එල්ලුම්ගහේ කතාබහ වරින්වර කරළියට එන්නේ වසර 42 ක් තිස්සේය.  


ඒ සමඟම එල්ලුම්ගහේ ශක්තිය මැන බලන්නට සුපිරි කඹ පවා ගෙන්වූ වාර ද එමටය.  


 මෙවර ගෙන්වූයේ බෙල්ජියන් කඹයක් බවට ද තොරතුරු අනාවරණය විය.  


 හිස් වූ ‘වධක තනතුරට’ සුදුස්සෙක් තෝරන්නට ද විභාග පැවැත්විණි. බඳවා ගත් කෙනෙක් අදටත් නැත.  


 එල්ලුම්ගහ පිළිබඳ නවතම කතිකාවක යළිත් රට තුළ මතුවෙන්නේ මත්කුඩු ජාවාරමුන් සඳහා එල්ලුම්ගහ ගෙනෙන බවට ජනපතිවරයා කළ ප්‍රකාශයත් සමඟය.  


එල්ලුම්ගහ පාමුලට වී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මරණ දඬුවම නියමවී සිටින සිරකරුවන් මුලින්ම පෝරකයට යවන බවට කළ ඒ ජනපති ප්‍රකාශය හිරගෙවල් හොල්ලන්නට විය.  


 මරණ දඬුවමට නියත වශයෙන්ම යටත්වූ සිරකරුවන් ඒ ප්‍රකාශයෙන් වෙව්ලා ගියහ. දින ගණන් නොකා නොබී පහන් කළහ.  


සමහරුන් හඬන්නට වූහ. ක්ලාන්ත වූහ. මානසික ආතතියෙන් පෙළෙන්නට වූහ.  


වැලිකඩ බන්ධනාගාරයේ ‘චැපල් වාට්ටුවේ’ සී 3 සිරමැදිරිය එකම මළගෙයක් වූ බවට ද තොරතුරු පළවෙන්නට විය.  


 මරණ දඬුවම් ලැයිස්තුව හොර රහසේම සැකසෙන්නට වූයේ මේ අතරය.  


නඩු තීන්දුව, දඬුවම හා සියලුම පරීක්ෂාවන් තිතටම සිදුවෙද්දී පෝරකයට මුලින්ම යායුතු 18 දෙනාගේ නම් ලැයිස්තුව එළියට ආවේය.  


ඉල්ලූ සැනින් නම් ලැයිස්තුව අධිකරණ ඇමැතිනියට යවන්නටත් පසුව එය විමර්ශන කමිටුවට යොමුකර නිරීක්ෂණ ලබා ගැනීමටත් ළහි ළහියේ සිදුවූයේ ද කාටත් නොදැනෙන්නටය.  


 ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ අවසන් වාර්තා කැඳවා ඇති බවක් ද කියැවිණි.  


ඒ 18 දෙනාට මරණ දඬුවම දුන් මහාධිකරණ විනිසුරුවරයා, නීතිපතිවරයා හා අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශ ලබාගත් වහාම ජනාධිපතිවරයාගේ අත්සන ඊට යෙදීම අවසන් අවස්ථාව වී තිබුණු බව ද දැනගත හැකි විය.  
ඒත් ඒ සියල්ල තීරණය වී මාස දෙකකට අධිකය. වැලිකඩ බන්ධනාගාරයේ ‘සී 3 සිරවාට්ටුවේ’ එල්ලුම්ගහ තවමත් නිසොල්මනේය. එල්ලුම්ගහ සහිත කුටියේ දොරගුළු තවමත් වැසී ගොස්ය.  


අළුගෝසු තනතුරේ පුරප්පාඩුවට ඉල්ලුම්පත් කැඳවීමක් ද නැත. සේවය හැරගිය හිටපු අළුගෝසුවන් දෙදෙනාගේ නෝක්කඩුව ද අවසන් නැත.  


තමන් දෙදෙනා ඊට යළිත් බඳවා ගන්නා ලෙසට ඔවුන් කළ ඉල්ලීම ද ඉවතට දමා ඇත. නොනිල වශයෙන් ලැබී තිබූ ඉල්ලුම්පත් ගොන්නද අහුමුල්ලකය.  


 මෙහි වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ බන්ධනාගාර තුළ සිරදඬුවම් විඳිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට මරණ දඬුවම ලබාදෙන බවට ජනාධිපතිවරයා තීරණය කළ ද, දැනට ලබාදී ඇති නම් ලැයිස්තුවේ සඳහන් වෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඬුවම ලබා ඇති වරදකරුවන් පිරිසක් වීමය.  


මෙම 18 දෙනා අතර විදේශිකයෝ සිව් දෙනෙක් එයින් තිදෙනෙකුට මුලින්ම මරණ දඬුවම ලබා දිය යුතු බවට නිර්දේශවී ඇතැයි ද සඳහන්ය.  


 කෙසේ වෙතත් එ් කිසිවක් පිළිබඳ හාහූවක් අදටත් නැත. ඒ නිසාම වැලිකඩ හිරගෙය තුළ මරණ දඬුවමට ලක්ව සිටින 271 දෙනා සැනසුම් සුසුම් හෙළන බවට සෙසු සිරකරුවෝ අනාවරණය කරන්නේ ද එබැවිනි.  
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින සිරකරුවන් අතරින් 47 දෙනෙක්ම අභියාචනා ඉදිරිපත් කර අවසන්ය. කාන්තාවෝ 15 දෙනෙක් ද ඒ අතර වෙති.  


 මරණ දඬුවම නියමවී සිටින සමස්ත සිරකරුවන් සංඛ්‍යාව ඉකුත් ජූලි මස වාර්තාවලට අනුව 1239 කි.  


 අද වෙනවිට ඒ සංඛ්‍යාව තවත් ඉහළගොස් ඇති බව බන්ධනාගාර වාර්තා අනාවරණය කරයි.  


මරණ දඬුවම නියමව සිටින 1239 දෙනා අතරින් 833 දෙනෙක්ම ඊට එරෙහිව අභියාචනා මත සිටින්නේය.  


 මරණ දඬුවම ස්ථීර වූවෝ 370 කි.  


1977 ජූනි මාසයේ සිට ජේ.ආර්. ජයවර්ධන රජය මරණ දඬුවම අහෝසි කළේය.  


1994 වසරේදී චන්ද්‍රිකා රජය සමයේ මරණ දඬුවම යළි පැනවිය යුතු බවට රටපුරා කතිකාවක් මතු වූයේ නැග ආ අපරාධ රැල්ල නිසාය. ඒත් මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත.  


2003 වසරේදී හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධියත් සමඟම මරණ දඬුවම පිළිබඳ කතාබහ යළිත් කරළියට ආවේය.  


මෙම ඝාතනයට චෝදනා ලබා සිටියේ රටම හඳුනන පාතාල කෙරුමෙකු සහ ඔහුගේ ගෝල බාල රොත්කක් වීම ද සුවි​ෙශ්ෂි සිද්ධියකි.  


 පසුගිය ජූලි මාසයේදී මරණ දඬුවම පිළිබඳව ඇතිවූ ආන්දෝලනාත්මක කතාබහ සමඟ හටගත් කම්පනය අදටත් පහවගොස් නැත.  


 මරණ දඬුවම යළිත් වචනයට පමණක් සීමාවී ඇද්ද යන්න පිළිබඳ සැක මතුවී ඇත්තේ ද ඒ නිසාය.  


මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා හෙළි කෙළේ මෙවැන්නකි.  


 මේ වෙන විට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ඇරඹිලා. ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව කොමසාරිස් මිෂෙල් බැචලෙ මහත්මිය එහි සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පවසා තිබෙනවා.  


 ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් පිළිබඳ වාර්තා දෙකක් මෙවර සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.  


මෙම සිද්ධියත් සමඟම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව හිරවෙලා. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යාම ඉල්ලා අස්කර ගන්නට කියා නොකියා කියනවා.  


 නැත්නම් 1966 සම්මත කරගත් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියකට අත්සන් කරන්නට වෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් ලංකාව හිරකරන්නට පුළුවන්.  


 වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහේ මකුළුදැල් කඩමින්, දූවිලි පිසිමින් පඹයෙකු යොද‌ා එහි ක්‍රියාකාරිත්වය බලමින් සිටිනවා හැරුණුවිට තවත් කොපමණ කලක් එහි ලීවරයට තෙල් දමන්නට සිදුවෙනු ඇද්ද?  


මරණ දඬුවම් ලැයිස්තුවේ පෙරටම සිටින 18 දෙනා ‘චැපල් වාට්ටුවේ’ සී 3 සිරමැදිරියේ අදටත් රඳවා සිටිනුයේ ඔවුන්ට අවිනිශ්චි හෙට දිනක් උද‌ා කරමින්.  


ජනාධිපතිවරයා වෙත භාරදී ඇති මරණ දඬුවම් ලැයිස්තුවේ මුලටම සිටින්නේ ද කාන්තාවකි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනිය ද කාන්තාවකි.  


එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කඹය ද සූද‌ානම්ය. එහෙත් එහි ලීවරය ක්‍රියාත්මක කරන්නට අළුගෝසුවෙකු අදටත් බඳවාගෙන නැත.  


 අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ය​ෙමකුට මරණීය දණ්ඩනයක් හිමිවන්නේ මිනිස් ඝාතනයක් සිදුකිරීම හෝ හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබා ගැනීම වැනි වැරදි කීපයකට වරදකරු වූ විටදීය.  


එම දඬුවම මහාධිකරණයකින් ලැබෙන අතර ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක මරණ දඬුවමට නියම වූ තැනැත්තා එල්ලා මැරීම සිදුකෙරේ.  


 බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට එල්ලුම්ගහ ක්‍රියාත්මක වී ඇත්තේ 1812 පෙබරවාරි 10 ද‌ාය. ඒ ඉංගිරියේ කළුඅප්පු නැමැත්තෙකු වෙනුවෙනි.  


 එල්ලුම්ගහට නියම වූ පළමු කාන්තාව වූ ඩිංගිරි මැණිකා අැගේ කුඩා දරුවා නිසා පෝරකයෙන් මිදී සමාව ලැබුවාය.  


 1976 ජූනි 23 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ එල්ලුම්ගස අක්‍රිය වූයේ 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන රජය යටතේය.  


 ඒ අනුව 1976 ජූනි මස 23 වැනි දින තිස්සමහාරාමයේ ගොවියෙකු වූ ජයසිංහ මානච්චිගේ චන්ද්‍රද‌ාස එල්ලුම්ගහට ගිය අවසන් පුද්ගලයා බවට පත් විය.  


සිය පෙම්වතා හා එක්ව කුඩා දරුවෙකු ඝාතනය කිරීමේ වරදට අවසන්වරට එල්ලුම්ගහට නියම වූ කාන්තාව පෝලින් කෲස්ය. 1977 රජය යටතේ ඇයට සමාව ලැබිණි.  


 ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති මරණ දඬුවම් ලැයිස්තුවේ මුලටම සිටින්නේ ද කාන්තාවකි.  


ඒ මට්ටක්කුලියේ පදිංචි 48 හැවිරිදි දෙදරු මවක වන ශ්‍යාමලි පෙරේරාය.  


 රටම තවමත් බලා සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලින්ම මරණ දඬුවම හිමිවන්නේ කාට ද යන්නය. ඒ රටම පෙළෙන ව්‍යසනයට වැට බඳින්නටය. 

 

 

 

ජයන්ත සමරකෝන්