(නිමන්ති රණසිංහ)

ලංකා සතොස ආයතනයට අයත් සුදුලුනු  කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවකු ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මට්ටක්කුලිය පදිංචි කමල් කුමාර නමැත්තෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ  සාපරාධී විශ්වාසය කඩ කිරීම, දූෂණයට ආධාර අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙන් ඊයේ (28) ය.

රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුලුනු  කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා මහතා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 26 වැනිදා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයකු වන වේලායුදම් ශ්‍රීධරන් නැමැත්තා ද ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කර ඇත.