විද්වත් හමුව

“රට වටේ ඇති සයුරෙන් අප නිසි ප්‍රයෝජන ගන්නවාද? තල්මසුන් බලන්නට එන විදේශිකයින්ටවත් සුන්දර වෙරළ තීරයක පහස ලබන්නට එන විදේශිකයකුටවත් අප අනුගමනය කරන ක්‍රමවේදය තුළින් රට ගොඩනගන්නේ කෙසේද? ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සමුද්‍ර සම්පතින් රට ගොඩ නගන හැටි ගැනය.” 

 
ප්‍රශ්නය:- ලංකාව වැනි දූපතක වටේට සම්පතක් ලෙස සයුර දැක ගන්නට පුළුවන්. ආර්ථිකමය වශයෙන් මෙරට ගොඩගැනීමට සයුර නමැති සම්පත යොදා ගන්නේ කෙසේද?   


පිළිතුර:- මහ සයුර කියන්​නේ ජීවයේ උපත ලබා දුන්නා වූ ජෛව හා අජෛව සම්පත්වල තෝතැන්නකි. වර්තමානයේ සුවතා දර්ශකය (Health Index) මගින් මහ සයුර ආශ්‍රිත සශ්‍රික බව හා උපයෝගී ක්‍රමය අනුව ලොවට දායාද කෙරෙන පරිසරස සේවාවන් 10 ක් ඔස්සේ සයුර ඇගයීමට ලක්කර තිබෙනවා. සෑම රටකටම හිමි අනන්‍ය ආර්ථික කලාපය (EEZ) මෙහිදී ඇගයීමට ලක්වෙනවා. අපේ රට වටා ඇති සයුර ජාත්‍යන්තර ලෙස පොදු අරමුණ (Public Goals) 10 ක් මගින් ඇගයීමට ලක්වෙනවා. පාරිසරික (Ecological), සාමාජීය (Social) හා ආර්ථිකමය (Economical) සාධකයන් මෙහිදී සැලකිල්ලට ගනු ලබනවා.   


 ප්‍රශ්නය:- ලංකාව වටා ඇති සයුරේ ප්‍රමාණය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වටිනාකම කුමක්ද?   


පිළිතුර:- ලංකාවට අයත් සාගරය ලංකාවේ භූමි සම්පත වගේ 8 ගුණයක් විශාලයි. භූගෝලීය ලෙස ලංකාව පිහිටා ඇත්තේ මර්මස්ථානයක. සාගර ප්‍රවාහන පද්ධතින් මේ පිහිටීමට බද්ධ වී තිබෙනවා. ආර්ථිකමය හා සම්පත් කළමනාකරණය සඳහා නෛතිකමය පාලනයක් සිදුකෙරෙන මුහුදු ප්‍රදේශය රටකට අනන්‍ය ආර්ථික කලාපය මගින් නියෝජනය කරනවා. 

 
ප්‍රශ්නය:- මේ සයුර උපයෝගී කරගෙන ර​ෙට් ආර්ථිකය නගා සිටුවීමට සෘජු ලෙස ලබාගත හැකි රැකියා මොනවාද?   


පිළිතුර:- නාවුක රැකියා, ධීවර, සංචාරක ආදී ක්ෂේත්‍රයන් රැසක රැකියා ලබා ගත හැකියි. ලැයිස්තුවක් ලෙස කිවහොත් එය ඉතා දිග එකක්.   


 ප්‍රශ්නය:- ඊට අමතරව ලංකාව වටේ සාගරයේ දක්නට ලැබෙන ඛනිජ සම්පත්වලට අමතරව තවත් සම්පත් තිබෙනවාද?   


පිළිතුර:- අමතක කරන්න එපා ලංකාව සේද මාවතේ බව. මේ ගැඹුරු මුහුදේ ගිලුණු නැව් 100 කට වඩා තියෙනවා. අපට මේවා සංචාරකයින්ට පෙන්වලම සැලකිය යුතු විදේශ විනිමයක් උපයාගන්න පුළුවන්.   


ප්‍රශ්නය:- මෙතරම් වටිනා සාගර විෂය අප නිසි අධ්‍යයනයක් නොලැබුවේ ඇයි?   


පිළිතුර:- අපට පාසල් වියේ ඉඳන්ම ඉගැන්නුවේ සයුර මහා භයානක දෙයක් ලෙසයි. බියකරු ආකල්පයක්. අපේ ලෝකයේ හතරෙන් තුනක් වසාගෙන ඇති සාගරය ගැන ඉගෙන ගන්නවාට වඩා අපි සැලකිලිමත් වුණේ රට ඇතුළේ අලි, කොටි, දියඇළි ගැන දැනගන්න. අපේ රටේ නිසි ලෙස අධ්‍යයනය කොට නැති විශාලම කොටස අප සතු මහ සයුරයි. මුහුදක් නැති රටවල මිනිස්සු පීනන්න පුරුදු වෙනවා. මේ රට වටේම මුහුද තියෙන රටේ මිනිස්සු දියේ ගිලිල මැරෙනවා.  


ප්‍රශ්නය:- ඔබ ලංකාවාසීන්ගේ සාගරය ගැන ඇති දැනුම අවතක්සේරුවට ලක් කළත් එක් විද්‍යාඥයකු කියා තිබෙනවා මිනිස්සු 12 ක් මේ වන විට සඳ මතුපිට ගොඩ බැස ඇතත් ලෝකයේ ගැඹුරුම සාගර පත්ලට ළඟා වී ඇත්තේ මිනිස්සු දෙදෙනෙකු පමණක් බව. ඉතිං ලංකාව ගැන කවර කතාද?  


පිළිතුර:- සාගරය ගැන අපේ ඇති දන්නා සත්‍යය අල්ප බවයි මම ඉන් අදහස් කළේ. සාගරය අති විශාලයි. අප දන්නේ ඉන් දිය බිඳක් පමණයි. මිනිස් ඉතිහාසයේ මෑතක් වන තුරු මිනිසුන් කළේ ගොඩබිම් ගවේෂණය පමණයි.  


ප්‍රශ්නය:- අපේ සාගර සම්පත ආශ්‍රිත වෙරළ ඉතිහාසය තුළ වැරදි සහගත ලෙස උපයෝගී කරගත් බවක් ද ඔබ ඉන් අදහස් කරන්නේ?  


පිළිතුර:- දැන් බලන්න දකුණු වෙරළ තීරය කොළඹ ඉඳන් මාතරට යනකොට කොයි තරම් සුසාන භූමි වෙරළ තීරයේ තියෙනවාද? මේවා සංචාරකයින් ගෙන්නන්න පුළුවන් සුන්දර වෙරළ තීර. නමුත් මේ සුන්දර වෙරළ තීරවල සුසාන භූමි ඉවත් කරන්න ගියොත් උසාවි යන්න වෙනවා. මේ නිසා නවීන ලෝකයත් එක්ක සංචාරක ව්‍යාපාරයත් එක්ක යාවත්කාලීන වෙන්න අපට බැරි වුණා. ඒ නිසා සුරක්ෂිතව තියෙන සුන්දර වෙරළ තීරයන්ගෙන් පමණක් අපට සෑහීමකට පත්වෙන්න වුණා. මාලදිවයින දියුණු වුණේ වෙරළ මාකට් කරලා නේද?  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ මුහුදු ආශ්‍රිතව සපල ලෙස ආර්ථික නිර්නායක ගොඩනගන්න ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද?  


පිළිතුර:- ඩෙංගුවලට ගොඩ බිමේ ගෙවල්, පාසල්, කාර්යාල සුද්ධ කරනවා කියල ඔක්කොම ගෙනල්ල වෙරළට දානවා. ඉතිං සංචාරකයෝ එයිද? අපිට කවදත් මුහුද ගැන හිතන්න ඉගැන්නුවේ නැහැ. මේකට සමාජයීය ආකල්ප වෙනසක් අවශ්‍යයි. මේක පටන් ගන්න ඕනෑ පාසලෙන්. පන්සලෙන්. කෝවිලෙන් වගේම පල්ලියෙන්. ආගමික නායකයින් තම දේශනවල දී ගොඩබිම වගේම මුහුදත්, වෙරළත් පිරිසිදුව තබා ගන්න කිව්වොත් එතැනින්ම අලුත් ආර්ථික පුනර්ජීවයක් අරඹන්න පුළුවන්. දැන් වෙන්නේ බෝට්ටුවේ පිච්චුණ එන්ජින් ඔයිල් ටික මහ මුහුදට වීසි කරලා දෑත පිහදා ගන්න එක.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ‘සමුද්‍රිත ආර්ථිකයක්’ මත පදනම් වුවහොත් මෙරටට ආර්ථික වශයෙන් සුගතියක් ඇතිවෙන බව ද?  


පිළිතුර:- අපේ රටේ මුහුද ආශ්‍රිතව මන්නාරම් බොක්ක, පෝක් බොක්ක සහ දකුණු පළාතේ තෙල් නිධි හඳුනාගෙන තිබෙනවා. මේ තෙල් නිධි අපේ ළිංවල උල්පත වගේ ඉන්දියාවටත් සම්බන්ධයි. අපි හැමදාම මේ තෙල් නිධි ගන්න කල්දානවා. මේ වගේ සම්පත් ගොඩගන්න ආයෝජනය කරන්න අපේ රටට අමාරුයි. මේවාට අන්තර්ජාතික ක්‍රමවේද සහ ආයතන තියෙනවා. මේ තාක්ෂණය අපේ රටේ නෑ. මේ සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමග ගිවිසුම්ගතව අපට අපගේ කොටස ගැන එකඟතාවට එන්න පුළුවන්. ලංකාවේ මේ තෙල් නිධි ගන්න කීයටවත් ඉන්දියාව ඉඩ තියන්නේ නෑ. මේවා ගැන ලංකාවේ සාකච්ඡාවලට සහභාගි වෙන පුද්ගලයින්ට ඩොලර් කෝටි ගාණක් හරි දීලා ඒවා කඩා කප්පල් කරනවා. ලංකාවේ තෙල් නිධි ගන්න එක පරක්කු කර කර ඉන්දියාව ඒවා ඇද ගන්නවා. තේරෙන භාෂාවෙන් කියනවා නම් පොල් කඩන්න බැරි කෙනෙක්ට පොල් වත්තක් තියෙනවා නම් පිටින් හරි කෙනෙක් ගෙනල්ල පොල් ටික කඩා ගන්න ඕනෑ.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ලංකාවේ ස්ථිරවම ඛනිජ තෙල් නිධි තිබෙන බව ද?  


පිළිතුර:- කලින් මේ ලෝකෙම එක මහාද්වීපයක්. එතකොට අපි ඒකාලේ එක භූ ස්කන්ධයක්. ටැංසානියාව, ලංකාව එතකොට එකම ස්කන්ධයක පිහිටලා ඛනිජ නිධි එකට බද්ධ වෙලා තියෙන්නේ. මං කියන්නේ නෑ. ලංකාවේ මේ ඛනිජ තෙල් නිධි ඇමෙරිකාවට ....????... කියලා. ඉතිහාසය පුරා කෙන්යාව, ලංකාව හරහා ඉන්දියාවටත් මේ සම්පත විහිදී තියෙනවා. අපි ඉස්සර වුණොත් මේ සම්පත ප්‍රයෝජනයට අරන් මුලු රටම දියුණු කරන්න පුළුවන්. ලංකාව තවත් ප්‍රමාදයි. මේවා අන්තර්ජාතික මාෆියා. මේවාට බිහිවෙන්න ඕනෑ නියම දර්ශනයක් තියෙන නායකයෝ. සිංගප්පූරු බොරතෙල් ගෙනල්ලා මහා පරිමාණයෙන් පිරිපහදු කරල අපනයනය කරනවා ඛනිජ තෙල් සම්පතක් නැතුව. ලංකාවේ බොරතෙල් පිරිපහදුව දේශීය පරිභෝජනයටත් ඇතිද? කොළඹ වරාය ස්ට්‍රයික් කරල කළේ සිංගප්පූරුවේ වරායවල් දියුණු කරපු එක නේද?  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ සාගර සම්පත ප්‍රයෝජනයට ගෙන රට ගොඩනැගීමට අලුත් ශ්‍රම බලකායක් පුහුණු කළ යුතු බවද?  


පිළිතුර:- ගෝලීය ආර්ථිකය තුළ අපට හුදකලා විය නොහැකියි. මේ වගේ දේවල් ආරම්භ කරන කොට ටිකක් අමාරුයි. මේ වගේ දේශීය පුද්ගලයින්ට යම් විශේෂිත පුහුණුවක් ලැබිල අවසාන වෙද්දී ඒ පුද්ගලයාව වෙනත් රටකින් ඩැහැගන්න පුළුවන්.  


 ප්‍රශ්නය:- ඔබ කියන පරිදි සාගර සම්පත නිසිලෙස ප්‍රයෝජනයට ගැනීම තුළින් සංවර්ධිත රටවල් මොනවාද?  


පිළිතුර:- දැන් චීනය හොඳම උදාහරණයක්. එහෙ තියෙනවා රාජ්‍ය සාගර පරිපාලනයක්. (State Oceanic Administration) සාගරය සම්බන්ධ සියලු ආයතන එකට බද්ධ වී පැවැතිය යුතුයි. දැන් චීනයේ නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකාය, විද්‍යාඥයා, ධීවරයා ආදී සියල්ලත් එකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. දැන් ලංකාවේ මුහුදු වෙරළ එක අමාත්‍යාංශයක් මාළු ටික තව අමාත්‍යාංශයක් සාගරය තුළින් ආර්ථිකය දිනන්න ඊට අනුබද්ධ විවිධ ආයතන Centralize වීම අත්‍යවශ්‍යයි.  


 ප්‍රශ්නය:- ධීවර කර්මාන්තයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද?  


පිළිතුර:- වෙන රටවල රාජ්‍ය මැදිහත් වීම මත ජල වගාව ප්‍රදේශ කොටුකර දියුණු කරනවා. මේවයේ ඉස්සෝ, දැල්ලො, පොකිරිස්සෝ විතරක් නෙවෙයි කෙලවල්ලොත් ඇතිකරනවා. එතකොට භූමිතෙල් සහනාධාරය දෙන්න කියල උද්ඝෝෂණ කරන්න ඕන නෑ.  


 ප්‍රශ්නය:- අපේ ධීවරයින් භූමිතෙල් සහනාධාරය ඉල්ලන්නේ කන්න දීල හදපු මාළු අල්ලන් ආවා වගේ නේද?  


පිළිතුර:- මත්ස්‍ය සම්පත සමස්ත ජාතියටම අයිතියි. (ඕක ගැන ලියන්න එපා. උත්තරේ කියන්නම්)  


ප්‍රශ්නය:- එතකොට ඉන්දියාවෙන් ඇවිල්ල අපේ මුහුදු තීරයේ මාළු අල්ලගෙන යන්නේ?  


පිළිතුර:- මේවා නවත්වන්න අතිවිශාල තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍යයි. සැටලයිට් පහසුකම් පවා යොදාගන්න වෙනවා.  


ප්‍රශ්නය:- මෙරට ධීවර කර්මාන්තයෙන් සාගරය දූෂණයක් සිදුවේද?  


පිළිතුර:- බෝට්ටුවේ පිච්චුණ තෙල් ටික මුහුදට විසිකරනවා. සිගරට් කොටේ වීසි කරන්නෙත්, ඉතුරුවෙච්ච බිස්කට් ටින්, පෙට්ටි, සෙරෙප්පු වීසි කරන්නෙත් මුහුදටමයි. මේ වගේ දේවල් නවත්වන්න දැඩි නීති ගේන්න ඕනෑ. කෙන්යාවේ ප්ලාස්ටික්, පොලිතින් නිෂ්පාදනය, විකිණීම, භාවිතය බෙදාහැරීම එක රැයින් තහනම් කළා. වරදට දඩය රුපියල් ලක්ෂ 45 යි. දැන් කෙන්යාවේ වාහනයක පාන් ගේන්න, මස් ගේන්න, එළවළු ගේන්න රෙදි බෑග් සෙට් එකක් තියෙනවා. කෙන්යාව වගේ රටවල් මේ ප්‍රශ්න විසඳ ගත්තේ එහෙමයි. මෙහේ මූද අයිනේ බීල අරක්කු බෝතලේ ගලේ ගහල කුඩු කරල යන්නේ.  


ප්‍රශ්නය:- ධීවර වරායවල් තුළින් ලද හැකි ආදායම ​කොපමණද?  


පිළිතුර:- ධීවර වරායවල් තීරණය කරන්නේ විශේෂඥයෝ නොවෙයි, ධීවරයෝ විසින්. හොඳ කොරල් පර තියෙන සංචාරක ආකර්ෂණීය තැන්වල ඒවා විනාශ වෙලා යන විදිහට වරායක් කරගන්නවා. දේශපාලකයන් අල්ලල විවෘත කර ගන්නවා.  


 ප්‍රශ්නය:- සමුද්‍ර සම්පතක් ඇති ලංකාවට පිටරටින් ලුණු ගේන්​ෙන් ඇයි?  


පිළිතුර:- ඒක නම් ප්‍රශ්නයක්. මේ කර්මාන්තයෙන් කී දෙනෙකුට රැකියා ලබා ගන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්නවල දී රජය දැඩි තීරණයක් ගත යුත්තේ මේ දේශීය කර්මාන්ත රැකගැනීමටයි.  


ප්‍රශ්නය:- ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මුහුද යොදාගෙන ලද හැකි ආර්ථික ප්‍රතිලාභ මොනවාද?  


පිළිතුර:- මෙරටේ ආනයන බහුතරයක් ආනයනය කරන්නේ නැව් මාර්ගයෙන්. සංචාරක ආකර්ෂණයක් ඇතිවන ලෙස මුහුදු මාර්ගයට විතරක් නොවෙයි ගංගාවල වුණත් මේ සේවා අරඹන්න පුළුවන්.  


ප්‍රශ්නය:- වෙරළ ආශ්‍රිත සංචාරක කර්මාන්තය තුළින් අන් රටවලට ඇති ලංකාවට ආවේණික තත්ත්වයන් මොනවාද?  


පිළිතුර:- ලංකාව වගේ සුදු වැල්ලක් තියෙන වෙරළක් ලෝකයේ කොහේවත් නැහැ. එය දැඩි සංචාරක ආකර්ෂණයක්. ප්‍රශ්නය මේක මාර්කට් කරන විදිහ. ලංකාවට මුහුදු වෙරළේ අව්ව තපින්නම කොච්චර සුද්දො එනවද? නිසි පරිදි පරිපාලනය කළොත් ඒවා විදේශ විනිමය ආකර.  


 ප්‍රශ්නය:- ඔබ කෙතරම් සාගරයෙන් ගත හැකි ප්‍රායෝජන තුළින් රට ගොඩනගන හැටි කීවත් පොදු ජනතාව අතර මුහුද ගැන තියෙන මතය තමයි ‘ඔක්කොම කුණු ටික ගැඹුරු මුහුදට දැම්මාම ප්‍රශ්න ඔක්කොම ඉවරයි’ කියන එක. මෙය නිවැරදිද?  


පිළිතුර:- ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යහපත් මළ අපවහන පද්ධතියක් නැති එක. ගැඹුරු මූදට දැම්මට ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මුහුදට දරා ගැනීමේ Absolve ප්‍රමාණයක් තියෙනවා. මුහුද කියන්නේ ලෝකයේ හදවත. අපි කුණු දාන්නේ හදවතට ද?  


ප්‍රශ්නය:- මුහුදු රැල්ලෙන් හා සුළඟෙන් විදුලිය නිෂ්පාදනය කළ හැකිද?  


පිළිතුර:- සාගර සුළං, හිරු එළියෙන් දැනටමත් විදුලිය නිපදවනවා. මේවා නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසු වැඩිදියුණු කිරීම තුළින් ලබාගත හැකි ආර්ථික ලාභ අනල්පයි. අපේ සාගර රැල්ලේ උදම නොහොත් ජල මට්ටමේ උස (Tide) අඩු නිසා විශාල විදුලි උත්පාදනයක් බලාපොරොත්තු විය නොහැකියි.  


 ප්‍රශ්නය:- තල්මසුන්, ​ෙඩාල්ෆින් වැනි සතුන් සජීවීව බලන්නට එන සංචාරකයින් විදේශ විනිමය වර්ධනය කර ගැනීමට ඒ තුළින් ලද හැකි ආර්ථික වාසි මොනවාද?  


පිළිතුර:- මේවා සංචාරක ආකර්ෂණයේ අංග. හික්කඩුවේ, කල්පිටියේ, නිලාවැලි, ත්‍රිකුණාමලයේ සමුද්‍ර විසිතුරු සංචාරකයින් වශී කරනවා. මේ තල්මසුන් බලන්නට එන විදේශකයින් ඉන්නවා. මේක අපි ආර්ථික වාසියක් බවට පත්කරගත යුතුයි. මේ වගේ තල්මසුන් සාගරයේ සිටිත්දීම අපේ රටට විදේශයන්හි ලැබෙන ප්‍රචාරය, සංචාරක ව්‍යාපාරයට දායකත්වය අතිමහත්.  


ප්‍රශ්නය:- අවසන් වශයෙන් මෙරට සාගර සම්පත නිසි ලෙස පරිපාලනය තුළින් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට ප්‍රායෝගිකව ගත යුතු ක්‍රියාමර්ග මොනවාද?  


පිළිතුර:- මුලින්ම ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. එය පාසල් විෂය ධාරාවට අද ලෝකයේ සාගර අධ්‍යයන විද්‍යාව (Oceanography) ඉතා දියුණු විද්‍යාවක්. සාගරයේ සම්පත් සහ ශක්තිය භාවිතයෙන් රට ගොඩගැනීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් හා දැඩි තීරණ ගන්නා නායකත්වයක් පමණයි. අපේ සංවර්ධන ව්‍යාපෘති නිදහසෙන් පසු කේන්ද්‍රගත වුණේ ගොඩබිම් සම්පත් සංවර්ධනයට පමණයි. ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති රටවල් සිය තාක්ෂණය, බුද්ධිය හා මුදල භාවිතා කරමින් සාගර සම්පත උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බව අප අමතක නොකළ යුත්තක්.  

 

 

 

 

 

 සංවාදය - වජිර ලියනගේ