‘‘ආදරය’’ යන්නට විවිධ වූ අරුත් ලබාදිය හැකිය. ප්‍රේමය, සෙනෙහස යන සමානාර්ථ පද හමුවේ එය විග්‍රහ කර ලිවිය හැකිය. ආදරයට අප හුරුවන්නේ මව් කුස තුළ සිටියදීමය. එනයින්, සියල්ලටම ප්‍රථම අප නතුවන්නේ මාපිය සෙනෙහස වෙතය. මව් සෙනෙහස මෙන්ම පිය සෙනෙහසද දරුවකු ජීවත් කරවයි. කතාවටත් කියන්නේ, අම්මාට පුතෙකු මෙන් තාත්තාට දුවක සෙනෙහසින් බැඳෙන බවකි.   


විශේෂයෙන්ම දියණියකට තම පියාගෙන් ලද රැකවරණය මුසු සෙනෙහස මහමෙරක් තරම් වෙයි. කෙසේ වෙතත්, මාපියන් තම ප්‍රාණ සම දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පුදකර කැපකර සිටින්නේ ඒ සැබෑ දරු සෙනෙහස වෙනුවෙනි. තම එකම දියණිය වෙනුවෙන් ජීවිතයම කැපකර වැලිකඩ මහ උළුගෙදර සුසුම්ලන එවන් වූ පියකුගේ කතා පුවතට අද ‘‘පසුතැවිල්ල’’ තුළ ඉඩ වෙන්කර තබමි.  


කොළඹ නගරයට ආසන්නයේ ජීවත් වූ ඔහු, ‘පියරත්න’ ලෙසින් හඳුන්වමු. මේ වනවිට පනස් නවවැනි වියේ පසුවන ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරය වෙත එන්නේ ඉකුත් 2017 වර්ෂයේ ඔක්තෝබර් මස 03 වැනිදාය.  


මීට වසර දොළහකට පෙර එනම්, 2006 වර්ෂයේ අප්‍රේල් මස දිනෙක සිදු වූ සිදුවීමකින් පියරත්න අද මරණයට නියමව සිටින්නේය.  


‘‘මොකක්ද වුණේ? මා දුටු සැණින් දෙනෙතට කඳුළු පුරවාගත් ඔහු ‘‘මගේ කතාවත් පසුතැවිල්ල’’ට ලියනවාද මිස්?’’ යනුවෙන් ඇසුවේය.  


‘‘කියන්නකෝ එහෙනම්.....?’’  


‘‘මට හිටිය එකම මැණික මගේ දෝණි. එයාගේ අම්මා පිටරට රැකියාවක හිටියේ. එතකොට දූට වයස අවුරුදු 24යි. උසස් පෙළ කරලා ගෙදර ඉන්දැද්දි එයාව බලන්න ආපු එයාගේ උරුමක්කාරයාට දෝණිව කරකාර බන්දලා දුන්නා. මම වැඩ කළේ‍ පෞද්ගලික අංශයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු විදිහට. ඒ වෙද්දී දෝණි පස් මාසෙක ගැබිනියක්. එයාගේ මහත්තයත් මමත් අපේ ලෝකේ එළිය කරන්න එන්න හිටිය පුංචි එකාව බොහෝම පරිස්සමින් බලාගත්තා. ඒ වෙනකොට අවුරුදු කට ළඟටම ඇවිල්ලා’’. 

 
පියරත්න, තම හිතවතෙකු ද සමග නිවසේ තීන්ත ආලේප කරමින් සිටි අතර දහවල් ආහාරය ගැනීමෙන් පසු නිවසේ ඉදිරිපසට පැමිණි පියරත්නගේ දියණිය, ‘‘තාත්තේ, මට යෝගට් එකක් කන්න හිතුණා’’ යැයි කීවාය.  
‘‘පුතේ, තනියම නේ ඔයාට කඩේට යන්න වෙන්නේ. නිමල් මාමගේ ඇන්ටිට කතා කරලා එයා එක්ක යන්න. තනියම යන්න එපා’’.  


ඒ අවසරය මත දියණිය හනි හනිකට නිවසින් පිටත්ව යන අයුරු පියරත්නත් ඔහුගේ මිතුරාත් බලා සිටියහ. මඳ වේලාවකින් ගිය වේගයටත් වැඩි වේගයකින් පැමිණි ඇය ඔවුන් අසල සිට ගත්තීය.  


‘‘තාත්තේ, සේනක අයියා මාව බදා ගන්න ආවා’’  


බියෙන් වෙව්ලමින්, හඬමින් තම දියණිය කියූ පුවත පියරත්නගේ කේන්තිය ප්‍රබල කරන්නක් වූයේය.  


‘‘ඉන්න මම බලලා එන්නම්. ඔයා බය වෙන්න එපා’’ තම දියණියගේ හිස අතගෑ පියරත්න තම මිත්‍රයාද සමග සේනක සොයා ඉක්මනින් ගමන් ගත්තේය. 

 
‘‘ඔය සේනක කියන මිනිහා කුඩු ජාවාරම්කාරයෙක්. මුළු පළාතම ඌ ගැන දන්නවා. එයා ගමේ චණ්ඩියා නිසා කවුරුවත්ම එයාට මුකුත්ම කිව්වේ නෑ. එයා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ගමේ වයසක ගෑනු කෙනෙකුට වගේම පිරිමි කෙනෙකුටත් කරදර කරන්න හදලා පොලිසියේ පැමිණිලි පවා තිබුණා. ඒත් එයා​ෙග් තාත්තා හරිම හොඳ කෙනෙක්.’’  


තම දියණිය පැවසූ පරිදි සේනක සොයා පියරත්න ගමන් කළද ඔහු පෙනෙන මානෙක සිටියේ නැත. එහෙත් තම දරුවාට කළ අනිසි කරදරය හමුවේ එය ඉවසා දරා සිටීමට ඔහුට හැකි වී නැත. සේනකගේ නිවස අසලට පැමිණි පියරත්න තම දියණිය ගැබිනියක් බවත්, එවන් වූ අතවරයක් සිදුකර ඇත්නම් එය ඉතාමත් අශෝභන වැරදි සහගත දෙයක් බවත් සඳහන් කරමින් බැණ වදින්නට වූයේය.  


‘‘මම බැනලා ආපහු අපේ ගෙදර ආවා. මේක ගැන පොලිසියට පැමිණිල්ලක් දාමු කියලා බෑණා කිව්වා. මම එයාට කිව්වා පුතාලා ඔය වගේ වුණාට එයාගේ තාත්තා එහෙම නෑ හොඳ මනුස්සයා කියලා’’  


එහෙත් වැඩිහිටි සබඳතාවට මුල්පිරීමට ප්‍රථමයෙන් සේනක තම නෙදියුණුභාවය ඔප්පුකර පෙන්වන්නට උත්සාහ කර තිබිණි.  


සිද්ධිය වෙලා පහුවෙනිදා මම කඩේට ගියා. එතකොට වෙලාව රෑ 7.30ට විතර ඇති. මට දැනුණා මගේ පස්සෙන් දෙන්නෙක් එනවා. මම ටිකක් හයියෙන් අඩිය තියලා ගමන ඉක්මන් කළා. ඒත් පස්සෙන් ආපු දෙන්නා මගේ ළඟටම ආවා මට පෙනුණා. ඒ වගේම එක්කෙනෙක්ගේ අතේ මොකක්දෝ ආයුධයක් වගේ දෙයක් තියෙනවත් මම දැක්කා. එතැන වංගුවක් තිබ්බේ. හරියටම වංගුවේදී මම අඳුනගත්තා ඒ ආවේ සේනකත් එයාගේ යාළුවෙකුත් කියලා. මම කෑගැහුවා ‘‘එන්න එපා මගේ ළඟට’’ කියලා. ඒත් දෙන්නම මගේ ඇඟට පැන්නා.  


මේ තිදෙනා අතර සිදු වූ පොර බැදීම කෙළවර වූයේ සේනක යන අයගේ අතේ තිබූ බව කියන පිහිය වැනි ආයුධය ක්‍රියාත්මක වීමය.  


‘‘එතකොට ඔය සේනක කියන කෙනාට වයස අවුරුදු 30ක් විතර ඇති. එයාට වඩා මම සද්ධන්තව හිටියා. එයා ඉස්සරහට එද්දී මං එයාව උස්සලා පොළොවේ ගැහුවා. එතන කොන්ක්‍රීට් පොළොවක් තිබ්බේ. ටිකක් එහායින් අගලක් තිබ්බා. මම සේනකව උස්සලා ආයෙත් පොළොවේ ගහන්න හදලා ළඟ තිබුණ ඇළ ළඟට විසිකළා. ඊට පස්සේ මම දුවගෙන ගෙදර ආවා.  


ගමේ චණ්ඩියෙකුට පහරදීම නිසා ඔහුගේ සහචරයින් දැන් දැන් තමා සොයාගෙන එතැයි අනුමාන කළ පියරත්න වහාම ගැබ්බරව සිටි තම දියණියත්, ඔහුගේ සැමියාත් සමග කැලේ පාරෙන් මිත්‍රයෙකුගේ නිවස බලා පිටත් විය.  


දිනක් පමණ මිත්‍රයාගේ නිවසේ සැඟ වී සිටි පියරත්නට ආරංචි වූයේ තම ප්‍රහාරයෙන් සේනක මරණයට පත්වී ඇති බවත් පොලිසිය තමන් සොයමින් සිටින බවත්ය. එසේම ඒ වනවිට ඔහුගේ නිවස මැරයින් විසින් කඩාදමා තිබූ බවද පියරත්නට ආරංචි විය.  


‘‘මම නීතිඥයෙක් මාර්ගයෙන් පොලිසියට භාර වුණා. එතකොටයි මම දන්නෙ පිහි පාරවල් දෙකක් සේනකට ඇනිලා කියලා. සමහර වෙලාවට මම උස්සලා පොළොවේ ගහද්දී එයාගේ අතේ තිබුණ පිහිය ඇනුණ ද දන්නේ නෑ. මම ඇන්නේ නෑ. නමුත් මට වරද පැටවුණා. අවුරුදු එකහමාරක් කළුතර බන්ධනාගාරේ සැකපිට හිටියා.  


පස්සේ පානදුර මහාධිකරණයේදී අධි චෝදනා භාර දුන්නා. සාක්ෂිවලින් චෝදනා ඔප්පු වුණා. අන්තිමට මට මරණ දඬුවම හිමි වුණා. ඒත් මම හිතුවේ මගේ දඬුවම ලිහිල් කරාවි කියලා.  


ඔහු සුසුම් හෙළීය. දෙනෙතට ආ කඳුළු බින්දු දකුණතින් පිසදැමූ පියරත්න නැවත කටහඬ අවදි කළේය.  


‘මැරිච්ච ළමයගේ අම්මා ඇවිත් කිව්වා, මේක ඔයා හිතලා කළ දෙයක් නොවෙන්න පුළුවන්. මගේ පුතා තමයි නැතිවුණේ. දැන් වෙච්ච දේ ඉවරයි. මට වන්දියක් දෙන්න කියලා. මං මේ කතාව මගේ ලෝයර්ට කිව්වා. ඒත් එදා ඒ ලෝයර් මහත්තයා ඒක ගණන් ගත්තේ නෑ. නඩුව ඉවර වුණාට පස්සේ ලෝයර් මට කිව්වා මෙයා මෙහෙම කියනවා අපරාදේ කලින් කිව්වා නම් කියලා. එතකොට මං ලෝයර්ට කිව්වා ඇයි, මහත්තයෝ මං ඕක කලින් කිව්වනේ කියලා. ‘‘ඒත් දැන් වැඩක් නෑ මට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.  


සාක්ෂි කූඩුවේ ඉඳලා මං සත්‍ය සිදුවීම අධිකරණයට කිව්වා. මම පිහියක් අරගෙන ගිහින් ඇන්න කියලා තමයි කටඋත්තර හදලා තිබුණේ පොලිසිය. නීතිය ගැන ප්‍රශ්නයක් නෑ, නමුත්......?’’  


ජීවිතයේ වන අනපේක්ෂිත සිදුවීම් අතුරින් තම ආදරණීය දියණියගේ රැකවරණය සලසා දීම වස් තමන්ට මෙවන් ඉරණමක් අත්වේයැයි ඔහු කිසිදිනෙක සිතන්නට නැත.  


‘‘පොඩ්ඩක් ඉවසුවානම් හොඳයි කියලා දැන් මට හිතෙනවා මිස්’’  


ඔහු කියයි.  


මට විශ්වාසයක් තියෙනවා මගේ ඇපිල් එකෙන් මට එළියට එන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම හිරගෙදරට ආපු දවසේ මට දිවි නහගන්න තරම් හිතුණා. නමුත්, දැන් ඕනම දේකට මුහුණ දෙන්න හිත හයිය කරගත්තා.   
මගේ දෝණිට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තාම දන්නේ නෑ මට මරණ දණ්ඩනය නියම වුණා කියලා. මට මෙහෙම වුණ එක ගැන මගේ ගමේ හැමෝම දුක් වෙනවා. මොකද මං ගමේ හිටිය විදිහත් එක්ක. කරුමයක් පඩිසන් දෙන්න තියෙනවා නම් ඒක එහෙම වෙනවා.’’  


යන්තම් මුවගට සිනහාවක් නංවා ගත් පියරත්න තමන්ට ජීවිතයේ සිදු වූ අතපසු වීම ගැන ද සඳහන් කළේය.  


‘‘ඇත්තමයි මිස්. මම තව ටිකක් ඉවසුවා නම්..... අද මට මෙහෙම පසුතැවිලි වෙන්න ඕන නෑ. පුංචි බලාපොරොත්තුවක් තියාගෙන මම අද ජීවත් වෙනවා, ඒ මට අත්හිටවූ සිරදඬුවමකින් හරි එළියට එන්න පුළුවන් වෙයි කියලා......’’  


වරද කොතැනදැයි යන්න අප තීරණය කළ යුතු නොවෙයි. එහෙත් සිදුවීමක අවසානයේ පසුතැවිලි නොවන්නට කටයුතු කිරීමට අපට හැකිනම්? පියරත්නලා වැන්නවුන් වැලිකඩ සිපිරිගෙයි සුසුම් හෙළන්නේ නැත. ඉතිං ඔබට සිතන්නට යමක් ඉතිරි කරමි.  


මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිතයි.  


(විශේෂ ස්තුතිය - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ ඇතුළු නිලධාරීන්ට)  

 

 

 

නිමන්ති රණසිංහ