(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)

නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.

ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.

හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.

හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.

ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.

ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.

ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.

ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.

ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.

ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.

වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.

හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.

එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.

මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.

ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.

මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.

මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.

අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.

විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.

අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.

ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.

මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.
පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා  වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.

ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.

ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න  හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.

සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.

ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්‍රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.

ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.

දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.

ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.

2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.

තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.

එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.

ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.

ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.

දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.

ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.

මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.

හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.

අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.
හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්‍රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.

හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.

අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.

අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.
පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.

ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා.