IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


උමා ඔයෙන් ගලන බණ්ඩාරවෙල කඳුළු

 

ජීවිත කාලයක් දුක් විඳ හදාගත් නිවහන ඉරිතලා පුපුරා ගොසිනි. තවදුරටත් තම ගේදොර විනාශ වන්නේ ද තම දෑස් අබියසමය. ජීවනෝපාය ලබාදුන් ගොඩ මඩ ඉඩම්, පුපුරා ගිලා බසිමින් විනාශ වී ආදායම් මඟ ඇහිරී ගොසිනි.   


නාන්න, සෝදන්න පමණක් නොව බොන්නවත් ජල පොදක් නැති වන සේ සියලු ළිං, දියකඳුරු හා උල්පත් සිඳී ගොසිනි.   


කෙලවරක් නොපනෙන මේ මහා විනාශයට මුහුණ පා ඇත්තේ බණ්‍ඩාරවෙල ජනතාවය. ඉතා සුන්දර නගරයක් සේ දෙස් විදෙස් පතළ බණ්ඩාරවෙලට මේ මහා විනාශය උදා කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම් පෝෂණය කරමින් කෙත්වතු සරුසාර කරමින් ඉදිරියට ඇදීගිය උමා ඔය අතරමඟදී හරස් කර බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ රුධිරයවන් මහා ජලකඳ වෙනත් දෙසකට හැරවීමට යාමත් සමඟය.   


මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසුව මෙරට ක්‍රියාත්මක විශාලතම ව්‍යාපෘතිය ලෙස උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හැඳින්වේ.   


මේ ව්‍යාපෘතිය පිළිබඳව 1991 වසරේ සිට පිඹුරුපත් සකස් කර ඇති නමුත් මෙහි කළ අධ්‍යයනවලදී සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ සැලකිල්ලට ගත් එදා පැවති එජාප රජය එය හමස් පෙට්ටියට දැමීමට කටයුතු කර ඇත.   


කෙසේ නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය එයට පණ දුන්නේ 2008 අප්‍රේල් මස 29 වැනිදා වැල්ලවාය අලිකොටේආරේදී මේ සඳහා මුල්ගල තබමිනි. එම ව්‍යාපෘති වියදමින් 85%ක් සහනදායී පොලියට ලබාදීමට ගිවිස ගනිමිනින් ඉරාන රජය වැඩේට හවුල් වූවේය.   


උමා ඔය සහ මාතැටිල්ල ඔය ඩයරබා ප්‍රදේශයේ දී හරස් කර ඉදිකරන ජලාශ දෙකකින් රැස්කරන ජලය කි.මී. දාහත හමාරක් දිග උමඟක් තුළින් ගෙන ගොස් කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේදී විදුලිය නිපදවීමෙන් පසු එම ජලය මොනරාගල දිස්ත්‍රික්කයේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාරි පහසුකම් නැංවීමට යොදා ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ වෙයි.   


කෙසේ නමුත් මේ ජලාශ ඉදිකිරීම සඳහා වැලිමඩ හා ඌවපරණගම ගම්මාන කීපයක ජනතාවගේ ඉඩම් පවරා ගැනීමත් සමග ඔවුහු අසරණ වූහ.   


නිවාස සඳහා වන්දි ගෙවීමට ව්‍යාපෘතිය කටයුතු කළ ද පහසුවෙන් ළඟා වී පුරුදු පරිදි තම වගා කරගෙන යාමට තිබූ ගොවිබිම් අහිමි වීම නිසා අද ඔවුන් ගොවිවරුන් නොව කුලීකරුවන් බවට පත්ව සිටිති.   


බණ්ඩාරවෙලට මහා විනාශය උද‌ා වූයේ උමං මාර්ගයේ කැනීම් සමඟය. ඒ උමං මාර්ගයෙන් ප්‍රථමවරට ජල කාන්දුවක් වෙමින් මේ විනාශයට මුල පිරුවේ 2014 වසරේ දෙසැම්බර් මස 24 වැනිදාය.   


හීල්ඔය, එගොඩගම, මැදපේරුව, පල්ලේපේරුව යන ගම්මානවල සියලු ළිං හා ජල උල්පත් සිඳී ගියේ එම ජලකාන්දුව නිසාය.​   


ගොවිබිම් වියැළී ගිලා බැස්සේය. නිවාස ඉරිතලා පුපුරා ගියේය. මේ සිදුවන හානිය උමං මාර්ගයේ කැනීම් නිසා යැයි පිළිගැනීමට මුලදී ව්‍යාපෘති බලධාරීන් සූදානම් නොවුවද පසුව නැඟුණ ජනතා විරෝධය නිසා බලධාරීන්ට එය පිළිගැනීමට සිදුවිය.   


මෙසේ දිනෙන් දින බණ්‍ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 2303ක් විනාශ වූ අතර බණ්ඩාරවෙල නගරය ආසන්නයේම මහල් ගොඩනැගිලි දෙකක් පුපුරා යාම, නිවාස කීපයක් හා පාසල් ගොඩනැගිල්ලකට හානි සිදුවූයේ නොබෝදාය.   


ඉකුත් මස තුළ පමණක් මෙසේ විනාශ වූ නිවාස හා ගොඩනැගිලි ප්‍රමාණය 700ක් බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසන්නේය.   


මේ විනාශය එකවරම වැඩිවීම පිළිබඳව ජනතාව වික්ෂිප්ත වෙද්දී ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායකට ලැබුණු තොරතුරක් මත ඔහු හිටිහැටියේ උමා ඔය ව්‍යාපෘතියේ ඇල්ල කරඳගොල්ල වැඩ බිමට කඩා වැදුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය හා මාධ්‍ය සගයන් සමගිනි.   


ඒ වනවිට මහා ජලකඳ දෝරගලා යමින් තිබිණ. එම ජලය කාන්දු වී එන්නේ බණ්ඩාරවෙලින් බව ඉරාන ඉංජිනේරුවෝ පිළිගත්හ. එහි ප්‍රමාණය දිනකට ජල ලීටර් අටකෝටි හතළිස් තුන් ලක්‍ෂයක් මෙසේ කාන්දුවන බව ඉංජිනේරුවෝ අනාවරණ කළහ.   


ඔවුන් මහඇමැතිවරයාට කියා සිටියේ ජල කාන්දුව නතර කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූවත් සිමෙන්ති හා මිල අධික රසායන විශේෂයක් යොදා එම ස්ථානවලට මුද්‍රා තැබීම සඳහා මාසයක පමණ කාලයකට වැඩි කාලයක් ගතවෙන බවයි.   


මෙහිදී මහ ඇමැතිවරයා අවධාරණය කළේ මහා විපතක් සිදුවෙමින් පවතින බැවින් ඉතා කඩිනමින් මේ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගත යුතු බවයි.   


ඒ සඳහා තමන්ගේ දැනුම ප්‍රමාණවත් නොවේ නම් වෙනත් දියුණු තාක්‍ෂණය ඇති රටකින් හෝ ඉංජිනේරුවන් ගෙන්වා ජල කාන්දුව නතර කළ යුතු බව අවධාරණය කළ යුතු බව ප්‍රධාන ඇමැතිවරයා ඌව ආණ්‍ඩුකාරතුමා හා ජනාධිපතිතුමා මේ පිළිබඳව දැනුම්වත් කළ අතර මේ මහා ජලකාන්දුව ජනමාධ්‍ය ඔස්සේ නිරාවරණය ද ඒ සමඟම සිදුවිය.   


මේ ව්‍යාපෘතිය බහු විනාශකාරී ව්‍යාපෘතියක් බව මුල සිටම පවසන ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් කාලය තුළ පීඩාවට පත්වූවන් සමඟ එක්වී උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කර තිබූ නමුත් දැවැන්තම විරෝධතාව ක්‍රියාත්මක වූයේ ඉකුත් 28 වැනිදාය.   


උෟව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගේ මෙහෙයවීම යටතේ උමා ඔය විනාශකාරී ව්‍යාපාරයට එරෙහි ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයක් ද බිහිවිය.   


දියේ ගසාගෙන යන මිනිසාට තුත්තිරි ගහත් පිලිසරණක් බවට පවතින ජන වහර සැබෑ කරමින් සියලු භේද දුරලා බණ්ඩාරවෙල ජනතාව මේ සංවිධාන වටා ඒකරාශි වූහ.   


මේ පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවාගැනීමට උත්සාහ කරන අනෙක් පක්‍ෂවල ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ද මේ සඳහා එක්වූයේ කෙසේ හෝ මේ විපත නිසා පීඩා විඳින ජනතාව වෙනුවෙන් විශාල හඬක් තමන් නමින් ද නැංවීම මෙතුළින් කළ හැකි බව සිතමිනි.   


28 වැනි බදාදා උදාවන විට බණ්ඩාරවෙල නගරය පුරා කළු කොඩි එසැවී තිබිණ. උමා ඔය විරෝධී පෝස්ටර ඇලවී තිබිණ. සියලු වෙළෙඳ සල් වසා තිබිණ. පීඩාවට පත් වූ ජනතාව රොද බැන්දේ සැබෑවටය. හැඬූ කඳුලින් යුතුව ඔවුන් නැඟු මර ළතෝනි හඬ සංවිධායකයන්ගේ සටන් පාඨ අභිබවා ඇසෙන්නට විය.   


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණශීලි සංවිධානයට අනුව බණ්ඩාරවෙල පාරේ තන්තිරිය හන්දියේ සිට එක් පෙළපාළියකින්ද, දියතලාව පාරේ මංසන්ධියේ සිට තවත් පෙළපාළියකින්ද ඇටම්පිටිය පාරේ පරණ බස්නැවතුම්පොළ දෙසින් තවත් පෙළපාළියකට එක්ව ජනතාව බණ්ඩාරවෙල නගරය ආක්‍රමණය කරන්නට වූහ.   


ඒ සමග රථ වාහන ධාවනය නගරයට ඇතුළු නොවන සේ වෙනත් මාර්ගවලින් යැවීමට පොලිසියට සිදුවිය.   


කාර්යාල, වැඩබිම් මෙන්ම පාසල් ද අක්‍රීය විය. පැය කීපයක් යන විට මුළු බණ්ඩාරවෙල නගරයම උද්ඝෝෂකයන්ට නතුවිය. පොලිසියට ඉහළින් ලැබුණ උපදෙස් මත ඔවුහු සීරුවෙන් නොව පහසුවෙන් සිටියහ.   


කවදත් උමා දුක වෙනුවෙන් හඬ නැඟු ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලා කීප නමක් සමඟ අන්‍ය ආගමික නායකයන් කීප දෙනෙකු විරෝධතා පෙළපාළියේ ඉදිරියෙන්ම ගමන් කළේ ‘‘කඳුකරය විනාශය, ජනතාව අනාථය, විනාශය වහා නවත්වනු, සිදුකළ හානියට වන්දි ගෙවනු’’ යනුවෙන් සටහන් වූ විශාල බැනරයක් පෙරටුකොට ගනිමිනි.   


විවිධ පක්‍ෂවලට අයත් දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන ද පෙළපාළියේ ගමන් ගත්හ.   


බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන හා පරිසර සංවිධාන පැමිණ තිබුණේ කොළඹ සිටය. ඔවුන්ගේ සටන් පාඨ උච්ච ස්වරයෙන් ඇහුණත් සැබෑවටම පීඩාවට පත්වූවෝ දෑස් කඳුළින් තෙත් කරගනිමින් පෙළපාළියේ ගමන් කළේ හැඟුම්බරවය.   


ඔවුන් අතරින් සීමිත පිරිසක් හැරෙන්නට අනෙක් අය ජීවිතයේ කිසිදු දිනක උද්ඝෝෂණයකට හෝ පෙළපාළියකට සහභාගි නොවූවන්වීම ද විශේෂත්වයක් විය.   


හය දහස ඉක්ම වූ ජනරැල්ල බණ්ඩාරවෙල නගරය මධ්‍යයට පැමිණ සියලු මාර්ග අවහිර කරමින් රොද බැඳ ගත්හ.   


රැලිය ඇමැතීමට සමන්ත විද්‍යාරත්න සූදානම් වූ අවස්ථාවේ මෙම විරෝධතාවට සහභාගි වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ හිතවතුන් පිරිසක් ඊට බාධාකරමින් කියා සිටියේ මේ විරෝධතාව නතර කර චමින්ද විජේසිරි මහතාට ජනතාව ඇමතීමට ඉඩ දෙන ලෙසයි.   


මෙහිදී එම බාධාකිරීම් කළ අයගෙන් දෙදෙනෙක් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් නිසා ඔවුන් මෙල්ල කළ පොලිසිය ඔවුන්ව රැගෙන යාමට තැත් කළත් ඔවුහු දෙදෙනා මෝටර් රථයක නැඟී පලා යන්නට වූහ.   


මේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්න සූදානමක් තියෙනවා. ඊට ඉඩ දෙන්න බැහැ යනුවෙන් නිවේදකයා කියනු ඇසිණි.   


ඉක්බිති රැස් වූ ජනතාව අමතමින් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත කියා සිටියේ, අද ආවේ නිකන් යන්න නෙමෙයි. අපේ ජනතාව බත් බැඳගෙන ආවේ මේ දෙකෙන් එකක් විසඳාගෙන යන්නයි. මේ මහා විනාශය නිසා දැනටමත් නිවාස 7037ක් විනාශ වී පන්සල් කෝවිල් පල්ලි වැනසී සියලු ළිං හා ජල උල්පත් සිදී ගොවිබිම් අහිමි වී ජනතාව දැඩි පීඩාවට පත්ව තියෙනවා.   


මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටි බණ්ඩාරවෙල නම් සුන්දර නගරයේ අද පැවැත්වෙන්නේ කළු හර්තාලය බවද ඔහු කියා සිටියේය.   


ජනාධිපතිතුමා දින 5ක් ඇතුළත බණ්ඩාරවෙලට පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කළ යුතු යැයි ද, අද සවස 3ට කලින් මේ පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු කීවේය.   


බණ්ඩාරවෙල මෙසේ උණුසුම් වෙද්දී කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.   


‘‘මට හරිම කනගාටුයි මේ උමඟයෙන් කාන්දුවෙන්නේ බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ වතුර. මේ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙන්න තවත් අවුරුදු දෙකහමාරක් තුනක් ගතවෙන්න පුළුවන්. දැන් උමඟ විදීම නතර කළොත් ඒ සඳහා වැය කළ ඩොලර් මිලියන 541ක් වතුරේ යනවා. මේක මහා විශාල ප්‍රශ්නයක්. මේ වනවිට නෝවේජියානු සමාගමකට ආරාධනා කරලා තියෙනවා විශේෂඥයකු ගෙන්වා මේ ජල කාන්දුවට මුද්‍රා තබන්න.   


මං මේ වනවිට ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා එතුමා අපට සාකච්ඡාවකට සිකුරාදා සවස 6.00ට වේලාව දුන්නා.   


මට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා හා අගමැතිතුමා මේ ප්‍රශ්නය විසඳයි කියලා. එහෙම නොවුණොත් ආණ්‍ඩුවට විරුද්ධව ජනතාව වෙනුවෙන් හිටගන්න මා සූදානම් යැයි පවසා මාධ්‍යවේදීන් ඉදිරියේදීම දුරකථනයෙන් ඌව පළාත් සභා මන්ත්‍රී ඇමතූ හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනාධිපතිතුමා සාකච්ඡාව සඳහා දිනය ලබාදුන් බවයි. මේ මං විජේසිරි මන්ත්‍රීතුමාටත් කතා කළා. මේ පිළිබඳව ෆැක්ස් එකක් මං දැන් එවනවා යැයි එම දුරකථන සංවාදයෙන් කියැවිණ.   


ටික වේලාවකට පසුව එම ෆැක්ස්පත ජයසූරිය මහතා විසින් මහාසංඝයා වහන්සේට ඉදිරිපත් කෙරිණ. එහිදී සමන්ත පැවසුවේ ඇමැතිවරුන්ගේ පෙම් හසුන්වලට අනුව මෙම විරෝධතාව අත්හැරීමට සූදානම් නැති අතර, මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ නියෝජිතයකු මගින් දැනුම්වත් කළ යුතු බවයි.  

 
තවදුරටත් රැස්වීම පැවැත්වෙද්දී ඌව ආණ්ඩුකාර ලේකම් එච්.එම්. සෝමතිලක මහතා වේදිකාවට ගොඩවූයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා සමගිනි.   


සෝමතිලක මහතා අත ලිපියක් ද විය. සමන්ත විද්‍යාරත්න මහතා එවිට පැවසුවේ, කලින් ඇමැතිවරයාගෙන් ෆැක්ස් මගින් ලැබුණ පෙම් හසුන පිළිගැනීමට සූදානම් නැති නමුත් ආණ්ඩුකාර ලේකම්තුමා ගෙන ආ හසුන පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බවයි. ඒ අවසරයෙන් ආණ්ඩුකාර ලේකම්තුමා එම ෆැක්ස් පත කියවූයේය.  


එහි සඳහන් වූයේ උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය හේතුකොට ගෙන ඌවේ ජනජීවිතයට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජුනි 30 වැනිදා ප.ව. 6.00ට කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බවයි.  


ඒ අනුව සංවිධායකයෝ විරෝධතාව අවසන් කිරීමට තීරණය කළහ. කෙසේ නමුත් පිරිසක් බණ්ඩාරවෙල බිඳුණුවැව දී මාර්ගය අවහිර කර ටයර් පුළුස්සා නොසන්සුන්තාවක් මතුකළ අතර බණ්ඩාරවෙල දුම්රිය මාර්ගයේදී දුම්රිය මාර්ගයට කොට පෙරළා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය නතර කර විරෝධය දැක්වීමට ද කටයුතු කළහ. මේ නිසා දුම්රිය ගමන අඩාළ විය.  


මේ ස්ථාන දෙකටම පැමිණ සිය සඟයන්ට සහයෝගය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි උද්ඝෝෂකයන් පිරිසක් ජනාධිපතිතුමා සමග පැවැත්වෙන සාකච්ඡාවට කැඳවාගෙන යන බවට පොරොන්දු විය. එසේ කිරීමට තමාට නොහැකි වුවහොත් මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ඉදිරියේ දී ස්වාධීන මන්ත්‍රීවරයකු සේ ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කීවේය.  


ශීතල බණ්ඩාරවෙල මෙසේ උණුසුම් වෙද්දී කොළඹ ශීතල කාමරයක පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ මේ තත්ත්වය සොයා බැලීම සඳහා මහින්ද අමරවීර, චම්පික රණවක, විජිත් විජිතමුණි යන අමාත්‍යවරුන්ගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති බවයි.  


ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.   


‘‘මේ ව්‍යාපෘතිය අපේ රජයෙන් පටන් ගත් දෙයක් නොවෙයි. ඉරානයෙන් විශාල ණයක් අරගෙන තියෙනවා. ඒ ණය ගෙවන්නත් වෙනවා. ණය අතහරින්නත් බැහැ. පීඩාවට පත් ජනතාවත් එක්ක සාකච්ඡා කරලා නිවැරැදි තීරණයක් ගත යුතුය යන තීරණයේ කැබිනට් මණ්ඩලය ඉන්නවා’’ යැයි ද දයාසිරි ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම් දෙමින් කීවේය.  


පැය 7ක පමණ කාලයක් බණ්ඩාරවෙල රත් කළ විරෝධතාව අවසන් විය.  


මීට පෙරද උමා ඔයට විරුද්ධව පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතා පැවැත්විණ. ඒ සියල්ල මැද උමා ඔය උමඟ ජලකාන්දුව තවමත් සිදුවන්නේය. ජල කාන්දුව මසකට පසු හෝ නැවතුණහොත් යළිත් උමගේ කැනීම් සිදුකිරීමට ඉඩ ඇත.  


අනාගතයේ සිදුවිය හැකි විනාශයේ වපසරිය වත් කල් ඇතිව කියන්නට ව්‍යාපෘතියේ මහමොළකාරයන්ට දැනුමක් නැති බව අසන්නට ලැබිණ.  


එවැනි මොළයක් තිබුණා නම් විනාශයක් සිදුනොවන්නට මේ උමං මඟ නිර්මාණය කරන්නට තිබුණා නේද?  
අන්ත අසරණ වී සිටින ජනතාව එසේ ප්‍රශ්න කරන්නේ වෙනත් කිසිවක් කර කියා ගත නොහැකි නිසාය. 

සටහන හා ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ



අදහස් (0)

උමා ඔයෙන් ගලන බණ්ඩාරවෙල කඳුළු

ඔබේ අදහස් එවන්න

පුවත්

සජබ මහලේකම් සහ චම්පික හමුවක්
2024 පෙබරවාරි මස 19 161 0

සමගි ජනබලවේගයෙන් ඉවත්ව සිටින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත


අපේ ගුවන්තොටුපළවල් අදානිට දෙන්න සාකච්චා කළේ නෑ
2024 පෙබරවාරි මස 19 85 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු මෙරට ප්‍රධාන ගුවන්තොටුපළවල් තුනක පරිපාලන කටයුතු ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළව කිසිදු සාකච


ඛනිජ තෙල් දත්ත මකා දමන්න උසස් නිලධාරියෙක් සම්බන්ධයි
2024 පෙබරවාරි මස 19 65 0

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඊආර්පී පරිගණක පද්ධතියක් හරහා ‘සැප්’ මෘදුකාංගයක් භාවිත කරමින් තොරතුරු දත්ත පවත්වාගෙන යන බවත්, එම දත්ත පද්ධතියේ ප්‍රධ


නව නීති හැදීමට ලෝක බැංකු හා ඇමෙරිකානු ආධාර
2024 පෙබරවාරි මස 19 17 0

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමට ලෝක බැංකුව හා


කඳුකරයට ඉන්දියානු ආරක්ෂාව
2024 පෙබරවාරි මස 17 82 0

මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්. මෙනෙවිය ඉකුත් සතියේ බදුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියේ එම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන්ට කිස


ඔක්සිජන් ගෙන්වන මුදලින් බාල බෙහෙත් ගෙන්වලා
2024 පෙබරවාරි මස 17 27 0

බාල බෙහෙත් සඳහා මුදල් ගෙවා ඇත්තේ රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සිජන් සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වෙන්කර තිබු මුදලින් බ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 151 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 221 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 249 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site