IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


දරු පවුලක්ම මරා දැමූ ටිපර් මාරයා

සහලින් රට ස්වයංපෝෂිත කිරීමට මහවැලියට පැමිණි ගොවීහු එකා දෙන්නා වකුගඩු රෝගයට ගොදුරු වී අකාලයේ මිය යති. තවත් විශාල පිරිසක් රෝගයෙන් දුක් විඳිති. අද ඔවුන්ගේ දූදරුවෝ ද එකා දෙන්නා රිය අනතුරු හේතුවෙන් මහමග මියැදෙති. විශාල පිරිසක් සදාකාලික ආබාධිතයෝ වෙති. ත්‍රස්තවාදය නිමා වූ පසු අකල් මරණ අවම වේවි යැයි අපි සිතුවෙමු. එහෙත් දෛනිකව සිදුවන රිය අනතුරු මහවැලි දරුවන් මරු තුරුලට ගෙනයනු පෙනේ.   


එකම පවුලේ පස් දෙනෙක් ගමන්ගත් යතුරුපැදියක් දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර දී ටිපර් රථයක ගැටී පසුගිය 14දා සිදු වූ අනතුර ප්‍රදේශයේ ජනතාවගේ හද ගැස්ම මොහාතකට නතර කරවන්නක් විය.   


දෙහිඅත්තකණ්ඩිය, උත්ලපුර අංක 82 හි විසූ ආර්.එම්. නාමල් ප්‍රියන්ත අවුරුදු (37) යතුරුපැදිකරු සහ එහි ගමන්ගත් ඔහුගේ වැඩිමල් පුතු වූ ආර්.එම්. කවිඳු රුක්ෂාන් (අවුරුදු 14) සහ දෙවැනි පුතු වූ ආර්.එම්. යසිදු ලක්මාල් (අවුරුදු 09) යන පුත්තු දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.   


එම යතුරුපැදියේම ගමන් කළ පිනිපා උදයංගනී (අවුරුදු 36) මව සහ ආර්.එම්. පවන් (අවුරුදු 05) දරුවා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැවුණි. එහිදී කුඩා පවන් ද මෙලොව හැර ගියේය. මේ කිසිවක් නොදත් ඔවුන්ගේ මව මේ වන විටත් අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.   


“ආර්.එම්. නාමල් ප්‍රියන්ත වෘත්තියෙන් දක්ෂ වෑල්ඩින් ශිල්පියෙකි. මහවැලි සී කලාපය පුරාවට ඔහු නොහඳුනන කෙනෙක් නැති තරම්ය. අවමඟුලට පැමිණි දසදහස් ගණනක් වූ සෙනඟ ඒ බව සනාථ කළෝය. පන්සල, පාසල, ගමේ පොදු සමාජසේවා කටයුතුවල දී අත දිගහැර වියදම් කිරීම ඔහුගේ සිරිතය. ගමේ පන්සලේ පොසොන් දන්සලේ මූලිකත්වය ගත්තේ ද නාමල් ප්‍රියන්තමය. හදිසියක දී හිතවතෙක් අතමාරුවක් ඉල්ලා සිටි විට දෙවරක් නොසිතා උදව් කිරීම ඔහුගේ පුරුද්ද විය. තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් තවත් කෙනෙකුගේ දියුණුව දෙස බලා ඔහු සතුටු විය. බිරිඳට දරුවන්ට ආදරයෙන් සැලකූ පියෙකු විය.   
ඔහුගේ මව කේ.එම්. අනුලාවතී මහත්මිය තම පුතුගේ ගුණ යහපත්කම කියමින් වැලපෙන්නීය. ඇයගේ විලාපය සංවේදී හදවත් ඇති සැමගේ නෙත කඳුළින් තෙමාලන්නේය.   


උත්තලපුර, අංක 2/83 පදිංචි ආර්.එම්. අනුරාධ ප්‍රියන්ත මියගිය නාමල්ගේ වැඩිමල් සොහොයුරා වෙයි. තම සහෝදරයාගේ සහ දරු තිදෙනාගේ හදිසි වියෝවෙන් ඇති වූ කම්පනය යටපත් කරගත් ඔහු අප සමග කතා කළේය.   


 “මිය ගොස් ඇත්තේ මගේ මල්ලී සහ පුතුන් තුන් දෙනායි. මෙම අය මියගිය 14 වැනි දා මගේ ගෙදර වහලයේ වැඩ කළා. එදා හවස් වරුවේ මෙයා හරිම කනස්සල්ලෙන් හිටියා. මම ඇහුවට කිසිම දෙයක් කිව්වෙ නැහැ. මහන්සියට එහෙම දෙයක් සිදුවෙනවා ඇති කියා මම හිතුවා. මල්ලිගෙ පුතාල තුන්දෙනා එදා එළකිරි බොන්න ඕනෑ කිව්වා. මම එළකිරි අරං දුන්නා. එයාලා ගෙදර යන්න ලෑස්තිවුණු විට හෙටත් එළකිරි බොන්න අපි එනවා ලොකු තාත්තේ කියලා චූටි පුතා කිව්වා.   


පස් දෙනාටම මෝටර් බයික් එකේ යන්න අපහසු නිසා ලොකු පුතා පයින් යන්න සුදානම් වුණා. ලොකු පුතා බැහැ කියද්දී වැස්සෙ පයින් එන්න වෙන නිසා එයාව බලෙන් වගේ බයික් එකට දාගෙන ගියා. මගේ ගෙදර ඉඳන් මල්ලිගෙ ගෙදරට පයින් යන දුර තියෙන්නේ. මේ පොඩි දුර බයික් එකෙන් ගිය අය පෙට්ටි හතරකින් නිවසට එයි කියලා මම හිතුවෙ නැහැ. මගේ ගෙදර හදන්න මල්ලියි එයාගේ නෝනයි හරියට මහන්සි වුණා. මල්ලීගේ හිත හොඳකම නිසා එයා ඉල්ලන හැමෝටම සල්ලි දෙනවා. මල්ලී අනතුරට පත් කළ ටිපර් රථයේ හිමිකරු වූ සමන් එයාගේ හොඳම යාළුවා වෙලා හිටියා. සමන් මුහුදු මාළු විකුණන නිසා මල්ලිත් ඔහු සමග ගොස් මාළු විකුණන්න ඔහුට උදව් කළා. මගේ මල්ලිට මේ වගේ අපරාධයක් වේවි කියලා අපි හීනෙන්වත් හිතුවෙ නැහැ. නෙතට නැගි කඳුළු ඔහුට ඉන් එහා කිසිවක් කතා කිරීමට ඉඩ නොදුන්නේය.   


නාමල්ගේ මරණයට ඍජුවම චෝදනා එල්ල වෙන්නේ ටිපර් රථ හිමිකරු වූ ඩබ්.එම්. සමන්ටය. සමන් මියගිය ප්‍රියන්තගෙන් ලක්ෂ හයක මුදලක් ලබාගෙන අාපසු නොදී සිටින අයෙකු බව ගම්වාසීහු පවසති. මෙම අනතුර සිදුවූ දින උදෑසන ළිහිණියාගම පොලේදී ද නාමල් සහ ටිපර් රථ හිමිකරු අතර බහින්බස් වීමක් සිදුවූ බව උත්තලපුර, අංක 05 ලිපිනයේ පදිංචි ආර්.එම්. සුනිල් මහතා අපට පැවසීය.   


“මම ළිහිණියාගම පොලේ බඩු භාණ්ඩ තැන්නැන්වලට ගෙන යමින් වෙළෙන්දන්ට උදව් වෙනවා. මියගිය නාමල් මල්ලී මගේ අසල්වැසියෙක්. මියගිය මල්ලී ඉරිදා උදේ 8.30 පමණ ළිහිණියාගම පොලට ආවා. මම ඉන්න තැන සමන්ගෙන් නාමල් මල්ලී සල්ලි ඉල්ලුවා. මට සල්ලි දෙන්න බැහැ. උඹට පුළුවන් දෙයක් කරපන් කියලා සමන් කිව්වා. සඳුදා උදේ නාමල් මල්ලී පොලිසියට යන බවත් මා ඉදිරිපිටදීම කිව්වා. මෙහෙම අපරාධයක් හිතා මතා කළා නම් උන්ට හෙණගහනවා මහත්තයෝ.’’ ඔහු වේදනාවෙන් පැවසීය.   


ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් පවසන්නේ මෙය හිතා මතා සිදුකළ අපරාධයක් බවය. නමුත් පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි. දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආනන්ද රාජපතිරණ මහතා රිය අනතුර ගැන මෙන්ම මහවැලි කලාපයේ අනතුරු සිදුවීමට හේතු කාරණා කීපයක් පැහැදිලි කළේය.   


 “මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ බවට තොරතුරු අනාවරණය වෙලා නැහැ. නමුත් මෙම අනතුර පිළිබඳව තවදුරටත් පරීක්ෂණ මෙහෙයවනවා. ටිපර් රථ රියැදුරු සහ හිමිකරු මේ වන විට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. මෙවැනි අනතුරු ඉදිරියේදීවත් සිදු නොවීමට හැම දෙනාම කටයුතු කළ යුතුයි.   


අද මේ මහවැලි කලාපවල හැම ගෙදරකම මෝටර් සයිකලයක් තිබෙනවා. සල්ලි නැත්නම් ගෙවන්න හරි ගන්නවා. නමුත් විධිමත් පුහුණුවක් ලබාගෙන බලපත්‍රය ගන්න වැඩි දෙනෙකුට වුවමනාවක් නැහැ.   


රියැදුරු බලපත්‍ර නොමැති තරුණ දරුවෝ තමයි වැඩි දෙනෙක් අනතුරු සිදුකර ගන්නේ. මෙය පාලනය කරන්න පොලිසියට විතරක් බැහැ. නොසැලකිලිමත්කම නිසා අනතුරු බොහෝමයක් සිදුවෙනවා.   
සමහර දරුවෝ යතුරුපැදියේ වේගය පාලනය කරගන්න බැරුව පාරෙන් පිට ගස්වල වැදිලා මැරෙනවා. අද රූපවාහිනි මාධ්‍ය සහ පුවත්පත්වලින් කොපමණ ප්‍රවෘත්ති පෙන්වූවත් කවුරුවත් හැදෙන්නේ නැහැ. වාහනයක් ගත්තම වේගයෙන්ම යන්න තමයි උත්සාහ කරන්නේ.   

 


මේ අනතුරු බොහෝමයක අවසන් අවස්ථාව මම දකිනවා. මරණ පරීක්ෂණවල දී ඕනෑ තරම් දැනුම්වත් කරනවා. නමුත් ටික දවසකින් අමතක වෙනවා. දෙ​දෙනෙක් යා හැකි යතුරුපැදියේ පස් දෙනෙක් ගොඩවෙනකොට මේ තාත්තාටත් තව ටිකක් හිතන්න තිබුණා. නීතිය මගින් හැදෙනවාට වඩා තමන් තුළ ස්වයං විනයක් ගොඩනගා ගැනීමට රියැදුරන් කටයුතු කළ යුතුයි.   


යුද්ධය නිමා වූ රටේ තරුණ ශ්‍රම බළකාය දැන් රටට අහිමි වන්නේ ප්‍රධාන වශයෙන් රිය අනතුරු නිසා බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දිනිඳු රණසිංහ මහතා පවසයි.   
“උත්තලපුර අනතුර සිදුවන විට මම වැඩබලන වෛද්‍ය අධිකාරී වශයෙන් කටයුතු කළා. මෙම අනතුර අපව කම්පනයට පත් කළා. හිස් ආවරණ තිබුණා නම් මෙම අහිංසක දරුවෝ ජීවත් කරවන්න තිබුණා. අනතුර වන අවස්ථාවේ හිස් ආවරණ තිබිලා තියෙන්නේ මව්පියන්ට විතරයි. තාත්තාගේ මරණය සිදුවී තිබුණේ හෘදයට සහ අක්මාවට හානි වීමෙන්. දරුවන්ගේ මරණ සිදුවී තිබුණේ හිසට සිදුවූ හානිය නිසා.   


දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ අනතුරු දෙස බලන විට මේ බොහෝමයක් අවම කර ගැනීමට හැකි වූ ඒවා බව පැහැදිලි වෙනවා. මේ රෝගීන්ට ඉතා විශාල මුදලක් රජය වැය කරනවා. ඒවා මේ අයගේම මුදල්. අපේ රෝහලේ දැඩි සත්කාර ඒකකයක් සහ ස්නායු පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ සීටී ස්කෑන් වැනි පහසුකම් නැති නිසා ගිලන් රථවලින් බදුල්ල, ගම්පොළ, මහනුවර, අම්පාර, කල්මුණේ, අනුරාධපුර වැනි ඈත රෝහල්වලට රෝගීන් රැගෙන යනවා.   


මේ අය ස්වභාවික විපත් හෝ කාර්මික දෝෂ නිසා සිදුවන හදිසි අනතුරුවලට ගොදුරුවූ අය නොවෙයි. නොසැලකිලිමත්කම නිසාම අනතුරු සිදුකර ගත් අයයි. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ තමයි වැඩිපුරම අනතුරට පත්වෙලා රෝගීන් ඇතුළත් කරන්නේ.   


අධික වේගය සහ වාහනය දරන්න බැරි ප්‍රමාණයට සෙනඟ ගෙන යෑම තමයි මෙයට ප්‍රධාන හේතුව. අධික වේගය මරුවා කැඳවන බව හැම කෙනෙක්ම දැන ගත යුතුයි. මෙම අනතුරුවලින් අපට අහිමි වෙන්නේ අපේ රටේ ශ්‍රම බළකායයි. විශේෂයෙන් බාල වයස්කාර දරුවන්ට යතුරුපැදි සහ අනෙකුත් වාහන දෙන්න එපා. හිස් වැසුම් නැතුව යතුරුපැදියේ යන්නත් එපා. ඒ වගේම තමයි කවදාවත් බීමතින් වාහන පදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා.   


නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මකුරුප්පේ පඤ්ඤාසේකර හිමියෝ ද මහවැලි කලාපයේ සිදුවන රිය අනතුරු ගැන අදහස් දැක්වූහ.   


 “අද අපේ රටේ රිය අනතුරුවලින් දෛනිකව සැලකිය යුතු පිරිසක් මිය යනවා. ඒ වගේම විශාල පිරිසක් ආබාධිත වෙනවා. විශේෂයෙන් යතුරුපැදි පදවන අය හිස් ආවරණය නොමැතිව ගොස් අනතුරට ලක්වී බරපතළ තුවාල සිදුකර ගන්නවා. යතුරුපැදි පදවන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ හිස් ආවරණ පැලඳීම කළ යුතු වන්නේ පොලිසියෙන් බේරෙන්න කියලා. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ යනකොට විතරයි කියලා.   


මේ ප්‍රදේශයේ සිදුවන බොහෝමයක් අනතුරු සිදුවන්නේ අතුරු මාර්ගවලයි. අපි රිය අනතුරු අවම කරගන්න ලොකු උත්සාහයක් ගන්නවා. රිය අනතුරකින් තමන්ගේ සහෘදයෙක් මිය ගියොත් විතරයි මිනිසුන්ට දැනෙන්නෙ. එහෙම නැති වුණොත් අනතුර ගැන අහල බලල එය අමතක කර දමනවා. මෙය පොලිසියට තනිව කළ හැකි දෙයක් නොවෙයි. මේ සඳහා දෙමව්පිය සහයෝගය අවශ්‍යයි.   


දෙහිඅත්තකණ්ඩිය, නව නගරයේ ඒ 16 හි ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කරන එච්.ඩබ්. ඥාානසිරි මහතා සමාජ සේවකයෙකි. ප්‍රදේශයේ පොදු ප්‍රශ්න විසඳීමට මැදිහත්වන අයෙකි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ බහුලව සිදුවන රිය අනතුරු කීපයක් ගැන ඒ මහතා අවධානය යොමු කළේය.   


“උත්තලපුර අනතුර නිසා අපි මේ වන විට කම්පාවට පත් වී සිටිනවා. ඒ තාත්තා පස් දෙනෙක් යතුරුපැදියට පටවා ගන්න කලින් තව හිතන්න තිබුණා. හය හතර නොතේරෙන කිරි සප්පයෝ අකාලයේ මිය ගියා. මෙම ටිපර් රථයේ හිමිකරුවා වැරැද්දක් කර ඇත්නම් කිසිම සමාවක් නොදිය යුතුයි. මෙවැනි නොදැමුණු අශීලාචාර රියැදුරන් තවත් ඕනෑ තරම් ඉන්නවා. අපි අවධානයෙන් පාරේ යායුතුයි. ඒ වගේම පසුගිය මාස කීපයේ තරුණ දරුවෝ කීපදෙනෙක් රිය අනතුරු නිසා අකාලයේ මිය ගියා. ආබාධිත වූ පිරිසත් එපමණයි. මාර්ග ඍජුව තිබීම නිසා අධික වේගයෙන් යනවා. ඒ වගේම අපේ මිනිස්සු හෙල්මට් දමන්නේ පොලිසියෙන් ඉන්නවා නම් විතරයි. සමහරු යතුරුපැදියේ ටැංකිය උඩ හෙල්මට් එක තියාගෙන බයික් එක පදිනවා. ඒ වගේම දෙමව්පියෝ තමන්ගේ දරුවන් මෝටර් බයික්වල අරං යන්නේ හෙල්මට් නැතුවයි. දෙව්පියෝ දරුවන්ට ආදරෙයි නම් ඔවුන්ටත් හිස් වැසුම් පලඳවන්න. ඒ වගේම දෙමව්පියෝ රියැදුරු බලපත්‍රයක් නැති දරුවන්ට වාහනයක් අතට දෙන්න එපා. දරුවෙකුට වාහනය දෙන්න කලින් එයාට රියැදුරු බලපත්‍රය අරන් දෙන්න. දරුවෙකුට අධ්‍යාපන කටයුතු අවසන් වන තුරු වාහනයක් පැදවීමට නොදීම තමයි හොඳම ක්‍රියා මාර්ගය. ජනතාව පොලිසියට සහයෝගය ලබා දෙනවා නම් අපිට රිය අනතුරුවලින් තොර සමාජයක ජීවත් වෙන්න පුළුවන්.   


පස් දෙනකු පටවාගෙන එළවළු මල්ලක් හා පොල් මල්ලකුත් රැගෙන යතුරුපැදියේ යෑම ගැන නාමල් ප්‍රියන්ත සිතා බැලිය යුතුව තිබුණා. එමෙන්ම මෙම රිය අනතුරු මරණ පිළිබඳව ප්‍රදේශවාසීහු විවිධ කාරණා ඉදිරිපත් කරති. ඔවුන්ගේ විරෝධය බැනර්වලින් පවා ප්‍රදර්ශනයකර තිබුණි. එහෙත් මාධ්‍ය ඉදිරියේ කියන කාරණා කිසිවක් නීතිය ඉදිරියේ දක්වා නැත.   


එහෙත් සත්‍ය කිසිදා වසන් කළ නොහැක. ටිපර් රථ රියැදුරු සහ හිමිකරු අපරාධයක් කර ඇත්නම් සොබා දහමෙන් දඬුවම් ලැබෙනු ඇත. එය කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත. උත්තලපුර අනතුර මෙන් තවදුරටත් ප්‍රදේශයේ රිය අනතුරු සිදු නොවීමට නම් නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවෙනු ඇත. ආකල්පමය වශයෙන් මිනිසුන් සංවර්ධනය විය යුතුය. පවතින නීති සංශෝධනය කිරීම මෙන්ම නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම ද අදාළ ආයතන විසින් කළ යුතු ප්‍රමුඛ කාර්යයකි.   

 

 

 

සටහන සහ ඡායාරූප
සිරිපුර - වජිර ප්‍රසන්න



අදහස් (0)

දරු පවුලක්ම මරා දැමූ ටිපර් මාරයා

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ
2025 ජනවාරි මස 20 15 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.


මියන්මාරයෙන් ආ අනාථයන් තවත් කල්ලතෝනි ප්‍රශ්නයක් වේද?
2025 ජනවාරි මස 20 12 0

ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ


සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා
2025 ජනවාරි මස 15 32 0

න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.


උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 119 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 85 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ගී මිහිර අපට දී නික්මගිය ප්‍රියාදර ප්‍රියා
2024 දෙසැම්බර් මස 30 87 0

සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 429 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 618 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 337 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site