IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


එල්ලුම් ගහට යන්න බලා සිටින මිනිසෙක්

 

 

“මම පෙර ආත්මෙක කරපු පවක් මේක. මට එල්ලුම්ගහ ලැබුණු එක හොඳයි. එළියේ හිටිය නම් මිනිස්සු කවුද කියලා මට කිසි දවසක අඳුන ගන්න බැරිවෙයි. ආගම දහම කියන්නේ මොකක් ද කියලා දැන ගන්න බැරිවෙයි. තවත් ආත්මෙක හරි මට හොඳින් ඉන්න පුළුවන්. කිසිම මනුෂ්‍යයකුට මේ වගේ ඉරණමක් අත් නොවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.”


සිරගතව දිවි ගෙවන ඇත්තන්ගේ ජීවිත පසුතැවිල්ල විශේෂාංගය තුළින් අද මා ඔබ වෙත ගෙන එන්නේ වෙනස්ම වූ කතාන්දරයකි. එනම් මරණය එන තුරු නොඑසේනම් එල්ලුම්ගහ දකින තුරු ජීවිතය ජීවත් කරවන ඇත්තකුගේ අතීතාවර්ජනයකි.   


ඔහු, මම හේමසිරි ලෙසින් හඳුන්වමි. තවමත් හතළිස් පස්වැනි වියේ පසුවන ඔහු ඇඹිලිපිටිය ප්‍ර​ේදශයේ දැව කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාරිකයකු ලෙස ජීවත් වූවෙකි.   
“මම කසාද බැන්දේ 2000 දි. ගමේ යමක් කමක් තියෙන පවුලක කෙනෙක් මම. ලී බිස්නස්වලින් හොඳ ආදායමක් මට ලැබුණා. ඒ සල්ලිවලින් මම අක්කර තුනක ඉඩමක් අරගෙන එ්කේ තේ, කුරුඳු, පොල් වගාව පටන් ගත්තා. මම ඒ ඉඩම අර ගත්තට අපේ ලොකු තාත්තගේ දුව බැඳපු කමල් පුදුම තරහකින් හිටියේ. කමල් කියන්නේ මගේ මස්සිනා. එයා විතරක් නෙවෙයි ගමේ ගොඩක් අය මම ඒ ඉඩම ගත්තට මා එක්ක අමනාප වුණා.”   


හේමසිරි මෙම ඉඩම මිලදී ගෙන තිබුණේ ආරියදාස මාමා නමින් හැඳින්වූ එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයකුගෙනි. ආරියදාස මෙම ඉඩම හේමසිරිට විකුණා දමන්නට ප්‍රධානතම හේතුකාරකය වූයේ ඔහුගේ එකම දියණිය ගමේ තරුණයකු සමග පැවැත්වූ ප්‍රේම සබඳතාවයි.   


“ආරියදාස මාමාගේ දුව ගමේ හිටිය පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. ඒ සම්බන්ධෙට ආරි මාමා හිටියේ පුදුම තරහකින්. දුවව බේර ගන්න කියලා ආරි මාමා ඉඩම මට විකුණලා ගමෙන් ඈත පළාතකට පදිංචියට ගියා. ඒත් ඒ සම්බන්ධය නැවතුණේ නෑ. ඒ ගෑනු ළමයා, පිරිමි ළමයාව හොයාගෙන හොරෙන් හොරෙන් ගමට ආවා. එයා තමයි චන්ද්‍රසිරි කියන්නේ. කොහොම හරි මම ආරි මාමාගේ ඉඩම සල්ලිවලට ගත්තට චන්ද්‍රසිරි හිටියෙත් මා එක්ක තරහෙන්.”


එක්තරා දවසක චන්ද්‍රසිරිගේ පෙම්වතිය වස පානය කිරීමෙන් මිය ගොස් ඇති බවට ගම පුරා ආරංචියක් පැතිර යන්නට විය.   


ආරි මාමාගේ දියණියත් අතර තිබූ පලහිලව්වේ අලුත්ම තොරතුරු ආරි මාමාගේ කනට යැවීමට ගමේ කවුරුන් හෝ උත්සාහ දරා ඇති බවට චන්ද්‍රසිරිට ඔත්තුවක් දෙන්නේ කමල්ය.   
“චන්දරේ අපේ මස්සිනා. හේමසිරියා තමයි ආරි මාමාට ඔත්තුව දීලා තියෙන්නේ. ඔය යකා ඔය වගේ කේලම් ඇදබාලා තමයි ආරි මාමා ගොනාට අන්දගෙන ඔය ඉඩම කුණු කොල්ලෙට ගත්තේ.”


තම ආදරණීය පෙම්වතියගේ වියෝව දරා ගත නොහැකි වූ චන්ද්‍රසිරිට කමල්ගේ ආරංචිය සුභාරංචියක්ම විය.   
“මං ඕකව මරනවා.”


චන්ද්‍රසිරි කෑ ගැසුවේය. තම මස්සිනා වූ කමල්, තමාත් චන්ද්‍රසිරිත් අතර අලුත්ම ආරවුලක් නිර්මාණය කළ බව හේමසිරි දැන සිටියේ නැත.   
කාලය ටිකෙන් ටික ගෙවී ගියේ හේමසිරි දරුවන් සිව්දෙනකුගේ පියකු බවට පත් කරමිනි. කාලය කෙසේ ඉගිල ගියත් කමල්ගේ මෙන්ම චන්ද්‍රසිරිගේත් හිත්වල හේමසිරි පිළිබඳ තිබුණේ වෛරී සිතුවිලි පමණකි.   


“දවසක් මට ආරංචි වුණා චන්ද්‍රසිරිට කවුද වෙඩි තියලා ඔළුව හන්දියේ දාලා ගිහිල්ලා කියලා. එතකොට වේලාව උදේ 11ට විතර ඇති. මමත් ගිහිල්ලා බැලුවා.”
ඒ 2002 වසරේ ජුනි මස 13 වැනිදා දිනයයි. චන්ද්‍රසිරි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය පොලිසිය සැක පිට කමල් මෙන්ම ඔහුගේ ඥාති පුත්‍රයාත් මිත්‍රයකුත් අත්අඩංගුවට ගනු ලබයි. පොලිසිය සිද්ධියට අදාළව පරීක්ෂණ මෙහෙයවන අවස්ථාවේදී මරණකරුගේ හිස ඇඹිලිපිටිය මංසන්ධියට ගෙනැවිත් දැම්මේ හේමසිරි ලෙසට සාක්ෂි මගින් අනාවරණය කරගත්තේය.   


“මම මාස 13ක් රිමාන්ඩ් එකේ හිටියා. මගෙත් එක්ක තරහට මස්සිනා මාව මේකට අහු කළා. ඒ අය හිතුවේ මම හිරේට ආවාම මගේ ඉඩම් අල්ල ගන්න. ඇත්තටම මගේ දරුවොත් දාලා මගේ බිරිඳට ගෙදරින් යන විදිහට ඒ සහෝදරයෝ ටික වැඩ කළා. මේ සිද්ධියට අපි හතරදෙනෙක් වරදකරුවන් වුණා. මුලින්ම මාව සැක නැහැ කියලා උසාවියෙන් නිදහස් කළා. ඊට පස්සේ ආයෙත් මාව සැකයි කියලා පොලිසිය අත්අඩංගුවට ගත්තා. මම විත්තිකූඩුවට නැගලා කිව්වා මම නිවැරදියි කියලා. ඒත් මා එක්ක තරහ එක සාක්ෂිකාරයෙක් කිව්වා මම ඔළුව ගෙනල්ලා දානවා එයා දැක්කා කියලා. මගේ මස්සිනා මා එක්ක තාමත් තරහයි. මුලින්ම මම මෙහාට ආපු දවසෙම මගේ ඔළුව පැලිලා ලේ යන තරමටම ගලක් අරගෙන මට ගැහුවා එයා.”


ඔහු කියන්නේ සියයට සියයක්ම සත්‍ය යැයි මට නොසිතේ. එසේ සිතන්නැයි මම ඔබට ද නොකියමි. අධිකරණයකින් වරදකරු වූ පුද්ගලයකු සම්බන්ධයෙන් කතා කිරීමේදී අධිකරණය තීන්දු තීරණ ලබා දී ඇත්තේ ඉදිරිපත් වූ සාක්ෂි මත අනාවරණය වූ කරුණු මෙන්ම වෛද්‍ය වාර්තා ආදිය පදනම් කරගනිමිනි. එබැවින් අධිකරණය ලබා දුන් තීන්දු පිළිබඳ කිසිත් නොකියමි.   


“මම මෙහාට ඇවිල්ලා අවුරුදු 10ක් වෙනවා. ඇත්තම කියනවා නම් මම ඉන්නේ ඉක්මනින් මාව එල්ලා මරණවා නම් හොඳයි කියන මතයේ. ඒ තරම් මේ හිරගෙය කටුකයි.”
ඔයා පසුතැවිලි වෙනව ද මේ වෙච්චි දේට?   


“ඔව්. මම පසුතැවෙනවා. මම එදා බුද්ධිමත්ව කටයුතු කළේ නෑ. නමුත් අද මම එල්ලුම්ගහ ලබා දුන්න එක ගැන සතුටු වෙනවා. ඒ මේ ලෝකේ මිනිස්සු කවුද කියලා තේරුම් ගන්න පුළුවන් වීම ගැන.”


අද වනවිට ඔහු මරණීය දණ්ඩනය නියමව වැලිකඩ මහඋළුගෙදර ජීවත් වෙන්නේ අද හෝ හෙට තමා එල්ලා මරා දමනවා යන සිතුවිල්ල ද සහිතවය.   


“වේදනාවක් හිතේ නොමැති නමුත් ජීවත් වීමට ආශාවක් නැත්තේම නොවේ” යැයි ඔහු කියයි. මරණයට නියමව සිටිය ද මරණය සම්බන්ධයෙන් බොහෝ ඉහළින් කතා කරන ඔහු තවත් ආත්මයක හෝ මෙවන් දඬුවමක් නොලබන්නට පින් පුරයි. සිතුවිල්ල සියල්ල තීරණය කරන්නාක් මෙන් හේමසිරි තුළ ද ජනිත වූ සිතුවිලි අද ඔහුගේ ජීවිතය තීරණය කර තිබේ.  


“මං පින් පුරනවා ලබන ආත්මේ මෙහෙම නොවන්න” ඔහු අන්තිමේදී කීවේය.   

 


විශේෂ ස්තුතිය 

 
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්‍ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක, පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ යන මහත්වරුන්ට  


 (මෙහි එන නම් ගම් මනඃකල්පිතය)   

 

 

නිමන්ති රණසිංහ



අදහස් (0)

එල්ලුම් ගහට යන්න බලා සිටින මිනිසෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site