අපරාධකරුවන් මෙන්ම වංචාකරුවන් මිනිසුන් ඉලක්ක කර සිය අපරාධ දැල එළන්නේ විවිධාකාර උපක්‍රම සහ ක්‍රමවේදයන් අනුගමනය කරමිනි. විශේෂයෙන්ම තවකෙකුගේ කිසියම් දුර්වලතාවක් කෙසේ හෝ දැන හඳුනාගන්නා මේ අපරාධකරුවන් දුර්වලම ස්ථානය බලා සිය කුරුමානම අල්ලයි. අප සිතන්නේ අප අවට පරිසරයේ සිටින මෙවැනි වංචාකරුවන්ගෙන් ගැලවීම ගැන පමණකි. එහෙත් මේ රැවටීම අප අවට නොව නොදන්නා දේශයක සිට පැමිණිය හැකි බවට රැවටෙන්නන් වටහා නොගන්නේ මන්දැයි ගැටලුවකි.   


වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවන්වල ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ මුහුණු පොත ආශ්‍රිතව සිදුවන රැවටීම් සම්බන්ධයෙනි. නොදන්නා මිත්‍රයන්ගේ ඇසුරට පත්වන අපේ රටේ ඇතැම් පිරිස් තමන් වංචාවකට හසුවූ බව තේරුම් යන විට තමුන් ජීවිත කාලය පුරා හරි හම්බ කර ඉතිරි කරගත් සියල්ල වංචාකරුවන් වෙත පූජා කර අවසන්ය. 


විශේෂයෙන්ම අද වනවිට අපේ රට තුළ අන්තර්ජාල වංචාවන් අතර කප්පිත්තන් බවට පත්වී සිටින්නේ නයිජීරියානු ජාතිකයන්ය. මොවුන් විසින් රැවටීමට ලක්කිරීමෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදල් අහිමි කරගෙන ඇති බව ඔබ දන්නෙහි ද? නයිජීරියන් ජාතිකයන් මෙම ජාවාරමෙන් කොතෙක් දුරට අප රට ගිලගෙන ඇත්දැයි තවමත් පොදු මහජනයා අතර කතාබහක් ඇති වී නැත්තේ මේ සම්බන්ධයෙන් වන තොරතුරු නිසියාකාරව හුවමාරු නොවීම හේතුවෙනි. එපමණක් ද නොව අද මේ රැවටෙන්නේ දැන උගත් බුද්ධිමත් කොට්ඨාසයක් වීම මෙහි ඛේදනීයම සිදුවීමයි. සමාජයේ ඉහළම ස්ථරයේ වැජඹෙන පුද්ගලයන් සිය ඉලක්කය කරගෙන ඇති මේ නයිජීරියානුවන් සිය මෙහෙයුම දියත් කර ඇත්තේ ඉතාමත් සූක්ෂම ආකාරයෙනි. 


ත්‍යාගයක් ලැබීමට ඇතැයි සඳහන් කරමින් හෝ ලොතරැයි දිනුමක් ඇදී ඇති බව හෝ සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ චැට් කිරීම තුළින් ආරම්භ වන මෙම වංචාවේ මූලික ඉලක්කගත කොට්ඨාසය වන්නේ අප සමාජයේ ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන්ය. එපමණක් ද නොව විවාහ කරගන්නා බවට පොරොන්දු දී අහිංසක කාන්තාවන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කර අවසානයේ ඔවුන් සතු මිල මුදල් මෙන්ම ගෞරවය ද මොවුන් විසින් උදුරා ගැනීම ඉතාමත් දුක්ඛිත තත්ත්වයක් වී තිබේ. 


විශේෂයෙන් කාන්තාවන් සහ නිවෙස්වලට වී සිටින ගෘහිණියන් මොවුන්ගේ ප්‍රධානතම ඉලක්කයයි. සිත් ඇද බැඳ ගන්නා ආකාරයට අන්තර්ජාල සමාජ මාධ්‍ය මෙවලම් වූ ‘වට්ස්අැප්’, ‘මැසෙන්ජර්’, ‘ෆේස්බුක්’, ‘වයිබර්’ සහ ‘ඉමෝ’ තාක්ෂණය ඔස්සේ මෙම වංචාකරුවන් පෙනී සිටින්නේ වෛද්‍යවරුන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ඇමෙරිකානු යුද හමුදා නිලධාරීන් වැනි සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන් ලෙසිනි. ධනවත් සමාජය ධනවත් ආකාරයෙන් රැවටීම නොඑසේ නම් “ඉංග්‍රීසියෙන් මංකොල්ලකෑම” මේ නයිජීරියානුවන්ගේ ක්‍රියාදාමය ලෙසින් සැලකිය හැකියි. 


අද වනවිට මේ වංචාකාර නයිජීරියානුවෝ අප රටේ ඉහළ පෙළේ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම මාධ්‍යවේදීන් ද එසේම, පාසල් දරුවන් ද රැවටීමට ලක්කර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට රහස් පොලිසිය සඳහන් කරයි. ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙතෙක් වංචා කර ඇති මුදල කොපමණ දැයි තවමත් ගණනය කළ නොහැකි මට්ටමක පවතින බව ද පොලිසිය පවසන කරුණකි. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මේ වනවිට නයිජීරියන් ජාතිකයන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට නයිජීරියානු ජාතිකයන් 42 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ. එසේම, එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල මේ වනවිට නඩු 70ක් පමණ විභාගවෙමින් ඇති බව ද රහස් පොලිසිය සඳහන් කරයි. 


මිනිස් හැඟීම් සමඟ සෙල්ලම් කරමින් ආරම්භ කරන මෙම ජාවාරමට නයිජීරියානුවන් වැඩියෙන්ම ග්‍රහණය කර ගන්නේ කාන්තාවන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලට අනුව එය තහවුරු වන්නකි. මේ එම අංශය වෙත වාර්තා වූ එක්තරා පැමිණිල්ලකි. මෙහි මවිසින් සඳහන් කරනු ලබන නම් ගම් සියල්ල මන:කල්පිත ඒවායි. එබැවින් මම, ඇය උත්පලා ලෙසින් හඳුන්වමි. හතළිස් වියේ පසුවූ ඇය නීතිඥවරියකි. 


එක්තරා දිනෙක ඇය අන්තර්ජාල මිතුරු ඇරයුමකට අනුව යම් පුද්ගලයකු හඳුනා ගන්නීය. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට මේ මිතුරා පවසන්නේ තමන් නෞකාවක රාජකාරියේ යෙදී සිටින කපිතාන් කෙනකු බවය. දිනකට දෙතුන් වතාවක් අන්තර්ජාලය ඔස්සේ මොවුන් දෙදෙනා දොඩමලු වන්නේ “චැට්” කිරීමෙනි. එකිනෙකාගේ අදහස් හුවමාරු කරගත්ත ද එහා කෙළවරේ හිඳින්නේ කවුරුන්දැයි උත්පලා සියැසින් දැක නැත. 
“අනේ මට ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝ...” 


උත්පලාගේ ඉල්ලීමට ඔහු ප්‍රතික්‍රියා දක්වමින් නැවක කපිතාන්වරයකුගේ ඡායාරූපයක් ඇය වෙත එවනු ලබන්නේය. දෙදෙනා සජීවීව දැක නැතත් අන්තර්ජාලය මගින් කතාබස් කර හඬ හඳුනාගෙන තිබිණි. කාලය ඉගිල ගියේ දෙදෙනා පෙම්වතුන් බවට පත්කරමිනි. 


“මට ඔයාව අපේ රටට ගෙන්න ගන්න ඕන. ඊට පස්සේ අපි මැරි කරමු.” 


ඔහුගේ යෝජනාවට උත්පලා එකහෙළා කැමැති වූවාය. 


“ඔයාගේ පාස්පෝට් එකේ කොපි එකයි බෑන්ක් එකවුන්ට් එකේ කොපි එකකුයි එවන්න ඉක්මනට.”  


උත්පලා වහා ක්‍රියාත්මක වූවාය. 


“මාර වැඩේ. ඔයාව ගෙන්න ගන්න කලින් මම ලංකාවට ඇවිත් ඔයාව මැරි කරලා මෙහාට අරගෙන එන්නම්.” එක් දිනක් ඔහු කීවේය. 


“ඉතිං මම මොකද කරන්න ඕන?” 


“මට ලංකාවට එන්න වියදම් වගයක් යනවා. ඒක කරන්න ඕන ඔහේදී. ඔයාට පුළුවන් ද මට ඒ සල්ලි ටික බෑන්ක් කරන්න. මම ඇවිත් ඔයාට දෙන්නම්.”


ආදරේ නාමයෙන් ඔහුගේ කීම පිට උත්පලා රුපියල් ලක්ෂ 35ක මුදලක් ඔහු වෙත පුද කරන්නේ අත කනකර බැංකුවේ උකස් කරමිනි. මුදල් බැංකුගත කිරීමෙන් පසු සතියකින් පමණ ප්‍රේමවන්තයාගේ සියලු සබඳතා අක්‍රිය වීම තුළ මාස තුනක ප්‍රේම සම්බන්ධතාව අවසන් වී තම සිහින මාලිගාව බිමට පතිත වූ බව උත්පලාට වැටහිණි. 


“ඇයි තමුන් මෙහෙම රැවටීමකට ලක්වුණේ නොදන්න නොදැක්ක කෙනකුට?” උත්තපලා පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදී රහස් පොලිසිය ඇයගෙන් එසේ විමසා තිබිණ. 


“මට ලංකාවේ මිනිස්සු ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. මම හිතුවා විදේශිකයෙක් නිසා ඒ විශ්වාසය ඇතිවෙයි කියලා. ඒ ගැන හිතලයි මම කැමැති වුණේ. මම කිසිම දවසක ඔහුත් එක්ක වීඩියෝ චැට් එකක් කරලා තිබුණේ නැහැ. ඒත් මගේ හිතේ විශ්වාසය ඇතිවන විදිහට ඔහු කටයුතු කළා. අන්තිමට එයාව ලංකාවට ගෙන්වා ගන්නයි මම මේ මුදල ඔහු කියපු බැංකු ගිණුමකට තැන්පත් කළේ.” 


ඒ තවත් එක් කතාන්දරයකි. මේ එවන් වූ තවත් කතාන්දරයකි. 


චාමර, තවමත් දහඅට හැවිරිදි වියේ පසුවන තරුණ සිසුවෙකි. අන්තර්ජාලයේ නිරන්තරයෙන් රැඳී සිටින චාමරට සිය ෆේස්බුක් ගිණුම හරහා මිතුරු ඇරයුමක් ලැබෙන්නේ ඉකුත් මාර්තු මාසයේ දිනකය. ඒ ග්‍රීක ජාතික ඇලෙක්ස් ජොන්සන් නම් රත්‍්රන් ව්‍යාපාරිකයකු ලෙසින් පෙනී සිටින අයකුගෙනි. 


තමන් ශ්‍රී ලංකාව තුළ රත්රන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් පසුවන බවට ඇලෙක් චාමරට දැනුම් දෙනු ලබයි. 


“ඔයාගේ බිස්නස් එකම ලංකාව ඇතුළේ අපි කරමු.” 


චාමරගේ අදහසින් කුල්මත් වන ඇලෙක්ස් “මේ වැඩේ පටන් ගන්න, මම සල්ලි එවන්නේ කොහොම ද?” යැයි චාමරගෙන් අසයි. 


“ඔයා මගේ බැංකු ගිණුමට සල්ලි එවන්න. අපි කොහොම හරි ගේම ගහමු.”  


තවමත් ලෝකය ගැන හරි හැටි අවබෝධයක් නොමැති චාමර කියයි. වහාම ළඟම ඇති බැංකුව වෙත යන චාමර තමන් නමින් බැංකු ගිණුමක් ආරම්භ කර එයට අදාළ ඒ.ටී.එම්. කාඩ්පත ද ලබා ගනී. 


“ලංකාවේ නියෝජිතයා විදිහට මම පත්කරලා ඉන්නේ මිස්ටර් මයික්. එයා අප්‍රිකානු ජාතිකයෙක්. මම එයාව ඔයා ළඟට එවන්නම්. ඔයාගේ බැංකු පාස් පොතයි ඒ.ටී.එම්. කාඩ් එකයි එයාට දෙන්න.” 


නොදන්නා පිටරට මිත්‍රයා සමඟ සිය අදහස් බෙදාගත් චාමර අප්‍රිකානු නියෝජිත තැන එනතුරු එක්තරා දිනෙක මග බලමින් සිටියේය. කතිකා කර ගත් පරිදි අප්‍රිකානු ජාතිකයා වෙනුවෙන් චාමර ඉදිරියේ පෙනී සිටින්නේ නයිජීරියානු ජාතිකයෙකි. හරි හැටි ජාතිය කුමක්දැයි නොහඳුනනා චාමර ‘මිස්ටර් මයික්’ සමඟ ඉතාමත් කුලුපගව කතාබස් කරමින් ඇලෙක්ස් කියූ පරිදි බැංකු පාස්පොත සහ ඒ.ටී.එම්. කාඩ්පත ඔහුට ලබා දුන්නේය. මේ ක්‍රියාදාමයේ විශේෂය නම් අප්‍රිකානු නියෝජිතයා චාමර මුණගැසීමට පොල්ගහවෙලට පැමිණෙන්නේ ඉතාමත් වටිනා ත්‍යාගයක් ද චාමර වෙනුවෙන් සූදානම් කරගෙනය. තම මිත්‍ර ඇලෙක්ස්ගේ ත්‍යාගය චාමරට ඔහු කෙරෙහි තව තවත් විශ්වාසය තීව්‍ර කරවන්නක් වී තිබිණි. 


බැංකු පාස්පොත සහ ඒ.ටී.එම්. කාඩ්‍පත රැගෙන ‘මිස්ටර් මයික්’ චාමරට සමුදෙයි. දින දෙකක් පමණ ගතවූ තැන චාමරගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවිඩයක් අදාළ බැංකුවෙන් ලැබෙන්නේ ‘ඔබගේ බැංකු ගිණුමට මුදලක් ලැබුණා’ බව සඳහන් කරමිනි. පසුව එදිනම එම මුදල නැවත ලබාගෙන ඇති බවට ද තවත් එස්.එම්.එස්. පණිවිඩයක් චාමරට ලැබිණි. මේ ආකාරයෙන් රුපියල් ලක්ෂ 28ක පමණ මුදලක් චාමර නමින් වූ ගිණුමෙන් හුවමාරු වන බවට අදාළ බැංකුවෙන් චාමර වෙත දැනුම් දී තිබුණේ චාමරගේ වයස් ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමිනි. 


බැංකුවෙන් ලද ඇමතුමකට අනුව කලබල වූ චාමර සිය ගිණුම අත්හිටුවන ලෙසට බැංකු කළමනාකරු වෙත ලිපියක් මගින් දැනුම් දෙනු ලබන්නේය. පසුව ඔහු ළඟම ඇති පොලිසිය වෙත යන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය. එහෙත් අධිකරණ බල සීමාව සැලකිල්ලට ගනිමින් (එනම් විදේශයක සිට පැමිණියකුට අදාළ බැංකු පාස් පොත සහ ඒ.ටී.එම්. කාඩ්පත ලබාදී තිබීම යන කාරණා මත) එම පොලිසිය චාමරගේ පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. මේ අතර චාමරගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ අප්‍රිකානු නියෝජිත ‘මයික්’ කියූ තැනැත්තාගෙනි. 


“ෆ්‍රෙන්ඩ්, කෝ ඔයාගේ බෑන්ක් එකවුන්ට් එක හෝල්ඩ් කරලානේ. ඇයි ඒ?” 


“ආ... ඇත්ත ද? මම දන්නේ නෑ.” 


“පොඩ්ඩක් බැංකුවට ගිහින් චෙක් කරනවා ද?” 


“මම දැන් ඉන්නේ කොළඹ. දැන් නම් පොඩි වැඩක්. පැයකින් විතර බැංකුවට යන්නම්.” 


තමන් විශාල වංචාවකට හසුවී ඇති බව දැනගත් චාමර, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය වැඩිහිටියන් ද සමඟ පැමිණෙන්නේ මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීම සඳහාය. පැමිණිල්ල ලියමින් සිටින අවස්ථාවේදී නැවතත් චාමරගේ ජංගම දුරකථනය නාද වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් මත චාමර එම ඇමතුමට පිළිතුරු දෙයි. 


“මම බැංකුවට ආවා. බැංකුවෙන් අලුත් ඒ.ටී.එම්. කාඩ් එකක් ඉෂූ කළා. මම කොහොම ද ඒක ඔයාට දෙන්නේ?” 


“හරි මම කොටුව ස්ටේෂන් එක ළඟට එන්නම්. ඔයාට එන්න පුළුවන් ද?” 

 


මතු සම්බන්ධයි

 

නිමන්ති රණසිංහ