(විනීතා එම් ගමගේ)

ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති කාර්ය මණ්ඩලයේ  සාමාජිකයන්ට අඩ වැටුප් ගෙවා නිවාඩු ලබා දීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත.

ඒ අනුව වැටුප් බාගයක් සහිතව නිවාඩු ලබා නිවසේ සිටීමට හෝ සාමාන්‍ය පරිදි සේවයේ යෙදීමට කැමැත්ත සඳහන් කර අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා කාර්යංශයේ සාමාන්‍යධිකාරිවරයා විසින් අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවක් මේ වනවිට සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත යවා ඇති අතර තම කැමැත්ත මේ මස 15 වැනිදා පස්වරු 1 ට පෙර පරිපාලන හා මානව සම්පත් අංශය වෙත  ඉදිරිපත් කරන්නැයි ද ඉල්ලා තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සිට දෙසැම්බර් 31 දා තෙක් මෙසේ අඩ වැටුප සහිත නිවාඩුව ලබා දෙන බව කාර්ය මණ්ඩල වෙත යවා ඇති උපදෙස් පත්‍රිකාවේ දන්වා ඇති අතර කාල සීමාව තුළ අඩ වැටුපට සාපේක්ෂව පමණක් සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ලබා දෙන බව ද සඳහන් වේ.

එමෙන්ම කාර්යංශයෙන් ලබාගෙන ඇති ණය මුදල්වල වාරික අඩ වශයෙන් අය කර ගැනීම සිදුකරන බවත් අඩ වැටුප් ලබා නිවාඩු ලබා සිටීම හේතුවෙන් සේවා කාලය ඛණ්ඩනය නොවන අතර වෘත්තීය ජීවිතයේ උසස් වීම් හා වෙනත් ප්‍රතිලාභවලට බාධාවක් නොවන්නේ යැයි ද එහි සඳහන් වේ.

ස්ථිර සේවයේ යෙදෙන නිලධාරින්ට මෙම නිවාඩුව සඳහා ඉල්ලුම් කළ හැකි අතර කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදෙන කාර්ය මණ්ඩල සඳහා අදාළ නොවනු ඇත. එමෙන්ම ප්‍රසූත නිවාඩු, ප්‍රසූත අඩවැටුප් නිවාඩු හෝ වෙනත් අනුමත වැටුප් සහිත නිවාඩු ලබා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ද මෙම වැඩපිළිවෙළ අදාළ නොවනු ඇත.

 

මේ අතර කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් තාවකාලිකව වසාදැමීමට ද කටයුතු කරමින් සිටින බවත් පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ කාර්යංශයේ ආදායම අඩුවීම හේතුවෙන් මෙවැනි වැඩ පිළිවෙළ කිහිපයක් යෝජනා වී ඇති අතර තවමත් මේවා යෝජනා මට්ටමේ පවතින බවත් මෙම අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවට අස්සන් තබා ඇති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යධිකාරි ඩබ්ලිව් එම් ඊ වන්සේකර මහතා පැවසීය.

මෙම යෝජනා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත් කර නැති බවත් යෝජනා මට්ටමේ පවතින අතර එහි තත්ත්වය සළකා බලා ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවත් කී සාමාන්‍යධිකාරිවරයා ආයතනයේ අනාගතය වෙනුවෙන් මෙවැනි සමහර තීරණ ගත යුතුව ඇතැයි ද කීය.