(විමුක්ති එස්. රුද්‍රිගු)

එල් නිනෝ දේශගුණික සංසිද්ධිය හා මැද පෙරදිග අර්බුදය හේතුවෙන් සීනි, ලොකු ලූනු, ආනයනික සහල්, වියළි මිරිස් සහ කඩල ඇතුළු බොහෝ කෘෂිකාර්මික බෝග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරු‍වෝ පවසති.

වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ සීනි සහ ආනයනික සහල්වලට බවත් සීනි නව තොග ඇණවුම් කර ඇත්තේ පැවැති මිලට වඩා කිලෝ ග්‍රෑමයකට රුපියල් 20 ක් වැඩියෙන් බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කරති.

තවමත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ බලපෑම මෙරට වෙළෙඳපොළට දැනී නොමැති බවත් ඉහළ ගිය මිල යටතේ ආනයනය කළ සීනි ඉදිරියේ දී මෙරටට පැමිණෙනු ඇති බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

මෙරට වී ගොවීන් සිය අස්වැන්න විකුණාගැනීමට නොහැකිව මැසිවිලි නැගුවත් ඉන්දියාවේ සහල් මිල ඉහළ ගොස් ඇති බවත් විශේෂයෙන් පොන්නි සහ බාස්මතී සහල් මිල ඉන්දියානු වෙළෙඳපොළේ ඉහළ ගොස් තිබෙන බවත් ආනයනකරුවෝ පවසති.

එසේම ලොකු ලූනු මිල ද ඉන්දියාව සහ පාකිස්තානය තුළ ඉහළ ගොස් තිබෙන බවත් ඉදිරියේ දී මෙරට වෙළෙඳපොළට ද එහි බලපෑම දැනෙනු ඇති බවත් ආනයනකරුවෝ සදහන් කරති.