( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ  රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාශයට උපදෙස් දී ඇත.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයයේ බලධාරීන්ට උපදෙස් දී ඇත.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. 

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයන් 54,768 පැමිණි බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 13547ක්  මෙරටට පැමිණ ඇති අතර ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයන් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.ඉන්දියාව, එක්සත් රාජධානීය,පාකිස්ථානය,රුසියානු සමූහාණ්ඩුව,  ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනිසියාව  යන රටවල් 10යෙන් මෙම පිරිස පැමිණ තිබේ. 

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් , සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.