හිටපු ඇමැතිවරයකු හා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක ඒ.එච්.එම්. අෂ්​ෙරාෆ් මහතාගේ මරණය සිදුවූ ගුවන් අනතුරට අදාළව පත්කළ පරීක්ෂණ කොමිසමේ වාර්තාව අතුරුදන්ව ඇතැයි ඉකුත් දිනවල වාර්තා විය. මේ ඒ සම්බන්ධයෙන් ​ෙෆ්රියල් අෂ්රොෆ් මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි. 

 

ප්‍රශ්නය: ඔබතුමිය කැබිනට් අමාත්‍යවරියක් හැටියට වැඩ කළ කාලය පිළිබඳ සෑහීමකට පත්වෙනවාද?   
පිළිතුර: මම කටයුතු කළේ වගකිවයුතු අමාත්‍යාංශයක් බාරවයි. නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයයි මම ඒ අමාත්‍යාංශය බාර ගන්නා විට අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් පාඩු ලබන තත්ත්වයකයි තිබුණේ. විශේෂයෙන් ඉංජිනේරු සංස්ථාව වගේම නිවාස අධිකාරිය. මම දැකපු දෙයක් තමයි ඒ ආයතන වසා දමන තත්ත්වයකටයි පත්වෙලා තිබුණේ. කෙසේ හෝ මම ඒ ආයතන සියල්ල යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා.

ඒ පිළිබඳව නැවත හැරී බැලීමේදී මම බොහෝම සතුටු වෙනවා. රජයට බරක්වුණ ආයතන ලෙසයි මම ඒවා දැක්කේ. සාමාන්‍යයෙන් දේශපාලනයේදී වෙන්නේ මේක දොසක් නොවෙයි. අමාත්‍යාංශයක් බාර ගත්තම ඊළඟට පාර්ලිමේන්තු ආසනය රැක ගන්න එක පිළිබඳවයි කල්පනා කරන්නේ. ජනතාවට සේවයක් කරලා ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට නැවත පැමිණෙන්නේ කොහොමද කියලයි. මම දකින විදියට සාමාන්‍යයෙන් සිදු වෙන්නේ එහෙමයි. මම කියන්නේ පොදුවේ ගත්තහම එහෙම තමයි සිද්ධ වෙන්නේ. ආසනය රැකගැනීම පොදු දෙයක් බවට පත්වෙනවා. ඊළඟට මැතිවරණයෙන් ජයග්‍රහණය කළයුතුයිනේ. ඉතින් ඒ බලාපොරොත්තුව අනුව මේ අමාත්‍යාංශයෙන් වැඩක් කළ යුතුයි කියන අදහස තමයි පොදුවේ ගත් කල තිබෙන්නේ. නැතිනම් ජනතාව ඉදිරි මැතිවරණයේදී ඡන්දයක් ලබා දෙන්නේ නැහැ.   

 


ප්‍රශ්නය: ඒ කියන්නේ ඡන්ද බලාපොරොත්තුවෙන්ද ඔබ අමාත්‍යාංශයේ වැඩ බාර ගත්තේ?  
පිළිතුර: මම දැක්කේ ඒ ආකාරය තමයි. සාමාන්‍යයෙන් වෙන දේ තමයි මම ඔය සඳහන් කළේ. මම එහෙම කළේ නැහැ කියන එක තමයි කියන්න උත්සාහ ගන්නේ. මොකද මට විශාල වගකීමක් පැවරී තිබුණා. මගේ අමාත්‍යාංශය යටතේ තිබුණු පාඩු ලබන ආයතන ඔසවා තබන්න මට උවමනාවක් තිබුණා. මම දැක්කා මම ආයතනයට ගියවිට ඒ ආයතන පාඩු ලබන තත්ත්වයක තිබුණත් මට පුළුවන් ඒවා ගොඩ නගන්න කියලා විශ්වාසයක් තිබුණා. මම කවුරුත් එපා කියන්නේ නැහැ. මට ඕනෑ නම් රැකියා ලබා දෙන්න තිබුණා සීයකට දෙසීයකට උනත්. ඒ කියන්නේ ආයතනයේ කුමන හෝ තනතුරක් කුමන හෝ නමක් යොදලා රැකියා ලබා දෙන්න තිබුණා.   

 

  
ප්‍රශ්නය: අපි කථා කළොත් ඔබගේ සැමියා පිළිබඳව. විශේෂයෙන් මුස්ලිම් කොංග්‍රසය බිහි කළ ආකාරය?  

පිළිතුර: ඒ පක්ෂය බිහි කරන්න අෂ්රොෆ් ඇමැතිතුමා ගත් මහන්සිය මම බිරිඳ හැටියට දැකපු සුවිශේෂ දෙයක්. මුස්ලිම් ජනතාව වැඩිපුරම සිටින්නේ නැගෙනහිර පළාතෙනේ. මේ ජනතාවට පොඩි හැඟීමක් තිබුණා. තමන්ට ලැබෙන සැලකිල්ල බොහොම අඩුයි කියලා. ඒ පළාතට මම යන කාලේ සිංහල නැති තරම්. සිංහල කථා කරන කොටත් හරි අමුතුවෙන් තමයි බලන්නේ.   

 


ප්‍රශ්නය: ඔබතුමියත් අෂ්රොෆ් මහතා සමඟ ඡන්ද සටන මෙහෙයවුවාද?   
පිළිතුර: නැහැ. නැහැ. මම පැත්ත පළාතෙවත් ගියේ නැහැ. හැබැයි මම විවාහ වෙලා 1977 වර්ෂයේ මම ගිහිල්ලා ජීවත් වුණේ කල්මුණ ප්‍රදේශයේ. අෂ්රොෆ් ඇමැතිතුමා දේශපාලනයට ආවේ ​ෙකාටි ත්‍රස්තවාදීන් අපිව ඒ පළාතෙන් එළවලා අපි කොළඹ පදිංචියට පැමිණියාට පස්සේ. එහි ඉන්දැද්දී දේශපාලනයට ආවේ නැහැ.   


1977 වසරේ ඉඳලා 1985 දක්වා මම පදිංචිව සිටියේ කල්මුණේ. අෂ්රොෆ් ඇමැතිතුමා නීතිඥවරයෙක්. ඒ නීතිඥවරයාගේ භාර්යාව හැටියටයි මම එහේ ජීවත් වුණේ.   

 


ප්‍රශ්නය: අෂ්රොෆ් ඇමැතිතුමාගේ දේශපාලන ජීවිතය පිළිබඳ ඔබතුමිය කොහොමද දකින්නේ?   
පිළිතුර: මම අෂ්රොෆ් ඇමැතිතුමාට කැමැති වුණෙත් එතුමා​ෙග් දේශපාලන අදහස් නිසා. ඒ කියන්නේ ඔහුට මට වඩා අදහස් තිබුණා. එ් කියන්නේ මම බොහොම වාමාංශික කිව්වට අංශක ගාණක් තිබෙනවානේ. මැද සිට යනකොට. මම අර පහළම ඒ කියන්නේ බිංදුවේ ඉඳලා වාමාංශික වෙලා හිටපු කෙනෙක්. අෂ්රොෆ් අැමැතිතුමා මධ්‍යස්ථව හිටපු කෙනෙක්. අෂ්රොෆ් ඇමැතිතුමාට දක්ෂිණාංශික - වාමාංශික අදහස්වලට වඩා ආගම කෙරෙහි ඒ අනුව විශාල වෙනස් වීමක් තිබුණා. ආගමෙන් බලනකොට ඒ පිළිබඳව දකින කෙනෙක් වාමාංශික විය යුතුයිනේ. මොකද සෑම දෙනාම එකයි කියලනේ සලකන්නේ. සෑම කෙනාටම එක විදිහට සැලකිය යුතුයි කියලනේ කියන්නේ. ඒ ආගමට අනුව. ඒනිසා ඔහුත් වාමාංශික පැත්තට හැරෙන්න ඔහු මාක්ස්වාදය ගැන නොවෙයි. ආගමික වශයෙන් ඔහු වාමාංශිකයි. අපි දෙගොල්ලො අතර සමානකම් රැසක් තිබුණා. ඒ වගේම ප්‍රතිවිරුද්ධ අදහසුත් ගොඩක් තිබුණා.   

 


ප්‍රශ්නය: ඊට පස්සේ එතුමාගේ දේශපාලනයට ඔබතුමිය සහයෝගය දුන්නද?   
පිළිතුර: අපෝ ගොඩක් සහයෝගය ලබාදුන්නා. එතුමා මුලින්ම මුස්ලිම් කොංග්‍රසය පටන් ගන්න හදනකොට නම් මම එතරම් හරියි කියලා සිතුවේ නැහැ. ඊට පස්සේ එතුමා ලොකු කැපවීමක් කළා. මම ඒ දේශපාලනය පිළිබඳ පෙන්වලා දෙන්නම් ඇයි අපි මුස්ලිම් කියන හැඟීම දිය යුත්තේ කියලා. එතකොට මම තමයි එතුමාගේ ලඝු ලේඛිකාව වෙලා සිටියේ. එයට අමතරව එතුමාගේ ලේකම් වගේම උයන පිහින කාර්යයක් මට තමයි පැවරී තිබුණේ. මොකද අපි දෙන්න තමයි මේ පක්ෂය හදන්න මූලික වුණේ.   

 


ප්‍රශ්නය: ඒ ඉතිහාසය ගැන සඳහන් කළොත්?  
පිළිතුර: මම අෂ්රොෆ් ඇමැතිතුමා සමඟ විවාහ වෙලා කල්මුණේට ගියාම අපි දෙන්නට දෙන්න විතරයි සිටියේ. මම ගෙව්වෙත් අමුතු ජීවිතයක්. ඒ පළාතේ අයට සිංහල දැනුමක් නැහැ. වාසනාවකට මම මගේ ගේ මිලට ගෙන තිබුණේ සිංහල පවුලකින්. ඉතින් ඒ අය සිටියා. මට ඔවුන් සමඟ විශාල සම්බන්ධකම් තිබුණා. සිංහල කථා කරනවා ඇහෙන්නේ නැහැ. බොහොම අඩුයි. මම දෙමළ භාෂාවත් එක්ක එතරම් සබඳතාවක් තිබුණේ නැහැ. ඒ පළාතේ කථා කරන දෙමළ භාෂාවත් වෙනස්. මම දෙමළ කථා කළාම ඔවුන් සිනාසෙනවා. බොහොම අමාරුවෙන් අඩුවෙන් කථා කර කර වැඩියෙන් බලා සිටියේ. ඔවුනට ගොඩක් ප්‍රශ්න තිබුණා. පොලිසියට ගිහින් පැමිණිල්ලක් දමනකොට පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනත් දෙයක් ලියන්නේ. සිංහල දෙමළ භාෂා ප්‍රශ්නය තිබුණා. ඒවා නිරාකරණය කර ගන්න කවුරුත් මැදිහත් වීමක් නැතිව තමයි තිබුණේ. ඒ පාසල්වල ළමුන්ට කවුරුත් සිංහල භාෂාව උගන්වන්න සිටියේ නැහැ. සිංහල ගුරුවරු නැහැ. මේවා අෂ්රොෆ් ඇමැතිතුමාට විශාල ප්‍රශ්න වුණා. එතකොට තමයි ඉන්දියාව යෝජනා ක​ෙළ්. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කියලා. අන්න ඒ කාලයේ එතකොට අෂ්රොෆ් ඇමැතිතුමා ඒක දැක්කේ මුස්ලිම් ජන කොටසක් ඉන්නවා නැගෙනහිර පළාතේ. ඒ අයගෙන් මේ ගැන වචනයක්වත් ඇසුවේ නැහැ. ඒ කියන්නේ මුස්ලිම් ජනතාවක් ඉන්නවා කියලාවත් දැනුණේ නැහැ. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ කැමැත්ත අනුව උතුර නැගෙනහිර ඒකාබද්ධ කළා. ඒකාබද්ධ කරද්දී එ් පළාත් තුළ විශාල වශයෙන් මුස්ලිම් ජනතාවක් ඉන්නවා. එයාලා මේ පිළිබඳව දක්වන අදහස් පිළිබඳ කිසිදු විමසීමක් කළේ නැහැ. ඒ ගැන අෂ්රොෆ් ඇමැතිතුමා හරිම කනගාටුවෙන් තමයි සිටියේ.   

 


ප්‍රශ්නය: ඒ කියන්නේ මුස්ලිම් ජනතාවගේ අදහස් විමසීමක් කළේ නැද්ද?   
පිළිතුර: නෑ. කිසිම අදහසක් ගන්නේ නැතුව කෙළින්ම පළාත් දෙකම ඒකාබද්ධ කළා. මේ ගැන ලොකු විරෝධයක් තිබුණා අෂ්රොෆ් ඇමැතිතුමාගේ. මොකද එයාලා මේ රටේ සුළු ජාතියක් කියලා සිතනකොට සිංහල මහ ජාතියයි. අපි සුළු ජනතාව කියලා සිතන ගමන්ම ඒ ඒකාබද්ධ කිරීමෙන් වුණේ අපි සිංහල ජාතිය අතරත් සුළු ජාතියක් ​ෙවනවා. දමිළ ජාතිය අතරත් අපි සුළු ජාතියක් වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව ලොකු දුකක් ඇතිවුණා. ඊට පස්සේ තමයි දේශපාලනික වශයෙන් අපිත් ඉන්නවා කියලා කියන්න අවශ්‍යතාවක් අැති වුණේ. එතකොට කෑගහන්න පටන් ගත්තා. මුස්ලිම් මුස්ලිම් කියලා.   


හුඟ දෙනෙක් සිතුවේ ඒ වෙලේ අෂ්රොෆ් ඇමැතිතුමා ජාතිවාදියෙක් කියලා. එතුමා ජාතිවාදියෙක් නොවෙයි. මොකද ආගම පිළිබඳ එතරම් උනන්දුවක් ඇති අයකුට ජාතිවාදියෙක් වෙන්න බැහැ. එතනදී තමයි අපිත් ඉන්නවා මුස්ලිම් ජනතාවක් විදිහට කියලා ඇමැතිතුමා හඬක් නැගුවේ. එතකොට තමයි එතුමා හිස් වැසුමකුත් දාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිත් ඉන්නවා කියලා හඬක් නැගුවේ.   

 


ප්‍රශ්නය: එතරම් කැපවීමකින් බිහි කරපු පක්ෂයක් අද බලනකොට කොහොමද ඔබතුමිය දකින්නේ.   
පිළිතුර: පක්ෂයක් සාර්ථකව ඉදිරියට යනවානම් මම ඒ ගැන සෑහීමකට පත් වෙනවාද නොවෙනවාද කියලා වැඩි ප්‍රශ්නයක් නොවෙයි නේද? එයාලා සාර්ථකව ඉදිරියට පක්ෂය ගෙන යනවා. ඉතින් මම මොනවා හිතුවත් වැඩක් නැහැ නේද? හැබැයි මම දන්න තරමින් අෂ්රොෆ් ඇමැතිතුමා පක්ෂයක් පටන් අරගෙන ඒ පක්ෂය ඉදිරියට ගෙන යන්න දැඩි වෙහෙසක් ගත්තා. පවුලක් හැටියට එතුමයි මගේ පුතයි මමයි අපි තුන්දෙනා කොතරම් දුක් මහන්සි වුණාද කියන එක ප්‍රශ්නාර්ථයක් විතරයි. ඉතින් එතරම් කැපවීමක් කරලා පක්ෂයක් බිහි කරලා වසර 10කට පස්සේ අපිත් ඉන්නවා කියලා නැවත වරක් සමගි පෙරමුණක් පටන් ගත්තේ මොකද කියන ප්‍රශ්නයට උත්තරයක් සොයනවද කියන එක මම දන්නේ නැහැ. අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන් පක්ෂයක් බිහි කරලා තිබියදී ඇයි මේ සමගි පෙරමුණක් බිහි කළේ ඇයි කියන එක ගැටලුවක්.   

 


ප්‍රශ්නය: දැන් මුස්ලිම් කොංග්‍රසයේ තත්ත්වය ගැන ඔබතුමිය මොකද කියන්නේ?   
පිළිතුර: මම ඒ පිළිබඳ වැඩිය විමසීමක් කරන්නේ නැහැ. අවශ්‍ය නැහැනේ. ඒකියන්නේ අෂ්රොෆ් ඇමැතිතුමා අතුරුදන් වුණේ 2000 වසරේ සැප්තැම්බර් 16 වැනිදා. ඒ වසරෙම ඔක්තෝබර් මැතිවරණය තිබුණා. එ් මැතිවරණයේදී අෂ්රොෆ් ඇමැතිතුමාගේ නමනේ තිබුණේ අපේක්ෂකයා හැටියට. ඇමැතිතුමා මොන පක්ෂයෙන්ද ඇමැතිතුමාගේ ඉතිරි සගයෝ ගියේ මොන පක්ෂ​ෙයන්ද කියන එක සොයාගෙන ගියා නම් ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තිබුණේ නැහැ. ඒ මැතිවරණයේදී තිබුණේ ජාතික සමගි පෙරමුණ. දැන් මේ පක්ෂය යන විදිහ මම දන්නේ නැහැනේ. මොකක් හරි වැඩපිළිවෙළක් දාගෙන යනවා ඇති. සෑහීමකට පත්වෙන එක කෙසේ වෙතත් මම සතුටු වෙන්නේ නැහැ.   

 


ප්‍රශ්නය: ඔබගේ සැමියාගේ අනතුර ගැන කථා කළොත් ඒ වාර්තාව අතුරුදන්වුණා කියලා වාර්තා වුණා. ඒ ගැන මොකද කියන්නේ.   
පිළිතුර: ඔය සිද්ධිය වෙලා දැන් වසර 17ක් වෙනවා. හිටපු ජනාධිපතිනිගේ කාලයේ ඔය පිළිබඳ පරීක්ෂණ කමිටුවක් කැඳවලා පරීක්ෂණ කළා. දැන් මේ වසර 17කට පස්සේ ඒ වාර්තා සොයන්නේ මොකටද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මම සිතන්නේ ඒක අනවශ්‍ය කරුණක් කියලා. අනික මගේ ස්වාමි පුරුෂයා අතුරුදන් වුණාම ඒ වාර්තා අතුරුදන්වෙලා. මට ඒ වාර්තාවට වඩා මගේ මහත්තයයි වටින්නේ. ඒක නිසා ඔය වාර්තා පිළිබඳව සොයන එක අනවශ්‍යයි කියන එකයි මගේ හැඟීම.   

 


ප්‍රශ්නය: ඔබ දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න එක මුස්ලිම් ජනතාව බලයට පත්කළ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් නේද?   
පිළිතුර: මම මගේ මැතිවරණ කාලය තුලදී අම්පාරේ ජනතාවට කැපවීමෙන් සේවයක් කළා. ඔවුනට කරන්න පුළුවන් හැකි සැම දෙයක්ම මම උපරිම අයුරින් කළා. ඒ සතුට මට අදටත් තිබෙනවා. මම ජනතාව එක්ක එකට වැඩ කළා. ඔවුන්ගේ ප්‍රශ්නවලදී මම මැදිහත්වුණා. විශේෂයෙන් සුනාමියෙන් පස්සේ. ලොකු මහන්සියක් ගත්තා. සිංහල ගම්මානවලට සේවයක් කළා. මම ඇත්තටම කනගාටුවෙනවා නම් වෙන්නේ ඒ සිංහල ජනතාව පිළිබඳව. මම ඔවුන් සමග විශාල සමීපතාවක් ඇතිකර ගත්තා.   


මම ඒ ජනතාවත් සමඟ සමීපතාවක් ඇති කර ගත්තත් දැන් එහි ඉන්න මුස්ලිම් දේශපාලනඥයන් ඒ ජනතාව පිළිබඳව සැකයෙන් බලනවා. ඉතින් මම ඔවුන්ට කරන අසාධාරණයක්නේ. ඒක නිසා මම ඈත්වෙලා ඉන්න එක ඔවුන්ට කරන සාධාරණයක් වෙයි කියලා මම සිතනවා.  

 

සාකච්ඡා කළේ
නිශාන්ත කුමාර බණ්ඩාර