(විනීතා එම් ගමගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය.
එම සංස්ථාව විසින් කෝටි 15කට අධික විශාල මුදලක් අතිකාල වශයෙන් ගෙවා ඇති අතර අතිරික්ත සේවකයින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මෙසේ අතිකාල ගෙවා ඇත්තේ සැප්තැම්බර් මාසයේ පමණක් ද නොඑසේ නම් දිගටම මෙවැනි විශාල මුදලක් අතිකාල ලෙස ගෙවමින් සිටින්නේ ද යන්න ගැනත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.
ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු සඳහා ප‍්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම කියාසිටියේය.
එම නිසා මේ සම්බන්ධව සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහාත්, ඉදිරි කටයුතු ක‍්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම සඳහාත් අද දිනය ඇතුළත මෙම වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරීවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
COMMENTS
අලුත් ආණ්ඩුව එක්ක කාටකාටත් සෙල්ලම් බෑ වගේ.
ඔව් ඔව්. පහුපහු වෙනකොට කොහුකොහු නොවුණොත් යහපති...
හත් දෙයියනේ මේ මිනිස්සු අවංකව තම ශ්‍රමය වැයකරලා අතිකාල, මුදල් මෙසේ ගත්තට නම් කිසිඳු වැරැද්දක් නැත. නමුත් එසේ අවංකව තම සේවය කර ලබාගත්තේද යන්න සියලුම මාධ්‍යවල මහජනතාවට දැනගැනුමට පලකරන්නේ නම් කෘතඥ වන්නෙමු. අමතක නොකරන්න. වංචනික ලෙස කිසිවෙකු අහිංසක මහජනතාවගේ මුදල් හොරා කෑවා නම්, "එකා මොකා " වුණත් අනේකවිධ දුක් ගැහැට විඳ/ මහා මාර්ගවල අවසන් හුස්ම හෙලා ඇති බවට අතීතය අපට හොඳින් කියාදී ඇති බවට සඳහන් කිරීමට කැමැත්තෙමු. අපගේ මෙම අදහස් මහජන මුදල් හොරා කෑව හැම කෙනාටම කියවීමට හැකිවේවා... !!!
මෙවැනි දෙයක් වෙනකම්..., මුදල් කලමනාකාරවරයා කුමක්ද කලේ?
කාලයක් ඔතන හිටපු සභාපතියත් එහෙම තමයි. මහ අය හොරුන්, දූෂිතයින් වුණාම අනික් අය කියලා නිකම් ඉඳීවිද?
ගෑවිච්ච තැනක් ඇද්ද එතන මහා දූෂණය ඇත.
අනේ මෙයාව නිදහස් කරලා ගෙදර යද්දී සුදුවෑන් එකක් එවන්නකෝ...
මගේ අක්කත් ඔය සංස්ථාවේම වැඩ කරනවා. හැම සෙනසුරාදා සහ ඉරිදාම වැඩට කියලා යනවා ඕටි කරන්න කියලා.
කෝටි දහස් ගණනින් පාඩු ලබමින් මේක කරගෙන යනවට වඩා තෙල් ගෙන්වීම සහ බෙදීම සඳහා ජාත්‍යන්තර කොම්පැනිවලට කතාකරලා බාරදෙන්න. එතකොට තෙල් හිඟ ඇති වෙන්නෙත් නැහැ. තරඟය නිසා මිල ඕනෑවට වඩා වැඩි වෙන්නෙත් නැහැ. වර්ජනත් නැහැ. දේශපාලන පත්වීම් ඇත්තෙත් නැහැ...
මේක දුම්රිය දෙපාර්තමේන්තුවටද අදාල නැද්ද? කාර්යාල වෙලාවල්වලදී එකම දුම්රියක් වෙලාවට යවාගන්න බැහැ. එන දුම්රිය වුණත් යවන්නේ නැහැ. කොහොමහරි ප්‍රමාද කරනවා. කරුණාකර මේ ගැනත් සොයා බලන්න.
ඔය කාලකන්නි දේශපාලකයෙක් පත් වුණු ගමන් ඕපාදූප කියවමින් නිකම්මු වගේ හිටපු එකාගේ ඇදපෙනෙනවා, වංචා දූෂණ පෙනෙනවා, එ්කත් ටික දවසකට විතරයි, එක දුම්රිය ඇමතිනියක් කොටුව ස්ටේෂන් එකද කොහෙද අතුගෑවා. ඔවුන් ඔය කරන්නේ රඟපෑමක්, ටිකක් හොයලා බැලුවොත් ඔය ඇමතිලා කොච්චර ධනවත්ද කියලා. නිකම් බයිසිකලෙන් ගමන් ගිය අය දැන් ඉන්නේ කොහොමද කියලා..
අා.. ඉතින් මේ සංස්ථාවල කවදත් මෙහෙමනේ.. තෙල් සංස්ථාව, දුම්රිය, විදුලි බල මණ්ඩලේ, මේ ටිකත් අනිවාර්යයෙන්ම හොයලා බැලුවොත් තව ගොඩක් මංකොල්ල කෑම හොයාගන්න පුළුවන්...
අැයි මේ ඇමැතිලා කලින් ඕවා නොකරේ? ගෝඨාභය මහත්තයා අාවම තමයි ඕකුන්ට ඕවා කරන්න මතක් වෙන්නේ... රට කන දේශපාලන හැත්ත නිසා තමයි ඔහොම වුනේ...
මේ බොහොමයක් රජයේ කාර්යාල මාෆියා වගේ.. නීති ඒ ගොල්ලන්ට ඕනෑ විදියට තමයි.