ලිංගික ඉරිසියාව මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතර ද පැතිර ගොස් ඇති විෂබීජයක් බව නොරහසකි. තිරිසන් ලෝකයේ බොහෝ දුරට උනුනුන් අතර ගැටුම් ඇති වන්නේ ආහාර සහ ගැහැනු සතුන් පිරිමි සතුන් අතර ලිංගික උත්තේජනය නිසාවෙනි. එවැනි අපූරු සිද්ධියක් කලා වැව වැව් ඉස්මත්තේ දී දැකගැනීමට හැකි විය. 


ඒ වෙන කිසිවකු නොව ඇතකු සහ අලියකු අතර දින එකහමාරක් පමණ ගැටුමකින් පසුව ඇතාගේ පහර කෑමට ලක්වූ අලියකු මිය යෑමත් සමඟය. එමෙන්ම කලා වැවේ සිටින අනිකුත් වන අලින් රංචු පිටින් ලොකු කුඩා සියලු දෙනාම එම ස්ථානයට පැමිණ මියගිය අලියාට අවසන් ගෞරව දැක්වීම මෙන්ම ඔවුන් දුක් වූ ආකාරය මිනිසාට ද මහා පාඩමක් කියා දෙන්නක් විය.


එමෙන්ම තමා විසින් දළවලින් ඇන ඝාතනය කරනු ලැබූ අලියාගේ මළ සිරුර ආසන්නයට නැවතත් පැමිණ ප්‍රහාරයට ලක් කළ ඇතා කනගාටුව ප්‍රකාශ කිරීම තවත් සුවිශේෂී වූ සිද්ධියකි.


මෙම ගැටුම ඇති වී තිබුණේ කලා වැවේ සිටින රේවත 2 නමින් හඳුන්වන ඇතා සහ කලාවැව රක්ෂිතයට අලුතින් එකතු වූ වයස අවුරුදු 35ක් පමණ වූ අලියකු සමඟය. මෙම අලියා කහල්ලපල්ලෙකැලේ රක්ෂිතයේ සිට මාස කිහිපයකට පෙර කලා වැව ඉස්මත්තේ සිටින වන අලි රංචුවට එකතු වූ අලියකු බව වනජීවී නිරීක්ෂකයෝ පවසති.


ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාට පසුගිය දා ප්‍රදේශවාසීන්ගෙන් මෙම අලි ගැටුම ගැන තොරතුරු ලැබී තිබිණි. එම තොරතුරෙන් කියැවී තිබුණේ දීගජන්තු 2 ඇතා සහ අලියකු අතර ගැටුමක් පවතින බවය. වහාම ක්‍රියාත්මක වූ රාමසිංහ මහතා තම නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ප්‍රදේශයට ගොස් මෙම අලියා සහ ඇතා සෙවීමට දැඩි උත්සාහයක නිරත වුව ද පළමු පැය කිහිපය අසාර්ථක වී තිබිණි. 


පසුව රාමසිංහ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම උත්සාහය අත් නොහැර අවස්ථා කිහිපයකදීම මෙම දෙදෙනා අතර ගැටුම අවසන් කිරීමට දැඩි උත්සාහයක නිරත වූහ. ඇතාගේ ප්‍රහාරය බලවත් වීමත් සමඟ කලාවැව ඉස්මත්තේ කුඹුක් ගසක් යට අලියාට අවසන් හුස්ම හෙළීමට සිදුවූයේ සිරුර පසාරු වී ගිය දරුණු තුවාල සහිතව තම ලේ ධාතුව කලා වැවට පූජා කරමින්ය.


නිරන්තරයෙන්ම කලා වැව ඉස්මත්තේ වන අලින් 300ත් 350ත් අතර ප්‍රමාණයක් මේ දිනවල සැරිසරති. ඇතුන් තිහකට අධික ප්‍රමාණයක ලොකු කුඩා ඇතුන් සිටින බව වනජීවී නිලධාරීහු පවසති. කෙසේ වෙතත් මෙම වන අලි සහ ඇතුන් අතර ඇති ගැටුම් මෙන්ම සබඳකම් පිළිබඳවත් පසුගියදා ඇති වූ ගැටුම පිළිබඳවත් හොඳාකාරව දැන සිටි පුද්ගලයන් දෙදෙනෙක් වූහ. එම දෙදෙනා හමුවී මෙම අලි ගැටුම පිළිබඳව අපි විමසීමක් කළෙමු.
වනජීවී දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ග උපදේශකයකු ලෙස සේවය කරන ඩී. එම්. ආනන්ද බණ්ඩාර මහතා එක් අයෙකි. ඔහු අලි ආනන්ද නමින් හඳුවන්යි. වසර තිහක පමණ කාලයක සිට කලා වැවේ වන අලින් සමඟ ජීවත්වන අයෙකි. මෙම අලි ඇතුන් ගැටුමේ ද මුල සිටම අග දක්වාම අලි ආනන්ද සිටීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් අලි ආනන්ද කියා සිටියේ මෙම ගැටුම පමණක් නොව මේ වනවිට තවත් ඇතුන් දෙදෙනකුගේ ගැටුමක් කලා වැව තුළ සිදුවෙමින් පවතින බවත් තමන් මෙම ප්‍රකාශය ලබා දෙන අවස්ථාවේදී කලා වැව ඉස්මත්තේ රේවත සහ නීල යන අලි ඇතුන් දෙදෙනාගේ ගැටුම නිරාකරණය කරමින් සිටින බවත්ය.
ආනන්ද බණ්ඩාර නොහොත් අලි ආනන්ද අප සමඟ මේ සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීය.


“මම අවුරුදු තිහක කාලයක ඉඳලා තමයි කලා වැවේ අලිත් එක්ක ඇතුන් එක්ක ඉන්නේ. මේ ඕනෑම අලියෙක් ඇතෙක් දැක්ක ගමන් මට අඳුනා ගන්න තරම් හැකියාවක් තිබෙනවා. මේ ගැටුමට මුලින්ම මුල් වුණේ නීල කියන ඇතා. කලා වැවට ඇවිල්ලා හිටපු මේ අලියට නීල තමයි ප්‍රහාර දෙන්න පටන් ගත්තේ. කොහොම හරි දවස් එකක් එකහමාරක් පමණ නීලත් එක්ක මේ ගැටුම පැවැතුණා. අපි එකතුවෙලා නීල පන්නා හැරියා වෙනත් ප්‍රදේශයකට. නීල ගියාට පස්සෙ තමයි දීගජන්තු 2 කියන ඇතා ආවෙ. ඇවිල්ලා තමයි මේ අලියට පහර දෙන්න වුණේ. මේ දවස්වල දීගජන්තු 2ටත් නීලටත් මදකිපිලා. ඒ වගේම තවත් කිහිපදෙනකුටම මදකිපිලා තියනවා. මම දැක්කා මැරිච්ච අලියටත් මදකිපිලා හිටියේ. මේ අයට මදකිපුණහම අවශ්‍ය ඇතින්නියන් ප්‍රමාණය අඩු වීම තමයි ගැටුමට හේතු වෙලා තිබුණේ.”

 

මියගිය අලියා

දළ පහරින් සිදුවූ තුවාල

 

 

“මේ වගේ ගැටුම් රැසක් මම දැකල තියෙනවා. හැබැයි දීගජන්තු මේ විදිහට අලියකුට ඇනලා මරපු පළවැනි අවස්ථාව තමයි මේක. මොකද ඒ තරම්ම එයා ඉස්සර දරුණු නැහැ. දැන් තමයි දරුණු වෙලා ඉන්නේ. මදකිපිලා ඉන්න අනිත් ඇතුන් තමයි සුරනිමල, රේවත, වීරා කියන අය. ඒ වගේම කලා වැවේ ඇසල 2 කියන ඇතා තනියම ඉන්නවා, එයා මදකිපුණහම කණ්ඩායමට එනවා. ඌ හරි සැරයි.” 


“දීගජන්තු 2 කියන ඇතා මෙම අලියට ඇනලා මරලා දැම්මාට පස්සේ කලා වැවේ ඉන්න අලි රංචු පහේම කණ්ඩායම් මේ ස්ථානයට ආවා. ඇවිල්ලා ඒ අය ගොඩක් සංවේදී වුණා. ඒක සමාන්‍යයෙන් අලින්ගේ සිරිතක්.” 
“මේ අය අතරින් සුරනිමල, රේවත, වීර, ඇසල, දීගජන්තු 1, වළගම්බා, වළගම්බා 2 කියන අය කණ්ඩායම් විදිහට බෙදිලා ඉන්නෙ. නිතර නිතර මේ දිනවල ගැටුම් ඇති කරගන්නවා.”


“මියගිය අලියා පසුගිය මාස කීපයකට කලින් අලුතින් තමයි රැලට එක් වුණේ. ඒ එක්වෙන අවස්ථාවේ මම එයාගේ ඡායාරූපයකුත් අරන් තිබුණා. මොකද මේ කණ්ඩායමට පිට කෙනකු නිසා. එයාගේත් කම්මුල් තෙමුණහම අනිත් අයට එන්න දෙන්නෙ නෑ. මොකද ලිංගික අවශ්‍යතාව හැම තිස්සේම ඇතින්නියන්ට සිද්ධ වෙන්නේ නෑ. ඒ අවස්ථාව උදා වුණහම වෙන කිසිම ඇතකුට අලියකුට මෙයා එන්න දෙන්නේ නැහැ. එතරම් ශක්තිමත්. ඒ ශක්තිමත්කම පෙන්නන්න තමයි මෙයා රේවතට, දීගජන්තු දෙකටත් ගහන්න ගියේ. ඒ වෙනකොට දීගජන්තු 2 කම්මුල් තෙමිලා හිටියේ. අවසානයේදී ගැටුමට හේතුව වුණේ ඕක තමයි.”


අලි ආනන්ද වගේම ඒ. ජී. ජගත් සිල්වා නොහොත් අලි කුමාර වසර 25ක පමණ කාලයක සිට මෙම අලි රෑන සමඟ නිරන්තරයෙන් ගැවසෙන අයෙකි. කලා වැවේ අලි බලන්නට එන බොහෝදෙනකු අලි කුමාර ඉතා හොඳින් හඳුනති. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු වනයේ සිටින අලි ඇතුන් සමඟ සමීපව කටයුතු කිරීමත් ඕනෑම අයකුට වන අලින් පෙන්වීම සඳහා උදව් කරන නිසාවෙනි.


මෙම ගැටුම පිළිබඳව සහ කලා වැවේ අලින් අතර සිදුවන මෙම ක්‍රියාවලිය පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය.


 “මේ දවස්වලත් නීලයි රේවත අතර ගැටුමක් පවතිනවා. ඒ දෙන්නා තුවාල වෙලා ඉන්නේ. නීලාගේ දළ ටිකක් කොටයි. රේවතගේ දළ කූරු වගේ තියෙන නිසා නීලට ගොඩක් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේ දෙන්නා තවත් අලින් එක්කත් ගැටුම් ඇතිකර ගන්නවා. මේ දෙන්නගෙම මේ දවස්වල කන් තෙමිලා තියෙන්නේ. ඒක තමයි ගැටුමට හේතු වෙලා තියෙන්නේ.” 


“මේ දවස්වල විතරක් නෙවෙයි මේ වගේ දවස්වලට වසරේ හැමදාමත් මේ වගේ ගැටුම් ඇති වෙනවා. මේ අය ගහගන්නවා. හැබැයි මරාගන්න එක හරිම අඩුයි. මේ සැරේ තමයි මේ අවාසනාවන්ත සිද්ධිය වුණේ. දීගජන්තු 2 හරි හොඳ එකෙක්. ලස්සනයි. එයා මීට පෙර අලින්ට ප්‍රහාර එල්ල කරලා ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒත් මේ සැරේ තමයි ඔය විදිහට ප්‍රහාරයක් එල්ල කරලා මරලා දාපු තැනට පත්වුණේ. මේ ඊයේ පෙරේදා ආවා. එයා මියගිය අලියා වළදාපු තැන ළඟ හිටගෙන ඉඳලා යනවා.”


“අලින් හරිම එකමුතුයි. එයාලා පුංචි පැටියෙක් වුණත් ආරක්ෂා කරන්න මුළු රැළම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අය කම්මුල් තෙමිලා අලින් ඇතින්නියෝ එකතු වෙන වෙලාවට ඇතින්නගේ කෑගැසිල්ල ඇහුණහම අනිත් අලි රංචුව ඇවිල්ලා එයාට ආරක්ෂාව දෙනවා. එහෙම එකමුතුව ඉන්න අය තමයි අලි රංචුව ඉන්නේ. එහෙත් කම්මුල් තෙමෙන කාලෙට තමයි මේ අය විශාල ගැටුම් ඇතිකර ගන්නේ. 


ඒ ගැටුමෙන් පස්සෙත් තුවාල වෙලා වැටිලා ඉන්න වගේම මැරුණහම මේ අලි රෑනම එතෙන්ට ඇවිල්ල දුක් වෙනවා. ඒ විතරක් නෙවෙයි එයාව තුවාල වෙලා නං අරන් යන්න උත්සාහ කරනවා. එහෙම සිද්ධි රැසක් අපි දැකලා තියෙනවා.”


“දැනට කලා වැවේ ඉන්න සියලුම ඇතුන්ට නම් තියල තියෙන්නෙ. මේ අය දැක්ක ගමන් අපිට අඳුරගන්න පුළුවන්. ඇසල, රේවත, දීගජන්තු. මේ වගේ නම් තියලා තියෙන්නේ පරිසරවේදීන් වගේම ගොඩක්ම නම් මේ අයට තිබ්බේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා. ඒ කලා වැව ජාතික උද්‍යානයක් කරන්න ඉස්සර ඇමැතිතුමා නිරන්තරයෙන්ම එනවා ඇත්තු බලන්න. ඒ ආපුහාම තිබ්බ නම් තමයි ඔය නම්. දැන් ඒ අය දැක්ක ගමන් අපට කියන්න පුළුවන් මේ ඇසළ, මේ රේවත කියලා.”


“දැනටත් වන අලින් රැසක් අතර ගැටුම් කිහිපයක් පවතිනවා. මම හිතන්නේ තව දින කිහිපයක් යනකොට සමහර විට ගැටුම් නවතීවි. කම්මුල් තෙමීමත් එක්ක තමයි ගැටුම් ඇතිවෙන්නේ.”


කෙසේ වෙතත් කලා වැවේ සිදුවූ මේ වන අලි හා ඇතුන්ගේ ගැටුම මිනිසුන් වූ අපට පාඩම් රැසක් කියා දෙනු ඇත.

 

 

 

සටහන සහ ඡායාරූප - දඹුල්ල 
කාංචන කුමාර ආරියදාස