IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


​ඩෙංගු කීට ගහනය සියයට විස්සක අඩුවීමක්

ඉකුත් දෙමසක කාලසීමාව තුළ සියයට හතළිහක් වශයෙන් එකවර ශීඝ්‍ර වර්ධනයකට ලක්වූ ඩෙංගු මදුරු උවදුර මේ වනවිට සියයට පහළොවත් විස්සත් අතර මට්ටමකට පහළ බැස ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යාඥ නජිත් සුමනසේන මහතා ඉකුත් දා අනාවරණය කළේය.

ගෙවීගිය තුන් හතර මාසයක කාලසීමාව තුළ ඩෙංගු රෝගය නිසා මියගිය සංඛ්‍යාව තුන්සිය හතළිහක් පමණ වී ඇත. රෝගය නිසා රට පුරාම මරබිය ඇතිවිය. එය යුද්ධයකට සමාන තත්ත්වයක් යැයි සිතෙන තරම්ය. ඩෙංගු මදුරු කීට ගහනය අඩුවීම පිළිබඳවත් එය සම්පූර්ණයෙන් සමනය කළ හැකිවේද යන්න පිළිබඳව සෞඛ්‍ය කීට විද්‍යාඥ නජිත් සුමනසේන මහතා අප සමඟ දැක්වූ අදහස් මෙසේ ගොනුකරමි.  


‘‘රට පුරා ඩෙංගු ව්‍යාප්තවී තිබූ තත්ත්වය හා මේ වනවිට දක්නට ලැබෙන තත්ත්වය පිළිබඳව විමසීමේදී සමස්තයක් ලෙස සියයට විස්සක අඩුවීමක් දක්වන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයන් කාලගුණික වෙනස්වීම් සමග අඩුවීමට හෝ වැඩිවීමටත් පුළුවන්. මේ වනවිට රටේ ඇතැම් ප්‍රදේශවල සියයට පනහ හතළිහ දක්වාත් අඩුවීම් දක්නට ලැබෙනවා.  


ඒ සඳහා පරිසර හේතු මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් ද බහුලව ඉවහල් වී තිබෙනවා. ඉදිරියේදී කෙරෙන ඩෙංගු මර්දන වැඩසටහන් අවදානම් සහිත ප්‍රදේශ සහ රෝගීන් වැඩිපුර වාර්තාවන ප්‍රදේශ අනුව ගණනය කිරීම් සිදුකිරීම මගින් ඉදිරියටත් ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක කරගෙන ඩෙංගු උවදුර සමනය කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.  


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයත් අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ඇතුළුව දේශපාලන නියෝජිතයන්ගේ ද සහයෝගය ලබාගෙන අප ඩෙංගු මර්දන ව්‍යාපාරය ක්‍රියාවට නංවමින් සිටිනවා.  
ඒ කෙසේ වෙතත් රටේ සමහර ප්‍රදේශවල ඩෙංගු කීට ගහනය තවමත් පාලනය වී නැහැ. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රව දක්නට ලැබුණු කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශ ලෙස අප විසින් හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිත ඩෙංගු මර්දන ව්‍යාපාරවල සාර්ථකත්වය හේතුවෙන් ඒ ඒ පළාත් ආශ්‍රිතව ඩෙංගු රෝග ව්‍යාප්තිය සමනය වෙමින් පවතිනවා.  

නජිත් සුමනසේන

 

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම වැනි ප්‍රදේශවල ඩෙංගු කීට ගහනය සියයට දහයක් ලෙස වාර්තා වුණා. නමුත් ජනගහනය අධික ප්‍රදේශවල තත්ත්වය ඊට වඩා වෙනස්. විශේ‍ෂයෙන් දෙහිවල, පිළියන්දල වගේ ප්‍රදේශවල තවමත් අවදානම් තත්ත්වයන් පහව ගොස් නැහැ.  


ඩෙංගු රෝගය ව්‍යාප්තිය පිළිබඳ සැලකූවිට සමහර දිස්ත්‍රික්කවල සෑම ප්‍රදේශවලම ඩෙංගු අවදානම මතු වුණේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, නාගොඩ, පානදුර රෝහලට ​රෝගීන් වැඩි පිරිසක් පැමිණි බව දක්නට ලැබුණා. ඒ අනුව බණ්ඩාරගම, නාගොඩ, පානදුර වැනි ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඒ ආශ්‍රිත ප්‍රදේශවල අවදානම් ස්ථාන හඳුනා ගැනීමක් සිදුකළා.  


විශේෂයෙන් බේරුවල, චීන කොටුව, අලුත්ගම, දර්ගා නගරය වැනි ප්‍රදේශ මෙහිදී අපට හඳුනා ගැනීමට ලැබුණා. එහිදී එම ප්‍රදේශවල ජනතාව ජලය පුරවා තැබීමට භාවිත කරන ටැංකි, බැරල්, බේසම් ආදියේ ඩෙංගු කීටයන් වැඩි වශයෙන් දක්නට ලැබුණා. ඇතැම් නිවාසවල ජල සැපයීම සීමිතයි. ඒ හේතුව නිසා ඔවුන් ජලය රැස්කර තබා ගන්නවා. තවත් සමහරු පුරුද්දක් ලෙසත් ජලය රැස්කර තබා ගන්නවා.  


ඇතැම් නිවාසවල සුනඛයන් වගේ සුරතල් සතුන් ඇති කිරීමක්වත් සිදුවෙන්නේ නැහැ. නිවස තුළ සුරතල් සතෙක් හෝ සිටිනවා නම් මදුරු ගහනය අවම වීමට එයත් හේතු වෙනවා. පසුව අප ජලය රඳවා තබා ගන්නා ස්ථාන පිළිබඳ පරීක්ෂාවක යෙදුණා. දවස් තුනකට වරක් වත් එම ජලය අලුත් කරන ලෙස අප ඉල්ලා සිටියා.  


ඇතැම් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් සිදුවුණා. නමුත් මෙම ඩෙංගු මර්දන වැඩසටහන්වලදී අපි මූලිකවම අපේක්ෂා කළේ ඩෙංගු රෝගය මර්දනයට අවශ්‍ය දැනුම්වත්භාවය ලබාදීමයි.  

ඩෙංගු මර්දන වැඩසටහන්වලදී දුමායනය කරන්න පැමිණෙන පුද්ගලයන්ට ඩෙංගු කීටයන් සිටින ප්‍රදේශය ගැන හරිහැටි අවබෝධයක් නොමැතිවීම ගැටලුවක් වුණා. පසුව අප ඔවුන්ට ද පුහුණුවක් ලබාදී මදුරුවන් සිටින ප්‍රදේශ හරිආකාරව හඳුනාගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දුන්නා.  


මර්දන වැඩසටහන් ශක්තිමත් කිරීමට අප බොහෝ ක්‍රමවේද යෙදුවා. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම වැඩි මීගමුව ප්‍රදේශයට ගොස් එහි අවදානම් කලාප හඳුනා ගැනීමට ලක්කරනු ලැබුවා. මීගමුව රෝහලට රෝගීන් එන ප්‍රදේශ එහිදී අප හඳුනා ගත්තා. ඒ අනුව දළුපොත හා කටාන යන ප්‍රදේශවල තමයි වැඩි ප්‍රතිශතයක් තිබුණේ‍.  


මීගමුව රෝහල් කලාපයේ ද වර්ග මීටර් දෙසීයක් ආවරණය වන කලාප ද අප විසින් හඳුනාගෙන අදාළ ප්‍රදේශවලට සාර්ථක ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කරගත හැකි වුණා. මදුරු කීටයන් සහිත ප්‍රදේශ බහුලව ඒ ප්‍රදේශවල අප හඳුනාගනු ලැබූවා. මෙම නිරීක්ෂණ සඳහා වෛද්‍ය අජිත් මෙන්ඩිස්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ සෘජු දායකත්වය ලැබුණා.  


පානදුර අලුත්ගම ඩෙංගු මර්දන වැඩසටහනේදී විශාල කුණු කන්දක් හඳුනාගත්තා. දේශපාලන මැදිහත්වීම් මත අපට එම කුණු කන්දද ඉවත් කිරීමට හැකි වුණා. අද වනවිට ඩෙංගු පිළිබඳව පොදු ජනතාවගේ අවධානය සැලකිය යුතු මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා.  
නමුත් එය සියයට සියයක් ලෙසම වර්ධනය විය යුතුයි. ඇතැම් නිවාසවල ජල ටැංකියේ, ශීතකරණයේ ඩෙංගු කීටයන් හඳුනාගැනීමට හැකි වුණා.  


ඒවා පිරිසිදු කිරීම ද ඩෙංගු රෝගීන්ගේ අඩුවීමට බලපෑ බව කිව යුතුයි. මේ වනවිට ඩෙංගු කීටයන් රැඳී සිටිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථාන ආශ්‍රිතවයි. ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථානවල ජලය රැඳෙන තැන් පවිත්‍ර කිරීම් සිදුවන්නේ නැහැ. මෙවැනි ස්ථාන ආශ්‍රිතව ඩෙංගු කීටයන් බහුලව හඳුනා ගැනීමට අපට හැකි වුණා.  


මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඩෙංගු මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරෙනවා. ඉකුත් සමයේ අප මහනුවර දිස්ත්‍රික්කයේ කහටපිටිය ප්‍රදේශයේ දැනුම්වත් කිරීම් කටයුත්තක නිරත වෙද්දී, ඒ ආසන්නයේම වතුර බැරල් එකක් මත ඩෙංගු මදුරුවෝ විශාල ප්‍රමාණයක් හඳුනා ගන්න ලැබුණා.  

ජලය සංරක්ෂණය කර තබන ටැංකිවල පියන් වසා තැබීම විශේෂයෙන්ම වගබලා ගත යුතුයි. ජනමාධ්‍ය මගින් කෙරෙන දැනුම්වත් කිරීම් පිළිබඳවත් අප තුළ යම් පැහැදීමක් තිබෙනවා.  


ඩෙංගු මර්දනය කියන්නේ සීමිත කාලයකින් අවසන් කළ හැකි දෙයක් නෙවෙයි. පාසලේ ශ්‍රේ‍ණිවලට වසරින් වසර අලුත් සිසුන් ඇතුළත් කරගැනීම හා සමානව ඩෙංගු මර්දන වැඩසටහන් දිනෙන් දින වර්ධනය කළ යුතුයි. කාලගුණික තත්ත්වයන් සමග පවතින ගැටීම නිසා ඩෙංගු යළි ශීඝ්‍ර ලෙස හිස එසවීමට වුවත් ඉඩ තිබිය හැකි යැයි නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.



අදහස් (0)

​ඩෙංගු කීට ගහනය සියයට විස්සක අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site