IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මත්තලට ගුවන්තොට හදන්න පාර පෙන්වූ ගැමියා

ගිනියම් වූ පොළොව, කේඩෑරීව ගිය ගහකොළ, ගතට දැනෙනා දැඩි හිරු රශ්මිය පවසන්නේ යල කන්නයේ අවසාන නාඩි වැටෙනා කාලවකවානුවයි.  


 රුහුණු මාගම් පත්තුවේ මේ කාලය දැඩි ඉඩෝර නියං සමයකි. කැලෑ කපා හේන් වගා කිරීමට මෙහි ජනතාවෝ අහස දෙස බලමින් වැහිවළාහක දෙවියන්ට ගතු කියන කාලය උදා වී ඇත.  


 ඒ 2008 වර්ෂයේ අගෝස්තු මාසයයි. දිනෙන් දින සංවර්ධනය කරා පියමං කරනා ශ්‍රී ලංකා සංවර්ධන සැළසුමේ කාලයක සිට කතා කළ මාතෘකාවක් වූයේ නව අන්තර්ජාතික ගුවන් තොටුපොළක අවශ්‍යතාවයි.  


 එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ද ශ්‍රී ලංකාවේ දෙවැනි ගුවන්තොටුපොළක මනා අවශ්‍යතාව ගෙඩනැගෙමින් පැවතුණේය.  


ඒ අනුව දෙවැනි ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා සීගිරිය, පල්ලේකැලේ, වීරවිල, හිඟුරක්ගොඩ වවුනියාව, කළුතර, වැල්ලවාය යන ප්‍රදේශ යෝජනා වූ අතර වර්ෂ 2002 දී එවකට පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජය විසින් වැල්ලවාය, හඳපානගල ප්‍රදේශය දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට සුදුසු බවට යෝජනාවක් ද ගෙනාවේය.  

 

 

එම කරුණු කාරණා එසේ වෙද්දී පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ඉදිකරලන්නට යෙදෙන හම්බන්තොට ජාත්‍යන්තර වරාය දකුණේ විශාලතම ආර්ථික මර්මස්ථානය බවට පත්වන බැවින් දකුණ කේන්ද්‍ර කරගෙන සංවර්ධනය වෙන සැළසුමට ගුවන් තොටුපොළක අවශ්‍යතාව වඩාත් තීව්‍ර විය. වරාය හා ගුවන්තොටුපොළක ආර්ථික වටිනාකම රටක සංවර්ධනයට බෙහෙමින් බලපානු ලැබේ. ඒ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට, සමීපවන ප්‍රදේශයක් වන ‘මත්තල’ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් නිර්මාණය කිරීමට සැළසුම් සැකසුණි.  


​ෙමමඟින් ලංකාවේ දකුණු ප්‍රදේශයට නැගෙනහිර ප්‍රදේශයටත්, යාල සහ, උඩවලව ප්‍රමුඛව ඇති විශාල සංචාරක කලාපයක් මෙන්ම, දකුණ අහස ජාත්‍යන්තර ගුවන්ගමන්හි ලැබෙනා භූගෝලීය සාධක වාසීන්ද රටේ ආර්ථිකයට නොඅඩුවම ලැබෙනවා ඇත.  


 එලෙසින් රටට මහත් ආයෝජනයක් වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිර්මාණය වනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රා​දේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 8000 ක ප්‍රදේශයක් කේන්ද්‍රකර ගනිමින්ය.  


 මත්තල ඉදිවූ එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මූලික ඉදිකිරීම් කටයුතු සඳහා බිම් සැකසීම 2008 වර්ෂයේදී සිදුකිරීමට කොළඹින් පැමිණෙන මත්තල ගුවන්තොටේ ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු විතානගේ හේරත්, වීරසිංහ යන මහත්වරුනට පහළ මත්තල ප්‍රදේශයේදී අපූරුතම ගැමියකු මුණ ගැසෙයි. ඔහු වීරසිංහ පතිරණලාගේ ප්‍රේමදාස නම් විය. එම අව්‍යාජ ගැමියාගේ මඟපෙන්වීම කොළඹින් පැමිණි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු මහත්වරුන්ට මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමේ සැලසුම් සළකුණු කිරීමට මඟ කියා දෙන්නට මහෝපකාරී විය. 

 
‘මහත්තයෝ මේ අපි ජීවත්වෙන පල්ලේ මත්තල, අල්ලපු ගම වන උඩමත්තල, යන ගම්මානවලට එහායින් වටේටම අලි, කොටි, වලසුන් ඉන්න රූස්ස මහ වනන්තරේ. ඒ ප්‍රදේශ අවුරුදු සිය ගණනක් තිස්සේ වනාන්තර. ඒත් මම මේ ඉසව් හොඳ හැටි දන්නවා. අපි කොලු ගැටව් කාලේ මේ කැලේ පළු කඩන්න, වීර කඩන්න යනවා. තරුණ කාලේ කැලේ කපලා හේන් කොටලා, කුරක්කන්, මෙනේරි, තල, කව්පි වගා කළා. මහ කන්නයට මේ පළාතට වහිනකොට මේ වනාන්තර තද කෙළපාට කොළ දළු දාලා, පුදුම ලස්සනක් තියෙන්නේ.  


 මට මතකේ හැටියට 2008 අගෝස්තු හත්වැනිදා කොළඹින් ආපු ඉංජිනේරු මහත්තුරුන්ට මත්තල එයාර්පෝර්ට් එක හදන්න ඕනෑ මහ කැලේ ප්‍ර​ෙද්ශයට ඒ මහත්තුරුන්ගේ ඉල්ලීම මත එක්කරගෙන ගියා. මහත්තුරු ළඟ සිතියම් තාක්ෂණික උපකරණ තිබුණා.

ඉස්සෙල්ලාම, මහ කැළේ ඇතුළේ බණ්ඩාදාස වැව ළඟට එක්කරගෙන ගිහින් කැත්තෙන් ගසක සළකුණක් දැම්මා. මේ වාගේ කිලෝ මීටර හතරක් විතර අපි හැමෝම ඇවිද්දා. කොළඹින් ආපු මහත්වරුන්ගේ වාහන අපේ පල්ලේ මත්තල ගෙදර නවත්තලා දාලා තමයි අපි ආවේ. මම ගමේ තව 18 දෙනෙක් විතර මේ ගමනට එකතු කර ගත්තා. එදාම අපි මල්ආර පැත්තෙ සහ ඔරුකම්ගල, බඳගිරියේ පැත්තේ ගිහින් සළකුණු ලකුණු කළා  
අපි හැමෝටම අවශ්‍ය කෑම බීම හදාගෙන වතුර බොන්න අරගෙන තමයි මේ ප්‍රථම ගමන එයාර්පෝට් එක හදන්න බිම සොයාගෙන අපි ගියේ.  


ඊට පස්සේ අපි විශාල පළු ගහක උඩ වාඩියක් හැදුවා. මේ වැඩ කරගෙන යනකොට මම කණ්ඩායම් දෙකක් දාගෙන කිලෝමීටර් පහකට ආසන්න දුරක් අඩි 40 ක් පළලට කැති පොරෝවලින් මහ බැද්ද කැලේ කැපුවා. අපි කැලේ කපද්දී හූ කියමින් තමයි කට්ටිය හඳුනාගන්න සන්නිවේදනය කළේ. මේ වාගේ මාස තුනක් මහබැද්ද කැපුවා.  


මේ වාගේ ඉතාමත් අමාරු දුෂ්කර වැඩ කොච්චර කළත් අපි කාටවත් කිසිම තුවාලයක්වත් සිදුවුණේ නැහැ. කතරගම දෙවියෝ අපිව ආරක්ෂා කළා. මේ වැඩ නිසා මත්තල ප්‍රදේශයේ කන්නවත් නැතිව හිටිය ගොඩාක් අයට අතට මුදල් ලැබුණා. මිනිස්සුත් ගොඩාක් උද්​යෝගයෙන් වැඩ කළා. මේ හැම දෙයක්ම මම මුල්වෙලා කළා. අපි මායිම් කපලා සුද්ධ කරලා ඉවර වුණාට පස්සේතමයි ඔන්න හා පුරා කියලා ඩෝසරයක් වැඩ බිමට ගෙනාවේ.  


 ඊට පස්සේ එයාර්පෝට් එක හදන බිම් සැළසුම් අනුව ඩෝසර් කළා. හරිම ආසයි බලන්න. විවිධ යන්ත්‍ර සූත්‍ර දවසින් දවස වැඩි​ෙවවී වැඩ බිමට එනවා. මෙහෙම යනකොට සිමෙන්ති ගොඩනැගිල්ලක් ඉස්සෙල්ලාම අත්තිවාරම් දාලා නැකතට හදන්න පටන් ගත්තා. එදා මම කිරිබත් උයලා, කැවුම් කොකිස් හදලා ගෙනල්ලා, ඉංජිනේරු මහත්වරුයි අපි හැමදෙනාම ගොඩක් සතුටින් කෑවා.  


ඔන් එදා තමයි එයාර්පෝට් එකේ බිම පළමු වරට උදළු පාරක් ගහලා ගොඩනැගිල්ලක් හැදුවේ. මේ හැම දෙයකටම මගේ ශක්තිය ලබා දුන්නා. කිසිම කෙනෙක් යන්නේ නැති මහමූකලං හඩුබැද්දේ කැත්තක් අරගෙන බැදි කපාගෙන ගිහින් එයාර්පෝට් එකේ මායිම් සළකුණු කරන්න පාර පෙන්වීමට ලැබීම ගැන මම හරිම ආඩම්බර වෙනවා.  


කවුරුවත් නොකරන වැඩක් මම කළේ. මේ නිසා කොළඹින් ආපු ඉංජිනේරු මහත්වරැ හැමෝම මට ආදරෙයි. ඔහොම ගිහිල්ලා 2010 වර්ෂයේදී එයාර්පෝට් එකේ ඔෆිස් එක (පරිපාලන කාර්යාලය) හදලා විවෘත කළා. ඒ වෙනකොට මාව ගුවන් සේවා සමාගමේ අනියම් සේවකයකු ලෙස බඳවාගෙන තිබුණේ. එදා චාම් ලොකු උත්සවයක් ඔෆිස් එකේ සංවිධානය කරලා තිබුණා. එදා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාත් ඇවිත් හිටියා. අර උත්සවයේ පොල්තෙල් පහන පත්තු කරනකොට සභාපතිතුමා, කෝ.... කෝ... මේ.. ප්‍රේමදාසට එන්න කියන්න පහන පත්තු කරන්න කියලා මහ හයියෙන් කිව්වා. මම පිටුපස්සට වෙලා හිටියේ. මගේ ඇස්වල කඳුළු පිරුණා. ඒ වෙලාවේ. මම ඇවිල්ලා පහන පත්තු කළා. හැමෝටම මම ගැන ඒ වෙලාවේ කියලා දුන්නා. මේ තමයි මත්තල ගුවන්තොටුපොළ හදන්න පාර ​පෙන්නපු මිනිහා කියලා....  


සභාපතිතුමා ඇහුවා දැන් කොච්චර කල් වැඩද? තාම ස්ථීර නැද්ද කියලා. මම විස්තර කිවුවාම මාව වහාම ස්ථීර කරන්න කියලා සභාපතිතුමා අනෙක් මහත්වරුන්ට කිව්වා. ඒ අනුව මාගේ සේවය ස්ථීර වුණා.  


 ඒ ප්‍රේමදාසගේ වටිනාකමට ගුවන් තොටුපොළ සමාගම ප්‍රේමදාසයන් ඇගයූ අයුරුය.  


 මෙලෙස ඉදිවෙන නවීනතම මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 209 ක් වන අතර ඉන් ඩොලර් මිලියන 190 ක් චීනයේ (Exim Bank of Chaina) බැංකුවෙන් ලබාගත් අඩු පොළී ණය ආයෝජනයකින්ද ඉතිරිය රාජ්‍ය ආයෝජනයක් ලෙසද සිදුවිය. තවද චීනයේ චයිනා හාබර් ඉන්ජිනියර්ස් සමාගම මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුමට සම්බන්ධ වී තිබේ.  

 

 

 ලොව දැනට ඉදිවී ඇති ඕනෑම මගී හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩ බෑ හැකි ලෙස කිලෝමීටර 3.5 ක් දිග දැවැන්ත ධාවන පථයක් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ සතුව තිබීමත්, මෙම ගුවන්තොටුපොළේ අගය වටිනාකම වැඩිවීමට හේතු වේ.  
 2013 වර්ෂයේ මාර්තු 18 වැනි දින මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපොළ ලෙස ලෝකයට විවර වෙන අපේ ගුවන්තොටුපොළ නිර්මාණයේදී බිම හඳුනා ගැනීමේ සිට මේ සඳහා ශ්‍රමයෙන් දායක වී ලෝකයට අභිමානය ගෙන දෙන කටයුත්තට මහත් සේවයක් කළ වීරසිංහ පතිරණලාගේ ප්‍රේමදාසයන් පසුගිය අගෝස්තු 20 දා තම සේවයෙන් විශ්‍රාම ගියේය. මෙහිදී ගුවන්තොටුපොළ සමාගම විසින් ප්‍රේමදාස හට උපහාර පිරිනමා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළ නිර්මාණයට දායක වීම නිමිත්තෙන් සුබපැතුම් පිරිනැමුවේ මෙවැනි මිනිසුන් නොමියන මිනිසුන් බව පසක් කරදීමෙනි.  

 

 

 

 

 

 

 

 

(සටහන සහ සේයා )
කතරගම විශේෂ රුක්මන් රත්නායක  

 

 



අදහස් (0)

මත්තලට ගුවන්තොට හදන්න පාර පෙන්වූ ගැමියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 218 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site