන්ත කුමාර මහතා ලංකාදීපයට දැක්වූ අදහස් මෙසේය.


“පසුගිය විසි එක් වැනිදා නිවසට ආ හදිසි දුරකථනයකින් අපේ මව දඹදිව චාරිකාව අතරතුර සෙම් රෝගයක් හටගැනීමෙන් මියගොස් ඇති බව දැනුම් දුන්නා. අම්මා ලංකාවේ ඉඳිද්දී කිසිම ලෙඩක් රෝගයක් තිබුණේ නැහැ. අඩුම තරමේ ඇය වේදනා නාශක පෙත්තක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අම්මගේ එකම හීනය වෙළා තිබුණේ දඹදිව චාරිකාවක් ගොස් පැමිණීමයි.


ඉකුත් දොළොස් වැනිදා මධ්‍යම රාත්‍රියේ තමයි මව නිවසින් පිටවුණේ. ඒ අනුව දහතුන් වැනිදා උදෑසන ඇය දඹදිව චාරිකාව සඳහා ලංකාවෙන් පිටත් වී තිබුණා. එසේ පිටත්ව ගියාට පසුව මව දුරකතන ඇමතුමක් ලබාදුන්නා. විස්තර ඇහුවත් කිසිවක් පැහැදිලිව සඳහන් කළේ නැහැ. නමුත් ඉන්පසු දිනෙක චාරිකාව සංවිධානය කළ මහත්මයෙක් කතා කරලා මව මියගිය බවත් මෘත දේහය ලංකාවට රැගෙන ඒමට රුපියල් ලක්ෂ තුනක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.


මවගේ වගකීම ඔවුන්ට පවරා චාරිකාවේ යැවු පසු මෘත දේහය වත් ගෙනැවිත් දීමේ වගකීම භාරගන්නැයි එහිදී අප අදාළ නියෝජිතයාට සඳහන් කළා. රුපියල් ලක්ෂ තුනක් නැත්නම් අම්මාගේ අළු තමයි හම්බවෙන්නේ කියලා අදාළ පුද්ගලයා සඳහන් කළා. බොහෝ අසිරුතා මැද අපි රුපියල් ලක්ෂයක පමණ මුදලක් සපයාගෙන අදාළ චාරිකා නියෝජිතයාට ලබාදී මවගේ දේහය ගෙනැවිත් දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඉතිරි ලක්ෂ දෙකත් ලැබෙන තෙක් දේහය ගෙනැවිත් දීමට නොහැකි බව ඔහු සඳහන් කළා. පසුව අපි ණයක් ලබාගෙන තවත් රුපියල් ලක්ෂයක් ඔහුගේ ගිණුමට බැර කළා. ඉතිරි රුපියල් ලක්ෂයත් කෙසේ හෝ ලබාදෙන ලෙස ඔහු අපට දැනුම් දුන්නා. මුදල් සොයාගැනීමට නොහැකිව අප අසරණ වී සිටියා. අවසානයේදී හිතවතෙකුගේ මාර්ගයෙන් විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතාට මේ බව දැනුම් දීමක් සිදුකළා. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා මැදිහත්වෙලා මවගේ මෘත දේහය ලංකාවට ගෙනැත් දුන්නා.


එහිදී මියගිය වලස්මුල්ල, දකුණු කණුමුල්දෙණියේ පදිංචි හැටපස් හැවිරිදි ඬේවිඞ් සමරසිංහ මහතාගේ බිරිඳ ඩබ්ලිව්.ජී. ලීලාවතී මහත්මිය අප සමඟ මෙසේ සඳහන් කළාය.


“අපි දෙන්නා විවාහවෙලා අවුරුදු විසි හතරක් වෙනවා. මගේ මහත්තයා උණ හෙම්බිරිස්සාවක් හැරුණු විට වෙනත් රෝගයකට ප්‍රතිකාර අරගෙන නැහැ. චාරිකාව යන්න දවස් කිහිපයකට කලින් මගෙන් සල්ලි ඉල්ලුවා. මම එය නොපිරිහෙලා ඉටු කළා. ඉතාම සතුටින් කිසිම රෝගයක් නැතුව වන්දනාවේ ගිය මගේ ස්වාමීපුරුෂයා අද නැවත ආවේ ප්‍රාණය නිරුද්ධ ශරීරයක් ඇත්තෙක් විදිහටයි. මට මෙය අදහන්නත් බැරි තරම්. අහිමි වූ කිසිවක් නැවත ලබාගන්න බැහැ. මගේ ජීවිතයේ සැපදුක් සියල්ලටම සිටියේ ඔහු පමණයි. මෙවැනි වන්දනා ගමනක් සංවිධානය කිරිමේදී ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මෘතදේහය ගෙන ඒමට සල්ලි රුපියල් ලක්ෂ තුනක් ඉල්ලා සිටියා. ඔවුන් කටයුතු කරන්නේ සල්ලි පිළිබඳ සලකා බලා විතරයි. ඔවුන් මනුස්සකම කිසිවිටෙකත් අගයන්නේ නැහැ. මෙවැනි අසාධාරණකම් තවදුරටත් සිදුවිය යුතු නැහැ.


දඹදිව චාරිකාව අතරතුර මියගිය මැල්සිරිපුර, මඩහපොළ, මහයාය ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඩී. සෝමාවතී මහත්මියගේ දියණිය වන ඉරේෂා ජීවනි මහත්මිය ඉරිදා ලංකාදීපයට දැක්වූ අදහස් මෙසේය.


ඉකුත් දහතුන් වැනිදා අම්මා ලංකාවෙන් ගියාට පස්සේ කීප සැරයක් අපට කතා කළා. ඒත් මොකුත් අසනීපයක් තිබෙන බව දැනුණේ නැහැ. විසි එක්වැනිදා කතා කරද්දී අම්මාගේ කටහfඬ් වෙනසක් දැනුණා. අසනීපයක්ද කියලා ඇහුවාම හරිහැටි උත්තර දුන්නේ නැහැ. අපිට හරිහැටි උත්තර නොදී ඉන්න කියලා අසළ සිටින කිසිවෙක් රහසින් පවසනවා වගේ දෙයක් මට දැණුනා. පසුව රාත්‍රියේ මව මියගිය බවට චාරිකාව සංවිධානය කළ අය අපට දැනුම් දුන්නා. මෘත දේහය ලංකාවට ගෙන ඒමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලා සිටියා. මව මියගියේ කෙසේද කියලා අහද්දී සෙම වැඩිවෙලා කියලා කිව්වා. මෘත දේහය ගෙන්වන්න සල්ලි අවශ්‍යයි කියලා අපට බලපෑම් කළා.

 

සටහන- සමන්තිකා මාධවී
පසුබිම් වාර්තා - ඉබ්බාගමුව සම්පත් සෙනෙවිරත්න
සහ හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන