කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් පිරිසක්

 

 

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය පුරා මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව නැගෙනහිර පළාත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එස්. අරූල් කුමාර් මහතා කියා සිටී. ත්‍රීකුණාමලයේ ඩෙංගු රෝගය වැළඳී ඇති සංඛ්‍යාව 2629 දක්වා ඉහළ ගොස් ඇති අතර, වැඩි වශයෙන්ම ඩෙංගු රෝගය වාර්තා වී ඇත්තේ, කින්නියා ප්‍රදේශයෙනි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව මෑත කාලයේ මුහුණ දුන් බරපතළම ව්‍යසනය බවට ඩෙංගු රෝගය පත්ව තිබේ.


පසුගිය ජනවාරි මස මුල් සතියේ පමණ ආරම්භ වූ මෙම ඩෙංගු රෝගය පැතිරයාමේ තත්ත්වය මාර්තු මාසය වන විට සීග්‍ර ලෙස වැඩීවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් අසීරුතාවයට ලක්ව සිටිති. මුලදී මෙම ඩෙංගු රෝගී තත්ත්වය ත්‍රිකුණාමලය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වැඩි වශයෙන් වාර්තා වුවද, ඉතා කෙටි කාලයක් තුළ එය කින්නියා හා මුතූර් ප්‍රදේශය පුරා පැතිර ගියේය. සෞඛ්‍ය බල ප්‍රදේශ ලෙස ගත් කල කින්නියා, කුරුන්ඥංකේනි, මුතුර්, උප්පුවේලි, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ඩෙංගු රෝගය සීග්‍ර ලෙස පැතිර යමින් පවතින බවත්, මහජන සහය මදකම ඊට හේතුව බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසයි.


ඩෙංගු රෝගය පැතිරයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විවිධ අදහස් පළ කළද, මේ දිනවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා සීග්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් හෝ වැඩ පිළිවෙළක් පළාත් සෞඛ්‍ය බලධාරීන්ට නොතිබූ බව ජනතාවගේ අදහසයි.


කින්නියා, මූතුර් හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල කර ඇති පරීක්ෂණවලට අනුව ඩෙංගු රෝගය පතුරුවන බව කියන ඊඩිස් හා ඇල්ෆෝපිට්ටස් නැමැති මදුරු විශේෂයන් වැඩි වශයෙන් බෝවී ඇත්තේ, පානීය ජල ටැංකි, පානීය ජල ළිං (මසුන් රහිත) හා වැසි පීලි මත බවත්, ඊට අමතරව ගෘහස්විතව ශීතකරණ පිටත ජල වෑස්සුමට තබා ඇති භාජනද ඩෙංගු කීටයන් ව්‍යාප්ත කිරීමට බලපා ඇති බව ත්‍රීකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම්.එම්.එම්. මුනාස් මහතා  කියා සිටී. කීට විද්‍යා පරීක්ෂණ මගින් මේ බව තහවුරු වී ඇති බවත්, මහජනතාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ කින්නියා, මූතුර් හා ත්‍රීකුණාමලය වැනි ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර ගිය බවත් වෛද්‍ය එම්.එම්.එම්. මුනාස් මහතාගේ අදහසයි.


ත්‍රීකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය බී. කායල්විලි මහත්මිය කියන අන්දමට 2016 වසරේ දී ත්‍රීකුණාමලයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 505 කි. එකදු රෝගියෙකු හෝ මිය ගොස් නොමැත. ඊට පෙර වසරේ 493 කි. එම වසරේද කිසිවෙකුත් මියගොස් නැත. නමුත්, 2017 වසරේ ජනවාරියේ සිට පෙබරවාරි 19 වනදා වන විට ඩෙංගු රෝගීන් 2350 ක් හමු වී ඇති අතර, මිය ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 13 ක් විය.


“පසුගිය වසරවලදී ඩෙංගු රෝගීන් වාර්තා වුණත්, මියයෑම් වාර්තා වුණේ නැහැ. නමුත් මේ වසරේ දී එම තත්ත්වය වෙනස් වුණා. ජනවාරි මාසයේ මුල් සතිය වන විට ත්‍රීකුණාමලය අවට තමයි රෝගය පැතිර යාමේ අවදානම තිබුණේ.


නමුත් පසුව මෙම තත්ත්වය කින්නියා හා මූතුර්වලට ව්‍යාප්ත වුණා. මේ වන විට මූතුර් හා ත්‍රිකුණාමලයේ තත්ත්වය පාලනය වී ඇතත්, කින්නියා තත්ත්වය තරමක් බරපතළයි. මේකට ප්‍රධානතම හේතුව මහජන සහය මදකමයි. රෝගය පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම අපි මේ වන විටත් අරගෙනයි තිබෙන්නේ.”


ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් කියා සිටියද, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පසුගිය කාලයේ ඩෙංගු රෝගය මැඩලීම් කටයුතු හා පිරිසිදු කිරීම් මන්දගාමී වූ බව නොරහසකි. විශේෂයෙන් කින්නියා හා මූතුර් යන ප්‍රදේශ තුළ මහජනයා රජයේ නීතිරීති තැකීමක් නොකරන වපසරියක ඩෙංගු මදුරුවන් බෝවීම උග්‍ර වූ බව එම ප්‍රදේශයන්හි මධ්‍යස්ථ මත දරන්නන්ගේ අදහසයි. 


ඩෙංගු රෝගය තදබල ලෙස ව්‍යාප්ත නොවූ උප්පුවේලි ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝ කිරීමට අනුබල දීම යටතේ පුද්ගලයන් 300 ට නඩු පැවරෙද්දී, ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති කින්නියා ප්‍රදේශය තුළ ඩෙංගු මදුරුවන් බෝ කිරීමට අනුබල දීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ සංඛ්‍යාව සියයකටත් වඩා අඩු ප්‍රමාණයකි. රජයේ නිලධාරීන් තැකීමක් නොකිරීම හා ඔවුනට තර්ජනය කිරීම් වැනි වටපිටාවක ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වූ බවට නැගෙන චෝදනාව බැහැර කළ නොහැකිය. එසේම කින්නියා මූතුර් වැනි ප්‍රදේශ සඳහා එම ප්‍රදේශ තුළම පදිංචි මහජන සෞඛ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් යෙදවීම නිසා මෙම තත්ත්වය පාලනය කිරීම අවම වූ බව ඇතැමෙකුගේ අදහසයි.


“මම පසුගිය කාලයේ කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතුවල නිරත වෙලා හිටියා. ඒකෙදී මම දැක්ක දෙයක් තමයි, මදුරු කීට තිබ්බ නිවෙස්වල අයට පවා නඩු දැම්මේ නැහැ. එහෙම නඩු දැම්ම නම්, අද ඔය ඩෙංගුවලට පිළියම් යොදන්න කියලා කෑ ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීලත් දඩ කනවා. 


සමහර ගෙවල් වල මදුරු කීට තිබිලා අහුවුණහම එයාල කියනවා ඒ ඩෙංගු නෙවෙයි කියලා. එහෙම කිව්වහම අපිට කරන්න දෙයකුත් නැහැ. තව සමහර අය දේශපාලන සම්බන්ධකම් කියනවා. එතකොට නිලධාරි පස්ස ගහනවා. හැබැයි, ඩෙංගුවලින් ඉස්සෙල්ලාම අවුරුදු හයක දරුවෙක් මිය ගියාට පස්සේ, කින්නියාවෙම පී.එච්.අයි. මහත්තයෙකුට ඩෙංගු හැදුනට පස්සේ ඔන්න නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒක හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා දැම්මා වගේ...” 
එසේ කියන්නේ, කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරියෙකි.


කෙසේ වෙතත් මේ වන විට ඩෙංගු මර්දන කටයුතු සඳහා ආරක්ෂක අංශ සම්බන්ධ කර ගැනීම හරහා මෙම තත්ත්වය මුළුමනින්ම පාලනය වී ඇති අතර, එසේ නොවුනේ නම්, ඩෙංගු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව බොහෝසෙයින් වැඩි වන්නට ඉඩ තිබුණි. එසේම වෙනත් දිස්ත්‍රික්කයන් හි මහජන සෞඛ්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීම මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් ගත් කදීම උත්සාහයකි.

ඩෙංගු මර්දන මෙහෙයුමකට සැරැසෙන ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක්

 

 


කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝගයෙන් වැඩි දෙනකු මියයාමට හේතුව රෝගීන් අවසන් අවස්ථාව දක්වා ප්‍රතිකාර සදහා යොමු නොවී සිටීමයි. බොහෝ විට සුළු උණ ඩෙංගු රෝගයේ එක් ලක්ෂණයකි. ඩෙංගු උණ හා සාමාන්‍ය උණ මුල් අවස්ථාවේ වෙන් වශයෙන් හඳුනා ගත නොහැකිය. මේ නිසාම ඩෙංගු රෝගයේ ලක්ෂණ මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ගත යුතු නමුත්, ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් හා ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය බලධාරීන් ගත් උත්සහය පිළිබඳව  සෑහීමකට පත්විය නොහැකිය. 


එහෙත් අදටත්, කින්නියා ප්‍රදේශයේ වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට තමන් වගකිවයුතු නැති බවට තර්ක කරන පිරිස් හා නිලධාරීන් මත වැරැද්ද පටවන පිරිස් වැඩි වශයෙන් දැකිය හැක. ඩෙංගු සම්බන්ධ රැස්වීම්වලට පැමිණෙන ඇතැමුන්, නිලධාරීන්ට පහරදීමට පවා උත්සාහ කරන තත්ත්වයන් කින්නියාවේ සුලබය. මෙම අවස්ථාවලදී නිලධාරීන් කරනුයේ, වැරැද්ද තමන් මත පවරා ගෙන නිහඬවීමයි.


ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඞ්ස් වර්ගයේ ගැහැනු සතුන් මගින් බෝ කරන අතර, මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීම හරහාය. ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම අයෙකුට ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් පවතී. 


ඩෙංගු රෝගය නිශ්චිත ලෙසම හඳුනා ගැනීමට හැකි වන්නේ, උණ රෝගය වැළඳී දින දෙකකට පසු සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් :ත්‍ඊක්‍* සිදු කර ගැනීම හරහා වුවද, ඒ සඳහා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ අවශ්‍ය පහසුකම් අවම පැවතීම හා පුද්ගලිකව සිදු කර ගැනීමේ දී වැඩි වියදමක් දැරීමට සිදුවීම බරපතළ ගැටළුවකි. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සදහා කරනු ලබන භී1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගත නොහැකිය.


මේ වනවිට කින්නියා ප්‍රදේශයේ ජංගම රුධිර පරීක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතත්, වෙනත් ප්‍රදේශවල එවැනි තත්ත්වයක් නැත. මේ නිසා තවදුරටත් ඩෙංගු මරණ වාර්තා වෙමින් පවතී.


ඩෙංගු රෝගය පතුරුවන ඊඞ්ස් මදුරුවන් උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරුද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද දෂ්ට කරන බව හෙළිවී තිබේ.


ත්‍රීකුණාමලය ප්‍රදේශයේ හා කින්නියා ප්‍රදේශයේ වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇත්තේ, පාසල් වයසේ පසු වන්නන්වීමද විශේෂත්වයකි. නිවාස හා ඒ අවට පරිසරය කොතෙක් පිරිසුදුව පැවැතියද, පාසල්වල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

විශේෂයෙන් වැහි පීලි තුළ හා ජල ටැංකි තුළ ඩෙංගු වාහක මදුරු කීටයන් විශාල වශයෙන් සිටි බව සෞඛ්‍ය සේවකයන් කියා සිටිති. ඊට අමතරව සවස් කාලයේ පැවැත්වෙන අමතර පංති ද ඩෙංගු රෝගය පැතිරීමට බලපෑ බව බලධාරීන්ගේ අදහසයි.


මේ නිසාම මාර්තු මස මුල් සතියේ දී සති දෙකක කාලයකට ත්‍රීකුණාමලයේ අමතර පංති තහනම් කෙරුණ අතර, ඉකුත් සතියේ දින තුනක් කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66ක් වසා දැමීමට ද තීරණය කෙරුණි. 


ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට රජය මේ වන විට නොකරන දෙයක් නැති තරම්ය. ඩෙංගු රෝගීන් හේතුවෙන් කින්නියා මූලික රෝහල පිරී ඉතිරී ගොස් ඇති අතර, බොහෝ දෙනකු රෝහලේ ඇඳන් නොමැතිකම හේතුවෙන් බිමද නවාතැන් ගෙන ප්‍රතිකාර ගන්නා අයුරු දැකිය හැක. ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට පළාත් පාලන ආයතනවලට ඇත්තේ, බලවත් වගකීමකි. ඒ නිසාම පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියනය වන සේ, නැගෙනහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතන 45ක් සඳහා රුපියල් ලක්ෂ 450ක් ඉකුත් 22 වන දින ලබා දෙන ලදී.

ත්‍රීකුණාමලය, මංගලනාත් ලියනආරච්චි