හොඳින් වැඩීගිය දිවුල් ගහට යාබදව ඇති පඳුර ළඟ පාර්වතී ඉඳගත්තෙ දැඩි හිරු රශ්මියෙන් මිදී විඩාව නිවාගන්නටය. ඇය අනුගමනය කරමින් යෝගනාදනුත් වේලායුදනුත් එතැනට සමීපව වාඩි වූහ.  


‘හරෝ .... හරා.....’ පාර්වතීගේ මුවින් සිහින් හඬකින් රිද්මයකට නික්මෙයි.  


‘මුරුගා.... මුරුගා....’ අපේ ආරක්‍ෂාවට ඉන්නවා. වේලායුදන් මුමුණයි.  


සතා සිවුපාවාගෙන් පිරි, මිනිස් පුළුටක ස්ථිර වාසස්ථානයක් නැති මේ මහ වනයට මාස ගණනකින් වැහි පොදක් වැටී නැත. කටු පඳුරුද වියළි ගොසිනි. තණකොළ ගහක් දක්නට නැත. ඒ සියල්ල පරඬැල් වැනිය.   


වරින්වර හමා එන තද සුළඟට ගතට සිසිලක් ගෙනෙයි. සුළං අතට මුවාවී වේළීගිය දර අතු කිහිපයක් අවුළුවා හැදුළිප උඩ ඇලූමිනියම් වතුර මුට්ටිය බුබුලූ දමයි. යෝගනාදන් ඔහුගේ ඔලොගුවෙන් තේ කොළ ස්වල්පයක් බුබුලූ දමන මුට්ටියට දැම්මේ වෙඳැගිල්ල, දබරැඟිල්ල සහ මැදඟිල්ලට ගෙනය. පාර්වතී ඒ දෙස බලාගෙන සිටියාය.  


හැත්තෑපස්වන විය ඉක්මවූ පාර්වතී මේ මහ බැද්දට වසරක් පාසා එන්නීය. මුලතිවු ප‍්‍රදේශයේ උපන් ඇය තම ස්වාමියා සමග මේ යන්නේ කතරගම දෙවිඳුන් වැඳපුදා ගන්නටය. ඒ යන ගමනේදී ඕකන්ඳ දේවාලයේ දී යාපනේ සිට කතරගම යන්නට පැමිණි යෝගනාදන් ද ඔවුන් සමග එක්වන්නේය. යෝගනාදන් ද පසුවන්නේ අසූ එක්වන වියේ ය.   


පාර්වතීගේ සැමියා වේලායුදන් ඇයට වඩා දෙවසරක් බාලය. ඕකන්`ද දේවාලය තෙක් වෙන් වෙන්ව ආ මේ තිදෙනා ඉන් පසු හමුවන යාල කලාප අංක දෙක මහ කැලෑවට ඇතුලූ වන්නේ එකම නඩයක් ලෙසිනි.  


‘අපි මුලතිව්වලින් පිටත් වුණේ ජූනි මාසේ 20දා. උහඳට ( ඕකන්ඳට) ආවේ ජූලි 12දා. දවස් තුනක් උහඳ නැවතිලා හිටියා. උහඳ මුරුගන් දේවාලයට පූජා තියලා 15දා කුමණ ඇරියාම පාන්දරින් පිටත් වුණා. මුරුගා දෙවියන්ගේ ආශිර්වාද අපට තියනවා. අපි මේ කැලෑව හරහා දවස් කිහිපයකින් කතරගමට යනවා. මුරුගා දෙවියෝ අපිව රකිනවා. ඒක අපිට විශ්වාසයි.’ කැඩුණු සිංහලෙන් පාර්වතී මේ ගමන ගැන කීවාය.  


‘කතරගම පාද යාත‍්‍රාව’ ලංකාවේ පවත්වන දිගම ආගමික වන්දනා ගමන යැයි කීම වැරදි නැත. වසර සියයකට වැඩි දිගු ඉතිහාසයක් ඊට ඇත. නැගෙනහිර පළාතේ වාකරේ ආශ‍්‍රිතව විසූ දෙමළ සම්භවයක් ඇති වැදි ජනතාව මුලින්ම මේ ආකාරයට පාගමනින් කතරගම පැමිණි බව පානම ගමේ පැරැන්නෝ පවසති. ‘නිට්ටෑවන්’ ලෙස ඒ වැදි ජනයාව හැඳින්වෙයි.   


පසු කාලීනව කතරගම දෙවියන් අදහන උතුරු නැගෙනහිර හින්දු භක්තිකයන් තරාතිරම නොබලා මාස ගණන් මස් මාංශ, සුරාපානය ආදියෙන් වැළැකී ‘පේවී’ මේ ගමන පාගමනින් එන්නේ දැඩි දේව භක්තියකිනි.  


දකුණු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි කතරගම දේවියන් කදිරේෂන් හෙවත් මුරුගා ආදී නම් රාශියකින් හඳුන්වයි. ඕකන්දට ගොඩබට කතරගම දෙවියන්ට සැලකිලි දක්වා ඇත්තේ එකල බාගුරාව, මීයන්ගොඩ, හැලව, රදැල්ල ආදී ප‍්‍රදේශවල විසූ සිංහල ජන කොටස් බව පානම වැඩිහිටියන්ට මතකය. නමුත් දෙමළ ජනතාව කතරගම දෙවියන් ගැන වැඩි තැකීමක් කර නැති බව ජනප‍්‍රවාදයේ එයි.

පසුකාලීනව ඕකන්දේ සිට කුමණ, මඩමෙතොට, පිළින්නාව, කටුපිල, වරහන, කටගමුව, කොච්චිපතාන හරහා වැඩහිටි කන්දට ආ කතරගම දෙවියන් තමන් බලන්නට එන දෙමළ ජනතාව ද තමන් ආ ලෙසම පා ගමනින් ආයුතු බවට දුන් දඬුවමකට මෙසේ පාද යාත‍්‍රාවෙන් මහකැලෑව හරහා කතරගම බලා යන්නේ යැයි ද පානම වැඩිහිටියන් ජනප‍්‍රවාදයෙන් එන තොරතුරු පදනම් කරගෙන කියති.  
කෙසේ නමුත් මේ කතාව ඇතැම් හින්දු භක්තිකයන් පිළිගන්නේ නැත. ඔවුන් පවසන්නේ මේ පාද යාත‍්‍රාව ‘ජීවිත පාඩමක්’ බවයි. උතුරු නැගෙනහිර දෙපළාත් වලින් පා ගමනින් එන හින්දු ජනයා කතරගමට යනවිට කිලෝමීටර් තුන්සියය ඉක්මවයි. අ​ෙන්‍යා්න්‍ය අවබෝධය, සමානාත්මතාව, ආහාර කළමනාකරණය, ශරීර සෞඛ්‍ය, අන්‍යයන්ගේ දුක වේදනාව, ඉවසීම, සතා සිවුපාවට, ගහකොළට ආදරය කිරීම, ආගමික විශ්වාසය මේ ‘පාද යාත‍්‍රාවෙන්’ හින්දු සමාජයට ලබාදෙන බවයි පාගමනේ නිරත වැඩිහිටියන් පවසන්නේ.  
පසුගිය ජූනි මාසයේ 04දා යාපනයෙන් කතරගම බලා පාද යාත‍්‍රාවේ එන්නට පිටත් වූ ජනයා ජූලි 15දා වනවිට ඕකන්දට පැමිණියහ. ඔවුන් මේ ගමන නිම කරන්නට මාස දෙකක කාලයක් ගනී. සමහරු වාර්ෂිකව මේ ගමන එති. තව සමහරු වසර දෙක තුනකට වරක් එති. ඒ අතර විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, විශ‍්‍රාමිකයන්, වැනි ජනයා සිටිති.  


අතීතයේ දී පාද යාත‍්‍රාවේ නිරතවීමෙන් ලබාගත හැකි පාඩම් අද ඉන් නොලැබෙන බව වැඩිහිටි දමිළ ජනතාවගේ අදහසයි.   
‘තරුණ හින්දු භක්තිකයන්ට අද ‘පාද යාත‍්‍රාවෙන්’ එදා ඉගෙන ගත්තු පාඩම් ඉගෙන ගන්න බෑ. එදා අද වගේ පහසුකම් තිබුණේ නෑ. අතීතයේ ගමනේ සැලසුමක් තිබුණා. උදේ ගමන පිටත්වෙන කොට දවල්ට නවතින්නේ කොතනද?, රාත‍්‍රිය නවතින්නේ කොතන ද? කියලා සැලසුමක් තිබුණා. නඩේ ගුරාට නවතින තැන් වතුර තියන තැන් ගැන හොඳ දැනීමක්, මතකයක් තිබුණා. කෝඩුකාරයන් (පළමුවරට එන තැනැත්තන්)ට ඔහු අවවාද දෙන්නේ ඒ දැනුම සහ මතකයන් ඔස්සේ ය. ඒනිසා නඩේට උවමනා වතුර ආහාරපාන ආදිය කළමනාකරණය කර ගෙනයාමට හැකියාවක් ලැබෙනවා.’ පාද යාත‍්‍රාවේ ආ වැඩිහිටියෙක් ගමනේ අගය කියා දුන්නේය.  


මේ ‘පාද යාත‍්‍රාව’ ඇතැමුන්ගේ ජීවන ගමන් යාත‍්‍රාව ද තීරණය කරන මහා නෞකාවක් යැයි කීම වරදක් නොවේ. කණ්ඩායම් වශයෙන් විවිධ ප‍්‍රදේශවලින් වන්දනාවේ යන්නට එන බැතිමතුන් එකට එකතුවී ගිමන් හැරීම් නවාතැන් ගැනීම්වල දී ඔවුනොවුන් අතර අලුත් මිතු දම් ඇතිවෙයි. සමහර අවස්ථාවල ඒ මිතුදම් අවාහ විවාහවලින් ඥාති සම්බන්‍ධකම් බවට පත්වෙයි. එවැනි අවස්ථාවන් වලදී ඔවුන් විශ්වාස කරන්නේ ඒවා කතරගම දෙවිදුන්ගේ ආශිර්වාද අනුව සිදුවන දේවල් බවයි.  

මඩමෙතොට කුඩා කැබිලිත්ත දේවාල භූමියේ ගිමන් හරිමින්...

 


පාද යාත‍්‍රාවේ එන පිරිස් විවිධය. අතදරුවන්ගේ පටන් මහල්ලා දක්වා විවිධ වයස් කාණ්ඩ සමග නිරෝගී පුද්ගලයන්ගේ සිට රෝගී පුද්ගලයන් දක්වා වූ විවිධ වයස්, විවිධ සෞඛ්‍ය මට්ටම්වල ජනයා ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මේ චාරිකාවේ යෙදෙති.  


‘පාද යාත‍්‍රාවේ’ එන හින්දු බැතිමතුන් හඳුනාගත හැකි වන්නේ ඔවුන් සැරසී සිටින ඇඳුමෙන්ය. කෂාවන් ඇඳුමත් නවගුණ වැළත් මොනර පිහාටුවකින් සැරසූ වේලායුදයත් නිසා අතීත වන්දනාකරුවන් මතකයට නැංවිණි. නමුත් වර්තමානයේ එහි යම් වෙනසක් පෙනේ. ඇඳුම් ආයිත්තම් ආදිය වෙනස් වී නවීකරණය වී ඇති බව හින්දු භක්තික වැඩිහිටියන් ද පවසන්නේ කනස්සල්ලෙනි.  


‘අපි කියන්නේ හින්දු භක්තිකයන් වෙනස් නොවිය යුතුයි. ඒ අය සුපුරුදු ඇඳුමින් සැරසිය යුතුයි. නමුත් වෙනත් අයට ඒ අය කැමති විදියට ආ හැකියි. අපේ සමහර තරුණ කණ්ඩායම් අද මේ වෙනසට ලක්වෙලා. ඒක මේ පාරම්පරික උරුමයට බාධාවක්. අද යාපනේ, ත‍්‍රිකුණාමලේ වැනි දුර බැහැර ප‍්‍රදේශවල ඉඳලා බස්වලින් උහඳ (ඕකන්දට) ඇවිත් එතන ඉඳලා පා ගමනින් කැලෑව ඔස්සේ එන ප‍්‍රමාණය වැඩි වෙලා. එදා වගේ නෙවෙයි අද ආණ්ඩුවේ, පුද්ගලික ආයතනවල වැඩ කරන අයට මාස ගණන් නිවාඩු ගන්න බෑ. එහෙම හරි ආවේ නැත්නම් මේ චාරිත‍්‍රය තව කෙටිකාලයකින් නැත්තටම නැතිවෙලා යාවි.’ තරුණ හින්දු භක්තිකයන්ගේ සංක‍්‍රාන්තිමය වෙනස්කම ගැන සිත් තැවුලට පත් වැඩිහිටි හින්දු භක්තිකයෝ එසේ කියති.  


මුලින් අපට හමුවූ පාර්වතිත්, වේලායුදනුත්, යෝගනාදනුත් ඉන්නේ ඒ ස්ථාවරයේ ය.   


‘හැබැයි එකක් කියන්න ඕනෑ. මේ ගමනේ අපි අනුගමනය කරන නිර්මාංශවීම, මතින් තොරවීම ආදිය නම් අපේ තරුණ පරපුර තවමත් අකුරට ම රකින බව අපිට විශ්වාසයි. කවුරු රැවැට්ටුවත් මුරුගා.. රවට්ටන්න බෑ. උන්දලා ඒක දන්නවා.’ ඔවුහු කියති.  


මෑතක සිට කුමණ ජාතික වනෝද්‍යානයෙන් ඇතුලුවීමට අවසර ලැබෙන දින වකවානු ඇත. කුමන ජාතික වනොද්‍යානය, යාල කලාප අංක දෙක, එක හරහා කටගමුව පිවිසුම පසු කරන බැතිමතුන් ගණන් ගැනීමට ලක්වෙන්නේ කුමන දී සහ කටගමුවේ දීය. ඕකන්ද දේවාල භූමියේ සොඛ්‍ය සායන සහ ප‍්‍රථමාධාර කඳවුරුද පැවැත්වෙයි. සාමය රකින්න පොලීසිය සහ ත‍්‍රිවිධ හමුදාව අද එහි සේවයට යොදවා ඇත.   


එමෙන්ම කුමණ සහ යාල කැලෑවල තැනින් තැන ජල ටැංකි පිහිටුවා ඒවාට පානීය ජලය සපයා තිබේ. වන සතුන්ගෙන් ඒවා රැක ගන්නට යුදහමුදාව යොදවා ඇත. අතරමග යුද හමුදා කඳවුරු කිහිපයක් තාවකාලිකව ස්ථාපිත කර කැලෑව ඇතුළේ ආරක්‍ෂාව තහවුරු කර තිබේ.   


අම්පාර දිස්ත‍්‍රික්කයේ තබ්බිලූවිල් හි ක‍්‍රියාත්මකවන සිව තොන්ඩරඣ සංගමය ස්වෙච්ඡාවෙන් ළිංතුනේ නැවතී ටැක්ටර් බව්සර්වලින් තැනින් තැන ස්ථාපිත කර ඇති ජල ටැංකිවලට දිනපතා ජලය සපයයි. යුද හමුදාව ඊට ආරක්‍ෂාව දෙයි.   


පිළින්නාව ළිංතුන වන්දනාකරුවන්ගේ ආරක්‍ෂිත නවාතැන් පොළකි. මිනිස් වාසයෙන් තොරව දින ගණනක් ‘පාද යාත‍්‍රාවේ එන බැතිමතුන්ට සෞඛ්‍ය පහසුකම් සැලසීමට මෙවර ද එතැන සෞඛ්‍ය කඳවුරක් ස්ථාපිත කර ඇත. තේ සමග හුළං විස්කොතු දන්සැලක් සමග මේ සෞඛ්‍ය සායනය පවත්වන්නේ සිව්වන වතාවටය.  


නැගෙනහිර පළාත් සභාවේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ අලගයියා ලතාහරන් මහතා විසින් එය පුද්ගලිකව පවත්වනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ සහ නැගෙනහිර පළාත් සභාවේ ද සහාය ඇතිවය.  


‘මම හිතුවා පාද යාත‍්‍රාවේ යන එකට වැඩි යමක් කරන්න ඕනෑ කියලා. අවුරුදු හතරකට ඉස්සර පානම ගමේ සුගත් සහ සංජය කියන මගේ මිතුරන් දෙදෙනෙක් ඒ කඳවුර පටන්ගත්තා. කුමන වනෝද්‍යානයේ දොරටුව විවෘත කරලා තියන දින කිහිපය තමයි අපි මේක පවත්වන්නේ. ඇත්තටම අපි කරන්නේ හදිසි ප‍්‍රතිකාර විතරයි.’  


‘හැබැයි දැන් මේකට නුවරඑළියේ බාලේන්ද්‍රන් මහත්තයා අවුරුදු තුනක කාලයක ඉඳලා මෙතන නැවතිලා උදව් කරනවා. රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගිලන් රථයක් ලෙස භාවිතා කරන්න කැබ්රථයක් දීලා තිබෙනවා. නැගෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය ලේකම්වරයා වගේම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා මට නිවාඩු අනුමත කරලා අවශ්‍ය නිල අවසරය ලබාදීලා තියනවා. මාරුවෙන් මාරුවට මෙතනට දිනකට වෛද්‍යවරු හතර දෙනෙක් හෝ පස් දෙනෙක් බැගින් දින කිහිපයෙන් කිහිපය එවන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහාය දෙනවා. වෙනත් පිරිස් ස්​ෙවච්ඡාවෙන් ඖෂධ වර්ග තේ, සීනි, ඉඟුරු, ආදිය ලබාදෙනවා.’ නැගෙනහිර පළාත් සභාවේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අලගයියා ලතාහරන් මහතා කීවේය.  


හැම දිනකම උදේ හයේ සිට සවස හය වන තෙක් ඉඟුරු දැමූ තේ කොප්පයක් සමග හුළං විස්කෝතුව බැගින් ලබාදීම ද මෙතැන දී සිදු කෙරෙයි.   


දෙවියන් ඇදහීම මිථ්‍යා විශ්වාසයකැයි පවසන පිරිස් මාධ්‍යයට දොස් තබමින් එවැනි ඇදහිලි ගැන තොරතුරු සඳහා වර්තමානයේ පුවත්පත්වල වැඩි ඉඩකඩක් දී ඇතැයි චෝදනා කරති. එහෙත් සති තුනකට ආසන්න කාලයක් මේ මහ වනමැද පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් සමග දිවිගෙවන වෛද්‍ය අලගයියා ලතාහරන් මහතා පළකළේ මෙවැනි අදහසකි.   


‘ඇත්තටම මෙතැන වෛද්‍ය විද්‍යාවට වැඩි යමක් සිදුවන බව මට අත්දැකීමෙන් අවබෝධ වෙලා තියනවා. අපි කරන්නේ පුංචි පහසුකමක් දීම තමයි. ලොකුවට බෙහෙතක් කරන්නේ නෑ. නමුත් ඒ පුංචි ප‍්‍රතිකාරයට වඩා වැඩි යමක් යම් ආකාරයකින් ලැබෙනවා. ඒ නිසා වසරකට ජීවිත විස්සක් තිහක් අපිට බේරාගන්න පුළුවන් වෙලා තියනවා. ඒක ඇත්තටම හාස්කමක්. සමහර අවස්ථාවල සුදු ඇඳගත් කෙනෙක් මට ප‍්‍රතිකාර අවශ්‍ය වන්දනාකරුවන් ගැන දැනුම් දෙනවා. මම ගිහිං ඒ අයට ප‍්‍රතිකාර ලබා දෙනවා. නැත්නම් මෙතනට එක්කගෙන ඇවිත් මුලික ප‍්‍රතිකාර කරලා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කතරගමට යවනවා. ඇත්තටම ඒ හැම කෙනෙක්ගෙම ජීවිත බේරෙනවා. ඒක සෞඛ්‍ය පහසුකම්වලට එහා ගිය ශක්තියක් නිසා සිදුවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.’  


මේ සෞඛ්‍ය කඳවුරේ වැදගත්කම අවබෝධකරගත් මොනරාගල මහ දිසාපතිවරයාත් කල්මුණේ ජනතාවත් උදව් කරන බව වෛද්‍ය අලගයියා ලතාහරන් මහතා සඳහන් කළේ ය.  


ළිංතුන පසුකර කතරගම දෙසට යන විට පිළින්නාව මුලින් හමුවෙයි. පිළින්නාවේ නොනැවතී තව දුරටත් වැව් පිටි සහ වියළී ගිය පාරවල් පසුකර වැලි පාරවල් ඔස්සේ ඉදිරියට යනවිට කටුපිළ ආර හමුවෙයි. වසර පහක සිට ‘පාද යාත‍්‍රාවේ’ එන බැතිමතුනට කටුපිළආර ක්‍ෂේම භූමියකි.   


මහනුවර දළදා මාලිගයේ දියවඩන නිලමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල මහතා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ‘පාද යාත‍්‍රාවේ’ එන සෑම බැතිමතෙකුටම රසවත් ආහාර වේලක් පිරිනමන මහා දන්සැලක් එහි පවත්වයි.   


වනසංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අම්පාර දිසා වන කාර්යාලයේ සංවිධානයෙන් ගමන්කළ විසි නව දෙනෙකුගෙන් යුතු වන්දනා නඩයක සාමාජිකයන් වූ අපට ද මේ මහා බත් දැන්සැලෙන් කුස පුරවා ගැනීමට හැකිවිය. හින්දු ක‍්‍රමයට පිළියෙළ කළ රසම් කෝප්පය වෙලාවෙ හැටියට දිව්‍ය ඔසුවකි. ආහාර වේල ප‍්‍රනීතය. දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා එහිදී අපට හමුවිය.  


‘අපි පස්වෙනි සැරේට මේ දන්සැල දෙන්නේ. උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් ඕනෑම වෙලාවක මෙතනින් කෑම කාලා යන්න පුවළුන්. හින්දු භක්තිකයන් ප‍්‍රිය කරන ක‍්‍රමයටයි අපි ආහාර වේල් සකසන්නේ. පිරිසිදු පානීය ජලය අපි ලබා දෙනවා. සනීපාරක්‍ෂක පහසුකම් සකස් කරලා තියෙනවා. කෙසෙල් කො​ෙළ් තමයි කෑම කන්න දෙන්නේ. ඉඳුල් පොදක් බිම හලන්නේ නෑ. ඒවා ට‍්‍රැක්ටර් ටේලරයකට එකතු කරලා වනෝද්‍යානයෙන් පිටතට ගෙනිහින් දානවා. කුමණින් ඇතුළු වූ අන්තිම වන්දනාකරුවාටත් කෑම වේල දීලා තමයි අපි මේ දන්සල අවසන් කරන්නේ. විසිපන්දහසකට තිස් දහසකට කෑම දෙන්න සූදානම්’ දියවඩන නිලමේවරයා පැවසුවේය.   
දළදා මාළිගාවෙ ගිහි භාරකරු ලෙස පිළිගැනෙන දියවඩන නිළමෙවරයාගේ මේ සද්කාර්යය හින්දු බැතිමතුන්ගේ නොමද ප‍්‍රසංශාවට ලක්ව තිබේ. ඔවුන් පවසන්නේ සැබෑ සංහිඳියාව මෙවැනි ක‍්‍රියා වලින් අර්ථවත් වන බවයි.  


‘පාද යාත‍්‍රාවේ’ එන බැතිමතුන් දිවා ආහාරය පිළියෙළ කරගන්නේ එන අතරමග විවේක ගන්නා තැනකදීය. කටුපිළආරේ මේ බත් දන්සැල ඔවුන්ට මහත් අස්වැසිල්ලකි.   


යාල හරහා කතරගම වන්දනාවේ යන දස දහස් ගණනක් වූ බැතිමතුන් දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවදුක් මෙන් ම ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් වගකීම පැවරී තිබෙන්නේ යාල ජාතික වනොද්‍යානයේ භාරකරුටය. උද්‍යාන භාරකාර ඩී.පී. සියාසිංහ මහතා කලාප අංක දෙකට පැමිණ වන්දනාකරුවන් එහි පවත්වන දන්සැල්, සෞඛ්‍ය කඳවුරු ගැන මෙන්ම නවාතැන් ගන්නා වන්දනාකරුවන් ගැන ද පුද්ගලිකව සොයා බලයි.  


විශේෂයෙන් යාල කලාප අංක දෙකේ පිහිටි ජලය රැඳි පවතින, දිවුල්ගස්වැව, නබඩගස්වැව, බැද්දේතිරව වැව, තිරව වැව, මිල්ලන් වැව, ආගරගදුනේ වැව, ආගරවැව, ඉහළ මහ පිළින්නාව වැව, ඉහළ කුඩා පිළින්නාව වැව, කඩිය වැව, කොටමත්තේ පහළ වැව, තලන්තොට වැව, දිගනේ වැව, වඩුකන්බුදුම වැව, බෝගහවැව, රදාවැව, රුගම්වැව ආදී වැව් බොහෝමයක් මේ වනවිට සිඳී ගොසිනි.  


කුරුන්දේ ආර, කටුපිළආර, නබඩගස්ආර, ආදී ආරවල් ද සිඳියමින් පවතී. මේ නිසා යාල කලාප අංක දෙකේ මෙන්ම විශේෂ ජාතික ආරක්‍ෂිත කලාපයේ ද වෙසෙන වනඅලින්, දිවියන්, වළසුන්, ගෝනුන්, මුවන්, කුලූ හරකුන් වැනි සිව්පා සතුන් වතුර සොයා දිනකට විශාල දුරක් ගමන් කරයි. දිය රැඳී ඇති පොත්තන, පිළින්නාව වැනි කළපු ආශ‍්‍රිතව කුළුහරකුන් විශාල ප‍්‍රමාණයක් රැඳී සිටිනු දැක ගත හැකිය.  

දියවඩන නිළමේතුමා කටුපිළආරේ දන්සැලේදී....

 


වනාන්තරයේ දී කිසිදු වන්දනාකරුවෙකුට විපතක් නොවන්නට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සීරුවෙන් සිටීම විශාල පිටිවහලකි.  


එහෙත් වර්තමානයේ පසයා ඇති පහසුකම් ‘පාද යාත‍්‍රා’ වන්දනා ගමනේ අරුතට බාධාවක් බව වන්දනාවේ එන වැඩිහිටියන්ගේ අදහසයි.  
‘අපි ඉස්සර එනකොට මේ මොන පහසුකමක්වත් තිබුණේ නෑ. ලෙඩකට දුකකට අපි අත්බේත් කරගත්තේ. වන සිවුපාවුන්ගෙන් මුරුගා දෙවියෝ අපිව ආරක්‍ෂා කළා. අපේ කොල්ලෝ කුරුට්ටෝ දෙවියන්ට බයවුණා. හිතා මතා වැරැද්දක් වෙන්න ඉඩ තිබ්බෙ නෑ. දැන් පහසුකම් සලසලා තියන හින්දා තරුණ පරපුර දුක් විඳින්න සූදානම් වෙන එකක් නෑ කියලා අනාගත බයකුත් දැනෙනවා.’ වැඩිහිටි හින්දු භක්තිකයෝ කියති.


‘වන්දනාවේ ඇවිල්ලත් මේ අයට විනෝදයෙන් මිදෙන්න බෑනේ....’ හින්දු භක්තියකයන් නොවූ අත්දැකීම් ලබන්නට මේ පාද චාරිකාවට එක්වූ කිහිප දෙනෙක් කතාබහ කරන්නට වූහ. මේ ගැන සොයන්නට ජයන්තටත් මටත් උවමනාවක් විය.  


‘අපි මහන්සිය නිවාගන්න කතරගම දෙවියන්ගේ ගුණ ඇතුළත් ද්‍රවිඩ ගීත මේ ගායනා කරන්නේ. රාත‍්‍රිය නවාතැන් ගන්න හැම තැනකදීම අපි උයලා පිහලා ඉවරවෙලා රාත‍්‍රී කෑම කන්න පෙර මෙහෙම ගීත තුන හතරක් ගායනා කරනවා. ඒ කරන්නේ එකක් මහන්සිය නිවා ගන්න. අනෙක දෙවියන්ට කරන පූජාවක් විදියට. ඒ වගේම අපි මෙහෙම සින්දු කියන කොට සතා සිවුපාවා එන්නේ නෑ. මොක ද අපි ඉන්නේ මේ මහ කැලෑවේ වතුර ඩිංගක් තියන පොකුණක් ළඟනේ. මුලින් ම මෙතනට එන සත්තු ආවේ නැති වුණාම අනික් සත්තුත් එන්නේ නෑ. අපිට ලොකු ආරක්‍ෂාවක් ඉන් ලැබෙනවා.’ ඇයි මේ සින්දු කියා විනෝද වෙන්නේ යැයි ඇසූ පැනයට නඩයේ සිටි සිංහල යන්තම් දන්නා වැඩිහිටියන් පැහැදිලි කර දුන්නේ අප තුළ තිබූ සැකය නැති කරමිනි.  


‘ඉස්සර අපි ගෙවල් වලින් මේ ගමන එන්න පිටත් වුණාම ගෙවල්වල අය ගැන හොයා බලන්න ක‍්‍රමයක් තිබුණේ නෑ. ඒ අයටත් අපි ගැන හොයා බලන්න ක‍්‍රමයක් තිබු​ෙණ නෑ. හැමෝටම විශ්වාසයක් තිබුණා නිරුපද්‍රිතව අපිට මේ ගමන ගිහිං එන්න පුළුවන් කියලා. නමුත් අද ජංගම දුරකතන අපේ ගමනට බාධාවක්. අපේ සමහර තරුණ කොටස් ජංගම දුරකතන අරගෙන එන්නේ. හැබැයි ඉතින් ඕකන්දෙ ඉඳලා වරහනට එනකම් ඒවායෙන් කතා කරන්න සිග්නල් නැති නිසා ඒක විශාල ඉස්පාසුවක්. දවස් තුන හතරක් කිසිම පිටස්තර තොරතුරක් නැතුව ඉන්න පුලූවන්. අතර මග තැනක දෙකක සිග්නල් තියන තැන් අහුවෙනවා. ඒ වෙලාවට අපේ තරුණ කොටස් මේ උතුම් වන්දනා ගමන අමතක කරලා ෆෝන් කනේ ගහගෙන වැව් පිටියේ එහාට යනවා මෙහාට යනවා. ‘පාද යාත‍්‍රාවෙන්’ උගන්වන ‘අතහැරීමේ’ පාඩම ඒ අය ඉගෙන ගන්නේ නෑ. තව කාලයක් ගියාම මේ පහසුකම් මහ කැලේටත් ලැබුණොත් ‘පාද යාත‍්‍රාවේ’ උරුමය, සංස්කෘතිය සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි කියන කනගාටුවක් අපිට තියනවා.’ දැනඋගත්, හින්දු සංසකෘතිය එලෙසම මතු පරපුරේ දැන ගැනීමට සඳහා තිබිය යුතු යැයි අපේක්‍ෂාකරන වැඩිහිටියන්ගේ අදහසයි.  


මෙම ‘පාද යාත‍්‍රා’ වන්දනාව සැබැවින්ම හින්දු ආගමේ ඉතා වටිනා සංස්කෘතික අංගයකි. එය එලෙසම අනාගත පරපුර වෙත ගෙන යන්නට ඇති බාධා ඉවත්විය යුතු බව වැඩිහිටි හින්දු බැතිමතුන්ගේ ඒකායන අදහසයි.  


මෙම ලිපිය සැකසීමෙ දී ‘පාද යාත‍්‍රාවේ’ වන්දනා ගමනට එක්වීමට අපට අවස්ථාව සලසා දුන් අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ, අම්පාර දිසාවන නිලධාරී ඒ.ආර්.එන්. මුණසිංහ සහ අතිරේක දිසා වන නිලධාරී රොෂාන් ද අල්විස් මහතා ඇතුළු ගමනට එක්වූ සියලූ දෙනාට විශේෂ ස්තුතිය හිමිවේ.

 

චාරිකා සටහන - 
අජිත්ලාල් ශාන්තඋදය සහ 
දාපනේ ජයන්ත නානායක්කාර