දුරාතීතයේ සිට දේව සංකල්පය තුළ කඳ සුරිඳුන් සැලකෙන්නේ අනාර්ය සම්භවයකින් යුතු දෙවියකු ලෙසය. වෛදික දෙවිවරුන් අතර අපට කඳ සුරිඳුන් සම්බන්ධයෙන් මුලින්ම හමුවන්නේ බ්‍රාහ්මණ සහ උපනිෂ්ද් ග්‍රන්ථ වලිනි. මෙයින් පෙනී යන්නේ ආර්ය ඇදහිලි අතරට අනාර්ය ආගමික ඇදහිලිද සැලකිය යුතු ලෙස එක්ව ඇති බවයි.


 දුරාතීතයේ සිටම ද්‍රවිඩයන් අතර කතරගම මුරුගන් දෙවිඳු පූජනීයව අදහනු ලැබූ බව ඉතිහාසය සාක්ෂි දරයි. පුරාණ ලංකාවට සංක්‍රමණය වූ ආර්යන් ලංකාවේ දකුණු පළාතට සංක්‍රමණය වන්නේ විටින් විටය. ඔවුන් කජරගාම නොහොත් කතරගම මෙන්ම කළුතර ආදී ප්‍රදේශවල ජනපද පිහිටුවා ගෙන ඇත. දඹදිවදී කාර්තික (කදිර) දේව සංකල්පය කතරගම වූවා යයි උපකල්පනය කළ හැකිය. ලක්දිව වාසයට හුරුවූ ඔවුන් කඳ සුරිඳුන් ඇදහීමට විශේෂ හේතුවක් විය යුත්තේ කඳ සුරිඳුන් මූලිකවම යුද්ධයට අධිපති දෙවියා ලෙස ප්‍රකට වූ නිසා විය යුතුය. එය දුරාතීතයේ පැවැති ඇදහීමක් විය. නිතර නිතර සටන්වල නිරත වීමට සිදුවීම හේතුකොට ගෙන එකී ප්‍රදේශයේ ජනතාව අතර “කඳකුමරු” ට විශේෂ තැනක් ලැබී පූජනීය තත්ත්වයට පත්වීම නිරායාසයෙන් සිදුවීමක් ලෙස ඉතිහාසය පිරික්සීමේදී තහවුරු වූ කරුණකි.


 මේ කියන්නට යන කතාවට හේතු වන්නේද සටන්වල නිතර නිරත වූ කඳසුරිඳුන්ගේ අඩවියේ වූ සටනක් ගැනය. කතරගම පුදබිම මෙන්ම මැණික් නදිය ආශ්‍රිත ප්‍රදේශය කවදත් බැතිමතුන් දස දහස් ගණනින් රොදබැඳ ගන්නා පුදබිමකි. හැත්තෑඑක වකවානුවේ කැරැල්ලට කතරගම නව නගරයේ මෙන්ම මහා දේවාලයේ පුදබිම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගියේ එය සති අන්තයක් වූ නිසාය. එහෙත් කැරැල්ල ආරම්භ වූ අප්‍රේල් 5 වැනිදායින් පසු මුළු කතරගම පුද බිමම ජනතාව මෙන්ම වන්දනාකරුවන්ද බියපත්ව පලා යාම නිසා කතරගම ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්විය. මුළු කතරගමම ජේවීපි ග්‍රහණයට නතුවී තිබුණි. ජේවීපීයෙන් අතවර වේයයි දේවාලේ ඇතැම් කපුවන් මෙන්ම වීදි වෙළෙන්දන්, ගම්වැසියන්ද මැණික් ගඟ තරණය කරමින් පසුබැස ඇත්තේ තිස්සමහාරාමය දෙසටය.


 කතගරම ප්‍රදේශයේ ජේවීපී ප්‍රහාරයට ලක්වූ මුල්ම රාජ්‍ය ආයතනය වූයේ කතරගම පොලිසියයි. කතරගම පොලිසියට ගසා එහි බලය ගන්නට ජේවීපී භටයන් වෙඩි තැබීම් පටන් ගත්තේ අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේය. එහෙත් පසුදා අලුයම 3 වන තෙක් ප්‍රහාර එල්ල කළද කතරගම පොලිසියේ බලය ඇල්ලීමට ජේවීපීයට නොහැකි විය. අන්තිමේදී පසුබසින්නට ජේවීපී කාරයන් නොහොත් “චේ” කාරයන් තීරණය කළේ හතරවටින් එදා එළිය වැටෙන්නට වූ නිසාය. චේ කාරයන්ට වඩාත් තර්ජනයක් වුණේ බුර බුරා ඔවුන් දෙස ආ බල්ලන් ගෙනි.


 සටන බැස යන අතර චේ කාරයන් තම හිතේ බුර බුරා නැගුණු වෛරය පිටකළේ පළාතම දෙවනත් කරමිනි.


“අඩෝ පොලිසියේ බල්ලෝ, තොපි බලාහිටපියව්. අද හවසට ආයිත් එනවා යයි. ගල්කටස් තුවක්කුවෙන් අහසට වෙඩි තැබූ චේ කාරයන්ට ප්‍රශ්නයක් වූයේ පොලිසිය දෙසින් කිසිදු හඬක් නිකුත් නොවූ නිසාය. කතරගම පොලිසියට එල්ල කළ ප්‍රහාරයෙන් “චේ” සංවිධානයේ තරුණයන් දෙදෙනකු මරණයට පත්විය. තරුණයින් දෙදෙනාගේ මළසිරුරුවල ඔළුවේ පැත්තක්ම ගැලවී ගොස් මොළ කෑලි එළියට වීසිවී තිබුණි.


 කතරගම පොලිසියට ගැසීමේ ප්‍රයත්නය අත්හලේ අප්‍රේල් 6 වැනිදා සවස 5.40 ට පමණ චේ කල්ලියේ 300 දෙනෙකු පමණ කතරගම පොලිසියට පහරදීම අරඹන්නට විය. පැට්‍රල් අත්බෝම්බ, කළුතෙල්, භූමිතෙල් පිරවූ බෝතල්, ඩයිනමයිට් ඔවුන් කතරගම ප්‍රහාරයට එක්කරගත් ප්‍රධාන ප්‍රහාරක අයිතමයන්ය. නමුත් පොලිසිය දෙසින් කිසිදු හඬක් නිකුත් නොවීය. නමුත් සිදුවී තිබුණේ කුමක්ද? 300 ක් පමණ පිරිසක් කතරගම පොලිසිය වටලන බවට ඔත්තුවක් ලද විගස පොලිසියේ ලොක්කා තුවක්කු පතරොම්ද ට්‍රන්ක පෙට්ටිවලට දමාගෙන හොර රහසේ පොළවට ඇඳිරි වැටෙන්නට පෙර තිස්සමහාරාමයට පලා යාමය. පොලිසිය පසුබැස ගිය බව දැනගත් “චේ” හමුදාවේ වීරෝධාර භටයින් පොලිසියේ දොරවල් කඩා එයට ඇතුළු වූයේ ජයග්‍රාහී ලීලාවෙනි. චේ හමුදාව කතරගම පොලිසිය මුළුමනින් ගිනි තබා විනාශ කළ අතර එහි තිබූ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විලිස් ජීප් රථයකට ගිනි තබා අළු බවට පත් කළේ වියරුවෙන් ගැහෙමිනි. තවත් චේ කොල්ලන් පිරිසක් “පොලිස් බල්ලන් තවමත් මැණික් ගඟ හරහා පසුබසිනවා යැයි සිතා මැණික් ගඟ දිගේ පල්ලම් බැස්සේ නිශ්චිත ඉලක්කයක් නැතුව හතර වටේ වෙඩි තියමිනි. වෙඩි හඬින් බිය වැදුණු මැණික් ගඟ දෙපස රිලවුන් කෑ ගසමින් සිය කර ගස්වලින් පැන මරබියේ දැඟලීම නිසා ප්‍රදේශයේ ඇතිවූයේ එකම ගාල ගෝට්ටියකි.

පොලිසියේ බලය අල්ලාගත් “චේ” කොල්ලන් කතරගම ගෙන ගියේ බිහිසුණු පාලනයකි. එහෙත් විස්මයට කරුණ නම් කිසියම් අද්භූත බලවේගයක් නිසා තාප්පයකින් වටවී තිබූ මහා දේවාලයේ ගේට්ටුවෙන් ඇතුළට ඔවුනට එන්නට බැරි වීමය. දිවා රෑ දෙකේම ගල්කටස් තුවක්කු, කඩු කිණිසි අත්බෝම්බ ඇතැතිව ගැමියන් බියවද්දගෙන සිටියත් “චේ” කොල්ලන්ට කතරගම දේවාලවලට ඇතුළුවීමට නොහැකි වූයේ ආශ්චර්යක් ලෙසටය. චේ කොල්ලන්ගේ ප්‍රධාන උකුසු ඇස යොමුවී තිබුණේ දේවාලේ පිංපෙට්ටියත් දේවාලයට පූජා කර තිබූ රන් ආභරණත් දෙසය.


 මේ වනවිට තිස්ස කතරගම මාර්ගය දෙපස ගෙවල් වෙඩි වැදීම නිසා බිත්ති සිදුරු වී තිබුණේ ගරා වැටෙන තත්ත්වයකි. අප්‍රේල් 7 වැනිදා “චේ” භටයන් විසින් අණකරන ලද්දේ සමුපකාර කඩය සහ පුද්ගලික කඩ උදේ 8- රෑ 8 ට දක්වා විවෘත කරන ලෙසය. එදා පුවත්පත් වාර්තා කර ඇති අන්දමට එදා කතරගම දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කර ඇත්තේ පී.එච්. රත්නායක නම් මහතෙකි. කතරගම පොලිසිය ප්‍රධාන කපු මහතාට ලයිසන් තුවක්කුවක් දී තිබුණේ ඔහුගේ ආරක්ෂාවට මෙන්ම පිං පෙට්ටියේ ආරක්ෂාවටය. අප්‍රේල් 6  වැනිදා දේවාලය ළඟට ආ චේ භටයන් තුවක්කුව තමන්ට භාර දෙන ලෙස ඉල්ලුවත් රත්නායක කපු මහතා එය ප්‍රතික්ෂේප කරන්නට විය. කතරගම දේවාලයට කොටුවී එහි පුද පූජා පවත්වමින් සිටි පිරිසට පසුදා ඇහෙන්නට වූයේ ලවුස්පීකරයක් බැඳගෙන දේවාලේ ගේට්ටුව අසළ තඩි හිල්මන් කාරෙකකින් කරන නිවේදනයකි.


“ප්‍රිය සහෝදරයිනි. කතරගම ප්‍රදේශයේ බලය දැන් මුළුමනින්ම ජනතා විමුක්ති පෙරමුණේ භටයන් අත් කරගත් බව ඔබ හොඳින් දන්නවා. අපේ වීරෝධාර හමුදාව ඔබ අමතන්නේ විශේෂ දැනුම් දීමක් කරන්නටයි. කතරගම පොලිසියට පහර දීමේදී අපේ හමුදාවේ කරුණාදාස සහ සිරිසේන යන සහෝදරයන් වීරෝධාර ලෙස රට වෙනුවෙන් දිවි පූජා කළා. ඔවුන්ට උපහාර ලෙස මින්පසු  කතරගම ඔවුන් නමින් නම් කරනවා. මින් පසු මේ ප්‍රදේශයට “කරුණාසිරිපුර” ලෙස භාවිත කරන මෙන් ජනතා විමුක්ති පෙරමුණේ වීරෝධාර හමුදාව ඔබට අණකර සිටිනවා. සන්සුන්ව සිටින්න. ස්තූතියි.


 චේ කොල්ලන්ගේ නිවේදනය අසා මහ කපු තැන කලබලයට පත්විය. තර්ජනයට බයේ එදිනම චේ හමුදාවට තුවක්කුව බාර දෙන්නට ඔහු පසුබට වූයේ නැත. එදා පුවත්පත් වාර්තා කර ඇති අන්දමට “චේ” හමුදාව නිතරම කතරගම දේවාලයේ ගේට්ටුව ළඟට විත් දේවාල බිමට පහරදෙන බවට වහසිබස් දෙඩුවත් ඔවුන්ට කිසිදින දේවාල බිමට ඇතුළුවීමට නොහැකි වී ඇත්තේ ආශ්චර්යක් ලෙසය.


 කැරැල්ලෙන් පසු එදා තිබූ ආසියාවේ වැඩියෙන්ම විකිණෙන සිංහල පුවත්පතට ප්‍රධාන කපු මහතා ප්‍රකාශයක් දී තිබුණේ මෙසේය.
“කැරැල්ලෙන් අරාජික වුණ කතරගම දේවාලේ දවස් 10 ක් අපි කොටුවෙලා හිටියා. කිසිම වෙනසක් නැතිව අපි පූජාව කරපු නිසා අපේ වත්පිළිවෙත් කවදාවත් කඩවුණේ නැහැ. මේ පූජාවේ ආනුභාවයෙන් වෙන්නැති මේ කල්ලියට දේවාලේ ගේට්ටුවෙන් ඇතුළටවත් එන්නට බැරි වෙන්නැත්තේ.”


අප්‍රේල් සිංහල අවුරුද්ද වනවිට කතරගම ආහාර හිඟවීම නිසා අවුරුද්දට කතරගම වැසියන්ට කන්නට වී ඇත්තේ වට්ටක්කා තම්බාගෙනය.


අප්‍රේල් 17 දා හමුදාව කතරගම වටලද්දී ගම්වැසියන් බැගෑපත් වී ඇත්තේ තමන්ට කෑමට යමක් දෙන ලෙසය. කතරගම චේ නායකයා වී ඇත්තේ ගාමිණී බාස් නැමැත්තෙකි. කතරගමදී හමුදාවට භාරවූ “චේ භටයකුගේ ප්‍රකාශයක් පාඨක ඔබ මවිතයට පත්වනු ඇත. ඔහු කියනා පරිදි ඔහු “චේ හමුදාවට බැඳී ඇත්තේ ගෙදර අඟහිඟකම් නිසාය. ඔහු කියන පරිදි ඔහුට “චේ” හමුදාවේ සේවය වෙනුවෙන් රු. 150 ක මාසික වැටුපක් පොරොන්දු වී ඇත. ඔහුට පුහුණුව ලබා දී තිබුණේ දෙවගමවැට උඩසභාව කැලයේදීය.

ගාමිණී බාස් සමඟ සිටි අනිත් නායකයන් සුනිල්, කමල් සහ ප්‍රැන්සිස්ය. අවි පුහුණුව ලබා දුන්නේ බන්දු නැමැත්තෙකි. මේ තරුණයා සමඟ 60 දෙනෙකු තුවක්කු 60 කුත් සමඟ රාත්‍රියේ නිදාගත්තද පසුදා බලන විට සියලු දෙනා පලාගොස් ඇත.  ඔහු තමා අතවූ තුවක්කුවත් පතරොම් 15 ක් හේනක සිටි පුද්ගලයෙකුට රු.10 කට විකුණා නැවත ගෙදර ගොස් තිබේ.


 1971 මැයි 24 වැනිදා ජේවීපී ඇල්පිටිය නායක ධර්මදාස ජයසිංහ අත්අඩංගුවට පත්වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කොට ඇත. ඔහු එවකට ඇල්පිටිය යටගල මහා විද්‍යාලයේ විදුහල්පති වූ බවද ඒ නිවේදනයේ සඳහන්ය. නමුත් දින 10 ක් පුරා කතරගම නාමය “කරුණාසිරිපුර” බවට පත්කළ බොහෝ නායකයන් දිවිනසා ගත් බව එදා පුවත්පත් වාර්තා කොට ඇත්තේ දේව සාපයක් නිසාදැයි සැකයක් ඇතැයි පවසමිනි. 

සටහන ඩී.ජී. ලියනගේ