සිංහල, හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර විධි වර්තමානයේදී පාරිහානියට පත්ව ඇති බවට චෝදනා නැගෙයි. ඒවායෙහි ඇති හරයාත්මක වටිනාකම් යටපත්වී විවිධ වාණිජ්‍ය අරමුණු පෙරදැරිකරගත් අංගෝපාංග එකතු වී ඇති බවට ද දෙස් දෙවොල් මතු වෙයි. සිංහල, හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර විධි ආශ්‍රිතව පැන නැගී ඇති මේ ප්‍රවණතාවන් ගැන මාහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විද්වත් හමුවක් ඔස්සේ මෙසේ සිය අදහස් ඉරිදා ලංකාදීපයට පළ කර සිටියේය.


ප්‍රශ්නය- සිහංල, හින්දු අලුත් අවුරුදු උදාව කියන දෙයින් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද?
පිළිතුර-
සමහරු කතා කරන විද්‍යාත්මක දේවල්වලටත් පදනමක් නැතුව නෙවෙයි. මම කියන්නේ ඒ පදනම හොයන එකට වඩා අපි අවධානය යොමු කළ යුත්තේ මේ අලුත් අවුරුද්දේදී අපි කරන දේවල් ගැන, මව්පියන්, සහෝදර, සහෝදරියෝ බැහැදකින්න ගිහින් ඒ අයට ආචාර සමාචාර පැවැත්වීම, අපේ අඩුපාඩුකම් තිබුණා නම් ඒවා නැතිකර ගැනීම, කාත් එක්ක හරි තරහ මරහ තිබුණා නම් ඒවා නැති කර ගැනීම වගේ දේවල් තමයි අපි අලුත් අවුරුදු උදාවත් එක්ක කරන්නේ. හොඳට හොයලා බලනකොට අවබෝධ වෙන කාරණයක් තමයි මේවා මිනිස්සුන්ගේ අත්දැකීම් පාදක කරගත්ත ඒවා කියන එක. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය පදනම් කරගෙනයි මේවා එන්නේ. ජ්‍යොතිෂය කියන්නේ මුළු ආසියාකරේටම පොදු සංකල්පයක්. මේෂ, වෘෂභ, කටක ආදී නම්වලින් අපි ලග්න දොළහක් කියනවනෙ. මේෂ යොන් ආදී වශයෙන් තායිලන්තයේ මිනිස්සුත් ලග්න දොළහක් ගැන කියනවා. අපි ඉන්න පෘථිවියට සාපේක්ෂ අවකාශය වෘත්තයක්නේ. ඒ වෘත්තය අංශක තිහ බැගින් සමාන කොටස් දොළහකට බෙදලා තියෙනවා. ඒ කොටස් දොළහ තමයි අපි පාවිච්චි කරන ලග්න දොළහෙ නම් දාලා තියෙන්නේ. සූර්යයාගේ ශක්තිය මෙතනදි අපිට බැහැර කරන්න බෑ. මේවා භ්‍රමණය වෙන්නේ සූර්යයා කේන්ද්‍ර කරගෙන. කෙනෙක් උපදිනකොට අපි බලන්නේ සූර්යයා නැග එන නැගෙනහිර පැත්තට තිබුණෙ මේ දොළහෙන් මොන කොටස ද කියලා. ඒ පැත්තට වෘෂභ කොටස තිබුණා නම් ඒ උපන් කෙනාගේ ලග්නය වෘෂභ. මීන කියන අංශක තිහේ කොටස නැගෙනහිර පැත්තට යොමු වෙලා තිබුණා නම් එයාගේ ලග්නය වෙන්නේ මීන. 


මේ කොටස් දොළහ ඉර වටේ ගමන් කරන්න දවස් 365ක් යනවා. අවසාන කොටස හැටියට සැලකෙන්නේ මීන. ඒක ඉවර වුණහම මේෂ කියන කොටසට යනවා. ඔය ගමන් කිරීම තමයි අපි අවුරුද්ද හැටියට සලකන්නේ. ‘සංක්‍රාන්ති’ කියන්නෙත් මීන කොටස මේෂ කොටසට ගමන් කරන එකට. එම කොටස් දොළහෙ මධ්‍යස්ථානය හැටියට අපි සලකන්නේ මීන, මේෂ කියන කොටස් දෙක. එතන ඉඳලා අපි අලුත් අවුරුද්දක් උදා වුණා කියලා කියනවා. 


එතනට අපි ‘නොනගතය’ කියලා වෙලාවක් දාගන්නවා. ඒකේ තේරුම ‘නැකැත් නෑ’ කියන එක. ඒ වෙලාවේ ඔක්කොම වැඩ අපි නවත්වන්න ඕනෑ. ඒකෙන් අදහස් වෙන්නේ අවුරුද්දකට වතාවක්වත් අපි කරන වැඩ නවත්වලා ටික වෙලාවක් නිකන් ඉඳලා ආපහු අලුතෙන් වැඩ පටන්ගන්න ඕනෑ කියන එක. 


අලුත් ජීවිතයක් පටන් ගන්න එක තමයි ඒකෙන් සංකේතවත් වෙන්නේ. එහෙම බැලුවහම අපි මේ ගතකරන්නේ වාසනාවන්ත අවස්ථාවක්. ඒත් අද මේ අවස්ථාව හුඟක් අය විහිළුවක් කරගෙන. කන්අඩි පැලෙන්න රතිඤ්ඤා පත්තු කරන එකයි, රා අරක්කු බොන එකයි, සූදු කෙළින එක තමයි වැඩිපුර කරන්නේ.

 


ප්‍රශ්නය- ඔබ හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නේ?
පිළිතුර-
අද වෙලා තියෙන්නේ අවුරුද්ද කියන එක විනාශකාරී අවස්ථාවක් බවට පත්වෙලා තියෙන එක. මෙහෙම හිතනකොට අවුරුද්දට වැඩ නවත්වලා ආපහු වැඩ පටන් ගන්නේ ඉතාම හොඳ නැකතක් බලලයි. නැකැත් විසිහතක් තියෙනවා. අපි අර කිව්ව ලග්න කොටස් දොළහ ඇතුළත් අංශක තුන්සිය හැටේ වෘත්තාකාර අවකාශය තව විසිහත් කොටසකට බෙදලා තියෙනවා. ඒ කොටස් විසි හතට තමයි අපි නැකැත් කියලා කියන්නේ. ඒ නැකැත් විසිහත එක එක දේවල්වලට සුබයි කියලා සැලකෙනවා. ‘අශ්විද’ කියන නැකැත ගත්තොත් ඒක ගමන් යන්න සුබයි කියලා සැලකෙනවා. ඒ වගේ අපි අවුරුද්දට වැඩ පටන් ගන්න හොඳ නැකැතක් බලනවා. එතකන් ආගමික වැඩ කරනවා. මේ දේවල්වලින් කරන්නේ මිනිසාව අලුත් ජීවිතයකට සූදානම් කරවන එක. 


ඔතැනදි වැදගත් වෙන්නේ නැකත විතරක් නෙවෙයි. පැරණි ජනතාව කාලය කොටස් පහකට බෙදුවා. දිනය, නැකැත, තිථිය, යෝගය, කර්ණය කියන පංචාගය කියන්නේ ඒකට තමයි. හොඳ වෙලාවක් නම් මේ පහම හොඳ වෙන්න ඕනෑ. එහෙම වෙලාවක් අල්ලගන්න හරි අමාරුයි. හද හදා බලන්න ඕනෑ. දිනය හොඳ එකක් වුණහම ආයුෂ වැඩියි. හොඳ පැවැත්මකුත් තියෙනවා. හොඳ නැකැතක් යොදා ගත්තහම පව් දුරු වෙනවා. හොඳ තිථියක් ආවහම සිරියාව, සෞභාග්‍යය ඇති වෙනවා. හොඳ යෝගයක් අල්ලගත්තම රෝග නිවාරණය වෙනවා. හොඳ කරණයක් අල්ලගත්තම කාර්යය සිද්ධ වෙනවා. 


මේ අරමුණු පහ ඉටුකරන්න තමයි අපි කාලයේ ඔය කියන කොටස් පහ අල්ලලා හොඳ නැකැතක් හදන්නේ. මෙහෙම නැකැත් අල්ලලා වැඩ කරන එක ඉතාම හොඳ දෙයක්. මොකද මේ හැමදෙයක්ම මිනිසුන්ගෙ අත්දැකීම් පදනම් කරගත්තු ඒවා. මිනිස්සු විවිධත්වයට කැමැතියි. ඒකාකාරීව වැඩ කරන්න, ජීවත් වෙන්න කවුරුත් කැමැති නෑ. ඒ විවිධත්වයට මේ අලුත් අවුරුදු උදාව ඉතා වැදගත්. සිංහල හින්දු අපි අවුරුදු තිහක් යුද්ධ කළා. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ මේ ජාති දෙක එකතු කරන්න පුළුවන් තැනක්නේ. නමුත් අවුරුදු උත්සවය, වෙසක් උත්සවය වගේ දේවල් දැන් විකෘති කරගෙන තියෙන්නේ. මේ උත්සවවල තිබුණේ සමාජ සාරධර්ම වඩවන සමාජ සාමය ඇතිකරවන වැඩපිළිවෙළවල්.

 


ප්‍රශ්නය- මේ අලුත් අවුරුදු උත්සව, චාරිත්‍ර-වාරිත්‍ර වැරදි විදියට ව්‍යවහාර වෙනවා නම් ඒවා නිවැරදි මගට ගෙන ඒමට තිබෙන ආයතනික වගකීම කුමක්ද?
පිළිතුර-
එහෙම ආයතන තිබුණට ඒවයෙ ඉන්නේ මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන දන්න අය නෙවෙයිනේ. අරක්කු ටිකක් බීලා, කැට ගහලා අලුත් අවුරුද්ද සමරන එක තමයි හරි කියලා ඒ අය හිතන්නෙත්. මේ දේවල් ගැන ඉස්කෝලවලවත් උගන්නන්නේ නෑනේ. එක රතිඤ්ඤා කරලක්වත් පත්තු කරන්න හොඳ නෑ. මොකද සත්තුන්ට හිංසා කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න බෑ. අපේ ගෙදර අවුරුද්දට රතිඤ්ඤා පත්තු නොකරන නිසා අවුරුදු කාලෙට අහළ පහළ ගෙවල්වල ඉන්න සත්තු අපේ වත්තට එනවා. අනික බලන්න අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරලා අපි කොච්චර මුදලක් නාස්ති කරනවද කියලා. රටේ කන්න නැතුව කීදාහක් දෙනා ඉන්නවා ද. රතිඤ්ඤාවලට වියදම් කරන ඒ සල්ලිවලින් කාටහරි කෑම වේලක් දෙන්න පුළුවන්නේ. පුණ්‍ය කාලෙට මේ වගේ දේවල්නෙ කරන්න ඕනෑ.


මිනිස්සුන්ට ආචාරධර්ම අවශ්‍යයි. විද්‍යාවට ආචාරධර්ම නෑ. ඕසෝන් ස්ථරය විනාශ වෙමින් තියෙනවා. විවිධ ලෙඩ රෝග පැතිර යනවා. නමුත් මේ කිසිවක් ගණන් ගන්නේ නෑනේ.

 


ප්‍රශ්නය- මේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමඟ බෞද්ධ වෙහෙර විහාරස්ථාන බැඳී ඇති බවක් දකින්න ලැබෙනවා. මේවා වැරැදි විදියට සමාජගත වෙමින් තියෙනවා නම් වෙහෙර විහාරස්ථානවලින් ඒවා නිවැරදිව සමාජගත කිරීමට අදාළව සිදුවිය යුතු මැදිහත්වීම ඔබ හඳුනගන්නේ කෙසේ ද?
පිළිතුර-
බෞද්ධ කටයුතුවලින් අද මිනිස්සුන්ට ආස්වාදය ලබාදෙන එකනෙ හුඟක් වෙලාවට කෙරෙන්නෙ. ටී.වී. එකේ බණ කියන්නේ කීර්තියට. පිරිතුත් එහෙමයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධර්මයත් එක්ක වෙළෙඳාම් කරන්න එපා කියලා. අනාගතයේ මහා ලස්සන වචන කියන කවිකාරයෝ පහළ වෙනවා. ඒගොල්ලෝ ඉතා ඉක්මනට බුදුදහම විනාශ කරනවා කියලත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒවා දැන් පහළ වෙලා තියෙනවා. ආස්වාදය තමයි මේ හැමදේකින්ම හොයන්නේ. එහෙම නැතුව ධර්මානුකූලව මේ දේවල් තේරුම් අරගෙන ආචාර සම්පන්න වීමට නෙවෙයි උත්සාහ කරන්නේ. 


ආස්වාදය හොයන එක නරකයි කියනවා නෙවෙයි. නමුත් ඒවායෙන් මිනිස්සු හැදෙන්නේ නෑ. අවුරුද්දට ආගමික ස්ථානවලට ගිහින් ආශිර්වාද ගන්න එකට වඩා දැන් මිනිස්සු හුඟක් කරන්නේ රෙදි ගන්න එක වගේ දේවල්. විවාහයක් ගත්තත් දැන් මුල් තැන ලැබෙන්නේ නැකැත් චාරිත්‍රවලට නෙවෙයි. පොටෝ ගන්න එකට. මේ විදියට මේ චාරිත්‍ර වාරිත්‍ර හැම එකක්ම විකෘති වෙලා තියෙන්නේ. ජනමාධ්‍යවල වගේම ජනමාධ්‍යවලට අදහස් දෙන අයගෙත් වගකීම විය යුත්තේ යුගයෙන් යුගය යටපත් වෙන මේ චාරිත්‍ර ගැන පෙන්වලා දෙන එක. එහෙම කළොත් මේ වගේ යම් අර්ථයක් තියෙනවා කියලා අපේ නූතන පරම්පරාව හිතයි. 


විවිධ සංකල්ප තියෙනවා. උදාහරණයක් කියන්නම්. කිසාගෝතමිය මළ දරුවත් එක්ක බුදුහාමුදුරුවෝ ළඟට ආවම උන්වහන්සේ කළේ කිසි කෙනෙක් මැරුණෙ නැති නිවසක් තියෙනවා නම් ඒ ගෙදරින් අබ ටිකක් ගේන්න, ළමයට පණ දෙන්නම් කියපු එක. ඒ කාලේ සමාජයේ මතයක් තියෙන්න ඇති අබ මතුරලා මැරිච්ච අයට පණ දෙන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ ඒ මතය උපයෝගී කරගෙන තමයි කිව්වේ ගිහින් අබ ටිකක් හොයාගෙන එන්න කියලා. උන්වහන්සේට අවශ්‍ය නම් තිබුණා අබ මතුරලා පණ දෙන්න පුළුවන් කියන මතයෙ කිසි විද්‍යාත්මක බවක් නෑ කියලා ඔප්පු කරලා කිසාගෝතමියට කෙලින්ම බණ දේශනා කරන්න. නමුත් උන්වහන්සේ එහෙම නොකර සමාජ මතය උපයෝගී කරගෙනම කිසාගෝතමියට යථාර්ථය පසක්කර දුන්නා.


මේ නිසා හැම දෙයකම විද්‍යාත්මක පදනම යොහනවා කියන එක මේනියාවක්. මේ විද්‍යාත්මක පදනම තුළ වෙලා තියෙන දෙයක් තමයි මිනිස්සුන්ගේ මනුස්සකම් නැතිවෙලා තියෙන එක. ඒ නිසානෙ සමහර දොස්තරවරු ලෙඞ්ඩුන්ව ඇපේට තියලා ස්ට්‍රයික් පවා කරන්නේ. බුද්ධිය වගේම මිනිස්සුන්ට හදවතක් කියලා දෙයකුත් තියෙනවා. ඔය විද්‍යාත්මක බව කියන එක බුද්ධියට අදාළයි. ඒකෙ ගණන් කිරීම් තියෙනවා. නමුත් හදවත කියන එකේ ගණන් කිරීම් නෑ. හදවතට විද්‍යාත්මක බවක් අදාළ වෙන්නේ නෑ. 

 


ප්‍රශ්නය- මේ චාරිත්‍ර විධි ගැන කතා කරද්දි ජ්‍යොතිෂය ගැනත් ප්‍රබල ලෙස සාකච්ඡා වෙනවා. නමුත් අද වෙනකොට ජ්‍යොතිෂය සල්ලි කරන කලාවක් බවට පත්ව ඇති බවටත් විවේචනයක් තියෙනවා. මේ පසුබිමේ අලුත් අවුරුදු නැකැත් ආදිය පිළිබඳ මිනිස්සුන්ට සැක පහළ විය නොහැකි ද?
පිළිතුර-
ජ්‍යොතිෂය කියන්නේ තාරකා විද්‍යාව නෙවෙයි. ඒක මිනිස්සු පරිසරය අවබෝධ කරගත්ත හැටි. මම එක උදාහරණයක් කියන්නම්. අවුරුද්දෙ ජනවාරි ඉඳලා ජුනි මාසෙ දක්වා කාලෙට කියනවා ‘උත්තරායතනය’ කියලා. ඒ කාලේ සූර්යයා පොළොවට සමීපව තියෙන කාලේ. මේක තමයි ජ්‍යොතිෂය සිද්ධාන්තෙ. මේ කාලේ හරි ඌෂ්ණයි. උෂ්ණත්වය වැඩි නිසා අපේ ඇඟේ තියෙන ශක්තිය ඇදලා ගන්නවා. මේ කාලේ ලෙඩ රෝග බහුල වෙනවා. ජ්‍යොතිෂයට අනුව ජූලි ඉඳලා දෙසැම්බර් දක්වා කාලය හැඳින්වෙන්නේ ‘දක්ෂිණායන’ කියලා. ඒ කාලේ සූර්යයා පෘථිවියෙන් ඈත් වෙනවා. උෂ්ණත්වය අඩු වෙලා ශරීර සීත වෙනවා. මිනිස්සුන්ට හොඳට කන්න පුළුවන් නිසා ශක්තියත් වැඩියි.


රෝහල්වල වැඩිම රෝගීන් ගණනක් ඉන්නේ ජනවාරි ඉඳලා ජුනි දක්වා කාලෙදි. ඒ කියන්නේ උත්තරායන කාලේ. රෝගීන් අඩු ගණනක් රෝහල්වලට එන්නේ ජුලි-දෙසැම්බර් කාලේ. අපි මේවා කියන්නෙ රෝහල්වලින් ලබාගත්ත වාර්තා අනුව.
අපේ ක්‍රිකට් කණ්ඩායම වැඩිපුර තරග ජයග්‍රහණය කරන්නෙත් මේ කාලේ. මේවා මිනිස්සු දන්නවා. සාස්තරකාරයෝ කීපදෙනෙක් එකතු වෙලා සල්ලි හොයන්න මේක යොදාගෙන තියෙන නිසා මේ ශාස්ත්‍රය පිරිහිලා තියෙන්නේ. කෘෂිකර්මය, වාස්තු විද්‍යාව, දේශගුණික වෙනස්කම් වගේ දේවල් බලන්නයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තිබුණේ. නමුත් දැන් මේක අනාවැකි සාස්තර කියන්නයි දේශපාලන වාසි වෙනුවෙනුයි යොදාගෙන තියෙන්නේ. මේ අය මේක විනාශ කරලා තියෙන්නේ. ජ්‍යොතිෂය කියලා කියන්නේ කාල කළමනාකරණය.

 


ප්‍රශ්නය- අලුත් අවුරුදු නැකැත් වැරැදි ආකාරයට පිළියෙල කර ඇති බවටත් විවේචන නැගෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
පිළිතුර-
එක එක සිද්ධාන්ත තියෙනවනේ. ජ්‍යෝතිෂයෙත් එහෙමයි. අපි සාමාන්‍යයෙන් නැකැත් හදන්නේ පංචාංග සම්ප්‍රදාය අනුව. සමහර අය එක එක සිද්ධාන්ත ඉගෙන ගෙන ඇවිත් ඒවා අනුව නැකැත් හදන්න ගියහම තමයි ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. මෙතනදී කළ යුත්තේ හැමෝම සමාදාන වෙලා මේ දේවල් ගැන තීන්දු තීරණ ගන්න එකයි. මෙහෙම මතභේද විද්‍යාව සම්බන්ධයෙනුත් තියෙනවනේ. ජ්‍යොතිෂයෙදීත් එහෙමයි.

සාකච්ඡා කළේ : උපුල් වික්‍රමසිංහ