අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාල   

රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාළ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය- සිංහල බෞද්ධ කාන්තාවක් වූ ඔබ ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමැතිව සිටින මොහොතකදී ඥානසාර හාමුදුරුවන්ට බරපතළ වැඩ සහිත හය අවුරුද්දක සිර දඬුවමක් නියම වුණා. මොකද හිතෙන්නේ?   


පිළිතුර- සිංහල බෞද්ධ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට තමන් ජීවත්වන දේශයේ පවතින නීතිය අනුව ජීවත්විය යුතුයි. එතකොට පවතින නීතියට අනුව වැඩ කරන්නේ නැත්නම් අපි බෞද්ධයන් හැටියට විතරක් නොවෙයි ඕනෑම කෙනෙක් හැටියට ඒකට මුහුණ දෙන්න වෙනවා.   


ප්‍රශ්නය-දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම සඳහා මේ ආණ්ඩුව නීතිය යොදාගනිමින් ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා?   


පිළිතුර- ඒ කියන්නේ? මට තේරෙන්නේ නෑ.   


ප්‍රශ්නය- තමන්ට අභියෝගයක් විය හැකි යැයි සිතෙන අය මර්දනය කරන්න නීතිය යොදා ගැනීම ගැන?   


පිළිතුර- එහෙම කරනවා නම් ඉතින් මෙච්චර කල් ගිහිල්ලත් ‘හොරු අල්ලන්නේ නෑ. හොරුන්ට දඬුවම් කරන්නේ නෑ’ කියලා මේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙන්නේ නෑ නේද?   


ප්‍රශ්නය- විශේෂ මහාධිකරණ පිහිටුවීමේ අරමුණත් එයම බවයි කියැවෙන්නේ?   


පිළිතුර- නෑ.... ඉතින් වැරැදි කරපු කවුරු හරි ඉන්නවා නම් තමයි ඕනෑම අධිකරණයක් ඉස්සරහට එන්න වෙන්නේ. නිකම් මිනිස්සු අල්ලලා හිරේ දාන්නෙ නෑ. නමුත් අපි ජනවාරි 08 වැනිදා මැතිවරණයට ඉස්සෙල්ලා අපි පක්ෂයක් විදියට විතරක් නොවෙයි කණ්ඩායමක් විදියට පොදු අපේක්ෂකයාට සහාය දුන්න හැම කෙනෙක්ම කිව්වේ රජයෙ මුදල් අවභාවිත කරලා තියෙනවා නම්, නාස්ති කරලා තියෙනවා නම්, හොරකම් කරලා තියෙනවා නම් ඒවගේම තිරශ්චීන විදියට මිනිසුන් මරලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලයි. ඒ අනුවයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒකම තමයි රටේ බහුතර ජනතාව මේ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තිබ්බේ. ඒ නිසා අපට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා.   


ප්‍රශ්නය-ඔය කියන විශේෂ මහාධිකරණවල විභාග කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ සිටි දේශපාලනඥයන්ට අදාළ පැමිණිලි විතරයි.   


පිළිතුර- නැහැ... ඇයි දේශපාලනඥයන්ට විතරක් නොවෙයි, රජයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ අය ගැනත් හොයනවා.   


ප්‍රශ්නය- මම ඇහුවේ ඒක තමයි. ඒක රාජපක්ෂ යුගයට පමණක් සීමා වෙනවා?   


පිළිතුර- නඩුවක් පවරන්න කාලයක් තියෙනවනේ. ඉතින් ඒ කාලය අනුව ඒ කාලය තුළ පවරන්න පුළුවන් වැරැදිවලට තමයි නඩු පැවරෙන්නේ. කාලාවරෝපිත පනත අනුව ඒ කාලයට අනුව තමයි නඩු පැවරෙන්නේ. 

 
ප්‍රශ්නය-ඒකාබද්ධ විපක්ෂය කියනවා ‘පොලිස්පතිවරයා නීතිය නවනවා’ කියලා. ඔබ අධිකරණය නවනවද?   


පිළිතුර- නැහැ. එතුමා පොලිස්පතිතුමා නිලධාරියෙක්. මම දේශපාලනඥයෙක්.   


ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබ පිළිගන්නවා පොලිස්පතිවරයා නීතිය නවනවා කියලා.   


පිළිතුර- නෑ. මම එහෙම එකක් කිව්වේ නැහැනේ. මම එහෙම එකක් දන්නේ නෑ. මම දැනගෙන හිටියෙත් නෑ. එතුමා එහෙම දෙයක් කියනවා. මට ඒක අදාළත් නෑ. නීතිය නවනවා කියලා තියෙනවා නම් ඒකෙන් හැඟෙන දේ මට තේරෙන්නෙත් නෑ.   


ප්‍රශ්නය- රට දිහා බැලුවම ප්‍රශ්න මිසක් වෙන මුකුත් පේන්නේ නෑ. රටට මෙහෙම යන්න පුළුවන්ද?   


පිළිතුර- නෑ.... පුළුවන් යන්න.... දැන් තමයි හරි විදියට රට ඉස්සරහට යන්නේ. වැඩේ වෙලා තියෙන්නේ මේ විදියට රට ඉස්සරහට යනකොට ගොඩක් අයට ඒක පුරුදු නෑ. අනික් අය හිතනවා ඒක නොවෙයි ක්‍රමය. බලය සදාකාලිකවම පවත්වාගෙන බලයේ ඉන්න එක තමයි ක්‍රමය කියලා. අපි මෙතැනදි ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් අපි හරි දේ කරනවා. රටට අවශ්‍ය දේ කරනවා. රට මේ ණය උගුලෙන් ගොඩ ගන්න අවශ්‍ය දේ කරනවා. මේ හැම පැත්තකින්ම විනාශ වෙච්ච රටක්. යුද්ධය ගැන පමණක් කතා කරමින් වැඩිය ඕනැ නෑ.... අද දවසේත් තවමත් උත්සාහ කරන්නේ 2009 මැයි 18 වැනිදා ලැබූ යුද ජයග්‍රහණයෙන් දේශපාලන වාසි ගන්නයි. නමුත් අපි හරි දේ කරනවා. මම ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදීත් කිව්වා 2002 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිතුමා හැටියට රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළ නිසා මේ රටේ කිසිම පුරවැසියෙක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට රැගෙන යන්න බෑ. නමුත් බැරිවෙලා හරි ඒක අත්සන් කරලා තිබුණ නම් අපිට බරපතළ විදියට ඒක බලපානවා. නමුත් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ,

   
ප්‍රශ්නය- ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රැ​ගෙන නොගියත් මේ රටේ රණවිරුවන් නඩු නැතිව හිර ගෙවල්වල දාලා ඉන්නවා?   


පිළිතුර- ඔය කිව්වේ. ඕක තමයි ජනප්‍රියම සටන් පාඨය. භික්ෂුන් වහන්සේලා, රණවිරුවන් දඩයම් කරනවා කියලා තමයි කියන්නේ. රණවිරුවන් දඩයම් කරපු තැනක් හරි මේ වෙනකම් රණවිරුවකු පාවලා දුන්නු තැනක් හරි තියෙනවා නම් මම ඒ වගකීම භාරගන්නවා.   


ප්‍රශ්නය- ඔබ ඔහොම කියන්නේ වගකීමෙන්ද?   


පිළිතුර- අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි රණවිරුවෙක් රණවිරුවෙක් විදියට නොවෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ රටේ අපරාධ නීතිය යටතේ කිසියම් අපරාධයක් කරනවා නම් එයා රටේ පුරවැසියෙක් හැටියට රටේ නීතියට මුහුණ දෙන්න ඕනෑ.  


ප්‍රශ්නය- නමුත් කොටි ත්‍රස්තවාදියාට නිල ඇඳුම ගලවපු ගමන් සාමාන්‍ය වැසියෙක්​ වෙන්න පුළුවන්. ඒ වගේම යුද්ධය තිබුණේ යුද බිමේ පමණක් නොවෙයි. ඒක පෙරමුණු ගණනාවකින් ක්‍රියාත්මක වෙච්ච යුද්ධයක්?  


පිළිතුර- ඔබ කියන විදියේ දෙයක් මෙතැන වෙන්නේ නෑ. කිසිම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සම්බන්ධයෙන් යුද්ධයේදී වුණා කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වෙනකම් මේ රජය කිසිම මොහොතක රණවිරුවකු අත්අඩංගුවට අරගෙනත් නෑ. අරගන්නෙත් නෑ. එහෙම ගන්න අවශ්‍යත් නැ. රණවිරුවන් කරපු කැපකිරීම අද දේශපාලන වාසි ගන්න යුද්ධයට නායකත්වය දුන්නා කියල කෑගහන අය නොවෙයි ඇත්තටම යුද්ධය කළේ. එදා යුද හමුදාපති හැටියට ඒ කටයුත්තට නායතක්වය දුන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයා. ඒ වගේම එතුමා යටතේ සියලුම දෙනා ඉතා මහන්සියෙන් කැප කිරීමකින් ​අද විශාල පිරිසක් ඇත්තටම ආබාධිත තත්ත්වයට පත්වෙලා ඉන්නවා. ඒ ඇත්ත රණවිරුවන් කරපු සේවය ඔය කෑ ගහන දේශපාලනඥයන් නිසා අවතක්සේරු කරන්න බැහැ. ඒකට හිමි සැබෑ වටිනාකම මේ රජය ලබාදීලා තියෙනවා. යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් අපිත් මේ රටේ පුරවැසියන් හැටියට සතුටු වෙනවා වගේම ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු රණවිරුවන්ට අපි වග කියනවා. ඔවුන්ට අවශ්‍ය ගෞරවයත්, රැකවරණයත් අපි ලබාදෙනවා.   


ප්‍රශ්නය-- ‘ප්‍රභාකරන් නැවත ඕනෑ’ කියලා කියපු ඔබේ පක්ෂයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද?  


පිළිතුර- ‘ප්‍රභාකරන් නැවත ඕන’ කියලා එතුමිය කිව්වේ, මම එතුමිය වෙනුවෙන් ඕනෑම වෙලාවක කතා කරන්න සූදානම්.  


ප්‍රශ්නය-- ඒ කියන්නේ ඔබත් ඒ ප්‍රකාශය අනුමත කරනවා?  


පිළිතුර- නෑ... නෑ... මම කියන්නේ එහෙම දෙයක් නොවෙයි. ඔබ වැරැදි අර්ථකථන දෙන්න එපා. එතුමිය කියන්නේ මොකද්ද? එතුමියත් යුද්ධයෙන් බැට කාපු වැන්දඹුවක්. එතුමියගේ ස්වාමිපුරුෂයා ඝාතනය කළාට පස්සේ එතුමිය ඒකට මුහුණ දුන්න විදියට එතුමියත් එක්ක හිටපු අපියි දැක්කේ. මම එතුමියගේ ස්වාමිපුරුෂයාගේ අවමඟුල් පෙරහරේ ගමන් කළා. එහෙම කෙනෙක් විදියට මට කියන්න පුළුවන් එතුමියට තියෙන වේදනාව. එතුමිය කිව්වේ එදා එල්.ටී.ටී.ඊ. එක ලොකු දඬුවම් දුන්නා. ඒ නිසා මිනිස්සු බය වුණා. යාපනේ තිබුණු ඒ ක්‍රමයට මිනිස්සු බයවෙලා හිටියෙ. නමුත් අද මේ හොඳ දේ කරන්න ගිහින් මම ඒකයි මුලින්ම කිව්වේ මේ රටේ කරන සමහර දේවල් රජයෙ කරන දේවල් ගැන අවබෝධයක් ඇති කරගන්න සමහරුන්ට තවම බැරිවෙලා තියෙනවා. ඒකනේ කියන්නේ ආණ්ඩුවට පණ නෑ කියලා.  


ප්‍රශ්නය-- ‘ප්‍රභාකරන් නැවත අවශ්‍යමයි’ කියලා කිව්වේ රජයේම ඇමැතිවරියක්නේ?  


පිළිතුර- ඇමැතිතුමිය ඒ වෙලාවේ ප්‍රකාශ කළේ ඒ වගේ කෙනෙක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රදේශයේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම’ කියලා. විද්‍යා, සිසුවියගේ ඝාතනය, එහෙම නැත්නම් අර අට හැවිරිදි දැරියගේ ඝාතනය වගේ දේවල් දිහා බලනකොට ඕනෑම අම්මා කෙනෙකුට ඒ හැඟීම එනවා. එහෙම නැතිව ප්‍රභාකරන් ගැන මම දන්නවා එතුමිය හීනෙකින්වත් හිතන්නේ නෑ කියලා.  


ප්‍රශ්නය- ඒ මන්ත්‍රීවරිය වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා?  


පිළිතුර- එතුමියගේ වචන යටින් ඇති ඇත්ත අර්ථය හොඳින් දන්නා නිසා මම ඔව්! එතුමිය වෙනුවෙන් පෙනී ඉන්නවා.  

ප්‍රශ්නය- රටේ අධිකරණය ඉදිරිපිට තිබෙන පැමිණිල්ලක විත්තිකාරිය වෙනුවෙන් රටේ අධිකරණ ඇමැතිවරිය පෙනී සිටීම කොයිතරම් දුරට සදාචාරාත්මකද?  


පිළිතුර- මම පෙනී සිටින්නේ මාත් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න සහෝදර මන්ත්‍රිවරියක් වෙනුවෙන් මිසක් අධිකරණ ඇමැතිවරිය විදියට නොවෙයි. මේ තනතුරු තාවකාලිකයි. ඒවා තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. ඊට වඩා එහා ගිය යාළුකමක්.  


ප්‍රශ්නය- මන්ත්‍රීවරුන්ගේ පඩිය සියයට 215කින් වැඩි කරගන්න යෝජනා කරනවා. හැබැයි මිනිසුන්ට පාන් කියාගන්නත් බෑ?  


පිළිතුර- කවුද පඩි වැඩි කරගන්න යෝජනා කරන්නේ?   


ප්‍රශ්නය- පක්ෂ නායක රැස්වීමේදී එහෙම යෝජනාවක් සම්මත වුණාද?  


පිළිතුර- පක්ෂ නායක රැස්වීමේදී එහෙම එකඟ වුණා නොවෙයි. මේක හොඳට සොයලා බලලා කතා කරන්න ඕනැ. 2006 දි සභානායක හැටියට කටයුතු කරපු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා අධිකරණයත් එක්ක සංසන්දනාත්මකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපක් සමාන තලයක පිහිටුවිය යුතුයි කියලා. ඒ අනුව අධිකරණයෙ වැටුප් වැඩිවීමක් එනකොට ස්වභාවයෙන්ම මන්ත්‍රී වැටුපත් වැඩිවෙනවා. ඒ අනුව ඒ තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය ලේඛන පාර්ලිමේන්තුවේ හරි ගස්සලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලය රජයේ තත්ත්වය දන්නේ නැහැනේ. ඒ විදියට පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමක් මිසක් ඒ ගැන කවුරුවත් සළකා බැලීමක්වත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමක්වත් සිද්ධ වුණේ නෑ. ඒ යෝජනාව ආවට පස්සේ සියලු දෙනාම ජනාධිපතිතුමාත් අගමැතිතුමත් අපිත් ඒක ප්‍රතික්ෂේප කළා. එච්චරයි.  


ප්‍රශ්නය- එහෙමනම් ජනාධිපති මෛත්‍රී කිව්වේ ‘එක ශත පහක්වත් වැඩි කරන්න දෙන්නේ නෑ’ කියලා?  


පිළිතුර- ඒක සාධාරණයිනේ. එතුමා ශත පහක් නොවෙයි මම නම් විශ්වාස කරනව එතුමා අපිට ඔය ගැන කතා කරන්නවත් දෙන්නේ නැත්නම් ඒකත් හොඳයි.  


ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂයෙ පසුපෙළ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට සුවිශේෂි වරප්‍රසාද හිමිවන කැබිනට් පත්‍රිකාවක් අගමැතිවරයා කැබිනට් එකට ඉදිරිපත් කළා. ජනාධිපති මෛත්‍රී ඒකත් කුණු කු​ඩෙට දැම්මා.   


පිළිතුර- නෑ... නෑ... එහෙම එකක් නම් වුණේ නෑ.   


ප්‍රශ්නය- එහෙමනම් මොකද්ද වුණේ?  


පිළිතුර- මෙහෙමයි මාස 5ක් ඇතුළත විශාල සංවර්ධන මෙහෙයුමක් සිදුවෙනව යූඑන්පී එකේ විතරක් නොවෙයි රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හරහා. ඇත්තටම මම ඒ කැබිනට් පේපර් එක එච්චර කියෙව්වෙත් නෑ උවමනාවෙන්. මොකද මේ?  


ප්‍රශ්නය-ඒ දීමනා ලැබෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පමණක් නිසා?  


පිළිතුර- ඒ හින්දා නොවෙයි. ඒකේ තිබිච්ච කාර්යමණ්ඩලය සාමාන්‍යයෙන් අපි මන්ත්‍රීවරුන් හැටියට අපිට අනුමතයි. මම ඒත් කල්පනා කළා. ඒකේ ඇත්තම හේතුව වුණේ මිලියන 200ක් එක ඡන්ද බල ප්‍රදේශයක මාස 5ක් තුළ වැඩ කරන්න වෙන් වෙනවා. ඒ මුදල් වෙන් වෙනකොට අපි කොහොමද මේ වැඩ ටික කරන්නේ? අපට තව කාර්යමණ්ඩල අවශ්‍යයි. මිනිස්සු ඇවිත් නිකම් වැඩ කරන්නේ නෑනේ. වාහන 2ක් වත් දුවන්න අවශ්‍යයි. ඒවා නොකරන මිනිසුන්ට කිසි ගානක් නෑ. ඒ අය මේවා දන්නෙත් නෑ. නමුත් මේවා ඇස්තමේන්තු කරන්න. මේවා ගැන හොයලා බලන්න. දැන් රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් ඉදිරි මාස කියන්නේ රත්නපුරයට වැස්ස කාලය. මුදල් ​වෙන් කළාට වැඩ කරන්න බැරිවෙනවනේ. එතකොට ඒ මුදල් අපිට නැති වෙනවනේ. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළාට කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ. ඒකට හේතුව තමයි ඇත්තටම පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඒ වැඩ ටික කරගන්න ඒ අයව දැන් ඉන්න කාර්ය මණ්ඩලයත් එක්ක හරි අමාරුයි.  


ප්‍රශ්නය- ඔය සිදුවීම් හරහා එළියට පනින්නේ ජනපති, අගමැති ගැටුමේ අළුයට ගිනි?   


පිළිතුර- නෑ... කොහෙත්ම නෑ... ඔහොම කිව්වම ඒක විපක්ෂයට ලොකු මාතෘකාවක්නේ. එහෙම මාතෘකා හදන්න හදනවා. හැබැයි හැදුවට වැඩක් නෑ. මොන තීන්දු තීරණය ගත්තත් ඒක ජනාධිපතිතුමයි අගමැතිතුමයි සාකච්ඡා කරලයි යන්නේ.  


ප්‍රශ්නය-රටේ විනයක් තියෙනවද කියලා හිතෙනවා, බදාදා දුම්රිය වර්ජනයත් ඒ ආශ්‍රිත සිදුවීම් දිහා බැලුවම?  


පිළිතුර- විනයක් තියෙනවද කියලා අහන්න ඕනෑ මගෙන් නොවෙයි. නිදහස් අධ්‍යාපනය තුළ රජයේ වියදමෙන් ඉගෙන ගත්ත දැන් ඔය ඉන්නේ වෛද්‍යවරු, විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධිය ගත්ත අය. රටේ අහිංසක මිනිසුන්ගේ බදුවලින් පඩි ගන්නවා. ගෙදර ගියාම විශ්‍රාම වැටුපත් ගන්නවා. ඒ ගොල්ලෝ කල්පනා කළ යුතුයි. අපි මේ රටට ණයගැතියි. ඒ නිසා අපි මේ රටට වැඩ කළ යුතුයි කියලා. එහෙම හිතන්නේ නැතිව අහිංසක මිනිස්සු වැඩ ඇරිලා ගෙදර යන්න ආපු. උසස් පෙළ විභාගය ලියන්න ආපු දරුවො අතරමං කළා කියලා ආණ්ඩු පෙරළන්න බෑනේ. පඩි වැඩි වෙන්නෙත් නෑනේ. පඩි වැඩි වෙන්න තියෙනවා නම් ඒක වැඩි වෙන්නෙත් නෑ ඔ​හොම ගියාම.  


ප්‍රශ්නය-මේ ආණ්ඩුවට නායකයෝ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?  


පිළිතුර- නෑ... එහෙම නෑ... හැම කෙනාම නායකයෙක්.  


ප්‍රශ්නය-- කැබිනට් මණ්ඩලය ගන්න තීන්දු මුදල් ඇමැති මංගල ප්‍රතික්ෂේප කරනවා.   


පිළිතුර- අපේ මුදල් ඇමැතිතුමා හරි කෙළින් වැඩ කරන කෙනෙක්. බැරි දේ බැහැ කියනවා.  


ප්‍රශ්නය- කැබිනට් එක තීරණය කරනවා දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න. ඒත් ඇමැති මංගල බැහැ කියනවා.

  
පිළිතුර- නෑ එහෙම තීරණයක් කැබිනට් එක අරගෙන නෑ.  


ප්‍රශ්නය-සරත් අමුණුගම කමිටුව ..?  


පිළිතුර- ඔව්! ඒ කමිටුවෙන් වාර්තාවක් දුන්නා.  


ප්‍රශ්නය-ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා කැබිනට් එක කිව්වා?  


පිළිතුර- එහෙම එකක් වුණේ නෑ. කැබිනට් එක අනුමැතිය දුන්නේ නෑ, මාතෘකා මවන්න එපා හරිද? කැබිනට් එක අනුමැතිය දුන්නේ නෑ. ඒකට මුල දවසේ ඉඳලම එතුමා එකඟ නෑ කියලා කිව්වා.  


ප්‍රශ්නය- කෝ ඡන්ද? යහ පාලන ආණ්ඩුව ඡන්ද සිතියම හකුලලා?  


පිළිතුර- වෙලාවට තියයි. ඒකාබද්ධ විපක්ෂය ගෑ ගැහුවා කියලා ඡන්ද තියන්න ඕනෑද? රට ණය උගුලකට හිර කරලා ඉස්සරහට යන්න බැරිව ලෝකය ඉදිරිපිට අපේ රට කොන් වෙන කොට ණය හෝ ආධාර අපේ රටට නොලැබෙන කොට හිරවුණාම කාලෙට කලින් ඡන්ද තියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. බයවීමක් ඒක.  


ප්‍රශ්නය-මේ ආණ්ඩුව ඡන්ද නොතියන්නෙත් බය වෙලා!  


පිළිතුර- නෑ. එහෙම බයක් නෑ. තාම ඡන්ද තියන්න ආවේ නෑ.  


ප්‍රශ්නය- පළාත් සභා තුනක් විසිරිලා?  


පිළිතුර- මෙහෙමයි. දැනට තීරණයක් අරගෙන තියෙනවා පළාත් සභා ඔක්කොමගෙම ඡන්ද එක දවසින් තියන්න හරිනේ?  
  

 

 

 

 

සාකච්ඡා කළේ- 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්