IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ජනපතිට හූනියම් කිරීම

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් තඹ කොළයක සටහන් කර එම තඹ කොළය කැබිතිගොල්ලෑව නගරාසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සුසාන භූමියේ තබා ජනාධිපතිවරයා ඇතුළු එම පිරිසට විණ කරන හූනියමක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කෙරෙන බව අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතා ප්‍රකාශ කළේය.  

 
මෙම හූනියම් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ‘‘ඉරිදා ලංකාදීප’’ය දුරකථනයෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීවේය.   


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කෙරෙන විමර්ශනවලට අනුව ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූවහොත් ඔවුනට එරෙහිව සුසාන භූමි පනත යටතේ නඩු පැවරීමටත්, අපහාස නීතිය යටතේ නඩු පැවරීමටත් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතා තවදුරටත් අවධාරණය කරයි.   


මෙම විමර්ශන කණ්ඩායම්වලට පොලිසිය, පොලිස් බුද්ධි අංශය යුද හමුද‌ා බුද්ධි අංශය සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ බුද්ධි අංශවල නිලධාරීහු එක්ව සිටිති.   

 


මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරන විමර්ශන කණ්ඩායම් අදාළ හූනියම් සඳහා යොදා ගත් ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ රුව සහ නම් සඳහන් තඹ පත්‍රිකාව රැගෙන ගොස් සුසාන භූමිය සහ අවට ප්‍රදේශය ද නිරීක්‍ෂණය කර ඇත.   


හූනියම් සිදුකළ බව කියන කැබිතිගොල්ලෑව පහළ උස්ගල්ල සුසාන භූමියේ තිබී සොයා ගත් මෙම තඹ පත්‍රිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන්වන කවීන් දිසානායක සහ රවින්ද්‍ර දිසානායක, උතුරුමැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කේ.එච්. නන්දසේන, උතුරුමැද පළාත් සමුපකාර ග්‍රාම සංවර්ධන කර්මාන්ත අමාත්‍ය සුසිල් ගුණරත්න සහ ඔහුගේ පුත් තුසිත ගුණරත්න යන මහත්වරුන්ගේ නම්කොටා තිබෙන අයුරු පැහැදිලිව දක්නට ලැබේ.   


මීට දින කිහිපයකට පෙර මෙම හූනියම කර ඇති කට්ටඬියා අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා තිබේ. එම තඹ පත්‍රිකාවේ තිරස් අතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව හැඟවෙන රූපය ඇඳ ඊට දෙපසින් නම්කොටා තිබිණ.   


පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයා පැළඳි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අඳින ඇඳුමට සමාන ඇඳුමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඳ සිටින අයුරු අද‌ාළ තඹ පත්‍රිකාවේ පැහැදිලිව දක්නට ලැබේ.   


කැබිතිගොල්ලෑව පහළ උස්ගල්ල මෙම සොහොන් පිටිය ආසන්නයේ විදුලි බල සැපයුමක් ලබාදීමේ කටයුතු සඳහා පිළිසකර කරමින් සිටි තරුණයන් දෙදෙනකු අසල පිහිටි සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු පැහැති මල්, පොල් තෙල් පහන් වැටි ඇතුළු පූජා භාණ්ඩ කිහිපයක් මෙන්ම එම සුසාන භූමියේ පුද පූජා පවත්වා ඇති බවට සලකුණු තිබෙන අයුරු දැක ඇත.   


පසුව එම ස්ථානය සහ අවට පිළිබඳව තවදුරටත් විපරම් කර බලද්දී තරුණයන් දෙදෙනාට දැක ගැනීමට හැකිවී ඇත්තේ සොහොන් කොතක් ආසන්නයේ රෝල්කර සඟවා තිබූ තඹ පත්‍රිකාවක්ය. අනතුරුව එය සියතට ගෙන දිගහැර බලද්දී එම තඹ පත්‍රිකාව අඟල් දෙකක පළලින් සහ අඟල් දහයක දිගින් යුක්තව තිබෙන බවට අනාවරණ කර ගැනිණි.   


එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් සහ අඳින ලද පුද්ගල රූප කිහිපයක් සටහන්ව තිබුණු නිසා එය කැබිතිගොල්ලෑව නගරයේ සමාජ කටයුතුවල නිරත වැඩිහිටි පුද්ගලයකුට බාරදී තිබේ.   
ජනාධිපතිවරයාගේ මනස අවුල් කර දෛනික කටයුතු අඩාලකර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු අවුල් කිරීමේ අරමුණින් ප්‍රදේශයේ දේශපාලනඥයකු මෙම හූනියම පිටිපසු සිටින බවට මේ වනවිට කැබිතිගොල්ලෑව අවට සහ මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් අතරේ කටකතාවක් පැතිර යමින් පවතී.   


මෙම තඹ පත්‍රිකාවේ නම් සඳහන් පුද්ගලයන් භේද බින්න කර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටයුතු අකර්මණ්‍ය කර රාජ්‍ය බලය ලබාගැනීමේ බලතණ්හාවෙන් පසුවන ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් ද මේ පිටුපස සිටින බවට ද ජනතාව අතර මතයක් පවතී. මෙම සිද්ධියට මුල්වී ඇති බවට ජනතාව සැක කරන ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයා දේව ඇදහිලි සහ හදිහූනියම් පිළිබඳව කලක සිට දැඩි විශ්වාසයෙන් පසුවන්නෙකු බවද කැබිතිගොල්ලෑවේ ජනතාව කියති.   


මෙම හූනියම් සිද්ධිය පිළිබඳව ඉකුත් 13 වැනිදා ‘‘ලංකාදීප’’ පුවත්පතින් අනාවරණය කළ පසුව එදින පෙරවරුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමා ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේ සිටම පෙනෙන බලවේගවලින් තමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින පුද්ගලයන් පෙනෙන බලවේගවලින් තමා විනාශ කිරීමට නොහැකි බව දැන ගෙන දැන් නෙපෙනෙන බලවේගවලින් තමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.   


තමාව විනාශ කිරීමේ අරමුණින් කැබිතිගොල්ලෑවේ සුසාන භූමියක් තුළ හූනියම් කර ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කර ඇති බවද, එහිදී කියා සිටි ජනාධිපතිවරයා පෙනෙන බලවේගවලින් වැට්ටවීමට නොහැකි වූ තමා නොපෙනෙන බලවේගවලින් වැට්ටවීමට නොහැකි බවද කීවේය. තමා හූනියම්වලට බිය නොවන බවද හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.

සටහන අනුරාධපුර අධිකරණ වාර්තාකරු 
උපාලි ආනන්ද



අදහස් (0)

ජනපතිට හූනියම් කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 778 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 911 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site