(නිමල් ජයරත්න)

 සිව් වසරක් තිස්සේ තම පුතුගෙන් සහ ලේලියගෙන් සිදුවන පහරදිම්,හිරිහැර, වදවේදනා  ඉවසා ගැනීමට නොහැකිව දිඹුලාගල මනම්පිටිය 50 හැවිරිදි රෝගී මවක හා ඇගේ 16 හැවිරිදි බාල පුතු පොදු සුසාන භුමියට පැමිණ ඉටිරෙදි පැල්පතක වාසය කිරිමේ අවාසනාවන්ත පුවතක් අද (7) වාර්තා විය.

මාගංතොට ලිපිනයේ පදිංචිව සිටි කේ.ඩි. රමණි ස්වර්ණලතා මහත්මිය සහ ඇගේ පුතු මෙලෙස  සුසාන භුමියට පැමිණ දිවි ගෙවන අතර ඇගේ ස්වාමියා ද ආබාධිත අයෙකු වශයෙන් කොළඹ ප්‍රදේශයේ මුරකරුවෙකු ලෙස කටයුතු කරයි.

ස්වර්ණලතා මහත්මිය තම පුතුගෙන් සිදුවන පහරදිම් සහ පිඩාවන් පිළිබඳ ඔහුට එරෙහිව පොළොන්නරුව පොලිසිය වෙත පළමු පැමිණිල්ල කර ඇත්තේ 2016 දෙසැම්බර් 03 වෙනිදාය.

එම පැමිණිල්ලට කිසිදු වග විභාගයක් නොවුන බව පවසන ස්වර්ණලතා මහත්මිය  ඉකුත් ජුලි 5 වෙනිදා ද පොළොන්නරුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර පවසා ඇත්තේ තම පුතුගෙන් සහ ලේලියගෙන් විවිධ පීඩාවන් සහ මරණ තර්ජන එල්ල වන බවයි.

ඊටද විසදුම් නොවු තැන ස්වර්ණලතා මහත්මිය සතුව තිබු ඇදිවත මෙන්ම වළන් මුට්ටි ඇතුළු සියලු දෑ රැගෙන 06 වෙනිදා සවස මාගංතොට සුසාන භුමියට පැමිණියේ ඒ අවට අසල්වාසින්ගේ ආධාරයෙන් කුඩා ඉටිරෙදි පැලක් තනා ගැනිමෙනි.
තමන්ට මුහුණ දිමට සිදු වු පිඩාවන් පිළිබඳ ස්වර්ණලතා මහත්මිය සංවේදී හැගිම් බරව මෙලෙස විස්තර කළාය.

මගේ පුතාගෙනුත් ලේලිගෙනුත් අවුරුදු හතරක් තිස්සේ කරදර සිදුකරනවා. මට ගහනවා ලෙඩ උනාම එළියට ඇදලා දානවා එක දවසක් මට ගලකින් ගහලා තුවාල කලා. ඊට පස්සේ දිගින් දිගටම මට හිරිහැර කරන්න පටන් ගත්තා. මම එයාව ජිවත්කලේ ගඩොල් කපලා. ඒ දෙන්න දිගටම කරදර කරන නිසා තමයි මගේ බාලපුතත් එක්ක ටිකක් හෝ නිදහසේ ඉන්න මේ කනත්තට එන්න හේතුවත් මට කියලා ඉඩමක් ගෙයක් දොරක් නැති හින්දා. ඉතින් මා ගැන බලලා මගේ දුකට කවුරුන් හෝ පිහිටක් වෙන්න කියලා මං පින් දිමෙන් ඉල්ලා සිටිනවා යැයි ස්වර්ණලතා මහත්මිය හැඩු කඳුලින් ඇගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය.

අප මේ පිලිබදව ස්වර්ණලතා මහත්මියගේ ලේලියගෙන් දුරකතනයෙන් කළ විමසිමකදි පැවසුවේ පුතු විසින් මවට පහර දිම් සිදු නොකරන බවත් දරුවන්ට අපහාස කිරිම සදහා ඒ අයුරින් ඇය ජිවත්වන බවයි.