(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)

මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.

ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.
 
තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.

“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා.
 
මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.

අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.

අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.

මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.

අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.

ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?

ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.

මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා.
 
මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.

එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.

දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.

හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.

අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.

මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.

වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ.
 
අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය.

 ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.

මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.