IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ගංවතුරට කොටුවී ආධාර ඉල්ලූ පිරිසක් දැක පහත් කරද්දියි යානය අනතුරට පත්වුණේ

 

ගංවතුර උවදුරට ලක් වූ ජනතාවට සහන සැලැස්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය රාජ්‍ය, ආයතන මෙන්ම, විවිධ වූ සංවිධාන ආයතන පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියහ. ඒ අපගේ අහිංසක ජනතාවට වැසි වතුර ගංවතුර උවදුරෙන් සිදුවූ විපතට අපට සිදුකළ හැකි යම් උපකාරයක්, සහනයක් සිදුකරන උතුම් සාධු සම්මත වූ කතාන්දරය නිසාය. 


ලොවක්, රටක් වශයෙන් ගත් කල සෑම ආගමකම සඳහන් වන්නේ අසරණයන්ට උපකාර කිරීම මහත් පිං සිදුවන කටයුත්තක් ලෙසයි.


මේ අතරේ ජලය පිරී අවතැන් පිරිස් වෙතට යන්නට නොහැකි ස්ථානවලට ගමන් කරන්නට ගුවන් හමුදාව පියවර ගත්තේය. මේ යටතේ, ලංකාවේ විවිධ ගුවන් තොටුපොළවලින් ගුවන් යානා සහන සේවා හා ගංවතුරෙන් ජීවිත අහිමි වෙමින් පවතින ජනතාව වෙත යන්නට සූදානම් වූයේ පසුගිය සතියේ ලංකාවේ දිස්ත්‍රික්ක 07ක ඇති වූ ගංවතුර උවදුර සමඟයි. මේ යටතේ, ගාල්ල කොග්ගල ගුවන් තොටුපළේ ද යානා තුනක් සේවයේ යොදවා තිබුණේය.


වැසි වැටී අහස ක්‍රම ක්‍රමයෙන් අඳුරට යා වෙමින් තිබිණි. ඒ පසුගිය 29 වන දින හිමිදිරි පාන්දරය. ඒ වන විටත් දින කිහිපයක් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා දහස් ගණනක් වූ ජනතාවට යන එන මං නැතුව තිබිණි. මිහිදුම් තිරපට අහස පුරා පොළොව පුරා වියනක් සේ අතුරා ඇති සෙයක් දැකිය හැකිය.


මෙයට දින කිහිපයකට පෙර නිල් පාටට තිබූ අහස කොග්ගල මුහුද හා අවට පරිසරයද ගුවන් තොටද,  මිහිදුමෙන් වැසී ගොස්ය. පෙර දින දහවල මෙන්ම රාත්‍රියේද ඇද හැලුණු වර්ෂාව නිසා විපතට පත්වූ පිරිසට සහන සලස්වන්නට එම්.අයි. 17 යානයක ගුවන් හමුදාවේ නිලධාරීහු වියළි ආහාර හා ක්ෂණික ආහාර ආදිකොටගත් බෙහෙත් හේත් ද වතුර බෝතල්ද රැගෙන යන්නට කොග්ගල ගුවන් තොටින් සූදානම්ව සිටියෝය. වැස්ස තිබුණද ගලවා ගැනීමේ මෙහෙයුමට යා යුතුව ඇත. 


මහ හඬ තලමින් වැසි වලාකුළු අතරින් ඉකිබිඳින ජලබිංදු දෙබෑ කරමින් ගුවන් යානාව ඉදිරියට ඇදේ. ගමන දුෂ්කර නමුත් යා යුතුව ඇත. ගුවන් මඟ අපහැදිලිය. නමුත් එයට වෙනත් පිළිතුරක් නැත. හදවත්වල ඇත්තේ, අහිංසක ජීවිත බේරාගන්නාවූ යහපත් චේතනාවයි.


ගිං ගංගාව උපදින ගොන්ගල කඳු යාය ඈතට පෙනෙන්නේ කොළ පාටට සැදුම්ලත් මහා යෝධයන් මෙන්ය. පෙනෙන නොපෙනෙන තැන්වල ඇත්තේ ජලය පමණි. වෙනදා මාර්ග ගෙවල් දොරවල් දැකිය හැකි වුවද අද තැන තැන තැනින් නැත පමණක් දැකිය හැකි සේ අද ගංවතුර රකුසා විසින් බිලිගෙන හමාරය. ගිං ගංගාව දෙගොඩ තලා යනු දැකිය හැකිය. 


ගුවන් යානාව ගුවන් සැතපුම් කිහිපයක් ගංගාව පසුකර ගමන් කරන්නට විය. එවිට යානාව පොළොවේ සිට අඩි දෙදහසකට අධික උසින් ගමන් කරමින් තිබුණේය. එක් වරම වතුරෙන් යට වූ මහා ජලය මැද පිහිටි කුඩා කඳු මුදුනක මිනිසුන් රැසක් දැකිය හැකිවිය. අන්න අන්න මිනිස්සු කොටු වෙලා”. යානාව පැදවූ භාණුකට ඉබේටම කියැවිණි.


“අපි යානාව පහත්කරලා බලමු.” ගුවන් යානාවේ අණදෙන නිලධාරියා කීවේය. වැසි වලාකුළු බිඳ හෙළමින් ගුවන් යානාව දැන් මිනිසුන් සිටින ස්ථානයේ ඉහළ අහසේ කුරුල්ලකු මෙන් තටු සලමින් නැවතී සිටිනු දැකිය හැකිය. 


“ලණු ගන්න අපි මෙතනට බහිමු.” අයෙක් කීහ. නමුත් තව නිමේෂයකින් සිදුවන්නේ කුමක්දැයි කිසිවෙක් දැනගෙන නොසිටියහ. එක් වරම ගුවන් භටයන් රැගත් මේ සහන ගුවන් යානාවේ ඇති වූ කර්මික දෝෂයක් නිසා එය අක්‍රිය විය.


දැන් සිදුකළ යුත්තේ ගුවන් හමුදාවේ අත්දැකීම් මත ක්‍රියා කිරීම පමණි. අවම හානියක් මත, යානාව ගොඩ බිමට බැස්සවීම සිදුකළ යුතුව ඇත. නමුත් ජීවිත 11ක් යානාවේ තිබේ. ඒ අයගේ ජීවිතද බේරාගත යුතුව ඇත. සිදුකළ යුත්තේ ගංවතුර සහිත බිමට යානාව පාත්කර බැස්සවීම පමණකි. නමුත් එය සිදු කරන්නට නොහැකි විය. එක්වරම ගුවන් යානාව පොළොවට පාත් වූයේ මහා වේගයෙනි. දියඹට යානාව බැස්සවීමට භානුක වෙහෙස දැරීය. නමුත් කාරිය අසීරු විය. අසල වූ නිවසක් මතට යානාව අසීරුවෙන් ගොඩ බාන්නට සිදුවූයේ ධාරානිපාත වර්ෂාව පතිත වන විටදීය.


මහා හඬ තලාගෙන යානාව පොළොව මත ගලා හැලෙන ගංවතුර සහිත යට වූ නිවසක වහලට පතිත විය. යානාවේ තටු සිඳී විසිවිණි. යානාවේ බඳට හානි සිදුවිය. නමුත් අපේ ගුවන් විරුවන්ට කිසිදු අනතුරක් සිදුවුයේ නැත. ඒ ගුවන් යානාව පැදවු භාණුකගේ දක්ෂතාව නිසාය. දැකපුරුද්ද පළපුරුද්ද, ඇති භාණුක ගුවන් නියමුවා ඒ සියල්ලම අකුරටම සිදුකර තිබිණි.


ඒ අසල සිටි ගංවතුරෙන් අසරණ වූ පිරිස “අන්න ගුවන් යානාව කඩාගෙන වැටුණා කියමින් කෑ ගසන්නට වූහ........


යානාවේ නියමු බලඝන නායන  භාණුක දෙල්ගහගොඩ එහිදී මෙසේ කීය. 


අප මේ ආකාරයට අනතුරු සිදුවූ ස්ථානවලට යනවා. මේ සඳහා අප මනාවූ පුහුණුවක් ලබාගෙන තියෙනවා. සහන සේවා සඳහා ගමන් කරද්දී යාන්ත්‍රික දෝෂයක් ඇති වුණා කියලා හිතෙනවා. මේ නිසා ආරක්ෂාව සඳහා මම මේ යානාව බිමට බැස්සුවා. නැතිනම් අප සමඟ ගමන් කළ 11 දෙනාගේම ජීවිත අනතුරට පත්වෙන්නට හැකියාව තිබුණා. මම සැලකිලිමත්ව මේ දේ සිදුකළ නිසා තමයි මේ ආකාරයෙන් ජීවිත බේරාගන්නට හැකි වූයේ.   


අපි කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ගංවතුර ආධාර හා සහනසේවා සැපයීමට පිටත් වුණා. අපි 29 වෙනිදා  උදේ 7.30ට පමණයි පිටත් වුණේ. අහස පැහැදිලි නෑ. නමුත් ගමන් කළ යුතුව තිබුණා. මෙම අභියෝගය අප භාරගත්තා. බද්දේගම ප්‍රදේශයට ආවා අපි දැක්කා පිරිසක් ගංවතුරට කොටුවී සිටින ආකාරය. අපි ඒ නිසා ලණු මාර්ගයෙන් ඒ අයට කෑම දෙන්න යානාව ඒ අසල නතරකර ගත්තා. ඉන් පසුවයි ගුවන් යානාව අනතුරට පත්වූයේ. 


“මේ වාගේ අවදානම් ක්‍රියාකිරීමේ දී මේවාගේ දේවල් වෙන්න හැකියි. අපි ගුවන් හමුදාවේ නියමුවන් විදියට මේ කටයුතු සඳහා පුහුණුව ලබා තියෙනවා. මේ පුහුණුව මත කිසිදු ජීවිත හානියක් සිදුනොවන ආකාරයට යානාව ගොඩ බැස්සුවා. අපි මෙය නියමිත ප්‍රමිතියට කන්ට්‍රෝල් කර ගුවන් යානාව බැස්සුවා. මේ ආකාරයට අවදානම් දරාගෙන අපි මේ ගංවතුර ආධාර ලබාදීම හා සහනසේවා සපයනවා. අප යානාවේ 11 දෙනෙක් හිටියා ගුවන් නියමුවන් දෙදෙනා ඉංජිනේරුවා ඇතුළු ගුවන් හමුදාවේ විශේෂ බළකායේ 06 දෙනෙක් හිටියා. අපිට  අනතුරක් සිදුවූයේ නෑ. අපි සිදු වූ කාර්මික දෝෂයේ දි අවම හානියක් සිදුවන ආකාරයෙන් යානාව ගොඩ බිමට බැස්සුවා. “අප සමඟ බලපංති ලුතිනන් ඉන්දික බණ්ඩාර, ද මේ යානාවේ කාර්මික දෝෂය සිදුවන අවස්ථාවේ දී රැඳී සිටියා” යැයි, අනතුරට පත්වු ගුවන් යානාවේ බළගණ නායක භාණුක දෙල්ගහගොඩ මහතා අප සමඟ පැවසීය. 


සටහන හා ඡායාරූප:  
හබරාදුව - නිමල් අල්ගෙවත්ත, 
ගාල්ල - අමල් වික්‍රමරත්න 

 



අදහස් (0)

ගංවතුරට කොටුවී ආධාර ඉල්ලූ පිරිසක් දැක පහත් කරද්දියි යානය අනතුරට පත්වුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site