උතුරු මැද හා උතුරු පළාතට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගැටලු ගණනාවකට මුහුණපෑමට සිදු වී තිබේ. විශේෂයෙන්ම රජරට කලාපයට බලපා ඇති දැඩි නියං කාලගුණ තත්ත්වය හමුවේ සමහර විද්වතුන් පුරෝකථන ඉදිරිපත් කරමින් පවසා තිබුනේ එම ප්‍රදේශ ඉදිරියේදී අර්ථ කාන්තාර ලක්ෂණ සහිත ප්‍රදේශ බවට පත් වීමට ඉඩ ඇති බවය. රටට හදි කළ මහා ගංවතුර ව්‍යසනයකින් පසු මේ ආකාරයේ දැඩි නියං කාලගුණ තත්ත්වයක් මතුවීමත් සමග දේශගුණ විපර්යාස ගැන සාකච්ඡාව ද මේ වන විට වේගවත් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මේ දේශගුණ විපර්යාස සහ ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව භූගෝල විද්‍යා හිටපු මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා සමග කළ කතාබහකින් සකස් කළ ලිපියකි මේ.   


මේ වන විට මතුව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව මීට වසර දහයකට පෙර සිට සාකච්ඡා වන විට විද්‍යාඥයන් අතර ඒ ගැන තිබුණේ සැකසහිත අදහස් සමුදායකි. කෙසේ වෙතත් පසුගිය වසර පහක පමණ කාලයේදී පිළිගත් පොදු කාරණයක් වූයේ වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බවය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උත්තර අර්ධ ගෝලයේ හිම කඳු වේගයෙන් දියවි යෑම හා සාගර ජල මට්ටම ඉහළ යෑම සිදු වෙමින් තිබේ. මෙපරිදි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑමට බලපා තිබෙන මිනිස් ක්‍රියාකාරකම් අතර ප්‍රධාන එකක් වනුයේ පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් මුදාහැරීමය.   


ශ්‍රී ලංකාව දූපතක් වුවත් පිහිටා තිබෙන්නේ නිවර්තන ප්‍ර​ෙද්ශයකය. ඊට අමතරව රට වටා මුහුද තිබෙන අතර, එක් පැත්තකින් බෙංගාල බොක්ක ද ඇත. අනෙක් අතට රටේ හැඩය ගත් විට එහි උතුරු ප්‍රදේශය කුඩා වන අතර, දකුණු ප්‍රදේශයේ විශාලත්වයක් දැකිය හැකිය. මධ්‍යයේ විශාල කඳුකරයක් පිහිටා තිබේ. මේ භූගෝලීය පිහිටීම අනුව ලංකාවට වර්ෂාව ලැබෙන ආකාරය ගැන ද අප සැලකිලිමත් විය යුතුය. එහිදී පැහැදිලිව දැකිය හැකි දෙයක් නම් පසුගිය වසර දහයක පමණ කාලයක සිට ලංකාවට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙහි ප්‍රමාණය සමාන වුවත් එහි රටාවෙහි වෙනස්කම් තිබෙන බවය. එනම්, කොපමණ දවස් ගණනක් වර්ෂාව ලැබෙනවා ද, වර්ෂා ජලය කොතරම් වේගයකින් මතු පිටින් ගලායාම සිදුවනවාද වර්ෂා ජලය කොපමණ ප්‍රමාණයක් වාෂ්පීකරණය වනවා ද යන කාරණා ගණනක් ගැන එහිදී අපට අවධානය යොමු කිරීමට සිදු වේ.   


අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල වගේම උතුරු පළාතෙත් මේ වන විට දැඩි නියං තත්ත්වයක් හටගෙන ඇති ආකාරයක් දැකිය හැකිය. එම ප්‍රදේශවල මීට පෙර අවස්ථාවලද මෙවැනි අවස්ථා නිර්මාණය වී තිබේ.   


කෙසේ වෙතත් අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල ජනතාව මේ ආකාරයේ දැඩි වියළි කාලගුණ තත්ත්ව තව ප්‍රදේශවලට සෑම වසරකම බලපවත්වන බව අත්දැකීමෙන්ම දන්නා අතර, එනිසාම එම ප්‍රදේශවල ජලය රැස් කොට තැබීමේ ක්‍රමයක් මීට වසර දෙදහසකට පෙර සිටම ක්‍රියාත්මක විය. කුඩා මධ්‍යම යන මහා පරිමාණ වැව් ඉදිවූයේ ඒ අනුවය. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ ජනතාව ආඬියාමාන නමැති ළිං මගින් භූමියේ ජල සම්පාදන ක්‍රමය පවත්වාගෙන ගියහ. මේ නිසා රජරට සහ උතුරු ප්‍රදේශවල දැඩි නියඟය නිසා භෝග විනාශ වීම සිදු වූයේ නැත. කවර නියං තත්ත්ව ඇති වුණත් භූමියට අඛණ්ඩව ජලය සම්පාදනය කිරීමේ ක්‍රම තිබූ නිසා විශාල ගැටලුකාරී අර්බුද ඇති නොවුණි. මේ ජල සම්පාදන ක්‍රියාවලිය නිසා භූමිය සරුසාර වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙරළබඩ තෙත් කලාපවල වැවෙන භෝගයන් වන පොල් රජරට ප්‍රදේශවල ද වඩාත් හොඳින් වගා කිරිමට හැකි වී තිබේ. එයට ප්‍රධාන හේතුවක් වූයේ පොළොවේ භූගත ජල මට්ටම ඉහළ දැමීමට පෙර කී ජලසම්පාදන ක්‍රමය ඉවහල් වීමය. මීට වසර දහයකට පමණ පෙර තිබූ මේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. ගෝලීය උණුසුම, සුළං, ධාරා ගලා යන රටාව වෙනස්වීම සහ ගොවිතැන සඳහා දීර්ඝ කාලයක සිට විෂ රසායන යෙදීම නිසා පසෙහි ඇතිව තිබෙන විපර්යාස යන කාරණා ඒ තත්ත්වයට බලපා තිබේ. රජරට කලාපයේ පස ගත් විට එහි ප්‍රධාන ප්‍රභේද තුනක් හඳුනාගත හැකිය. පළමුවැන්න රතු හා දුඹුරු වර්ණ මිශ්‍ර පසය. දෙවැන්න දිලෙන, ඇලෙන මැටි පසය. තෙවැන්න සොලඩයින් සොලසෙස් නමැති වැලි පස් වර්ගයයි. හම්බන්තොට වැනි දකුණේ වියළි ප්‍රදේශවල ද තිබෙන්නේ මේ පස් වර්ගය. මේ පස් සහිත භූමියට ​හොඳින් ජලය සම්පාදනය කළහොත් වගා කිරිම අපහසු නැත. රජරට කලාපයේ පසෙහි පසුගිය කාලය පුරාවටම වගා කිරීම නිසාත්, එම පසට කේන්ද්‍රීය ද්‍රව්‍ය (කාබනික ද්‍රව්‍ය) එකතු නොකිරීම නිසාත්, පස සතු ජලය ගබඩා කර තබා ගැනීමේ හැකියාව ක්ෂය වෙමින් තිබේ. වාරි තාක්ෂණ ක්‍රමවේද අනුව භූමිය සමාන්තරව සකස් කිරීමෙන් සිදුවූ තවත් අහිතකර ප්‍රතිඵලයක් නම් වර්ෂා ජලය පොළොවේ අභයන්තරයට එකතු වීමේ ක්‍රියාවලිය අඩපණ වීමය. විශේෂයෙන්ම බොහෝ තැන්වල භූමිය සමාන්තරව සකස් කිරීම නිසා වර්ෂා ජලය වේගයෙන් ගලාගෙන ගොස් ඇළ මාර්ගවලට එකතුවීම සිදුවෙන යාපනයේ ජනතාව පසට නිරතුරුව කේන්ද්‍රීය ද්‍රව්‍ය එකතු කළත් රජරට කලාපයේ ජනතාව එවැන්නක් නොකරන නිසා එ්වා කලාපයේ පසෙහි ජලය රඳවා තබා ගැනීමේ හැකියාව මේ වනවිට ඉතාම පහළ මට්ටමක පවතී. මේ තත්ත්වය මත ඒවා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයෙන් විශාල අඩුවීමක් ද දක්නට ලැබේ. ඊසාන දිග මෝසම් සුළං මගින් මේ ප්‍රදේශවලට වැසි ලැබීම සිදු වන අතර පසුගිය කාලයේදී එම සුළං විශේෂයට අදාළව දැකගන්නට ලැබුණු විශේෂ කාරණයක් නම්, ඒවා ප්‍රමාද වී ලැබීමය. නැත්නම් වර්ෂාව ලබාදීමට තරම් ඒවා ප්‍රබල නොවීමය. ඒ නිසා විශාල වර්ෂා තත්ත්ව ඇති නොවීම සිදු වේ. අනිත් අතට වැස්ස ද විශාල වශයෙන් පසෙහි ජලය රඳවා තබාගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ද නැත.   


වියළි කලාපයේ වර්ෂාපතන රටාවේ තිබූ විශේෂ ලක්‍ෂණයක් නම් වසින කාලවලට නොනවත්වා වර්ෂාව පතිත වීමය. එම කාලවලදී වැව්, ළිං පිරෙන අතර පොළොවේ භූගත ජල මට්ටමද ඉහළ යෑම සිදු වේ. නමුත් වර්තමානය වන විට වර්ෂාපතනය ලැබෙන ප්‍රමාණය අඩුවීම, රටාව වෙනස් වීම සහ ජලය රඳවා තබාගැනීමේ හැකියාව පහළ යෑම වැනි හේතු නිසා එම තත්ත්වය වෙනස් වී ඇති අතර භූගත ජලය අඛණ්ඩව ලබාගැනීම නිසා මේ කලාපයේ භූගත ජල මට්ටම ද මේ වන විට ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ. වර්ෂාපතනයේ ඇතිව තිබෙන වෙනස් කම්, සුළං රටාවේ ඇතිවී තිබෙන වෙනස්කම් මේ ආදී දේවල් ඉදිරි වසර කීපයක කාලයේදී ද එලෙසම පැවැතියහොත් ඉදිරියේදී මීට වඩා දරුණු තත්ත්ව ඇති විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.   


කාර්මීකරණයේ ශීඝ්‍ර දියුණුවත් සමග හරිතාගාර වායු වැඩි වශයෙන් වායුගෝලයට මුදා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසුම ඉහළ ගොස් තිබේ. දේශගුණය යනු ඇත්ත වශයෙන්ම පද්ධතියකි. එක් තැනක ඇති වන ක්‍රියාකාරීත්වයක් මගින් ජනිත වන ප්‍රතිඵල එම ස්ථානයට පමණක් බලපාන්නේ නැත. එය සමස්තයක් හැටියට වෙනත් තැන්වලට ද බලපෑම් ඇති කරයි. පෘථිවියේ භ්‍රමණය, පරිභ්‍රමණ ක්‍රියාවලිය, ඇල බව ආදී දේ මත සුළං හැමීමේ රටා නිර්මාණය වී තිබේ. නිවර්තන ප්‍රදේශවලදී සුළං ඉහළට හැමීමත්, ද්‍රව ප්‍රදේශවලදී සුළං පහළට හැමීමත් ඒ අනුව සිදු වේ. ඒ දෙක අතර ඇතිවන පරතරය මහා පරිමාණ සෛල දෙකක් හැටියට පවතින බව විද්‍යාඥයෝ කියති. පසුව අනාවරණය වූයේ සෛල තුනක් තිබෙන බවය. ‘ත්‍රී සෛලාකාර මතය’ යනුවෙන් මතවාදය ප්‍රචලිතය. මේ වනවිට විද්‍යාඥයන් ‘ක්ෂුද්‍ර දේශගුණය’ (Micro Climate) නමැති සංකල්පයක් සොයා ගෙන තිබේ. එයට අනුව වායුගෝලයේ කුඩා පරිමාණයේ වර්ෂාපතන සහ සුළං ඇති වන අතර එය කුඩා ප්‍රදේශයකට පමණක් බලපැවැත්වීම සිදුවේ.   


නැවතත් රජරට කලාපයේ වියළි දේශගුණය පිළිබඳ කතාබහට අවධානය යොමු කළහොත් කිවහැක්කේ වර්ෂාපතනයෙහි ඇතිව තිබෙන වෙනස් කම්ය. පොළොවෙහි ජලය ගබඩා කර ගැනීමේ හැකියාව අඩුවීම යන තත්ත්ව නිසා ඉදිරියේ දී එම කලාපයේ අර්ධ කාන්තාර ස්වරූපයක් ඇති විය හැකි බවය. මේ වන විට කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇති ආකාරයට ඉදිරියේ දී දිනකට ලැබනෙ වර්ෂාපතානයෙහි සාමාන්‍ය අගය මිලිමීටර් 2ක දක්වා අඩු විය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවූවහොත් අපේ භෝග වගාවන් විනාශ වී යනු ඇත.   


ජලය අඩුවෙන් අවශ්‍ය ශාක වර්ග වන පතොක් දලුක් ඩරැගන් පෲට් වගේ ඒවා රජරට කලාපයේ වගා කිරීමට ද සිදුවීමට ඉඩ තිබේ. මේ දේශගුණ තත්ත්වයක් සමග ඉදිරියේ දී අපට වියළි කලාපයේ වගා කිරීමට හැකිවන්නේ කාන්තාර ලක්ෂණ සහිත ජලය අවශ්‍ය නොවන භෝග වර්ගය. මේ වියළි කාලගුණ තත්ත්ව සමග රජරට කලාපයේ වැව් විශාල ප්‍රමාණයක් මේ වනවිට සිඳී ඇත. මහ වැව්වලින් සියයට අනූවකට වඩා ජලය සිඳී ඇත. වෙනත් ස්ථානවලින් ජලය ගෙන යන වැව්වල පමණක් යම් පමණකට ජලය ඉතිරිව තිබේ. තෙත් කලාපයට ද මේ දිනවල වර්ෂාපතනයක් නොලැබෙන නිසා ඉදිරියේ දී එලෙස ජලය ගෙනයෑම ද ගැටලු සහගතවීමට ඉඩ තිබේ.   


මේ අභියෝගයට මුහුණ දීම සඳහා අපට කළ හැකි දේ මොනවාද යන්න ගැන අවධානය යොමු කිරීම ද වැදගත්ය. වැසි ජලය ගබඩා කර තබා ගැනීම ඉතාමත් වැදගත්ය. එවැනි තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ පොළොවේ විශාල ආගාර නිර්මාණය කිරීමය. විශේෂයෙන්ම පොළොව මතුපිට විශාල වළවල් හාරා ඒවා මතට විශේෂිත පස් වර්ග යොදා ගබඩා වශයෙන් පවත්වාගෙන යාම කළ හැකිය. වැසි ජලය ගබඩා කොට සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියාව වැනි රටවල් මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරයක් දැකිය හැකිය. තෙත් කලාපයේ මතුපිට ජලය ගලායෑම අඩු කොට එම ජලය භූගත ජලය බවට පත් කළ යුතුය. මීට පෙරද සඳහන් කළ පරිදි වියළි කලාපයේ පසෙහි ජලය ගබඩාවීම අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව නම් එම පසෙහි වැඩි ප්‍රමාණය හා කේන්ද්‍රීය ද්‍රව්‍ය ප්‍රමාණය පහළ අගයක් ගැනීමය. එසේ නම් අප කළ යුත්තේ හැකිතරම් පසට කේන්ද්‍රීය ද්‍රව්‍ය එක්කිරීමය. කොළඹ නගරයේ තැන් තැන්වල ගොඩගසා තිබෙන කැළි කසළ ඒ සඳහා භාවිත කළ හැකිය. ඒවා වර්ගී කරණය කොට ඒ අතර තිබෙන කාබනික ද්‍රව්‍ය වියළි කලාපයට ගෙන ගොස් පොළොවේ තැන්පත් කිරීමට කටයුතු කළහොත් පසෙහි කේන්ද්‍රීය ප්‍රමාණය ඉහළ යෑම සිදු වේ. එසේ පසෙහි කේන්ද්‍රීය ප්‍රමාණය ඉහළ ගිය විට ජලය රඳවා ගැනීමේ හැකියාවද වැඩි වේ. මේ කාලගුණ විපර්යාස තත්ත්වය හමුවේ ඊට සාර්ථකව මුහුණදීම සඳහා අප අනිවාර්්‍යයෙන්ම ජාන කෘෂිකර්මයට යා යුතුය. වියළි කලාපයේ දැනට දක්නට ලැබෙන දැඩි නියං කාලගුණ තත්ත්වය ඉදිරියේ දී මධ්‍යම කඳුකර ප්‍රදේශයටද බලපැවැත්වුවහොත් නියත ලෙසටම අපගේ භෝග සිතියම වෙනස් කිරීමට සිදු වනු ඇත. චක්‍රීය ක්‍රමයට ජලය භාවිත කරන තක්කාලි, මිරිස් වැනි භෝග සඳහා චක්‍රීය ක්‍රමයට ජලය භාවිත වනවාය යන්නෙන් අදහස් වන්නේ ඒවාට ඉතා අඩු ප්‍රමාණයක් ජලය යොදන, එම යොදන සුළු ජල ප්‍රමාණය වුවත් යළිත් පොළොවට ලබාදෙන ක්‍රමයක් වන බැවිනි. මේ ගැටලුව සඳහා අපට තිබෙන අවසාන ප්‍රතිකර්මය වන්නේ මුහුදු ජලය පිරිසිදු කර භාවිතයට ගැනීමය. ඇත්තටම අපට ජල ආර්ථික විද්‍යාවකට ගමන් කිරීමට සිදු වී තිබේ. ඉහත අප සාකච්ඡා කළ ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් දැනට පුරෝකථනය කර ඇති වියළි කලාපය අර්ධ කාන්තාර බවට පත්වීමේ අවදානමෙන් අපට මිදිය හැකිය.

 

සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ